මැටමොරොස් කම්කරුවන්ගේ කැරැල්ල පිලිබඳ එක්සත් ජනපද ව්‍යාජ වම්මුන්ගේ නිශ්ශබ්ද කුමන්ත්‍රනය

The US pseudo-left’s conspiracy of silence on the Matamoros workers’ rebellion

ඇලෙක්ස් ගොන්සාලෙස් විසිනි, 2019 පෙබරවාරි 4

මෙක්සිකෝවේ මැටමොරොස් නගරයේ “මැකිලඩෝරා” කම්කරුවන් 70,000ගේ වැඩවර්ජනය ඇරඹීමේ තැන් සිට සති තුනක් ගත වී ඇතත්, එක්සත් ජනපදය තුල “සමාජවාදී” යැයි තෙමේ ම කියා ගන්නා ප්‍රවෘත්ති හොරනෑවල මේ දක්වා වැඩවර්ජනය ගැන එක ලිපියක් හෝ පල කර නැත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනක් පුලුල් ලෙස වැඩවර්ජනය ගැන වාර්තා කර එක්සත් ජනපදය තුල, කැනඩාව හා ලෝකය වටා කම්කරුවන්ගේ සහාය මෙක්සිකානු කම්කරුවන් වෙනුවෙන් එක්රැස් කිරීමට සටන් කර ඇත.

දැඩි ලෙස සූරා කැවෙන මෙක්සිකානු කම්කරුවන් දසදහස් ගනනක් ඩොලර් බිලියන ගනනක ලාභ එකතු කර ගන්නා එක්සත් ජනපද හා කැනේඩියානු සංගතවලට එරෙහිව ඓතිහාසික සටනක් ගෙන යද්දී, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් (ඩීඑස්ඒ) සමග කිට්ටුවෙන් පෙල ගැසුනු, ජැකොබින් සඟරාව, ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ (අයිඑස්ඕ) ප්‍රකාශනය වන සමාජවාදී කම්කරුවා, හා සමාජවාදී විකල්පය නිශ්ශබ්ද කුමන්ත්‍රනයන නියැලී සිටිති.

ව්‍යාජ වම්මුන් නිශ්ශබ්දව සිටින්නේ සමාගමේ මැරවරයින් කම්කරුවන්ට පහර දී තිබිය දී, සංගත වැඩවර්ජකයින් සිය ගනනක් දොට්ට දමා සිටිය දී, හා පොලීසිය ප්‍රචන්ඩත්වය සමගින් කම්කරුවන් ට තර්ජනය කර තිබිය දී ය.

මෙම කම්කරුවන් සැතපුම් සිය දහස් ගනනක් ඈත එක්සත් ජනපදය හා කැනඩාව තුල නිෂ්පාදනය සාර්ථක ලෙස මන්දගාමී කර ඇති බව ඔවුන් වාර්තා කර නැත. තම ශ්‍රමය ඉවත් කර ගැනීමෙන් වර්ජකයින්, ගනන් බැලෙන පරිදි සමාගම්වලට දිනකට ඩොලර් මිලියන 40-50ක ලාභ අහිමි කර ඇති බව, හා වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව ගෙන යනු ලබන සූරා කෑමේ එක සමාන කොන්දේසි යටතේ වැඩ කරන කැනේඩියානු හා එක්සත් ජනපද කම්කරුවන් අතර පුලුල් සහයෝගයක් දිනා ඇති බව ඔවුන් වාර්තා කර නැත.

ව්‍යාජ වම්මුන්ගේ නිශ්ශබ්දතාව නොදැනීමේ ප්‍රතිඵලයක් නො වේ. ලෝසවෙඅ ජනවාරි 15වැනිදා සිට ලිපි 29ක්, නැතහොත් දල වශයෙන් දිනකට ලිපි 1.5ක් ප්‍රසිද්ධ කරමින් වැඩවර්ජන ව්‍යාපාරයට පුලුල් ප්‍රසිද්ධියක් ලබා දී ඇත.

ඊට වෙනස්ව, මෙම නිශ්ශබ්දතාව සත්‍ය දැනගැනීමෙන් කම්කරුවන් හා තරුනයන් ඉවත් කර තැබීමේ දැනුවත් උත්සාහයකි, මන්ද, ව්‍යාජ වම්මුන් පෙනී සිටින පොහොසත් ඉහල මධ්‍යම පන්තියේ භෞතික උත්සුකතාවලට සත්‍ය තර්ජනය කරන බැවිනි.

මැටමොරොස් වැඩවර්ජනය ඇරඹුනේ මෙක්සිකානු වෘත්තීය සමිතිවලට එරෙහිව සංවිධානය වූ හදිසි වැඩවර්ජනයකිනි. කම්කරුවෝ ජනවාරි 12වැනිදා මැකිලඩෝරා කර්මාන්තයේ ශ්‍රමිකයන් හා කාර්මික කම්කරුවන්ගේ වෘත්තීය සමිති මූලස්ථානය පිටත දැවන්ත විරෝධතාවක් පැවත් වූහ. තමන් වැටුප් වර්ධක හා වාර්ෂික පාරිතෝෂික නො ලබනු ඇත යි කෝප වූ කම්කරුවෝ වෘත්තීය සමිති නායක ජුවාන් විලාෆූර්ටේ මුන ගැසුනේ “අපිට තවදුරටත් යූනියන් එපා” හා “ඔබ අපෙන් හොරකම් කරනවා විතරයි” යැයි කෑ ගසමිනි.

ලෝකය පුරා තම සහචරයන් මෙන් ම, මැකිලඩෝරා වෘත්තීය සමිතිය සෑම සතියක ම කම්කරුවන්ගේ වැටුපින් සියයට හතරක ගාස්තු තම සාක්කුවේ දමා ගනිමින් කාර්මික කම්කරු පොලීසියකට වඩා වැඩි දෙයක් නො වන ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් කම්කරුවන්ගේ වෛරයට පාත්‍ර වී තිබේ. වෘත්තීය සමිතිවල පාලනයෙන් පිට, විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තම ක්‍රියා සංවිධානය කිරීම මගින් මැකිලඩෝරා කම්කරුවෝ, තමන්ගේ ම ස්වාධීන හා එක්සත් ශක්තිය ඔස්සේ පමනක් තම ඉල්ලිම් දිනා ගත හැකි බව අවබෝධ කර ගත්තෝ ය. වැඩවර්ජකයින්ගේ වඩාත් ජනප්‍රිය බැනරයක් මෙසේ පවස යි: “වෘත්තීය සමිති හා සමාගම් කම්කරු පන්තිය නසති.”

කම්කරුවෝ වහා ම ස්වාධීන කම්හල් කමිටු ගොඩනගා, සිදු වී ඇත්තේ කුමක් දැ යි තම සගයින්ට දැනුම් දීමට කම්හලකින් කම්හලකට ගියෝ ය. ඔවුන්ගේ පලමු පෙලපාලියෙන් දවසකට පසු, කම්හල් 45ක කම්කරුවෝ 70,000ක් වර්ජනයට සහභාගී වූවෝ ය.

ව්‍යාජ වාම සංවිධාන මැටමොරොස් කම්කරුවන්ට විරුද්ධ වන්නේ තමන් වෘත්තීය සමිතිවලට සහාය දෙන අතර සමිති වල දූෂිත උපකරනයන්ගේ වඩ වඩා ප්‍රමුඛ තතතුරු දරන හෙයිනි. කම්කරුවන් තමන්ගේ දක්ෂිනාංශික, ජාතිකවාදී හා ධනේශ්වර ගැති සංවිධානවල අධිකාරිය පිලිගත යුතු යැයි ඔවුහු බල කරති. පන්ති අරගලය මර්දනය කරමින් හා කම්හල් වසා දැමීම, දොට්ට දැමීම,වැටුප් හා අනෙකුත් සහන කප්පාදු පැටවීමට උදව් කරමින්, මෙම සමිති පසු ගිය දශක හතරක තම උත්සාහය කැපකර ඇත්තේ, පහල සියයට 90න් ඉහල සියයට 10ට වාර්තාගත ලෙස ධනය මාරු කිරීමට මග පාදා දීමට යි.

ව්‍යාජ වාම කන්ඩායම් වෘත්තීය සමිති විසින් ගෙන යනු ලබන සෑම පාවාදීමකට ම (ඉතාමත් මෑත දී ලොස් ඇන්ජලීස් ගුරුවරුන්ගේ වැඩ වර්ජනය පවා දීම) නිරන්තරයෙන් සහාය දෙන්නේ ඒවා “ජයග්‍රාහී” යැයි ප්‍රකාශ කරමිනි.

මැකිලඩෝරා කම්කරුවන්ගේ කැරල්ල ඔවුන්ගේ ව්‍යාජ කතන්දරය මුලුමනින් ම අනාවරනය කර ඇත. වැඩවර්ජනය පෙන්වා දී ඇත්තේ කම්කරු පන්තියේ ශක්තිය බලමුලු ගැන්විය හැක්කේ වෘත්තීය සමිතිවලට එරෙහිව කැරල්ලක් මගින් පමනක් බව යි. මැටමොරොස් හි දී, වෘත්තීය සමිති පලමු අවස්ථාවේ දී කම්කරුවන් වැඩවර්ජනයකට යාම වැලක්වීමට උත්සාහ කර ඊට පසුව ඔවුන් දොට්ට දමන බවට තර්ජනය කලෝ ය. සියයට 20ක වැටුප් වැඩිවීම හා ඩොලර් 1,700ක පාරිතෝෂිතයක් සඳහා සටන් කිරීම සඳහා (මෙන් ම දිනා ගැනීමට) කම්කරුවෝ තමන්ගේ ම කම්හල් කමිටු ගොඩනැගූහ.

වෙනසක නායකයෙකු මෙන් ම මෙක්සිකානු කම්කරු පන්තියේ ආරක්ෂකයෙකු ලෙස මෙක්සිකානු ජනාධිපති අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රදෝර්ට (අම්ලෝ) ව්‍යාජ වම්මු ප්‍රශංසා ද කර ඇත. දෙසැම්බර් 7වැනිදා අම්ලෝගේ සමාරම්භක දිනයේ, අම්ලෝ “ජනතාව නියෝජනය කරනු” ඇත යි ජැකොබින් සඟරාව සඳහන් කලේ ය. “කැබිනට් මන්ඩලය හා කොංග්‍රසය තුල සමාන කාන්තා නියෝජනයට” එය ප්‍රශංසා කලේ ය.

දෙසැම්බර් 5වැනිදා සෝෂලිස්ට් වර්කර් සඳහන් කලේ අම්ලෝගේ ජයග්‍රහනය “ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භයන්” පෙන්වා දී ඇති අතර “මෙක්සිකානු කම්කරු පන්තියේ ආර්ථික කොන්දේසි වැඩි දියුනු” කරනු ඇති බව යි.

මෙම ද්‍රෝහී බොරු මැටමොරොස්වල දී සම්පූර්නයෙන් ම හෙලිදරව් කෙරී ඇත. ආරම්භයේ දී, අම්ලෝගේ අවම වැටුප් වැඩි කිරීම එක්සත් ජනපද දේශසීමාව ආසන්නයේ නව කර්මාන්ත ගැති නිදහස් ආර්ථික කලාපයක් නිර්මානය කිරීම වසන් කිරීමේ කූඨෝපායක් විය.

පාලක පන්තිය බිය කරමින් වැඩවර්ජන රැල්ල දිග හැරුනු විට, අම්ලෝ හා ඔහුගේ පක්ෂය වන ජාතික පුනර්ජනනය සඳහා ව්‍යාපාරය (මොරේනා) වැඩවර්ජනය අවසන් කිරිමට මැදිහත් වූහ. ජනවාරී 27වැනිදා, සෙනෙට් සභාවේ මොරේනා නායකයා, මොරේනා ක්‍රියාකාරී සගයෙක් හා කම්කරු නීතිඥ සූසන් ප්‍රියේටෝ කැඳවා “රජයේ ආර්ථිකය වෙනුවෙන් හා නගර සභා ඇද වැටීම වැලක්වීමට” වැඩවර්ජනය නතර කිරීමට නියෝග දුන්නේ ය. පෙබරවාරී පලවෙනිදා ඇසෝසියේටඞ් ප්‍රෙස් වාර්තාවක් සඳහන් කලේ අම්ලෝ හා මොරේනෝ නායකයෝ “වැටුප් වැඩිවීම් ඉල්ලීමෙන් මැටමොරොස් වෘත්තිය සමිතිය ක්‍රියාකාරීව අධෛර්යමත් කලෝ ය” යනුවෙනි.

මැටමොරොස් ගැන ව්‍යාජ වම්මුන්ගේ නිශ්ශබ්දතාව හෙලිදරව් කරන්නේ එහි ජාතිකවාදී නැඹුරුවේ බංකොලොත්කම යි. ඩීඑස්ඒ, අයිඑස්ඕ හා සමාජවාදී විකල්පය ට්‍රම්ප්ගේ සංක්‍රමන විරෝධී කයිවාරු හා ආර්ථික ජතිකවාදය දෝංකාර නංවන සහ එක්සත් ජනපදය තුල රැකියා නැතිවීම හා පහල වැටුප් වෙනුවෙන් මෙක්සිකානු කම්කරුවන්ට දෝෂාරෝපනය කර ඇති බර්නී සෑන්ඩර්ස් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකැ” යි ප්‍රචාරය කරති. ඊට වෙනස් ව, මැටමොරොස් වැඩවර්ජනය ඇමරිකානු හා කැනේඩියානු කම්කරුවන්ට සෘජුව ආයාචනා කර බලගතු ප්‍රතිචාරයක් ලබා ඇත.

මැටමොරොස් වැඩවර්ජනය, සමාජ ප්‍රශ්න මූලික වශයෙන් ම වර්ගය හා ලිංග භේදයේ ප්‍රිස්මය ඔස්සේ පැහැදිලි කල යුතු යැයි ප්‍රකාශ කරන ව්‍යාජ වාම සංවිධානවල අනන්‍යතා දේශපාලනයට ද යටින් වල කපයි. කෙසේ නමුත්, මැටමොරොස් කම්කරුවෝ තෙමේ ම පන්තියක් ලෙස හඳුනා ගනිමින් සිටින අතර , ජාතිකත්වය, කායික ලක්ෂන හෝ ලිංගික නැඹුරුව නො සලකා ඔවුන් සියල්ලන්ට ම සමාන ලෙස සැලකිය යුතු යැයි ඉල්ලමින් සිටිති.

එහි මූලය තුල, ව්‍යාජ වමේ නිශ්ශබ්දතාවයෙන් පැහැදිලි කෙරෙන්නේ එහි පන්ති ආස්ථානයෙනි. ඩීඑස්ඒ, අයිඑස්ඕ හා සමාජවාදී විකල්පය නියෝජනය කරන්නේ, ඇමරිකානු සමාජයේ පොහොසත් ම සියයට 10ට අඩංගු වන, වෘත්තීය සමිති විධායකයින් ඇතුලු, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කන්ඩායම් ය. මෙම ස්ථර වඩ වඩා තම ධනය ඇද ගන්නේ ඉහල යන කොටස් වෙලඳපොල, කම්කරු පන්තිය සූරාකෑම හා ඇමරිකානු ධනවාදයේ ප්‍රමුඛ තත්වයෙනි.

මැටමොරොස්වල වැනි වර්ධනයක් ඔවුන්ගේ ආදායමට හා සමාජ තත්වයන්ට තරජනය කරයි. වෘත්තීය සමිතිවලට එරෙහිව කම්කරුවන්ගේ කැරැල්ලක් වෘත්තීය සමිතිවල ගාස්තුවලින් එන මුදල් ප්‍රවාහය නවත්වනු ඇත, වෘත්තීය සමිති ගාස්තු වෘත්තීය සමිති විධායකයන් දහස් ගනනකගේ පුද්ගලික ධනයේ ප්‍රධාන මූලාශ්‍රය යි. වෘත්තීය සමිති ගාස්තුවල තියුනු අඩු කිරීමක් මැටමොරොස් වර්ජකයින්ගේ පැහැදිලි ඉල්ලීමක් වෙයි.

ප්‍රතිවිරුද්ධ ගෝලීය ක්‍රියාදාම දෙකක් මැටමොරොස් හි ගැටෙමින් තිබේ.

එක පැත්තක, ජාතිකවාදී වෘත්තීය සමිති විසින් පටවන ලද බන්ධන බිඳ දමමින් ස්වාධීන ක්‍රියාවක් ඔස්සේ තම සමාජ ශක්තිය මුදා හැරීමට කම්කරු පන්තිය උත්සාහ ගනිමින් සිටී. ජාත්‍යන්තර සංගතවලට මුහුනු දීමේ දී ජාත්‍යන්තර මූලෝපායක් අවශ්‍ය බව සෑම තැනක ම කම්කරුවන් වඩ වඩා අවබෝධ කර ගැනීමත් සමග, එහි ආවේශය වන්නේ ජාත්‍යන්තර එක්සත් කම දිසාවට ය.

අනෙක් අතට, මෙම ක්‍රියාදාමය වැලක්වීමට, පාලක පන්තිය ජාතිකවාදී හා ධනේශ්වර ගැති දේශපාලඥයින් සමඟ ව්‍යාජ වමෙන් සමන්විත ඊනියා “වාම ජනතාවාදීන්” මත වඩ වඩා වාරු වෙමින් සිටින්නේ, ධනේශ්වර දේශපාලන පද්ධතියේ නිරුපද්‍රිත මාවත් ඔස්සේ සමාජ අසහනය හරවා යැවීමට යි. තම කුහක නිශ්ශබ්දතාව හරහා, ව්‍යාජ වම්මු ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඉතාමත් පීඩිත කන්ඩායම්වලින් එකක ජීවිතය හා මරනය අතර අරගලයකට තම සම්පූර්න වෛරය ප්‍රදර්ශනය කරමින් සිටිති.

සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ප්‍රජාතන්ත්‍රවාදී ව පත් කර ගැනුනු තමන්ගේ ම සාමාජික (ක්‍රියාකාරී) කමිටු ගොඩනගා ගන්නා ලෙසත් එමෙන් ම ජෙනරල් මෝටර්ස් කම්හල් වසා දැමීමට එරෙහි ව පෙබරවාරි 9වැනිදා පැවත්වෙන පෙලපාලියට  සහභාගී වී සහාය දක්වන ලෙසත් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙම පෙලපාලිය වැඩෙමින් තිබෙන පන්ති අරගලය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් හා ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමට අපේක්ෂා කරයි.

Share this article: