මෝටර් රථ කම්හල් වසා දැමීමට එරෙහි ව පෙබරවාරි 9දා ඩිට්‍රොයිට්හි පැවැත්වෙන විරෝධතාව

රැකියා ආරක්ෂා කරගැනීමේ වැඩපිලිවෙල හා මූලෝපාය

February 9 demonstration against auto plant closures in Detroit: The program and strategy to defend jobs

2019 පෙබරවාරි 1

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ මෝටර් කම්කරු ප්‍රවෘත්ති ලිපිය හා ක්‍රියාකාරී කමිටු එකමුතුවේ මෙහෙයුම් කමිටුව මිචිගන්හි ඩිට්‍රොයිට්හි ජෙනරල් මෝටර්ස් මූලස්ථානය ඉදිරිපිට දී පෙබරවාරි 9දා විරෝධතාවක් පවත්වනු ඇත.

මිචිගන්හි හැම්ට්‍රැම්ක්, ඔහියෝහි ලෝඩ්ස්ටවුන් හා ඔන්ටාරියෝහි ඔශාවා ඇතුලු කම්හල් පිහිටා ඇති ප්‍රදේශවල දහස් ගනන් කම්කරුවන්, ඔවුන්ගේ පවුල් හා ප්‍රජාවන්ට විනාශකාරී විපාක ගෙන දෙමින් එක්සත් ජනපදයේ හා කැනඩාවේ ජෙනරල් මෝටර්ස් මෝටර් රථ කම්හල් පහක් වැසීමට කරන සැලසුම්වලට එරෙහි සාමාන්‍ය කම්කරුවන්ගේ පලමු සංවිධිත ප්‍රකාශනය මෙම විරෝධතාව යි.

විරෝධතාව පදනම් වන්නේ පැහැදිලි ක්‍රියාමාර්ගයක් හා මූලෝපායක් මත යි. ජෙනරල් මෝටර්ස් සමාගමට හා එහි සංගත විධායකයන්ට කරන ආයාචනයක් නො වන එය, අත්‍යන්තයෙන් දූෂිත හා වරප්‍රසාදිත විධායකයින් දුවවනු ලබන සංගත-පාලිත වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හරහා සටන්වැදීමට ඇති ශක්තිය හා අධිෂ්ටානය පෙන්නුම් කිරීමට කම්කරුවන්ට කරන කැඳවුමකි.

කම්හල් වසාදැමීම වහා ම නැවැත්වීම, ස්ථර දෙකේ වැටුප් හා ප්‍රතිලාභ පද්ධතිය අහෝසි කිරීම, සියලු තාවකාලික කම්කරුවන් පූර්න-කාලිකයන් බවට පරිවර්තනය කිරීම සහ දොට්ට දැමූ හා දඩයම් කල සියලු කම්කරුවන් යලි වැඩට ගැනීම එමගින් ඉල්ලා සිටිනු ඇත. සංගත කලමනාකරනයේ වැඩහල් ආඥාදායකත්වයට විරුද්ධ ව, කාර්මික ප්‍රජාතන්ත්‍රවාදය, නිෂ්පාදනයේ කම්කරු පාලනය සහ යෝධ මෝටර් රථ සමාගම් පුද්ගලික ලාබය වෙනුවට සමාජ අවශ්‍යතා මත ධාවනය කරන මහජන උපයෝගීතාවන් බවට පරිවර්තනය කිරීම පිනිස එය සටන් වදිනු ඇත.

මෙම විරෝධතාව පැවැත්වෙන්නේ එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද වැඩෙන පන්ති අරගලයේ කොන්දේසි යටතේ ය. අභ්‍යන්තර කන්ඩායමික හා භූ-දේශපාලනික ගැටුම් මගින් ඉරා දමන ලද ධනපති ප්‍රභූන්, පෙර නුවූ විරූ ධනස්කන්ධයක් ගොඩගසාගැනීමට සූරා කනු ලබන කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයේ දී එක්සත් ය. ලෝකය පුරා, කම්කරු පන්තියෙන් ධනවතුන් කරා ධනය වැඩිදුර යලි බෙදාහැරීමක හී තුඩ ලෙස මෝටර් රථ කර්මාන්තය ප්‍රතිව්‍යූහගත කිරීමක ධනපතීහු යෙදී සිටිති.

පාලක පන්තියේ සමාජ ප්‍රතිවිප්ලවය වැඩෙන ප්‍රතිවිරෝධයකට මුහුන දෙයි. මෙම ප්‍රතිවිරෝධතාව පලමුව නිවේදනය කිරීමෙන් පසු දිනවල, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ මෙක්සිකෝවේ මැටමොරොස්හි කම්කරුවන් දසදහස් ගනනක් වෘත්තීය සමිතිවලින් පිටස්තර වර්ජනයක් දියත් කල හ. ස්වාධීන සංවිධාන ගොඩනැගූ කම්කරුවො "වෘත්තීය සමිතිය හා සමාගම කම්කරුවන් මරාදමනවා" යන බැනරය යටතේ පෙලපාලි දැක්වූ හ. උතුරු ඇමරිකානු මෝටර් රථ කර්මාන්තයේ නිෂ්පාදනය වසාදැමීමට තර්ජනය කල වර්ජනය, එක්සත් ජනපදයේ, කැනඩාවේ හා මෙක්සිකෝවේ කම්කරුවන්ගේ පොදු පන්ති අවශ්‍යතා ප්‍රදර්ශනය කර තිබේ.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් කෙරෙහි බියපත් වූ සංගත මාධ්‍ය හා වෘත්තීය සමිති මැටමොරොස් වර්ජනය වාර්තා කිරීමෙන් මුලුමනින් ම වැලකුන හ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා අරගලය ගැන දැනුවත් වූ එක්සත් ජනපද මෝටර් රථ කම්කරුවෝ, මෝටර් රථ සමාගම්වලට එරෙහි ඒකාබද්ධ ප්‍රහාරයක් සඳහා ශක්තිමත් ව සහාය පලකරමින් ප්‍රතිචාර දැක්වූ හ. "ලොව පුරා අපගේ සහෝදර සහෝදරියන් විසින් මෙම අරගලයට එක්වන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා" යි ටොලේඩෝ ජීප් රථ එකලස් කම්හලේ කම්කරුවෙක් ලෝසවෙඅ වෙත ලිවී ය.

2019 වසරේ පලමු මාසය යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකාව තුල ප්‍රධාන පන්ති අරගල මාලාවක් දැකගෙන ඇති අතර, ඒවාට හංගේරියාවේ මෝටර් රථ කම්කරුවන් 13,000ක වර්ජනයක්, ඉන්දියාවෙහි තමිල්නාඩුවේ සියදහස් ගනන් ගුරුවරුන් හා රජයේ සේවකයන්ගේ වර්ජනයක් සහ සුඩානයේ හා සිම්බාබ්වේහි කම්කරුවන්ගේ මහජන විරෝධතා ඇතුලත් ය. ප්‍රන්සය තුල "කහ බැනියම්" විරෝධතාකරුවන් සමග නිදහස් අධ්‍යාපනයේ ඛේදජනක තත්ත්වයට විරුද්ධ ගුරුවරුන්ගේ "රතු පෑන්" විරෝධතාවන් එක් වී ඇත.

එක්සත් ජනපදය තුල ලොස් ඇන්ජලීස්හි ගුරුවරුන් 33,000ක වර්ජනයකට පසු ගුරුවරුන්ගේ අතෘප්තියේ නව රැල්ලක් පැමිනෙමින් තිබේ. කැලිෆෝනියාවේ ඕක්ලෑන්ඩ්හි රජයේ පාසල්වලින් තුනෙන් පංගුවක් වසාදැමීමේ සැලසුම්වලට එරෙහි ස්වයං-සිද්ධ ලෙඩ නිවාඩු දැමීම් මාලාවක නිරත වූ ගුරුවරු අද දින වැඩ වර්ජනයක් බලාත්මක කිරීමට ඡන්දය පාවිච්චි කරනු ඇත. කොලොරාඩෝහි ඩෙන්වර් නගරයේ ගුරුවරුන් ශතවර්ෂ කාලකට පසු පලමු වරට වර්ජන ක්‍රියාවක් අනුමත කර ඇති අතර, වර්ජිනියාවේ ගුරුවරු ප්‍රාන්ත අගනුවර දී ජනවාරි 28දා මහා විරෝධතාවක නිරත වූ හ.

පෙබරවාරි 9 විරෝධතාව පදනම් වන්නේ, කම්කරු පන්තියේ ස්වාධීන සංවිධානය වීමකින් තොර ව රැකියා ආරක්ෂා කරගත නො හැකි ය යන අවබෝධයයි. විරෝධතාව කැඳවුම් කරමින් මෙහෙයුම් කමිටුව නිකුත් කල ප්‍රකාශය සඳහන් කරන පරිදි, එක්සත් ජනපදයේ එක්සත් මෝටර් කම්කරු සමිතිය හා කැනඩාවේ යුනිෆෝර් සමිතිය වනාහි "ආදායම් උපයන්නන්ගේ ඉහල ම සියයට 3ට අයත් වන විධායකයින් විසින් පාලනය කරන ලාබ ශ්‍රම කොන්ත්‍රාත්කරුවන් හා කාර්මික පොලිස් බලකායන් වන ව්‍යාපාරයන් ය."

රැකියා විනාශ කිරීමේ දී සහ කම්කරුවන්ගේ වැටුප් හා කොන්දේසි මත ප්‍රහාර එල්ල කිරීමේ දී දශක ගනනාවක් මෝටර් රථ සමාගම් සමග ඒකාබද්ධ වී ඇති යූඒඩබ්ලිව් හා යුනිෆෝර්, කම්හල් වසාදැමීමට එරෙහි කිසිවක් නො කරති. ගෝලීය මෝටර් රථ රැකියා විනාශ කිරීම අභියසදී වෘත්තීය සමිති වර්ජනයක් තබා තනි විරෝධතාවක් වත් සංවිධානය නො කරති.

ඔබාමා පරිපාලනය විසින් නව කම්කරුවන්ගේ වැටුප් අඩකින් කපමින්, දොට්ට දැමු කම්කරුවන්ට ලබා දෙන ආදායම් සුරක්ෂාව අවසන් කරමින් හා විශ්‍රාමිකයන්ට ලබාදෙන දන්ත හා දෘෂ්ටි දීමනාව අවසන් කරමින් සිදුකරන ලද මෝටර් කර්මාන්ත ප්‍රතිව්‍යූහකරනයේ කොටස් ලෙස 2009 දී යූඒඩබ්ලිව් විසින් තල්ලු කරගත් ප්‍රතිලාභ ප්‍රදර්ශනය කරන පිලිකුල් කටයුතු වීඩියෝවක් මේ සතියේ නිකුත් කරනු ලැබී ය. "අපි ඔබ තුල ආයෝජනය කලා" යි ජෙනරල් මෝටර්ස් වෙත අවධාරනය කල යූඒඩබ්ලිව්, "දැන් වාරය අප තුල ඔබ විසින් ආයෝජනය කිරීමට" යි කීවේ ය. "අප තුල ආයෝජනය කරන" ලෙස යූඒඩබ්ලිව් නිලධාරීන් විසින් ජෙනරල් මෝටර්ස් වෙත කරන ආයාචනා මාලාවක එල්ලය වන්නේ දිරිසුන් බව පැතිරවීම මිස වෙන කිසිවක් නො වේ.

යථා කරුන වන්නේ, ජෙනරල් මෝටර්ස් හා අනෙකුත් ප්‍රධාන මෝටර් රථ සමාගම්වල කම්කරුවන්ගේ පලල් විරෝධය මධ්‍යයේ ප්‍රතිලාභ කොන්ත්‍රාත්තු මාලාවක් තල්ලු කරගැනීම මගින් කර ඇති ලෙස, මෝටර් රථ කම්කරුවන් සූරාකෑම ඉහල දැමීම සඳහා ආසක්ත අවශ්‍යතා සහිත සමාගමේ ප්‍රධාන ව්‍යාපාර වස්තු හිමියෙක් බවට පත්වීම මගින්, යූඒඩබ්ලිව් සමිතිය "ජෙනරල් මෝටර්ස් තුල ආයෝජනය" කල බව යි. යූඒඩබ්ලිව් වෙත පවරා ඇති භූමිකාව ඉටුකිරීමට හිලවු ලෙස ලැබුනු ඍජු ගෙවීම් හරහා සංගත විධායකයෝ "යූඒඩබ්ලිව් තුල ආයෝජනය කල" බව පසුගිය වසරේ පුපුරා ගිය දූෂන සෝලිය හෙලිදරවු කලේ ය.

ලොස් ඇන්ජලීස් ගුරුවරුන්ගේ වර්ජනයේ දී ලොස් ඇන්ජලීස් එක්සත් ගුරු සමිතිය (යූටීඑල්ඒ) හා එහි මව් සංවිධාන වන ඇමරිකානු ගුරු සම්මේලනය හා ජාතික අධ්‍යාපන සේවා සංගමය, අරගලය නතර කිරීම සඳහා වඩාත් ම නග්න ප්‍රජාතන්ත්‍ර -විරෝධී ආකාරයෙන් කුනු වුනු එකඟතාවක් සම්මත කරගැනීමට පසුගිය මාසයේ කටයුතු කල හ. පිකට් වැටවල දවස් හයක් ගතකිරීමෙන් පසු, ගනුදෙනුව පිලිබඳ ඡන්ද විමසීමට පෙර රහස් කාමරවල පාසල් මන්ඩලය හා ඩිමොක්‍රටික් දේශපාලනඥයන් සමග එකඟ වී තිබූ කුනු වූ ගිවිසුම විමර්ශනය කිරීමට යූටීඑල්ඒ විසින් ගුරුවරුන් වෙත ලබාදුන්නේ පැය කිහිපයක් පමනි. ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතා හා මෙක්සිකෝවේ වර්ජන යන අවස්ථා දෙකේ දී ම, අරගලය නො නැසී පැවතීමට හේතු වී ඇත්තේ කම්කරුවන් වෘත්තීය සමිතිවලට පිටතින් සංවිධානය වීම යි.

එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද කම්කරුවන්ගේ අරගලවල වෛෂයික ගාමකය පවත්නේ, බලය සඳහා ද ධනේශ්වර පද්ධතියට එරෙහි ව ද වන අරගලයකට කම්කරු පන්තියේ සියලු කොටස් ඇද ගනිමින් කරන දේශපාලනික මහා වැඩ වර්ජනයක් දෙසට යි. තමන් නියෝජනය කරනවා යයි කියන කම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට ඍජු ව විරුද්ධ අවශ්‍යතා සහිත වරප්‍රසාදිත විධායකයන් විසින් පාලනය කරන සංගත-හිතවාදී හා ජාතිකවාදී වෘත්තීය සමිති සමග ගැටුමකට එම ගාමකය විසින් කම්කරුවන් ගෙන එනු ලැබෙමින් තිබේ.

පන්ති අරගලයේ වර්ධනය විප්ලවීය සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයක් හා ක්‍රියාමාර්ගයක් සමග බද්ධ කරමින් එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද කම්කරුවන්ගේ අරගල වර්ධනය හා ඒකාබද්ධ කොට ඒවා දිරිමත් කොට සහාය දීම පිනිස ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය අපට කල හැකි සෑම දෙයක් ම කරනු ඇත. පෙබරවාරි 9 විරෝධතාවට සහභාගි වන ලෙසත් එයට සහයෝගය පලකරමින් පනිවුඩ එවන ලෙසත් සියලු කම්කරුවන් හා තරුනයන්ගෙන් අපි ඉල්ලමු.

ජෝසෆ් කිෂෝර්

Share this article: