එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනිසියුලාවේ දේශසීමාවේ ප්‍රකෝපකරනයක නියැලේ

US imperialism stages provocation on Venezuela’s borders

2019 පෙබරවාරි 25

තට්ටු ලොරි එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ නූතන ට්‍රෝජන් අශ්වයින් ලෙස සේවය කරමින් මෙම සති අන්තයේ දී වෙනිසියුලාවට “මානුෂික ආධාර” බෙදා හැරීමට එක්සත් ජනපදය විසින් ගන්නා ලද උත්සාහය වේදිකා ගත කරන ලද ප්‍රකෝපකරනයකි.

කොලොම්බියාවේ කූකුටා හා බ්‍රසීලයේ පැකරයිමා යන ස්ථානවල දී දක්ෂිනාංශික කොලොම්බියානු හා බ්‍රසීල ආන්ඩුවල නිලධාරීහු, ට්‍රම්ප් පාලනාධිකාරියේ මග පෙන්වීම යටතේ වැඩ කරමින්, වෙනිසියුලා දේශසීමාව හරහා ආහාර හා වෛද්‍ය සැපයුම් ගෙන යන ට්‍රක්රථ ගමන් කරවීමට උත්සාහ ගත්හ. වෙනිසියුලා ආන්ඩුව ඇතුලු වීමට ඉඩ නො දෙන බව එක්සත් ජනපදය හා එහි කලාපීය සහචරයන් දැන සිටියත්, ඔවුහු සවිබල ගැන් වූ දේශසීමා ඇතුලු වීම පාලනය කිරීමට, අන්ත දක්ෂිනාංශික මහජන කැමත්ත (Popular Will) පක්ෂයේ සාමාජිකයෙකු වන, වෙනිසියුලානු “අන්තර්වාර ජනාධිපති” යැයි තෙමේ ම කියා ගන්නා ගුවායිඩෝගේ ආධාරකරුවන් දිරිමත් කලහ. පැන නැගුනු ගැටුම්වලදී පුද්ගලයන් හතරදෙනෙක් මරා දැමුනි.

දේශපාලන ආස්ථානයකින් ගත්විට, ප්‍රකෝපකරනය අසාර්ථක වූවකි. එක්සත් ජනපද හා එහි අන්ත දක්ෂිනාංශික කොලොම්බියානු හා බ්‍රසීල සහචරයන්ගේ මැදිහත්වීමේ අපේක්ෂාවට ඔල්වරසන් දෙන විශාල වෙනිසියුලානු පිරිස් නො වූහ. ප්‍රායෝගික ව වෙනිසියුලානු සන්නද්ධ හමුදාවන්ගේ අත් හැර දා යාම් ද සිදු නො වී ය.

රතු කුරුස වැනි ස්වාධීන ආධාර සංවිධාන විවෘත ප්‍රකෝපකරනයට සහභාගි වීම ප්‍රතික්ෂේප කලහ. බ්‍රිතාන්‍ය බිලියනපති රිචඞ් බ්‍රැන්සන් සෙනසුරාදා කොලොම්බියා - වෙනිසියුලා දේශසීමාවේ දී ගුවයිඩෝට පක්ෂ සන්දර්ශනනයක් පැවත් වූ අවස්ථාවේ, ප්‍රධාන රංගන ශිල්පීහු කීපදෙනෙක් පැහදිලිව පැමිනීම ප්‍රතික්ෂේප කලහ.

කෙසේ නමුත්, මෙහෙයුමේ කේන්ද්‍රීය අරමුන වූයේ මිලිටරි මැදිහත්වීම සඳහා කඩතුරාවක් නිර්මානය කිරීම යි. වෙනිසියුලාවට “ප්‍රජාතන්ත්‍රවාදය” ගෙන ඒම සඳහා ට්‍රම්ප් හා ඔහුගේ කලාපීය සහචරයන්ගේ සිතේ පැවතියේ කුමක් දැ යි යන්න පිලිබඳ ව ප්‍රකෝපකරනට එක් වූවෝ පෙර නිමිති පහල කලෝ ය.

සහභාගී වූවන් අතර චිලී ජනාධිපති සෙබෙස්තියන් පිනේරා (ඔහුට “සහයෝගිත්වය” ප්‍රකාශ කල පිනේරා පසුගිය වසරේ ඒකාධිපති ඔගොස්ටෝ පිනෝෂේගෙන් විපතට පත්වූවන්ට හානිපූරන කිරීමේ නීතියක් අවලංගු කලේ ය.), කොලොම්බියානු ජනාධිපති අයිවාන් ඩුකේ (තම පැරාමිලිටරි හමුදා කොලොම්බියානු විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ට (එෆ්ඒආර්සී) එරෙහි කඩා පැනීම්වල දී අහිංසක සිවිල් වැසියන් දහස් ගනනක් මරා දැමූ, හිටපු ජනාධිති අල්වාරෝ යුරිබේගේ දේශපාලන උරුමක්කාරයා) හා බ්‍රසීල මිලිටරි ඒකාධිපතිත්වයේ විවෘත ආරක්ෂකයා වන, අන්ත දක්ෂිනාංශික බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ නියෝජිතයෝ වූහ.

ට්‍රම්ප් පාලනාධිකාරිය තම යුද තර්ජනය තීව්‍ර කිරීම යුක්තිසහගත කිරීමට මෙම සති අන්තයේ කරලියට පැමිනි සිදුවීම යොදා ගනිමින් සිටී. එක්සත් ජනපද රූකඩ ගුආයිඩෝ සෙනසුරාදා ට්විටර් පනිවිඩයක් නිකුත් කලේ දේශසීමා ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදය හා එහි මිතුරන් “සියලු විකල්ප විවෘතව” තැබීම (උදාහරනයක් ලෙස, මිලිටරි ආක්‍රමනයක් සූදානම් කිරීම) තමාට අවශ්‍ය බව පවසනි.

සඳුදා, එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් ගුආයිඩෝ හා අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් සමග, කැනඩාවේ නායකයින් හමු වීමට කොලොම්බියාවට ගමන් කරනු ඇත. තෝරා පත් කර ගැනුනු වෙනිසියුලානු ජනාධිපති නිකොලාස් මදුරෝට එරෙහි වොෂින්ටන් කුමන්ත්‍රනයට අධාර කරන ජාතීන්ගේ ඊනියා ලීමා කන්ඩායමට කැනඩාව එක් වී ඇත.

ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මෑත දී එක්සත් ජනපද හමුදා භටයින් 5,000ක් යැවීමට තර්ජනය තල, කොලොම්බියාව තුල ද දැන් එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් ගැන වාර්තා තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉරිදා පවැසුවේ මදූරෝගේ “දින ගනන සීමා වෙමින් පවතින” බව යි. ෆ්ලොරීඩා රිපබ්ලිකානු සෙනෙට් සභික මාර්කෝ රබියෝ ඡායාරූප දෙකක් මුහුනට මුහන ලා ට්වීටර් කලේ ය: එකක් හිටපු ලිබියානු නායක මුවම්මර ගඩාෆි පනපිටින් සිටිනවා පෙන්වන අතර අනෙක තලා පොඩි කර දැමුනු ඔහුගේ මෘත දේහය විය.

ජාත්‍යන්තර නීතිය විවෘතව උල්ලංඝනය කරමින් සෑදූ, මෙම නාසි වර්ගයේ තර්ජනය, එක්සත් ජනපද මැදිහත්වීම තුල වෙනිසියුලාව මතට කඩා පහත් කරන අපරාධකාරිත්වය හා විනාසයේ මට්ටම පිලිබඳ අනතුරු ඇඟවීමකි. ඇෆ්ගනිස්තානය, ඉරාකය, ලිබියාව හා සිරියාවේ යුද්ධ පෙන්වන්නාක් මෙන්, එක්සත් ජනපදය ස්පර්ශ කරන සෑම දෙයම ගල් බොරලු බවට හැරේ.

පුද්ගලයන් මිලියන 30ගේ රටක් වන වෙනිසියුලාව, ලතින් ඇමරිකාවේ වඩාත් ම දියුනු රටවල් අතර තිබෙන්නේ, එහි ජනගහනයෙන් සියයට 88ක් නාගරික ප්‍රදේශවල ජීවත් වීම සමගිනි.

මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ තම ඇද වැටීමෙන් පසු, එක්සත් ජනපදය වෙනිසියුලාව තුල මිලිටරි විනාසයක අපේක්ෂාවන්ට මුහන දෙයි. ඇෆ්ගනිස්තානයේ කඳුකරයේ අල්ප ලෙස සන්නද්ධ කන්ඩායම් සමග 17 වසරක් සටන් කිරීමෙන් පසු, එක්සත් ජනපදය නින්දා සහගත පරාජයක් අත්විඳ ඇත. ඉන් තම හමුදා ඉවත් කර ගැනීම සඳහා වොෂින්ටනයේ ප්‍රධාන කොන්දේසිය වන්නේ, තම රූකඩ ආන්ඩුව සමග තලේ බාන් සංවිධානය සාකච්ඡාවලට එකඟ වීම යි.

අනෙක් අතින් වෙනිසියුලාවට, සක්‍රීය සේවයේ 350,000ක සොල්දාදුවන් ද සංචිතයේ 2000,000ක ද හමුදාවක් ඇත. එය එස්-300වීඑම් නම් මිසයිල නාශකය ද බක් නම් ගුවන්යානා නාශකය ද ඇතුලු ව, රුසියාවේ සෑදූ දියුනු ආයුධ පද්ධතියක් පාලනය කරයි. මෑත දශකවල දී එක්සත් ජනපදය ආක්‍රමනය කර ඇති අනෙක් ඕනෑ ම රටකට වඩා වෙනස් ව, එක්සත් ජනපදයේ සෑදූ එෆ්-16 හා රුසියාවේ සෑදූ එස්යූ-30එම්කේ2 සටන් යනා ප්‍රමුඛත්වය ගන්නා ක්‍රියාත්මක ගුවන් හමුදාවක් ද වෙනිසියුලාවට ඇත.

යුද්ධයක් මුලු කලාපය ම වියවුලකට ඇද දමනු ඇත. අධිරාජ්‍යවාදී මැදිහත්වීමට තදබල මහජන විරෝධයක් තිබෙනු ද ඇත. සරනාගතයන් මිලියන ගනනාවක් වෙනිසියුලාවෙන් පලා යනු ඇත්තේ, පැනමාවේ ඉස්ත්මස් දක්වා ද එමෙන් ම මැර කල්ලි ප්‍රචන්ඩකම්, දරිද්‍රතාව හා අසමානතාවේ වාර්තාගත මට්ටම්වලින් මේ වන විටත් විනාස කෙරනු මධ්‍යම ඇමරිකාව ඔස්සේ ද ගමන් කරමිනි. එක්සත් ජනපදයට ගමන් කරමින් සිටින සංක්‍රමනිකයෙකුට ජාතික දේශ සීමා 8ක් හරහා සැතපුම් 3000ට වඩා ගමන් කිරීමට සිදුවනු ඇත. කුඩා නැව් කන්ඩායම් කැරිබියානු මුහුදේ ගිලී යනු ඇත. තම පවුල ආරක්ෂා කිරිමේ මංමුල සහගත උත්සාහයේ දී දහස් ගනනක් මිය යනු ඇත.

එක්සත් ජනපද මැදිහත්වීමට න්‍යෂ්ටිකව සන්නද්ධ තවත් බලවතෙකු වන රුසියාව සමග ගැටුමකට පැටලීමේ හැකියාව ද එහි තිබේ. වෙනිසියුලාවේ තෙල් නිස්සාරසන කර්මාන්තයේ වැඩ කරන රුසියානුවෝ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිති. එක්සත් ජනපද නාවික ආඥාපති ක්‍රේග් ෆෝලර් මෙම මස මුලදී, වොයිස් ඔෆ් ඇමරිකා ගුවන්විදුලියට පැවසුවේ, එක්සත් ජනපද මිලිටරිය ෆෝලර් හැඳින් වූ පරිදි “අප අසල්වාසයේ” ලතින් ඇමරිකාව තුල, රුසියාව සමග විය හැකි ගැටුමකට සූදානම් වෙමින් සිටින බව යි. සටන තුල නිකරගුවාව හා කියුබාව ද පැටලීමට ඉඩ ඇත්තේ, සම්පූර්න අර්ධගෝලය ම යුද්ධයට ඇද ගනිමිනි.

තන්ත්‍ර වෙනස් කිරීම් අපේක්ෂා කරන වොෂින්ටනයේ මානවවාදී ව්‍යාජයන් විනිවිද පෙනෙන බොරුවකි. යැංකි අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය ලෝකයේ ප්‍රත්‍යක්ෂ විශාලම සංචිතය සහිත වෙනිසියුලාවේ තෙල් ඩැහැ ගැනීමට යි. පසු ගිය මාසයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් ෆොක්ස් නිව්ස් වෙත මෙසේ පැවසුවේ ය: “ වෙනිසියුලාවේ තෙල් හැකියාවන් තුල ආයෝජනය කරන හා නිෂ්පාදනය කරන ඇමරිකානු තෙල් සමාගම් අපට ඇත් නම්, එය එක්සත් ජනපදයට ආර්ථිකව විශාල වෙනසක් ඇති කරනු ඇත.”

ට්‍රම්ප් පාලනාධිකාරියේ කුරිරු ප්‍රකෝපකරනයට එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය තුල සැබවින් ම විරුද්ධත්වයක් නොමැති තරම්ය. ඊට වෙනස්ව, සංගත මාධ්‍ය කතාන්දරවලින් පිරෙන්නේ මදූරෝ දේශ සීමාවේ කඳුලු ගෑස් පාවිච්චි කරනු ඇති අතර දේශ සීමාව පසු කර යෑම වලකනු ඇති බවට කම්පාව ප්‍රකාශ කරමිනි. තම දේශසීමාවන්ට ප්‍රචන්ඩ ලෙස කඩා පනිමින් සිටින දක්ෂිනාංශික මැරයින්ට එරෙහි වෙනිසියුලාවේ මිලිටරියේ උපක්‍රම, ආරක්ෂාව ඉල්ලීමේ තම අයිතිය පාවිච්චි කිරීමට උත්සාහ ගනිමින් සිටින අසරන කාන්තාවන් හා ලමුන්ට එරෙහි ව එක්සත් ජනපද දේශසීමා මුරුකරුවන් විසින් යොදා ගැනෙන ක්‍රමවේදවලට සමාන වන බව සඳහන් නො කෙරේ.

වඩාත් ම කැපී පෙනෙන්නේ ට්‍රම්ප්ගේ තර්ජනයන්ට සුජාත බව නයට දී ඇති, ඩෙමොක්‍රටික් පක්ෂයේ තෙමේ ම කියා ගන්නා “වාමාංශයේ” ප්‍රතිචාරය යි. පසු ගිය සතියේ, ඩෙමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති නාමයෝජනා සඳහා තම අපේක්ෂත්වය නිවේදනය කල සෙනෙට් සභික බර්නී සෑන්ඩර්ස්, සෙනසුරාදා මෙසේ ට්වීටර් කලේ ය: “වෙනිසියුලාවේ මහජනයා බරපතල මානුසික අර්බුදයක් විඳවමින් සිටිති. මදූරෝ ආන්ඩුව මහජනයාගේ අවශ්‍යතා පලමු ව තැබිය යුත්තේ, රටතුලට එන මානුසික ආධාරවලට ඉඩ දෙමින් හා විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචන්ඩතා වලක්වමිනි.”

වෙනිසියුලාවට එරෙහි එක්සත් ජනපද යුද තර්ජනයට තමන් “වගකීමකින් වැඩ කරමින්” සිටිනවා යැයි, පෙබරවාරි මුල දී වාර්තාකාර මැක්ස් බ්ලූමෙන්තෝල්ට පැවසූ නිව් යෝක් කොංග්‍රස් මන්ඩල සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකැසියෝ කොර්ටෙස්, එතැන් සිට ප්‍රසිද්ධ ප්‍රකාශනක් නිකුත් කර නැත.

පසු ගිය සතියේ මියාමි වල තම ෆැසිස්ට්වාදී කතාවේ දී, ට්‍රම්ප් ප්‍රකාශ කලේ, “සමාජවාදයේ අඳුරු හෝරාව අපගේ අර්ධගෝලයට පැමින ඇති” බව යි. වෙනිසියුලාවට එරෙහි මෙම පාලනාධිකාරියේ යුද තර්ජනය අරමුනු දෙකක් වෙනුවෙන් සේවය කර යි. එක්සත් ජනපද පාලක පන්තිය ඉල්ලමින් සිටින්නේ ලතින් ඇමරිකාවේ සම්පූර්න යටත් වීම මෙන් ම කලාපයේ කම්කරුවන් හා සම්පත් කොල්ල කෑම මත ඇමරිකානු සංගතවලට නිදහස් පාලනය යි.

ඒ අතරම, සමාජවාදය මත ට්‍රම්ප්ගේ නාසි ආකාර ප්‍රහාරය එල්ල කෙරෙන්නේ එක්සත් ජනපදයේ කම්කරු පන්තියට එරෙහිව යි. වැඩවර්ජන ක්‍රියාකාරකම් පෙන්වන පරිදි කම්කරු පන්තිය වඩ වඩා කැරලිකාරී වෙමින් සිටි. කම්කරුවන් හා තරුනයන් අතර සමාජවාදය පිලිබඳ උනන්දුව වැඩෙමින් තිබේ. නමුත් අර්ධ වශයෙන්, මදූරෝ ආන්ඩුවේ සමාජවාදී විරෝධී, ධනේශ්වර ජාතිකවාදී ප්‍රතිපත්ති විසින් ඇති කෙරුනු සමාජ විනාශයන්, සමාජවාදය සමග අනන්‍ය කරමින්, ඇමරිකානු පාලක පන්තිය අපේක්ෂා කරන්නේ සමාජවාදයට නින්දා කිරීමට හා රට තුල දැවන්ත මර්දනයන් සූදානම් කරමින් විප්ලවයේ තර්ජනය ව්‍යවර්ථ කිරීමට ය.

ලෝක ඓතිහාසික ප්‍රමානයේ විනාශයක තර්ජනය නපුරු ලෙස සමීප වන්නේ එක්සත් ජනපදය වෙනිසියුලාව තුල යුද්ධය දෙසට තල්ලු වීමත් සමගිනි. ට්‍රම්ප් පාලනාධිකාරයේ යුද සැලසුම් නැවැත්වීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බලගතුම හතුරා, එනම් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්විය යුතු ය.

එරික් ලන්ඩන්

Share this article: