ට්‍රම්ප්ගේ හදිසි තත්වය

ජනාධිපති ආඥාදායකත්වය දෙසට පියවරක්

Trump’s state of emergency - A step towards presidential dictatorship

2019 පෙබරවාරි 16

ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපද දක්ෂින දේශ සීමාවේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම, ඇමරිකාවේ ව්‍යාවස්ථාමය නීති නියාම සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත එල්ල කරන ලද මුහුනත් ප්‍රහාරයකි. එය ඇමරිකානු ඉතිහාසය තුල මහජන මුදල් වියදම් කිරීමට නියමිත කෙසේද යන්න තීරනය කිරීමට වූ ව්‍යාවස්ථාමය බලතල සියතට ගැනීමට ජනාධිපතිවරයෙකු විසින් උත්සාහ කොට ඇති ප්‍රථම අවස්ථාවයි.

සිකුරාදා සවස ධවල මන්දිරය විසින් නිකුත් කෙරුනු නිවේදනයේ භාවිතා කර ඇති වචන, මූලික වශයෙන් එජ මිලිටරිය මගින් එජ- මෙක්සිකෝ දේශ සීමාව දිගේ තාප්පයක් ඉදිකිරීම සහ පෙන්ටගනයේ දැවැන්ත සම්පත් ඒ සඳහා භාවිතා කිරීම යන කරුනු ඉටු කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින බව සනාථ කරයි. දේශ සීමාවේ තත්ත්වය එය “අපරාධකරුවන්, පාතාල කල්ලි සාමාජිකයන් සහ නීති විරෝධී මත් ද්‍රව්‍ය ප්‍රවේශ වන ප්‍රධාන ස්ථානයක් වන හෙයින්” “මූලික ජාතික ආරක්ෂක අභිලාෂයන්ට” තර්ජනය කරන්නක් වන බව විස්තර කිරීමෙන් අනතුරුව නිවේදනය මෙසේ ප්‍රකාශ කරයි. “වත්මන් හදිසි තත්ත්වයේ බරපතල කම නිසා අර්බුදයට මුහුන දීම පිනිස අතිරේක සහයක් සැපයීමට සන්නද්ධ බල ඇනි අවශ්‍ය වේ.”

නිවේදනය, මාස 24 ක් දක්වා වන කාල පරිච්ඡේදයක් සඳහා මිලියනයක අතිරේක හමුදාවක් යෙදවීමට ආරක්ෂක ලේකම්ට බලය දෙන 1953 නීතියක කොටසක් වන එජ නීති සංග්‍රහයේ 10 වන මාතෘකාවේ 12302 කොටස කැඳවා ගනී. මෙම කොටස ඉරාකයට සහ ඇෆ්ඝනිස්ථානයට අතිරේක හමුදා පිටත් කොට හැරීමට, 9/11 ප්‍රහාරයෙන් පසු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් විසින් ක්‍රියාත්මක කරන ලද්දකි. වෙනත් වචනවලින් කිවහොත් සංක්‍රමනිකයන් සහ සරනාගතයන් එක්සත් ජනපදයට තර්ජනය කරන “ආක්‍රමනිකයන්” ලෙස හංවඩු ගසමින්, එජ- මෙක්සිකෝ දේශ සීමාව ප්‍රධාන යුද පිටියක් ලෙස සැලකීමට ට්‍රම්ප් උත්සාහ කරමින් සිටී.

මිලිටරි මෙහෙයුම් වලට සහය සඳහා ඉදිකිරීම් ක්‍රියාවන් සිදු කිරීමට පෙන්ටගනයට බලය පවරන 10 වන මාතෘකාවේ 2808 කොටස ද ට්‍රම්ප් ක්‍රියාවට කැඳවයි. මින් පෙර මෙම නීති පිලිබඳව අවබෝධ කරගෙන තිබුනේ, ක්‍රියාකාරී යුද මෙහෙයුම් අතරතුරදී මිලිටරියට අවශ්‍ය හමුදා බැරැක්ක, ආරක්ෂක මුරපොලවල්, ගුවන් ධාවන පථ, මහාමාර්ග, යුද සිරකඳවුරු සහ අනෙකුත් පහසුකම් ගොඩනැගීම සඳහා කියාය. එජ- මෙක්සිකෝ දේශසීමාව දිගේ වූ තාප්පය ඒ හා සමාන මිලිටරි අවශ්‍යතාවයක් ලෙස සලකා ගැනේ.

මේ සම්බන්ධයෙන් පෙන්ටගන් ප්‍රධානීට, මේ අවස්ථාවේ නම් වැඩබලන ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන පැට්රික් ෂැනන් හට, බලය පවරමින්, ට්‍රම්ප්ගෙන් ලැබුනු නියෝග වූයේ, “ක්‍රියාකාරී රාජකාරී කටයුතු සඳහා ඔහු ප්‍රමානවත් යැයි සිතනා තරමින් අතිරේක හමුදා සාමාජිකයන් හෝ ඒකක ඇති තරම් ඉල්ලා සිටීමට” ය. අතිරේක වශයෙන් ආරක්ෂක, අභ්‍යන්තර හා දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවල ලේකම් වරුන්හට “අවශ්‍ය නම් දේශ සීමා භූමි සම්බන්ධයෙන් අධිකාරිත්වය පැවරීම හෝ අනුමත කිරීම ඇතුලුව, මෙතැන්හි බලාත්මක කෙරෙන අධිකාරයන් භාවිත කිරීම සහ භාවිතය කිරීමට සහාය දීම උදෙසා සුදුසු සියලු පියවරයන් ගැනීමට” නියෝග කොට ඇත.

මෙය එක්සත් ජනපද මැක්සිකානු දේශසීමාව සම්පූර්නයෙන් මිලිටරීකරනය කිරීම උදෙසා පෙන්ටගනයට පුලුල් සහ මහ පරිමාන අධිකාරය ප්‍රධානය කිරීමකි.

ජාතික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම මගින් ජනාධිපතිට සුවිශේෂ්‍ය බලතල 136 ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබාදෙන අතර තවදුරටත් කොංග්‍රසයේ මැදිහත්වීම අවශ්‍ය කෙරෙන වගන්ති 13 ක් හැර ඉතිරි 123 සඳහා කිසිදු කොංග්‍රසයේ සහභාගිත්වයක් විධායක ශාඛාවට අවශ්‍ය නොවේ. රසායනික හා ජීව විද්‍යාත්මක අවි නියාමනය කරන සියලු නීති අත්හිටුවීම මෙන්ම හදිසි සේවා සදහා විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් සේවයේ යෙදවීම දක්වා මෙම බලතල විහිදී යයි

මෙම නියෝගය, එක්සත් ජනපදයේ දේශ සීමාවන් ඇතුලත නීතිය ක්‍රියාවට යෙදවීමේ මෙහෙයුම් වලට එජ මිලිටරිය යොදා ගැනීම වලක්වන පොසේ කොමිටේටස් පනත බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙම අනෛතික භාවය වහංගු කිරීමට ට්‍රම්ප්ගේ නියෝගය, “දක්ෂින දේශ සීමාවේදී දේශීය ආරක්ෂක කටයුතු භාර ලේකම්ගේ ක්‍රියාවන්ට රුකුල් දීමට සහ සහය දැක්වීමට” ක්‍රියාත්මක වීමක් ලෙස මිලිටරි මෙහෙයවීම විස්තර කරයි.

මූලිකවම ට්‍රම්ප්ගේ නියෝගය එජ ව්‍යවස්ථාව සාහසිකවම උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාවේ 1 වන වගන්ති යෙදුම් 09 වන කොටසේ 07 වන වාක්‍ය ඛන්ඩයේ කොටසක් මෙසේ කියවේ. “නීතිය මගින් ඉටුකරනා විසර්ජන හේතුකොට ගෙන මිස වෙනත් අයුරකින් භාන්ඩාගාරයෙන් මුදල් ලබා නොගත යුතුය.”

“පසුම්බියේ බලය” ව්‍යවස්ථාදායකය සතු බවත්, විධායක ශාඛාව (භාන්ඩාගාරය ද ඇතුලුව ) ව්‍යවස්ථාදායකය අනුමත කරන ලද මුදල් පමනක් වියදම් කල යුතු බවත් මෙම භාෂාවෙහි නිරන්තර වටහා ගැනීම විය.

2014 තරම් මෑතකදී, කොංග්‍රස් මන්ඩලයේ රිපබ්ලිකානුවන් කොංග්‍රසයේ විසින් විසර්ජනය නොකරන ලද මුදල්, “පිරිවැය-බෙදාගැන්ම අඩු කරනා ගෙවීම්” ආකාරයෙන් ඔබාමා කෙයා වැඩසටහන යටතේ රක්ෂන ශාඛා සමාගම් වලට ගෙවී යයි ඔබාමා පාලන තන්ත්‍රයට නඩු පවරන ලදී. මෙම අවදියෙ කොංග්‍රසයේ පාලනය ඩිමොක්‍රටිකයන් අත තිබුන ද, ගෙවීම් අනුමත කිරීම සඳහා එය පැහැදිලිවම අදහස් කල ද, සැබෑ පනත කෙටුම්පත් කිරීමේ භාෂාව ප්‍රතිපාදන අඩංගු කිරීමට අසමත් විය. පෙඩරල් උසාවිය රිපබ්ලිකානු නඩුව පිලිගත් අතර ගෙවීම් අවලංගු කලේය.

එක්සත් ජනපද මහජන නියෝජිත මන්ඩලයේ නියෝජිත ඔරිගන් හි ග්‍රෙග් වොල්ඩන් එම අවස්ථාවේ ප්‍රකාශ කලේ, ”මෙහි මූලධර්මය බලය බෙදීම වේ, ව්‍යවස්ථාවේ අනුමැතිය මුදල් විසර්ජනය කොංග්‍රසයෙන් වීම සඳහා යි.”

අද දින, කොංග්‍රසයේ බොහෝ රිපබ්ලිකානුවන් බලය බෙදීම සම්බන්ධ බරපතල නොතැකීමක් වන ට්‍රම්ප්ගේ ක්‍රියාවට සහය දක්වනු ඇතයි බලා පොරොත්තු වේ.

කොංග්‍රසයේ ඩිමොක්‍රටික් නායකයින් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම “නීත්‍යානුකූල නොවන” බව ප්‍රකාශ කලේය. මහජන මන්ත්‍රී මන්ඩලයේ කථානායිකා නැන්සි පෙලෝසි සහ සෙනෙට් සුලුතර කන්ඩායම් නායක චක් ෂූමර් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කලහ. “ජනාධිපතිගේ ක්‍රියාව, අපේ මූලාරම්භකයන් ව්‍යවස්ථාව තුල අභිෂේක කරන ලද පසුම්බිය (මුදල්) පිලිබඳ කොංග්‍රසයේ අනන්‍ය බලය පැහැදිලිවම උල්ලංඝනය කරයි”

“ජනාධිපති නීතියට ඉහලින් නොසිටී”, “ජනාධිපතිට ව්‍යාවස්ථාව ඉරා දැමීමට ඉඩ දීමට කොංග්‍රසයට නොහැකිය, ”පෙලෝසි සහ ෂූමර් එකතු කලහ.

නමුත් එය හරියටම සිදුවීමට නියමිත දෙයයි. නියෝජිත මන්ත්‍රී මන්ඩලය දින 18 ක් ඇතුලත සෙනෙට් මන්ඩලය විසින් ඡන්දය ලබා දිය යුතු නොඅනුමැති යෝජනාවක් සම්මත කිරීමට ඉඩ ඇත. දුසිම් භාගයක් රිපබ්ලිකානුවන් යෝජනාවට සහය දැක්වුවද අනතුරුව ට්‍රම්ප් නිශේධ බලය භාවිතා කරනු ඇත. නිශේධ බලය යටපත් කිරීම සඳහා මන්ත්‍රී මන්ඩල දෙකෙන් එකකවත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමේ සම්භාවිතාව ඉතා අඩුය.

පෙලෝසි හෝ ෂූමර්වත් වෙනත් කිසිදු ප්‍රධාන කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටික් නායකයෙකුවත් ට්‍රම්ප්ගේ ක්‍රියාව දෝෂාභියෝගයට ලක්කල හැක්කක් බවට හෝ එජ ව්‍යවස්ථාව ආරක්ෂා කොට පවත්වා ගෙන යන බවට වූ සිය දිව්රුම් දීම බරපතල ලෙස උල්ලංඝනය කිරීම වෙනුවෙන් ජනාධිපති ඉවත් කල යුතු බවට හෝ යෝජනා කොට නැත. ඒ වෙනුවට ට්‍රම්ප් විසින්ම නම්කල විනිසුරුවන් දෙදෙනෙකු ඇතුලු පස්- සාමාජික අති-දක්ෂිනාංශික බහුතරය සහිත එජ ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අවසානයේ දී ගනු ලබන තීරනයකට යටත් වන නඩු පැවරීමට උපදෙස් දී ඇත..

ඔහු ජාතික හදිසි අවස්ථා නිවේදනයට අත්සන් කොට ඇති බවට නිවේදනය කල, ඔහුගේ සිකුරාදා අසංවිධිත මාධ්‍ය සාකච්ඡාව අතරතුර ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරනයේදී ලැබිය හැකි සිය ජයග්‍රහනය පිලිබද කයිවාරු ගැසීය. එක්සත් ජනපදයට ඇතුලු වන මුස්ලිම් මගීන් මත පැනවූ සිය තහනම පිලිබද අධිකරන ක්‍රියාමාර්ග තුලදී සිදු වූවාක් මෙන්, දිස්ත්‍රික් සහ අභියාචනා අධිකරන වල දී වාසිසහගත තීන්දු ලබා ගන්නා නමුත් ශ්‍රේෂ්ඨාධිකරනයේදී ඒවා කනපිට හැර වෙනු ඇතැයි පෙර දකිමින්, දේශ සීමා තාප්පයේ විරුද්ධවාදීන් කෙරෙහි තම පිලිකුල ඔහු ප්‍රකාශ කලේය.

ට්‍රම්ප් නීතිගත කිරීමට එකඟ වු මුලු අරමුදල් සම්පාදන පනතට ඇතුලත් කල , දේශ සීමා තාප්පය පිලිසකර කිරීම් සහ ගොඩනැගීම උදෙසා ඩොලර් බිලියන 1.375 ක විසර්ජනය කිරීම සඳහා ඩිමොක්‍රටිකයින්ගේ තීන්දුව, ට්‍රම්ප්ගේ නීතිමය ස්ථාවරය ශක්තිමත් කරයි. ඔහුගේ නීතීඥයන්, කොංග්‍රසය මේ වන විටත් තාප්පය ගොඩනැගීමට එකඟවී ඇති බවටද, එකම නොඑකඟතාවය වන්නේ කොපමන වේගයකින් එය කල යුතුද යන්න වන බවට ද, මෙන්ම “ජාතික ආරක්ෂාවේ” ප්‍රශ්නයක් මත “ප්‍රධාන අනදෙන නිලධාරීගේ ” විනිශ්චයට උසාවිය ඉඩ දිය යුතු බවට තර්ක කරනු ඇත.

ට්‍රම්ප්ගේ මාධ්‍ය සාකච්ඡාව, සංක්‍රමනිකයන් සහ සරනාගතයන් එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය, අපරාධ සහ ත්‍රස්තවාදය ගෙන එන සතුරු ආක්‍රමනික බලයක් ලෙස හංවඩු ගසමින් ඔවුන්ට එරෙහි ෆැසිස්ට්වාදී බෙරිහන් දීමක් වෙනුවෙන් මහත් සේ කැප කෙරුනි. විශේෂයෙන්ම අනතුරක පෙරනිමිති අඟවමින්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිරකරුවන්ට නිතිපතා මරන දන්ඩනය දෙන චීන ස්ටැලින්වාදී ආඥාදායකත්වයේ මත්ද්‍රව්‍ය විරෝධී පිලිවෙත් ඔහු විසින් වග වර්නනා කලේ, එබඳු ම්ලේච්ඡ ක්‍රමවේද තම මත්ද්‍රව්‍ය උවදුර විසඳීමට චීනයට ඉඩ ලබා දුන් බවට අඟවමිනි. ට්‍රම්ප් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම ආගමනය සම්බන්ධ ක්ෂේත්‍රය තුල එබදු “අවසාන විසඳුමක්” දෙසට වූ පියවරකි.

මෙය ඇමරිකානු ජනාධිපති කෙනෙකුගෙන් මීට පෙර අසා නොමැති භාෂාවකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස ප්‍රකාශ කරමින් කම්කරු පන්තික පැල්පත් නිවාස වාසීන් දහස් ගනනක් ඝාතක පොලිස් භට කන්ඩායම් මගින් මරාදැමූ ට්‍රම්ප්ගේ තවත් ප්‍රියතමයෙකු වන පිලිපීන ජනාධිපති දුතර්තේ ගේ භාෂාවට සමාන වේ.

එබඳු කියමන් (ධවල මන්දිරයේ) රෝස උයනෙන් සිදු කරන විට වරද්දා ගැනීමක් සිදු නොවිය යුතුය: එක්සත් ජනපදය ආඥාදායකත්වයේ මුව විට දෝලනය වෙමින් තිබේ. මෙම අනතුරේ බරපතලකම සහ හදිසි භාවයත්, ඩිමොක්‍රටිකයන්ගේ සහ මාධය වල ප්‍රතිචාරයන්ගේ තෘප්තිමත්භාවයත් අතර දැවැන්ත විරසකයක් පවතී.

ට්‍රම්ප් සමග සිය පාර්ශ්වීය අරගලය තුල මිලිටරි සහ බුද්ධි අංශ උත්කර්ෂයට නැංවීමට නිර්දය ලෙස වැඩකොට ඇති ඩිමොක්‍රටිකයන්, ධවල මන්දිරය සමග සිය උපායාත්මක වෙනස්කම් පිලිබද තකනවාට බෙහෙවින් වඩා, ට්‍රම්ප්ගේ අඥාදායක ක්‍රියාමාර්ගයන්ට එරෙහිව කම්කරු පන්තියේ කිසියම් බලමුලු ගැන්වීමක් වැලැක්වීම කෙරෙහි උත්සුක වේ.

එක්සත් ජනපදයේ සිදුවෙමින් පවතින දෙය ජාත්‍යන්තර ක්‍රියාවලියක කොටසකි. ධනවාදයේ ගෝලීය ආර්ථික අර්බුදයේ සහ ප්‍රධාන බලවතුන් අතර (එක්සත් ජනපදය පෙරමුනේ සිටින) ඉහල යන ප්‍රචන්ඩතාවයෙන් හා අපරික්ෂාකාරීත්වයෙන් යුත් ගැටුම් වල බලපෑම යටතේ, පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති කඩා වැටෙමින් පවතී. ආර්ථික සහ සමාජ අසමානතාවය පෙර නොඇසූ විරූ මට්ටම්වල ට ලගාවෙද්දී සෑම ධනපති රටක් තුලම ඉහල යන සමාජ ආතති මගින් අන් සියල්ලටමත් වඩා මෙය වේගවත් කොට ඇත.

මෙම කොන්දේසි යටතේ සිය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීමට එජ ඩිමොක්‍රටික් පක්ෂය ඇතුලු ධනේශ්වර පාලක ප්‍රභූවේ සහ එහි දේශපාලන සංස්ථාපිතයේ කිසිදු කොටසක් වෙත කම්කරු පන්තියට හැරිය නොහැක. මෙම කාර්යය ලෝකය පුරා වැඩ වර්ජන අරගල මාලාවක් සේ දැනටමත් කලල ස්වරූපයෙන් ප්‍රකාශ වී ඇති පරිදි, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම ඉල්ලා සිටී. සමාජවාදී සමානතා පක්ෂය සහ ලොසවෙඅ , කම්කරු ජනතාවගේ මෙම ව්‍යාපාරය වර්ධනය කිරීමට සහ සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් සඳහා දේශපාලනික වශයෙන් සවිඥානික අරගලයක් බවට පත්කිරීමට සටන් කරයි.

පැට්‍රික් මාටින් විසිනි

Share this article: