ඉන්දියාව හා මාලදිවයින මිලිටරි සම්බන්ධතාවයන් තර කරයි

India and the Maldives strengthen military ties

රොහන්ත ද සිල්වා, 2019 පෙබරවාරි 5

නොවැම්බර් 17 දා පැවති ජනාධිපතිවරනයෙන් තේරී පත්වීමෙන් පසුව, මාල දිවයින් ජනාධිපති ඉබ්‍රහිම් සොලීහ්, ඉන්දියාව සමඟ දේශපාලන හා මිලිටරි සම්බන්ධතාවයන් තර කර ගැනීමට වේගයෙන් හැරී ගෙන ඇත. පසුගිය මාසයේ සිදු වූ මාල දිවයින් ආරක්ෂක ඇමති මරියා අහමඞ් ඩිඩීගේ සතියක ඉන්දියානු සංචාරයෙන් මෙම ක්‍රියාදාමය වඩාත් කැපී පෙනුනි. ඇය සමඟ සංචාරයට, මාල දිවයින් ආරක්ෂක ප්‍රධානී, මේජර්-ජෙනරල් අබ්දුල්ලා සල්මාල් හා තවත් ප්‍රධාන නිලධාරීන් ගනනාවක් සම්බන්ධ වුනි.

හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් යටතේ මාල දිවයින තුල චීන ආනුභාවය විශාල ලෙස වැඩි වර්ධනය වුනි. මෙම කලාපය තමන්ගේ වැයික්කිය ලෙස සලකන ඉන්දියාව සහ චීනයට එරෙහි තම යුද සුදානම් සැලකිල්ලට ගත් එක්සත් ජනපදය මෙයට විරුද්ධ විය. පසුගිය වසරේ දී, නව දිල්ලිය සහ වොෂිංටනය විසින්, එක්සත් ජනපද ගැති සොලීහ් ජනාධිපති ලෙස පත් කර ගැනීමේ තන්ත්‍ර-මාරු වැඩ සටහනක් ආරම්භ කරන ලදි.

පසුගිය නොවැම්බරයේ පැවති සොලීහ්ගේ දිව්රුම් දීමේ උත්සවයට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි සම්බන්ධ විය. “ඉන්දියානු සාගරය තුල සාමය හා ආරක්ෂාව පවත්වාගෙන යාම හා කලාපයේ ස්ථාවරත්වය සඳහා එකිනෙකාගේ උත්සුකයන් සහ අභිලාෂයන් කෙරෙහි කල්පනාකාරීවීමේ වැදගත්කම” ප්‍රකාශයට පත් කෙරුනු ඒකාබද්ධ ප්‍රකාශයකට එහිදී අත්සන් තැබුනි.

මාලදිවයින් ආරක්ෂක ඇමති ඩිඩී පසුගිය මාසයේ සිදුකල සංචාරයේ දී, ඉන්දියානු ආරක්ෂක ඇමතිනිය වන නිර්මලා සීතාරාමන් හා තවත් මූලික ඉන්දියානු මිලිටරි නිලධාරීන් මුන ගැසුනා ය.

මුහුදු ආරක්ෂක සහයෝගීතාවය වැඩි දියුනු කර ගැනීමටත්, පසුගිය කාලයේ දී නවතා දැමුනු මාලදිවයින වෙරලාරක්ෂක රේඩාර් පරීක්ෂක පද්ධතියේ වැඩ කටයුතු අවසන් කිරීමට ත් රටවල් දෙක එකඟ වුනි. සාකච්ඡා “ප්‍රමානවත්” බව හා “ද්වීපාර්ශවීය ආරක්ෂක සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කල” බව ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශය කියා සිටියේ ය. රටවල් දෙකම, “නාවික ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට මුහුනදීම ආශ්‍රිත ප්‍රශ්න වලදී, සම්ප්‍රදායික සමීප සහයෝගීතාව ඉදිරියට” ගෙන යා යුතුයි.

ඩිඩීගේ සංචාරය තුල දී, ඉන්දියානු-මාල දිවයින් ආරක්ෂක සහයෝගීතා සාකච්ඡා ද පැවැත්වුනි. මාලදිවයින් ආරක්ෂක හමුදා වල, “හැකියා වැඩි දියුනු කිරීමේ” හා “පුහුනු අවශ්‍යතාවයන්” සඳහා නව දිල්ලිය කැප වන බව සීතාරාමන් නැවතත් තහවුරු කලේ ය. තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා “සහයෝගිතා ව්‍යූහයක්” හා “ඒකාබද්ධ යාන්ත්‍රනයක්” ඇති කර ගැනීමේ ආකාරයන් ගැන දෙරට සාකච්ඡා කල බව ඩිඩී පසුව මාධ්‍යට දැනුම් දුන්නා ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහරදීම, විරුද්ධ පක්ෂය මර්දනය කිරීම හා තම පාලනය ආරක්ෂාකර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුල මිලිටරියේ සහාය මත රැඳී ගත්තේ ය. කෙසේ වෙතත්, පසුගිය පෙබරවාරියේ දී, මාල දිවයින් ශ්‍රේෂ්ඨාධිකරනය, යමීන්ගේ පාලනයට යටින් වල කැපීම සඳහාත්, ඉන්දියානු-ගැති, බටහිර-ගැති පාලනයක් බලයට ගෙන ඒම සඳහාත් යමීන්ට අතිශය අවාසිදායක තීන්දු කිහිපයක් ලබා දුනි.

විපක්ෂ නායක හා හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඞ් නශීඞ් හා තව දේශපාලන නායකයන් අට දෙනකු ට එරෙහිව තිබෙන තීන්දු වහාම ඉවත දැමීම සඳහා උසාවිය නියෝග කලේ ය. හදිසි නීති තත්වයක් නිවේදනය කරමින් සහ අග්‍ර විනිශ්චයකාර අබ්දුල්ලා සහීඞ් හා තවත් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවෙකු අත් අඩංගුවට ගනිමින් යමීන් එයට ප්‍රතිචාර දැක්වී ය. මෙම පීඩනය යටතේ ඉතිරි විනිශ්චයකරුවන් තිදෙනා එම තීන්දු අවලංගු කිරීමට තීන්දු කලහ.

ආතතිය වැඩි දියුනු වන තත්වයේ දී, මාල දිවයින චීන කොලනියක් බවට පත් ව ඇති බව කියා සිටි ඇමරිකන්-ගැති නශීඞ්, එරට ආක්‍රමනය සඳහා නව දිල්ලියෙන් ඉල්ලා සිටියහ. ඉන්දියාව මිලිටරිමය සූදානම් කිරීම් සිදු කල බව පුවත් පත් වාර්තා කලත්, මාල දිවයින් අභ්‍යන්තර කටයුතු වලට “බාහිර” මැදිහත්වීමකට, චීනය කෙසේ ප්‍රතිචාර දක්වනු ඇති ද යන්න සැලකිල්ලෙන්, එය ඉදිරියට වර්ධනය කලේ නැත.

කෙසේ වෙතත්, කලාපය පුරා තම භූ-දේශපාලනික හා මිලිටරි බලපෑම වැඩි කර ගැනීම සඳහා, මාල දිවයිනේ නව තන්ත්‍රය පාවිච්චියට ගැනීමට දැන් ඉන්දියාව වැඩ කරයි. මාලදිවයින් ආරක්ෂක හමුදාවන් වල, “පුහුනුවට” හා “හැකියාවන් වර්ධනයට” ආධාර කරන බවෙහි තේරුම මෙය යි.

රටවල් දෙක ම, ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය ගැන කල්පනාකාරී වීමටත්, තම තමන්ගේ භූමි ප්‍රදේශයන්, “අනෙකා ගේ අවශ්‍යතාවයන්ට එරෙහි කවර හෝ ක්‍රියාවක් සඳහා භාවිතා කිරීමට” ඉඩ නොදෙන බවටත් රටවල් දෙකම එකඟ වූ බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වාර්තා කලේය. මෙය චීනයට එල්ල කල මූලික පහරකි.

චීනය හා පකිස්ථානය වැනි “අනෙක් රටවල් සමඟ තිබෙන සම්බන්ධතාවය ගැන තමන් සාකච්ඡා නො කල බව”, ඩිඩී පසුව ප්‍රකාශ කලා ය. “ඉන්දියාව අපගේ ස්වාධීනත්වය ගැන අගය කරන්නේ” යැයි සඳහන් කල ඇය, “1988 දී, 2004 සුනාමියේ දී, නැත්නම් මෑත ජල අර්බුදයේ දී ද වාගේ හැමවිට ම අපගේ සමීපතම මිතුරා ලෙස උදව්වට පැමිනි ඉන්දියාව ගැන අපි තෘප්තිමත් යැයි” ද එකතු කලා ය.

ලංකාවේ දෙමල බෙදුම්වාදී කන්ඩායම් විසින් කුමන්ත්‍රනකාරී ලෙස මාල දිවයිනේ පාලකයා ලෙස එරට ව්‍යාපාරිකයකු වන අබ්දුල්ලා ලුතුෆි පත් කිරීමට 1988 දී තැත් දැරූ විට, එවක මාලදිවයින් ජනාධිපති අබ්දුල් ගයූම් ඉන්දියානු මිලිටරියට මැදිහත් වල ලෙස ඉල්ලා සිටිය හ. ගයූම් ගේ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දැක්වූ ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි, ඔපරේෂන් කැක්ටස් මෙහෙයුම යටතේ පැය නමයක් තුල කුමන්ත්‍රනය පරාජය කිරීමට හමුදා භටයින් 1,600ක් යෙදවීය.

ඉන්දියාව හා මාලදිවයින දැන් මිලිටරි සම්බන්ධතාවයන් තර කිරීමට වැඩ කරයි. යමීන් විසින් නවතා දැමුනු, දෙරට අතර 2016 ආරක්ෂක සහයෝගිතා ක්‍රියා සැලසුම් පුනර්ජීවනය කරමින් පවතී. ක්‍රියා සැලැස්මේ ඒකාබද්ධ ආරක්ෂක ව්‍යාපෘතියක් වන, ඉන්දියාවේ “සහභාගිත්වයෙන්” ගොඩනඟන උතුරු තිලා ෆලූ අතොලුවේ වෙරලාරක්ෂක ගොඩනැඟිලි එහි ඉහලම ප්‍රමුඛත්වයක් වනු ඇත. ඒ සමඟම, පුහුනු කිරීම්, සුවිශේෂ ආර්ථික කලාපයේ නිරීක්ෂන කටයුතු හා ඊනියා මානුෂික ආධාර සහ ආපදා සහන වැඩ කටයුතු සඳහා ද, මාල දිවයින නවදිල්ලියට ඉඩ දෙයි.

මධ්‍යම ආසියාවේ හා අප්‍රිකාවේ සිට නැගෙනහිර ආසියාව, ගිනිකොනදිග ආසියාව හා ඕස්ටේ්‍රලියාව දක්වා වන ප්‍රධාන මුහුදු මාර්ගයන්ට යන්තම් ඉහලින්, ඉන්දියානු අර්ධද්වීපයේ නිරිතදිග තුඩුවේ මාලදිවයින මූලෝපායිකව පිහිටා සිටී. චීනයට, ජපානයට, දකුනු කොරියාවට හා ඉන්දියාවට, මැද පෙරදිග තෙල් සම්පාදනය කෙරෙන්නේ මෙම මාර්ගයෙනි. මෙය, එක්සත් ජනපදය හා ඉන්දියාව එක් පසෙකිනුත්, චීනය අනෙක් පසෙකිනුත් පවතින විරුද්ධවාදීත්වයේ, එක් නාභීය ලක්ෂ්‍යයකි.

උතුරු ඉන්දියානු සාගර කලාපය තුලින් දිවෙන මෙම ජාත්‍යන්තර මුහුදු මාර්ග වලින් වාර්ෂිකව ලක්ෂයකට වැඩි නෞකාවන් සංඛ්‍යාවක්, තෙල්, ඛනිජ හා නිෂ්පාදිත භාන්ඩ ප්‍රවාහනය කරයි. ඉන්දියානු සාගරයේ පවතින ප්‍රමුඛතම ඇමරිකානු මිලිටරි කඳවුරු වන දියාගෝ ගාෂියාව ඇත්තේ මාල දිවයින් අගනුවර වන මාලේ ට යන්තමින් කිලෝ මීටර් 1,300 ක් දකුනිනි.

සොලීහ් ජනාධිපති වීමත් සමඟම, ඉහල මට්ටමේ දේශපාලන හා මිලිටරිමය සාකච්ඡා වේගයෙන් වර්ධනය වීම පෙන්නුම් කරනුයේ, එක්සත් ජනපදයේ සහාය ඇති ව, ඉන්දියානු-ගැති ආන්ඩුවක් පිහිටුවීමට නව දිල්ලිය ක්ෂනිකව ම වැඩට බැස ගත්තේ කෙසේද යන්නයි. චීනය හා ඇමරිකාව අතර වර්ධනය වන භූ-දේශපාලනික ආතතිය යටතේ, පසුගාමී රටවල, නාමික ස්වාධීනත්වය පවා දැන් අතීතයට එක් ව ඇත.

Share this article: