තැතිගැන්මේ තරම: සමාජවාදයට එරෙහිව ට්‍රම්ප් පරුෂ ලෙස බැන වදියි

State of Fear: Trump unleashes tirade against socialism

2019 පෙබරවාරි 6

ඊයේ (පෙබරවාරි 5) රාත්‍රියේ ට්‍රම්ප්ගේ සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ වාර්ෂික නිල දේශනයේ නරුම හා කුහක රැවටිල්ල (රැස් වූ සෙනෙට් සභිකයන් හා නියෝජිතයින්ගේ දේව ස්ත්‍රෝත්‍ර, නැගිට ඔල්වරසන් දීම්, හා යූඑස්ඒ!, යූඑස්ඒ යැයි ගැයීම) මධ්‍යයේ ජනාධිපති ඇමරිකානු දේශපාලනයේ තතු හා පාලක ප්‍රභූවේ සැබෑ උත්සුකතා ගැන බොහෝ දේ පවසන අපූර්ව ප්‍රකාශයක් කලේ ය.

ඇමරිකානු ඉතිහාසයේ පලමු වතාවට, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු, ජාතික පරිමාන රූපවාහිනී කතාවක දී, සමාජවාදය සඳහා වැඩෙන මහජන සහයෝගය ප්‍රතික්ෂේප කලේ ය. “අපේ රටේ සමාජවාදය පිලිගැනීමේ නව ඉල්ලීම්වලින් අපි තැති ගැනිලා” යැයි ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය. “අද රාත්‍රියේ, ඇමරිකාව කවරදාකවත් සමාජවාදී රටක් නො වෙනු ඇත යි යන අපගේ අධිෂ්ඨානය අපි අලුත් කරමු.” ඩෙමොක්‍රටිකයන් මෙන් ම රිපබ්ලිකානුවන්ගෙන් යුත් ඔහුගේ ප්‍රේක්ෂකයින් තම අනුමැතිය තහවුරු කලේ අත්පොලසන් දෙමිනි.

සියලුම පුරසාරම් හා “සමූහ රාජ්‍යයේ තත්වය ශක්තිමත්” බවට කෙරෙන අනිවාර්ය ප්‍රකාශ පිටුපසින්, ට්‍රම්ප්ගේ සඳහන් කිරීම්වලට තිබුනේ බන්කරයක සිට කරන කතාවක ස්වභාවයකි. පාලක පන්තිය තම ගෝලීය තත්වයට එරෙහිව වැඩිවෙන අභියෝගවලට පමනක් නොව, නමුත් ඊටත් වඩා සැලකියයුතු ලෙස, වැඩෙන්නා වූ සමාජ අසහනයේ සංඥා හා වැඩවර්ජන ක්‍රියාකාරකම්වල පුනර්ජීවනයට බිය වෙති.

මෙම භීතියේ මූලාශ්‍රය බර්නී සෑන්ඩර්ස් හා සමාජවාදයෙන් තෙමේ ම දුරස්ථ වීමට සමූහ රාජ්‍ය පිලිබඳ දේශනයෙන් පසු සම්මුඛ සාකච්ඡාවක් ප්‍රයෝජනයට ගත්, ඇලෙක්සැන්ඩි්‍රයා ඔකෑසියෝ කෝර්ටෙස් වැනි කමකට නැති ඩෙමොක්‍රටික් පක්ෂ දේශපාලඥයින් නො ව, පාලක පන්තිය දකින රට පුරා නගරවල දිග හැරෙමින් පවතින දෙයයි.

මෙය හුදෙක් ඇමරිකානු ප්‍රපංචයක් නො වේ. ගෙවී ගිය වසර ගුනාංගීකරනය කෙරී ඇත්තේ පන්ති අරගලයේ ජාත්‍යන්තරතර වර්ධනය විසිනි.

ල මොන්ඬේ ඩිප්ලොමැටික් නම් ප්‍රන්ස පුවත්පතේ මෑත ම මුද්‍රනය, “ප්‍රන්සයේ පන්ති යුද්ධ” නම් ලිපියක මෙසේ අනතුරු අඟව යි: “ප්‍රන්ස ප්‍රභූවට අඩ සියවසක් තුල එවැනි බියක් දැනුනේ නැත. එය මැතිවරන පරාජයක බිය, ‘ප්‍රතිසංස්කරනයට’ අසමත් වීම, හෝ කොටස් වෙලඳපොල තුල තම කොටස් ලුහුටා යාමක් දැකීම වැනි සුපුරුද බියක් නො ව, කැරල්ලක, විප්ලවකාරී නැගිටීමක, හා බලය අහිමි වීමේ බියකි. 2018 දෙසැම්බර් 1වැනිදා (කහ බැනියම්) වීදි විරෝධතා ඇතමුන්ට තද හදිසි සීතලක් දැනීමට හේතු කාරක විය. ”

මෙම පුවත්පත මහා කාර්මික සමූහ ප්‍රධානීහූ “තමන්ගේ හිස් උල තියයි කියලා පලමු වරට සැබෑවට ම බිය වෙති” පැවසූ ව්‍යාපාර-ගැති මාධ්‍යවේදියෙකුගේ අදහස් උපුටා දැක්වී ය. “ඉහල ලොක්කෝ ‘සැබවින් ම බොහෝ කනස්සලු’ බව වාර්තා කල ඡන්ද සංවිධාන නියෝජිතයෙක් වාතාවරනය තමන්ට 1936 හා 1968ට සමාන සිදුවීම් මතක් කර දෙන” බව පැවසී ය.

ප්‍රන්සයේ සත්‍ය වන දේ එක්සත් ජනපදයේ ද සත්‍ය යි. ට්‍රම්ප්ගේ ප්‍රකාශනය ඇමරිකානු ධනවාදයේ ප්‍රගාඪ අර්බුදය හා වොෂින්ටනයේ ප්‍රචන්ඩ දේශපාලන පෙරෙලිවල සැබෑ ගාමක බලවේගය පිලිබඳ ක්ෂනික දර්ශනයක් ලබා දෙයි. හුරුපුරුදු හිස් නිල අලංකාරය හා උත්සව ප්‍රදර්ශන, කතානායකගේ අවසානයක් නැති බොරු හා නිස්සාර කියමන්වල පිටාර යාම සමග පිට්ස්බර්ග් ධර්මාශ්‍රමයේ සංහාරය වැනි ඛේදකවාචකයන්ගේ විපතට ලක්වූවන් ගසා කෑම ආදිය තුල, ඉතිහාසය ඔහුගේ කතාවේ මතක් කරනු ඇති එක ම දෙය වනු ඇත්තේ එයයි.

මීට පෙර පාලනාධිකාර යටතේ පැවති සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ දේශන තුල, පාලක පන්තියේ සමාජවාද විරෝධී දුස්ස්වප්නය යොමු කෙරුනේ සෝවියට් සංගමය, චීනය හෝ වෙනත් විදේශ රටකට ය. ට්‍රම්ප් යටතේ මෙම භීතීන් යොමු කෙරුනේ අභ්‍යන්තර හතුරෙකුට, එනම් පෙරලිකාරී වන ඇමරිකානු කම්කරුවන් හා තරුනයන්ට එරෙහිව යි.

ජෝර්ජියා ප්‍රාන්තයේ හිටපු ආන්ඩුකාර අපේක්ෂිකා ස්ටේසි ආබ්‍රහම් විසින් නිකුත් කෙරුනු ඩෙමොක්‍රටික පාර්ශ්වයේ ප්‍රතිචාරය සාමාන්‍ය තත්වයටත් වඩා ලජ්ජා සහගත මෙන් ම ඛේදනීයය. අනන්‍යතා දේශපාලනය පිලිබඳ ඩෙමොක්‍රටිකයන්ගේ අවසනායක් නැති මෙහෙයවීම සමග ට්‍රම්ප්ගේ ‘සාර්ථකත්වය’ සහතික කිරීමට ඔහු සමග වැඩ කිරීමේ පොරොන්දුවක් ආබ්‍රම්ස් එක් කලේ, පුලුල් මහජනතාව මුහුන දෙමින් සිටින අර්බුද ගැන නො ව, ඈ ගැන ම දීර්ග ලෙස කතා කරමිනි.

ට්‍රම්ප්ගේ ඉව බව නැති ප්‍රකාශන යෝජනා කරන පරිදි, පහලින් වැඩෙන අභියෝගයට ධනේශ්වර පාලක පන්තිය ප්‍රතිචාර දක්වන්නේ අකර්මන්‍ය ලෙස නොවේ. එය පොලිස් හා මිලිටරි බලවේග ගොඩනගමින් සිටින්නාක් මෙන් ම ට්‍රම්ප්ගේ ජාතිකවාදය හා සංක්‍රමනික විරෝධී වර්ගවාදයට ආකර්ෂනය කෙරෙනු අය වැනි ෆැසිස්ට්වාදී පුද්ගලයන් බලමුලු ගැන්වීමට උත්සාහ කරමින් සිටී.

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ තාප්පයක් සඳහා වන ට්‍රම්ප්ගේ ඉල්ලීම එක්සත් ජනපදය තුල විවෘතව ෆැසිස්ට්වාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමේ ඔහුගේ උත්සාහයේ සංකේතය වී ඇත. මෙම ව්‍යාපාරය කම්කරු පන්තියට එරෙහිව පොලිස්, මිලිටරි හා මැරවර කල්ලි බලමුලු ගන්වනු ඇත. සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ දේශනයට සූදානම් වූ සතියේ දී, ට්‍රම්ප් නැවත නැවතත් ඉඟි කලේ ෆෙබරවාරි 15වැනිදා ආවෘත අන්තය වන විට කොංග්‍රස් මන්ඩලය දේශසීමා තාප්පයට අරමුදල් සැපයීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්, තමා ජාතික හදිසි තත්වය නිවේදනය කරන අතර ව්‍යවස්ථාදායක අනුමැතියෙන් තොර ව තාප්පය ඉදි කිරීමට පෙන්ටගනයට නියෝග කරන බව යි.

පන්ති අරගලය මර්දනය කිරීමට ඩෙමොක්‍රටික් පක්ෂය වඩා සාම්ප්‍රදායික ප්‍රවේශයකට ඇලී සිටින්නේ, රාජ්‍ය මර්දනයේ කන්ඩායම්වලට සහාය දැක්වීමට පැරනි වෘත්තීය සමිති සංවිධාන මත විශ්වාසය තබමිනි. සමූහ රාජ්‍ය තත්වය පිලිබඳ දේශනය අතරතුර දී ඩෙමොක්‍රටිකයන් මෙය ප්‍රදර්ශනය කලේ එක්සත් ජනපද මිලිටරිය හා පොලීසිය සඳහන් කෙරෙන සෑම අවස්ථාවක දීම ඔල්වරසන් දීමට නැගී සිටිමිනි. ආර්ථික ‘ප්‍රාතිහාර්ය’ පිලිබඳ ට්‍රම්ප්ගේ ආරම්භක සඳහන් කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් රිපබ්ලිකානාවුන් “යූඑස්ඒ!, යූඑස්ඒ!” යැයි ගැයූ අතර, දැන් කොංග්‍රසය තුල වාඩි වී සිටින වාර්තාගත කාන්තා සාමාජිකාවන් ගැන ට්‍රම්ප් සඳහන් කල අවස්ථාවේ ඩෙමෙක්‍රෙටිකයෝ ප්‍රතිචාර දැක් වූයේ ද එම ජාතිකවාදී ගැයුම සමගිනි.

චීනය සමග වෙලඳ යුද්ධය වේගවත් කිරීමේ ට්‍රම්ප්ගේ පොරොන්දු, ඔහු නෆ්ටා වෙලඳ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම, හා ඔහු නැවත නැවතත් මිලිටරි මැදිහත් වීමක් පිලිබඳව තර්ජනය කර ඇති, වෙනිසුයුලාව තුල නව ආන්ඩුවක් ඇටවීම ගැන ඔහුගේ කයිවාරුවලට පක්ෂ දෙකේ ම නියෝජිතයෝ අත්පොලසන් දුන් හ.

ට්‍රම්ප්ගේ කතාව ඇමරිකානු හා ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදය, හා ඇමරිකානු කම්කරුවන් අතර දේශපාලන මනෝගතියේ අනුගාමී වෙනස ආපසු නො හරවනු ඇත. කැපී පෙනෙන ලෙස, සාමූහික රාජ්‍ය තත්වය පිලිබඳ දේශනයට දිනකට පෙර නිකුත් කෙරුනු, සීඑන්එන් මත විමසුමක් නිගමනය කලේ, ට්‍රම්ප් පාලනාධිකාරිය ක්‍රියා කරමින් සිටින්නේ නරක ලෙස යැයි සියයට 70ක් විශ්වාස කරන අතර, එය “තම ජීවිතයේ නරකම එක” යැයි සියයට 43ක් පවසන බව යි. අනෙකුත් මත විමසුම් නිත්‍ය ලෙස පෙන්වන්නේ සමාජවාදය වෙත වැඩෙමින් තිබෙන සහයෝගය හා ධනවාදයට වන විරුද්ධත්වය යි.

සමාජවාදය යලි මතු වෙමින් තිබෙන්නේ ධනවාදය අසාර්ථක වී ඇති බැවිනි. දීර්ග කාලයක් තිස්සේ මර්දනය කෙරනු පන්ති අරගලය විවෘතව පිපිරීම ඇරඹෙමින් තිබේ. ශ්‍රේෂ්ඨ කර්තව්‍යය වන්නේ ධනවාදය හා ආර්ථික විනාසය, ඒකාධිපතිත්වය හා යුද්ධයේ අනතුර අවසන් කිරීමට, මෙම වෛෂයික පන්ති ව්‍යාපාරයට ක්‍රියාමාර්ගයක්, ඉදිරිදර්ශනයක් හා දේශපාලන නායකත්වයක් සැපයීම යි.

පැට්‍රික් මාටින්

Share this article: