අවුෂ්විට්ස්හි ෆැසිස්ට්වාදීන්ගේ පාගමන

Fascists march in Auschwitz

2019 ජනවාරි 31

සෝවියට් රතු හමුදාව විසින් මුදා ගන්නා ලද අවුෂ්විට්ස් ඝාතක කඳවුරේ 74 වන සංවත්සරය නියමිත වූ ජනවාරි 27 දා දෙවන ලෝක යුද්ධයේදී නාසිවාදීන් විසින් විශ වායු භාවිතා කරමින් යුරෝපීය යුදෙව්වන් මිලියනයක් ඉක්මවා ඝාතනය කෙරුනු මෙම කඳවුරේ දොරටුව තුලින් 50 සහ 100 ක් අතර පෝලන්ත ජාතික ෆැසිස්ට්වාදියෝ පාගමනේ ගියහ. ෆැසිස්ට්වාදියෝ යුදෙව් විරෝධී සටන්පාඨවලින් කෑමොර දෙමින් පෝලන්ත ජාතික ගීය ගැයූහ. 2015 වසරේ උද්ඝෝෂනයකට නායකත්වය දෙමින්, එහිදී යුදෙව්වකු නිරූපනය කල පඹයකුට ගිනිතැබීම අරබයා කුප්‍රකට වූ පිඔටර් රයිබැක් ප්‍රකාශ කලේ “යුදෙව්වන්ට එරෙහිව සටන් කරමින් ඔවුන්ගෙන් පෝලන්තය නිදහස් කර ගැනීමේ කාලය එලඹී ඇත.” යනුවෙනි.

"වැඩෙහි යෙදීම ඔබව නිදහස් කරනු ඇත" නමැති පාඨය සහිත අවුෂ්විට්ස්හි ගේට්ටුව

ෆැසිස්ට්වාදය විසින් සිදු කෙරුනු බියකරු අපරාධවල සංකේතයක් ලෙස විශ්ව පරිමානව සැලකෙන අවුෂ්විට්ස් සිහිවටනය අසල මෙවැනි යුදෙව් විරෝධී අන්ත දක්ෂිනාංශික උද්ඝෝෂනයක් ඓතිහාසිකව පෙර නොවූවිරූය. මෙම සාහසික සිද්ධිය ස්ටැලින්වාදී රාජ්‍යයන් දිය කර හරිනු ලැබීමේ සහ ධනවාදය පුනස්ථාපනයේ පටන් පෝලන්තයේත් නැගෙනහිර යුරෝපය පුරාත් දිග හැරෙමින් පවතින දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

මෙම වසර සනිටුහන් කරන්නේ 1989 දී ස්ටැලින්වාදී නිලධරයන් ලවා නැගෙනහිර යුරෝපයේ ආන්ඩු දිය කර හරිනු ලැබීමේ 30 වන සංවත්සරයයි. මින් කෙටි කලකට පසුව 1991 දෙසැම්බරයේ සෝවියට් නිලධාරි තන්ත්‍රය සෝවියට් සංගමය විනාශ කරමින් රුසියාව තුල සම්පූර්නයෙන්ම ධනවාදය පුනස්ථාපනය කලේය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ගොඩ නැගුනු නැගෙනහිර යුරෝපීය රටවල්වල විකෘති කම්කරු රාජ්‍යයන් විනාශ කිරීමට සහ සෝවියට් සංගමය දිය කර හරිනු ලැබීමට හැකි වූයේ ඔක්තෝබර් විප්ලවයේ ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී මූලධර්ම පාවාදෙමින් කම්කරු පන්තිය අවමන්ගත කෙරුනු ස්ටැලින්වාදයේ දශක ගනනාවක් හරහාය. ලියොන් ට්‍රොට්ස්කි අනතුරු ඇඟවුම් කල පරිදි, කම්කරු පන්තිය විසින් දේශපාලන විප්ලවයකින් පෙරලා නොදැමුවහොත් ස්ටැලින්වාදී නිලධරය නව පාලක පන්තියක් බවට තමන්ම පරිවර්තනය වනු ඇත. නිසැකවම සිදුවූයේ මෙයයි.

මෙම ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවලිය ධනේශ්වර දෘෂ්ටිවාදීන් විසින් “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස උත්කර්ෂයට නංවනු ලැබ යුක්තියුක්ත කෙරින. කම්කරුවන්ට පැවසුනේ ප්‍රතිඵලය සැමට ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ සෞභාග්‍යය වනු ඇති බවයි. සිදු වී ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධයයි.

ධනවාදී පුනස්ථාපනය නැගෙනහිර යුරෝපය පුරාත් පූර්ව සෝවියට් සංගමය පුරාත් සමාජ අසමානතාවය අතිශය අශිෂ්ට මට්ටමකට වර්ධනය කරමින් මිලියන ගනන් කම්කරුවන් කාලකන්නිභාවයට ඇද දමා ඇත. තවත් ලෝක යුද්ධයක් සඳහා ක්‍රමානුකූල අධිරාජ්‍යවාදී සූදානම් කිරීම් සඳහා කෙන්ද්‍රීය වේදිකාවක් බවටද කලාපයම පරිවර්තනය කෙරී ඇත. සැබවින්ම මෙම සියලුම රටවල් දැන් පාලනය වන්නේ යුද්ධයට සූදානම් වෙමින්, යුදෙව් විරෝධය උත්සන්න කරමින් සහ පොලිස් රාජ්‍යය පියවරයන් ක්‍රියාත්මක කරමින් සිටි උමතු ජාතිකවාදී තන්ත්‍රයන් විසින්ය.

ෆැසිස්ට්වාදී විරෝධතාකරුවෝ පෝලන්තය රජයේ නිල ප්‍රතිපත්තිය ප්‍රකාශ කලහ. 2018 මුලදී දී අන්ත දක්ෂිනාංශික නීතිය සහ යුක්තියේ පක්ෂය (Law and Justice Party-mSwhstia) විසින් මෙහෙයවුනු පෝලන්තය ආන්ඩුව, එකල පෝලන්තය ආන්ඩුව විසින් සිදු කරන ලද හොලෝකෝස්ටයේ (මහා යුදෙව් ජන ඝාතනයේ-the Holocaust) අපරාධ ගැන කුමන හෝ සඳහන් කිරීම තහනම් කලේය. එතැන් පටන් පෝලන්ත යුදෙව් විරෝධය සහ යුදෙව් විරෝධී සංහාරයන් පිලිබඳ නිරත වෙමින් සිටි ඉතිහාසඥයින් සංඛ්‍යාවක් රැකියාවලින් නෙරපා හරින ලදී.

ජනවාරි 27 දා නිල අව්ෂ්විට්ස් සමරු උලෙලට සහභාගිවූ පෝලන්ත අගමැති මටේඋස් මොරවීකි (Mateusz Morawiecki) ඇතුලු මුල්පෙල රාජ්‍ය නිලධාරීන් නොවැම්බර් මස පෝලන්ත නිදහස් දිනයේදී පෝලන්තයෙන් සහ අනෙකුත් යුරෝපීය රටවලින් පැමිනි ෆැසිස්ට්වාදීන් සමග එක්ව පාගමනේ ගියහ.

පෝලන්තයේ සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල ෆැසිස්ට්වාදයේ පුනර්ජීවනය දක්වන්නේ ජාත්‍යන්තර ක්‍රියාවලියක සුවිශේෂ තියුනු ප්‍රකාශනයකි.

ජර්මනිය තුල මහා සභාග ආන්ඩුව සිතාමතාම නව නාසිවාදී ජර්මනිය සඳහා විකල්ප පක්ෂය (ඒඑෆ්ඩී), ප්‍රධාන විපක්ෂය බවට පත් කරමින් එහි ප්‍රතිපත්ති සහ වාචාලත්වයන්හි ප්‍රමූඛ අංශයන් ක්‍රියාත්මක කර ඇත. පසුගිය වසර පුරා අන්ත දක්ෂිනාංශයට එරෙහිව සිය දහස් ගනන් ජනතාව උද්ඝෝෂනයේ යෙදෙන අතරේ, “හිට්ලර් දුෂ්ඨ නොවීය” යනුවෙන් ප්‍රසිද්ධියේ පැවසූ හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ විද්වතකු වන ජෝර්ජ් බාබරොව්ස්කිට ප්‍රමූඛ දේශපාලන පක්ෂවලත් බර්ලිනයේ කීර්තිධර හුම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මාධ්‍යවලත් පිටුබලය සහිතව නාසිවාදයේ අපරාධ සාපේක්ෂකරන කිරීමට ඉඩ හැරිනි.

ප්‍රන්සයේදී කහ බැනියම් ව්‍යාපාරය වෙත රුදුරු කඩාපැනීම මෙහෙයවූ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් “ශ්‍රේෂ්ඨ සොල්දාදුවකු” ලෙස ෆැසිස්ට්වාදී ආඥාදායක ෆිලිප් පෙටේන් ව මෑත දී උත්කර්ෂයට නැංවිනි.

යුක්රේනයේදී දෙවන ලෝක යුද සමයේදී පෝලන්තවරුන්ද යුදෙව්වරුන්ද සහ යුක්රේන් සිවිල් ජනයාද සමූල ඝාතනයේ යෙදුනු යුක්රේන ෆැසිස්ට්වාදී නායක ස්ටෙෆාන් බන්දෙරා සහ ඔහුගේ ව්‍යාපාරය සැමරීම, 2014 පෙබරවාරි එජ පිටුබලය ලත් අන්ත දක්ෂිනාංශික බලකොල්ලයේ පටන් නිල රාජ්‍යය ප්‍රතිපත්තිය බවට පත්වී ඇත.

එක්සත් ජනපදය තුල ට්‍රම්ප් ආන්ඩුව ක්‍රමානුකූලව ෆැසිස්ට් පන්නයේ මනෝ භාවයක් අවුලුවා ඇති අතර එය පසුගිය ඔක්තෝබරයේ ඇමරිකානු භූමියේ පිට්ස්බර්ග් හි යුදෙව් පල්ලියක් තුල මෙතෙක් යුදෙව්වන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයට පාර කැපුවේය.

ෆැසිස්ට්වාදී බලවේගයන්ගෙන් රාජ්‍යය ගොඩ නැගීම වනාහි ලෝක ධනවාදී අර්බුදයට ධනපති පන්තිය දක්වන ප්‍රතිචාරයයි. ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල උත්සන්න වෙමින් ඇති කැරලිකාරිත්වය හමුවේ ධනපති ආන්ඩු සෑමතැනම කම්කරු පන්තිය බෙදීම සඳහා ජාතිකවාදය සහ අන්ත දක්ෂිනාංශය වඩවමින්ද යුද්ධය සහ ප්‍රතිවිප්ලවය සඳහා කොන්දේසි සහ බලවේගයන් සූදානම් කරමින්ද සිටියි. ඓතිහාසිකව ගත්කල යුදෙව් විරෝධය උත්සන්න කිරීම, විශේෂයෙන්ම සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ නැගීම සමනය කිරීම සඳහා ධනපති පන්තිය විසින් භාවිතා කෙරුනු කේන්ද්‍රීය දෘෂ්ඨිවාදී මෙවලමක් වී ඇත.

ජර්මනිය තුල අන්ත දක්ෂිනාංශයේ නැගීම සහ ප්‍රමූඛ විද්වතුන් විසින් හිට්ලර් පුනස්ථාපනය කිරීම මුලුමනින්ම මෙන් වාර්තා වී නොමැති අයුරින්ම, අව්ෂ්විට්ස්හි ෆැසිස්ට්වාදී පාගමන පිලිබඳව ද දුස්සහය ලබා දෙන ලෙස එය ධනපති මාධ්‍යයන්ට කියා සිටියි.

ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය යන මැයෙන් මෑත ඉදිරිදර්ශන ලියවිල්ලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙසේ අනතුරු ඇඟවීය.

ෆැසිස්ට්වාදය තවමත් එය 1930 ගනන්වලදී පැවතියාක් මෙන් මහජන ව්‍යාපාරයක් නොවේ. එහෙත් වර්ධනය වන අනතුර නොසලකාහැරීම දේශපාලනිකව වගකීම් විරහිත විය හැකිය. පාලක පන්තියේ කොටස් සහ රාජ්‍යයේ උදව් ඇතිව දක්ෂිනාංශික ව්‍යාපාරවලට ජනප්‍රියවාදී ලෙස ජනගහනයේ පුලුල් කොටසකගේ කලකිරීම සහ කෝපය ගසාකෑමට හැකිවී තිබේ. මෙම තත්වය යටතේ දක්ෂිනාංශයේ සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්ගේ පුනර්ජීවනයට එරෙහිව සටන හදිසි දේශපාලන කර්තව්‍යයක් වනු ඇත.

අව්ෂ්විට්ස් හි ඝාතනයට ගොදුරුවූවන්ගේ මතකය නාසි කුනුකන්දල්වලින් සමන්විත දාමරික කල්ලියක් විසින් කෙලෙසෙනු ලැබීමේ දර්ශනය ජුගුප්සාජනක වන අතර එයට පිලිතුරු දිය යුතුව ඇත. එහෙත් ප්‍රතිචාරය දැනුම් දිය යුත්තේ ධනවාදය ද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ද සහ ෆැසිස්ට්වාදී ප්‍රතිගාමීත්වය අතර පවතින සූක්ෂම අවුල පිලිබඳ අවබෝධ සහිතවය. හුදු සදාචාරාත්මක හෙලාදැකීම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස ධනේශ්වර පක්ෂවලට ආයාචනය කිරීම මගින් ෆැසිස්ට්වාදය පරාජය කල නොහැක. ෆැසිස්ට්වාදයට එරෙහි සටන වනාහි සම්මුති විරහිත ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත කම්කරු පන්තියේ බලමුලු ගැන්වීම ඉල්ලා සිටින දේශපාලන අරගලයකි.

මෙවැනි අරගලයක් සඳහා සමාජ පදනම දැන් හිස ඔසවමින් සිටියි: දශක දෙකකින් උතුරු ඇමරිකානු මහාද්වීපයේ විශාලතම වැඩ වර්ජනය වන මෙක්සිකෝවේ මැටමොරොස්හි මෝටර්රථ කම්කරුවෝ 70,000 වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෝටර්රථ කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් හන්ගේරියාවේද පුපුරා ගොස් ඇත. එක්සත් ජනපදයේ ගුරුවරු වෘත්තීය සමිති නොතකා රාජ්‍යය අධ්‍යාපනයට එරෙහි ප්‍රහාරවලට එරෙහිව අවස්ථා ගනනනාවකදීම වැඩ වර්ජනවලට පැමින ඇත. ඉන්දියාවේ මිලියන ගනනක් දින දෙකක මහා වැඩ වර්ජනයක් පැවැත්වූ අතර තමිල්නාඩුවේ ලක්ෂ ගනනක් තවමත් වැඩ වර්ජනයේ නිරත වෙමින් සිටිති. ධනේශ්වර ප්‍රතිගාමිත්වයට එරෙහිව මෙම අරගල ව්‍යාප්ත කරමින්, ඒකාබද්ධ කරමින් සහ මාක්ස්වාදී වැඩපිලිවෙලින් සන්නද්ධ කරමින් කම්කරු පන්තියේ දැනුවත් විප්ලවවාදී ව්‍යාපාරයක් දෙසට හැරවිය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් වැදී සිටින්නේ ඒ සඳහාය.

ක්ලාරා වයිස්

Share this article: