කැටලෝනියානු ජාතිකවාදීන්ට එරෙහි හොර නඩු සහ ස්පාඤ්ඤයේ අන්ත දක්ෂිනාංශයේ අනතුර

The show trial of the Catalan nationalists and the far-right danger in Spain

2019 පෙබරවාරි 14

ඊයේ මැඩ්රීඩ්හි කැටලෝනියානු ජාතිකවාදීන්ට එරෙහිව හොර නඩු ආරම්භ කලායින් අනතුරුව කැටලෝනියානු ජාතිකවාදී ව්‍යවස්ථා සම්පාදකයෝ සුලුතර ස්පාඤ්ඤ සමාජවාදී පක්ෂයේ (පීඑස්ඕඊ) අයවැයට සහය දීම ප්‍රතික්ෂේප කලේය. පීඑස්ඕඊ හි අගමැති පෙද්‍රො සැන්චෙස්ගේ අයවැය 191 ට 158 කින් පරාජය විය. සිකුරාදා ඇමති කවුන්සිලය මුනගැසීමෙන් පසුව මෙම වසන්තයේ මැතිවරනය පැවැත්වීමට ඔහු අපේක්ෂා කරයි.

මත විමසුම් පෙන්නුම් කරන්නේ අද මැතිවරනයක් පැවැත්වුවහොත් පොප්‍යුලර් පාටි (පීපී, සියයට 23.1ක්), සිටිසන්ස් (සීඑස්, සියයට 19.2ක්) සහ පීපීයෙන් භේදවූ ෆැසිස්ට්ගැති නව කැටලෝනියානු විරෝධී වීඕඑක්ස් (සියයට 8.9ක්) ඒකාබද්ධව බහුතරයක් වූ සියයට 51 ක් දිනාගනු ඇති බවයි. පසුගිය මස අන්දලුසියාහි තමන් විසින් ප්‍රාදේශීය ආන්ඩු සන්ධානයක් ගොඩ නැගුවායින් අනතුරුව පීපී නායක පැබ්ලෝ කැසදෝ මෙම දක්ෂිනාංශික පක්ෂවලට “පොදු පෙරමුනක්” සඳහා කැඳවුම් කලේය.

ස්පාඤ්ඤයට සහ යුරෝපයට එරෙහිවත් යුරෝපීය සංගමයේ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිවත් වර්ධනය වෙමින් පවතින වර්ජන සහ විරෝධතාවන්වලට ස්පාඤ්ඤ පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ ෆැසිස්ට් තන්ත්‍රයක් ගොඩ නැගීමයි. වෛෂයිකව මෙය කම්කරු පන්තියේ බලවත් විරෝධයට මුහුන දෙයි. කෙසේවෙතත්, 1936-1939 සිවිල් යුද්ධයේදී ස්පාඤ්ඤය අල්ලාගෙන, එය 1978 වන තුරු පාලනය කෙරුනු ආන්ඩුවේ ස්පාඤ්ඤ ෆැසිස්ට්වාදී ආඥාදායක ෆ්‍රැන්සිස්කො ෆ්‍රැන්කෝ ගේ උරුමය කෙරෙහි ඓතිහාසිකව මුල්බැස ඇති මෙම විරෝධයට පවතින පක්ෂ හරහා ප්‍රකාශනයක් අත්පත් කරගත නොහැකිය.

පීඑස්ඕඊ සහ එහි ව්‍යාජ වාම සහකරු පොදෙමොස් ප්‍රතිගාමීද බංකොලොත්ද වෙති. පීඑස්ඕඊ ආන්ඩුවේ ප්‍රධාන ආධාරකරුවකු වූ පොදෙමොස් අයවැය අනුමත කරවා ගැනීමට කැටලෝනියානු ජාතිකවාදීන් සමග ගනුදෙනුවක් ඇති කර ගැනීම සඳහා අවසාන මොහොත දක්වා වෑයම් කලේය. ජාතිකවාදය සහ ජනතාවාදය වඩවමින්ද සමාජවාදය සඳහා කම්කරු පන්තියේ අරගල වෙත වෛරය වමාරමින්ද පොදෙමොස් මෙහෙයවනු ලබන ස්ටැලින්වාදී සහ පැබ්ලෝවාදී මහාචාර්යවරු ස්පාඤ්ඤ නව ෆැසිස්ට්වාදය යළි පන ගැන්වීමට පාලක පන්තියට ඉඩ හැර ඇත. ෆැසිස්ට්වාදී අනතුර ඉතාමත්ම යථාර්ථයකි.

පසුගිය වසරේ පොදෙමොස් විසින් පීඑස්ඕඊ බලයට ගෙන ආවේ මැතිවරනය තුලින් නොව පීඑස්ඕඊ සහ පොදෙමොස්ද, කැටලෝනියානු සහ බාස්කියානු ජාතිකවාදීන්ද සතු පටු පාර්ලිමේන්තු බහුතරයක් ඒකාබද්ධ කිරීමට පැවැත්වූ තිරය පිටුපස සාකච්ඡා මගින්ය. පීපී හි අගමැති මරිආනෝ රාජොයි නෙරපා හරිමින් මෙම සභාගය සැන්චෙස් බලයට පත් කලේය. පොදෙමොස් හි ප්‍රධාන ලේකම් මහාචාර්ය පැබ්ලෝ ඉග්ලේසියස් තම මැතිවරන මූලෝපාය යටින් පවතින ජාතිකවාදී ඉදිරිදර්ශනය පැහැදිලි කලේ: “අප ස්පාඤ්ඤයින් වීම ගැන ආඩම්බර වෙමු. අප භාවිතා කරන වචන වනු ඇත්තේ දේශපාලනයේදී ජයග්‍රහනය කිරීම සඳහා ඔබ භාවිතා කරන ඒවායි. මක්නිසාදයත්, ඔබ දිනන්නේ නැතිනම් ඔබට දේවල් වෙනස් කල නොහැකි නිසාවෙනි.”

සැබවින්ම ජාතිකවාදී දක්ෂිනාංශයේ සංකල්ප ගිල ගැනීමේ “යථාර්ථවාදී” ප්‍රතිපත්තියත් සමග පොදෙමොස් සූදානම් කලේ ජය නොව පරාජයයි. පූර්වකථනය කලහැකි වූ අයුරින්ම, පීඑස්ඕඊය - (1978 පටන් ස්පාඤ්ඤයේ ධනේශ්වර පාලනයේ ප්‍රධාන පක්ෂය) තමන් බලයට පත්වූ විට, කම්කරුවන්ගෙන් හුදකලා වෙමින්ද නව ෆැසිස්ට්වාදීන් ශක්තිමත් කරමින්ද පීපීයෙන් වෙනස් නොවූ න්‍යායපත්‍රයක් ගෙනයන ලදී. එය, හමුදාවට බිලියන ගනන් මුදල් වක්කෙරුනු, පීපී යේ 2018 අයවැය ක්‍රියාත්මක කරමින් තීරනාත්මක ලෙස කැටලෝනියානු ජාතිකවාදීන්ට එරෙහිව පීපී යේ මර්දනය දිගටම ගෙන ගියේය.

අඟහරුවාදා, 2017 ඔක්තෝබර් 1 දින කැටලෝනියාවේ ස්වාධීනතාවය සඳහා පැවැති ජනමත විමසුමෙන් පසුව කැරැලි ගැසීම් සහ රාජ්‍ය විරෝධී උද්ඝෝෂන මත චෝදනාවලට ලක් කෙරෙනු අත්අඩංගුවට පත් කැටලෝනියානු ජාතිකවාදීන් දොලොස් දෙනෙකුට එරෙහිව නඩුවිභාග ඇරඹිනි. නේටෝවට සහ යුරෝපීය සංගමයට නිහඬව පිටිබලය දෙන කැටලෝනියානු ජාතිකවාදී පක්ෂ ප්‍රතිගාමී මෙන්ම කප්පාදු වැඩ පිලිවෙලට ගැති පක්ෂද වෙයි. එහෙත් මෙම නඩුව චින්තනයේ සහ රැස්වීමේ නිදහසත් ඇතුලුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ලකෙරුනු ප්‍රහාරයක් මෙන්ම ෆ්‍රැන්කෝවාදයේ බිඳ වැටීමේ පටන් පෙර නොවූ විරූ ලෙස රාජ්‍යයට ඇති සියලුම විරෝධතාවන් නීති විරෝධී කිරීමට එල්ල කෙරෙන තර්ජනයක්ද වේ. මෙය පිටුදැකිය යුතුය.

ජනමත විමසුමක් සංවිධානය කිරීම නැතහොත් උද්ඝෝෂන සඳහා කැඳවුම් කිරීම යන සාමකාමී දේශපාලන ක්‍රියාවන් වෙනුවෙන් කැටලෝනියානු ප්‍රාදේශීය උප අගමැති ඔරිඔල් ජුන්කෙරාස් හෝ කැටලෝනියානු සංස්කෘතික සංගමයේ නායක ජෝර්දි සැන්චෙස් හා ජෝර්දි කුයිසාට් වසර 25 ක සිර දඬුවමක් අබිමුව සිටිති. ප්‍රචන්ඩ නැගිටීමක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ ඔවූහු දැනටමත් පුරා වසරක් සිර අඩස්සියේ ය. කෙසේවෙතත් ජනමත විමසුම තුලදී එකම ප්‍රචන්ඩත්වය වූයේ 800 ඉක්මවමින් රෝහල් ගත කරමින් සාමකාමී ඡන්දදායකයින් මත පීපී යේ පොලිස් කඩා පැනීම පමනි.

ජනමත විමසුමෙන් අනතුරුව ෆ්‍රැන්කෝවාදී ගීත ගායනා කෙරුනු කැටලෝනියානු විරෝධී උද්ඝෝෂන රජොයිගේ ආන්ඩුව විසින් ඇවිලවූ විටදී එයට පීඑස්ඕඊ සහය ලැබිනි. ස්පාඤ්ඤ හමුදාවේ මූලිකයා කැටලෝනියානු ජාතිකවාදය “අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාලතම තර්ජනය” වන බව ප්‍රකාශ කලේය. “රත්තන් (වාමාංශිකයින්) සහ බෙදුම්වාදීන්” පිලිබඳව ෆ්‍රැන්කෝවාදී හෙලාදැකීම් ප්‍රතිරාව නංවමින් ගෙනගිය මෙම උද්ඝෝෂනය, දශකයක් පුරා සිදුවූ යුරෝපීය සංගමයේ කප්පාදු වැඩපිලිවෙලින් පසුව උග්‍රවී ඇති සමාජ වෛරය මධ්‍යයේ, සමස්ථ පාලක පන්තියේ දේශපාලනය වඩාත් දකුනට මාරු කිරීමේ වෑයමක් විය.

පොදෙමොස් විසින් පිටිබලය දෙනු ලබන පීඑස්ඕඊ ආන්ඩුව යටතේ චෝදකයෝ සිරකරුවන්ගේ ආධාරකරුවන්ට එරෙහිව රාජ්‍යය විසින් සිදුකෙරුනු ප්‍රචන්ඩත්වයට සිරකරුවන් වරදකරුවන් වෙතියි යන ඔවෙලියානු චෝදනාව ඉදිරිපත් කරති. “මම සිතන්නේ ජනමත විමසුම් දිනයේ ඇතිවූ ප්‍රචන්ඩත්වයන්වල වගකීම දැරිය යුත්තේ ස්පාඤ්ඤයේ නීති ක්‍රියාත්මක කරන්නවුන් විසින් නොව නීතිය දැනගෙන දහස් ගනන් පුරවැසියන් බලමුලුගැන්වූවන් විසින් ය. නීත්‍යානුකූල පොලිස් මෙහෙයුම්වලට බාධා කරමින් ඔවූහු මිනිස් පවුරක් ලෙස ක්‍රියා කලහ” යනුවෙන් චෝදකයා වන ජවියර් සරගොසා ඊයේ නඩුවිභාගය තුලදී පැවසීය.

රජයට අනුබද්ධ වී “රාජ්‍ය චෝදකයකු” ලෙස තමන්ට පෙනී සිටීමට අවසර ලත් වීඕඑක්ස් විසින් විත්තිකරුවන්ට වසර 60 ඉක්මවූ සිර දඬුවම් ඉල්ලා සිටිති.

ඒ සමගම වීඕඑක්ස් සභාපති සන්තියාගො ඇබ්ස්කල් ප්‍රසිද්ධියේ සිවිල් යුද්ධය තුල ෆ්‍රැන්කෝගේ වාර්තාව ආරක්ෂා කලේය. “අප ෆ්‍රැන්කෝගේ හමුදාවේ සටන් කල මුතුන්මිත්තන්ගේ හඬ මෙන්ම, ඔවුන්ගේ පවුල් කල දේවල් හෙලා දැකීමට අවශ්‍ය නැත්තෝ වෙමු.” යනුවෙන් පසුගිය මාසයේ ඔහු පැවසීය. “ස්පාඤ්ඤයට අවශ්‍ය ඒකපාර්ශ්වික මතකයක් යැයි කියන අයගේ දේශපාලනික උන්මාදය නිසාම පමනක් මාවත්වල නම් වෙනස් කිරීමට අවශ්‍යය නොවන අයද සිටිති.”

මෙය වනාහි රාජ්‍යය ත්‍රස්තය සහ සමූල ඝාතන තුලින් කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් මර්දන ආරක්ෂා කිරීමයි. ෆ්‍රැන්කෝ 1936 දී ස්පාඤ්ඤ ජනරජයට එරෙහිව බල කොල්ලයක් මෙහෙයවිය. වසර තුනක ලේවැකි සිවිල් යුද්ධයකින් අනතුරුව ඔහු වාමාංශික කම්කරුවන් සහ තරුනයින් සිය දහස් ගනන් ඝාතනය කරමින් තම රජය තහවුරු කර ගත්තේය. සියල්ලටම ඉහලින් මෙම යුද්ධය තුලදී කම්කරු පන්තියේත් නැගිටීම් මර්දනය කරමින් ස්පාඤ්ඤ විප්ලවය සඳහා සටන් කල ට්‍රොට්ස්කිවාදීන් ඝාතනය කල ස්ටැලින්වාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල භූමිකාව ෆ්‍රැන්කෝ ගසාකෑවේය.

ඒ කෙසේවෙතත්, යුරෝපීය සංගමය කැටලෝනියානු ජාතිකවාදීන්ට එරෙහි හොර නඩුවල ගැන තම පූර්න විශ්වාසය පල කරයි. “අප ස්පාඤ්ඤයේ නීති පද්ධතිය මුලුමනින්ම විශ්වාස කරමු.” යනුවෙන් යුරෝපීය කොමිසමේ උපසභාපති ජයිර්කි කටේනැන් ඊයේ පැවසීය. ඔහු තවදුරටත් එකතු කලේ “මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවේ. අප වර්ධනයන් පිලිබඳව දේශපාලන ප්‍රකාශ ඉදිරිපත් නොකරමු.”

තියුනුම අනතුරු ඇඟවුම් සූදානම්ව පවතී: 1991 ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය දියකර හැරීමේ පටන් අධිරාජ්‍යවාදී යුද්ධයේ දශක තුනකින් පසුවද, 2008 කඩාවැටීමේ පටන් යුරෝපීය සංගමය විසින් දියත් කල ගැඹුරු කප්පාදු වැඩපිලිවෙලින් දශකයකට පසුවද යුරෝපීය ධනවාදය අරටුවටම කුනුවී ඇත.

සෑම රටකම, ජනයා අතර අප්‍රසාදයට පත් ආන්ඩු රට තුල මතුවන විරෝධතාවයන්ගේ තර්ජනයට එරෙහිව නව ෆැසිස්ට්වාදී ව්‍යාපාරවලට උල්පන්දම් දෙමින් සිටිති. ජර්මනියේ මහා සභාග ආන්ඩුවේ යලි මිලිටරීකරන ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් හිට්ලර්වාදයට සුදුහුනු ගෑමට මාන බලමින් සිටින දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්යවරුන් මෙම ආන්ඩුවට පිටුබලය දෙන අතර ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ෆැසිස්ට් ආඥාදායක පිලිප් පෙටේන් උත්කර්ෂයට නංවමින් “කහ බැනියම්කරුවන්” ප්‍රචන්ඩ ලෙස මර්දනය කරමින් සිටියි. ෆ්‍රැන්කෝවාදය කෙරෙහි කම්කරුවන්ගේ වෛරය නිසා නව ෆැසිස්ට්වාදයට ඉඩක් නැති තැනකැයි සමහරවිට පන්ඩිතයින් විසින් පැවසෙන ස්පාඤ්ඤය මෙම ලැයිස්තුවට ඇතුලත් වී ඇත.

ජාත්‍යන්තර පන්ති අරගලයේ උද්ගතයක් වැඩි දියුනු වෙමින් පවතී. ප්‍රන්සයේ “කහ බැනියම්කරුවන්ගේ” විරෝධතාද බෙල්ජියමේ සහ ජර්මනියේ එක්දින මහා වැඩ වර්ජනයද ස්පාඤ්ඤයේ මෑත මාසවල පැවැති ටැක්සි රියදුරන්ගේත් වරාය සිල්ලර වෙලඳාම ගුවන් තොටුපල සහ මෙට්‍රො කම්කරුවන්ගේත් වර්ජන ඇඟවුම් ලෙස පෙන්නුම් කරන්නේ සූදානම් වෙමින් පවතින පන්ති අරගලයේ බලවත් පුපුරා ඒමයි. කෙසේවෙතත්, කැරැලිකාරිත්වයේත් සමාජ වෛරයේත් පිටාර ගැලීම පාලක ප්‍රභූවේ දෘඩතර විරෝධතාවට අභිමුඛ වනු ඇති අතර කම්කරු පන්තිය ජාත්‍යන්තරව දේශපාලන අරගලයකට මුහුන දෙයි.

ස්ටැලින්වාදීන්ගෙන් සහ පැබ්ලෝවාදී පොදෙමොස් දේශපාලනයෙන් සහ යුරෝපය පුරා ඇති එවැනි ව්‍යාජ වාම පක්ෂවලින් දෘඩතර දේශපාලන බිඳීමක් තුලින් සමාජවාදී ජාත්‍යන්තරවාදය දෙසට සහ කම්කරු පන්තිය දෙසට හැරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සඳහා පදනම වෙයි. මෙය අර්ථවත් කරන්නේ ධනවාදයට සහ යුරෝපීය සංගමයට එරෙහිව එක්සත් සමාජවාදී යුරෝපීය රාජ්‍යයන්ගේ සංගමය සඳහා ස්පාඤ්ඤ තුලත් යුරෝපීය රටවල් තුලත් කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීමයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: