ආන්ඩුව වතු කම්කරු වැටුප් අරගලය යටපත් කිරීමට සොච්චම් දීමනාවක් ඉදිරිපත් කරයි

සමන් ගුනදාස විසිනි, 2019 පෙබරවාරි 18

ඉදිරි අය වැය ක්‍රියාවට දැමීමත් සමග වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට, වසරක කාලයක් සඳහා, රුපියල් 50 ක් එකතු කර දීමට ආන්ඩුව තීන්දු කල බව වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 12) නිවේදනය කලේය. ඒ සඳහා තේ මන්ඩලයෙන් රුපියල් බිලියන 1.2ක් ලබා ගන්නා අතර මහා භාන්ඩාගාරය විසින් එම මුදල පසුව තේ මන්ඩලයට ගෙවීමට නියමිතය.

ආන්ඩුව මෙම තීන්දුව ගෙන ඇත්තේ වැවිලි සමාගම් විසින් තව දුරටත් කම්කරු වැටුප් වැඩි කිරීමට නොහැකි යැයි සපත කර ඇති පසුබිමක වතු පාලකයන්ගේ ලාභ ගැරීම සුරක්ෂිත කර දීම සඳහාය.

වතුකරයේ වෘත්තීය සමිති වලට පිටින් පසුගිය දෙසැම්බරයේ ලක්ෂ සංඛ්‍යාත වතු කම්කරුවන් රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා දියත් කල වැඩ වර්ජනය දිය කර හැරීමට සමිති නායකයන් ක්‍රියාත්මක විය. එසේ වුවත් තම වැටුප රුපියල් 1000ක් කර ගැනීම සඳහා වන කම්කරු උද්ඝෝෂනය නොනැවතී ඉදිරියට යන තතු තුල ආන්ඩුව මෙම යෝජනාව ඉදිරිපත් කර කම්කරු අරගලය අවමංගත කර යටපත් කිරීමට උත්සාහ දරයි.

අනෙක් අතට, ජීවන වියදමේ ඉහල යාම තුල යන්තමින් හෝ දිවි පවත්වා ගැනීම සඳහා දෛනික වැටුපක් ඉල්ලන කම්කරුවන්ට ආන්ඩුව කර ඇත්තේ සරදමකට වැඩි යමක් නොවේ. රුපියල් 50 කින් අවම වශයෙන් බත් පාර්සලයක් හෝ පාන් ගෙඩියක් මිලට ගත නොහැකි බව නොකිව මනාය.

ලංකාවේ වතු කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලුවද වියට්නාමයේ හා කෙන්යාවේ තේ කම්කරුවන්ට ලැබෙන දිනක වැටුප ඇමරිකානු ඩොලරයක් පමනක් බවත් ඒඅනුව අර්ථසාධක අරමුදල් හා විශ්‍රාම පාරිතෝෂිකද සමඟ රුපියල් 800ක දෛනික වැටුපක් ගෙවන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ලෝකයේ ඉදිරියෙන්ම සිටින බව, පෙබරවාරි 13 වන දින තේ මන්ඩලයේ ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඇමති දිසානායක පැවසුවේය.

තේ නිපදවන රටවල තේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් දරුනු ලෙස සූරා කමින් අන්තර් ජාතික මහා ව්‍යාපාරයන් තේ කර්මාන්තය තුල සුපිරි ලාබ ලබමින් සිටී. ලංකාව තුල තේ කර්මාන්තයේ නියුතු කම්කරුවන් වඩ වඩාත් දරුනු ලෙස සූරා කෑමට භාජනය කර ලෝක වෙලඳ පල තුල තරඟකාරී අඩු මිලකට තේ සපයා තම සුපිරි ලාබ තර කර ගැනීම ලංකාවේ වතු පාලකයන්ගේ එල්ලයයි.

2018 වසර තුල ලංකාවේ වැවිලි සමාගම් සිය ලාබ මට්ටම් සියයට සියයකින් හෝ ඊටත් ඉහල ලෙස වැඩි කරගෙන තිබේ. ජනවාරි අගදී ලංකා කම්කරු කොංග්‍රසය හා වැවිලි සමාගම් අතර අත්සන් කල ගිවිසුමෙන් සැබෑ වශයෙන් කම්කරු දෛනික වැටුප වැඩිවූයේ රුපියල් 20න් පමනි. කලින් පැවති පැමිනීමේ දීමනාව හා නිෂ්පාදන පලදායිත්ව දීමනාව කපා දමා මිල අනුව සැකසෙන රුපියල් 50 ක දීමනාව මූලික වැටුපට එක් කර රුපියල් 750 ක් දක්වා වැටුප් වැඩි කල බව වතු පාලකයෝ මවා පෑහ.

මෙම ගිවිසුම වතු කම්කරුවන් විසින් එක හෙලා ප්‍රතික්ෂේප කිරීමෙන් සැලුනු ජාතික කම්කරු සංගමයේ නායක උඩරට නව ගම්මාන හා වතු යටිතල පහසුකම් ඇමති පලනි දිගම්බරම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ නායක මනෝ ගනේෂන් ඇතුලු සමිති නායකයන් ආන්ඩුව සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

මෙලෙස ආන්ඩුව හා වෘත්තීය සමිති වල පිටුබලය සහිතව වැවිලි සමාගම් වැඩ කරමින් සිටින්නේ කම්කරුවන්ගේ වැටුප් අරගලය බිඳ දමා කම්කරුවන් මත වැඩ වේගවත් කිරීම හා කොන්ත්‍රාත් ක්‍රමය පැටවීමටයි. දැනටම කම්කරුවන්ගේ වැඩ ඉලක්කයන් වැටුපට සම්බන්ධ කර ඇති වතු පාලකයන් එම ඉලක්කයන් ඒ ඒ ප්‍රදේශ වලට අනුව නියම කෙරෙන බව පවසා ඇත.

සමිති නායකයන් අත්සන් කර ඇති ගිවිසුමෙන් වතුවල පලදායිත්වය හා කර්යක්ෂමතාව නැංවීමට පොරොන්දු වී තිබේ. එමෙන්ම කොන්ත්‍රාත් ක්‍රමය යටතේ කම්කරු පවුල් සම්පූර්නයෙන්ම රුදුරු සූරා කෑමකට ලක් කිරීම සඳහා අර අඳිමින් සිටින වතු පාලකයන්ට ගිවිසුම මඟින් සමිති වල සහය ලබාදී ඇත.

මෙම ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක කර ඇති වතු වල, කම්කරුවන්ගේ අර්ථසාධක මුදල් ඇතුලු පසුගිය කාලයේ දිනාගත් සියලු සහන කප්පාදු කර ඇති අතර වතු පාලකයන් විසින් නියම කෙරෙන මිල ගනන් යටතේ දලු විකුනා ලැබෙන සොච්චමකින් දිවි ගැට ගසා ගන්නා “අඳ ගොවි” තත්වයකට ඇද දමා තිබේ. එනයින් මෙම ක්‍රමය පන්තියක් ලෙස කම්කරුවන්ගේ ශක්තිය බිඳ දැමීමද එල්ල කර පවතියි.

මාධ්‍ය හමුව අමතමින් ඇමති දිසානායක පැවසුවේ සිය අමාත්‍යාංශය ඉතා ඉක්මනින්ම මෙම “කොන්ත්‍රාත් ක්‍රමයට වගාකර ආදායම බෙදාගැනීමේ” ක්‍රමය තේ වතු සඳහා යොදා ගැනීම පිලිබඳව සලකා බලන බවයි. මින් ගම්‍ය වන්නේ වසරක් සඳහා සොච්චම් වැටුප් වැඩි වීමක් දිගු කර වතු කම්කරුවන් මිරිකා හැරීමේ සැලසුමක් ආන්ඩුව, වතු හාම්පුතුන් හා සමිති මුල්වී කම්කරුවන්ට පිටුපසින් සූදානම් කෙරෙමින් ඇති බවයි.

මෙම සැලසුම් වලට එරෙහිව සටන් වැදීම සඳහා ඇබොට්ස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව, සමාජවාදී සමානතා පක්ෂයේ සහාය ලබමින් මාර්තු 17වන දින හැටන් නගර ශාලාවේදී පවත්වන කම්කරු සමුලුවට සහභාගී වී “වතු කම්කරු අරගලයේ පාඩම් හා වැටුප් ද සමාජ අයිතීන් ද දිනාගැනීමේ ඉදිරි මාවත” පිලිබඳ සාකච්ඡාවට සහභාගී වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලමු.

Share this article: