ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවෝ දඩයම් කිරීම්වලට විරෝධය පලකරති

Sri Lankan tea plantation workers protest victimizations

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 පෙබරවාරි 19

ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවෝ වතු සමාගම් විසින් සටන්කාමී කම්කරුවන් දඩයම් කිරීමට හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් මත ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව පෙබරවාරි 17දා බලගතු රැලියක් පැවැත්වූ හ. ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සංවිධානය කරන ලද විරෝධතාව මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ හැටන් නගරයේ දී පවත්වනු ලැබී ය.

රුපියල් 1,000ක මූලික දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් දින නවයක් තිස්සේ නිරත වූ වර්ජනය වෘත්තීය සමිති විසින් පාවාදීම මධ්‍යයේ, සසප මගපෙන්වීම මත ක්‍රියාකාරී කමිටුව ගොඩනගනු ලැබී ය. ඔවුන්ගේ වර්තමාන මූලික දෛනික වැටුප යන්තම් රුපියල් 500ක් පමනි. ආන්ඩුවේ ආශීර්වාදය ද සහිත ව වෘත්තය සමිති විසින් සමාගම් සමග මෑත දී අත්සන් කල පාවාදීමේ ගිවිසුමට එරෙහිව පලල් විරුද්ධත්වයක් වතු කම්කරුවන් අතර මතුවී තිබේ.

පිකට් වැටෙන් කොටසක්

මධ්‍යම බස් නැවතුම්පොල අසල පැවති ඉරිදා පැවති විරෝධතාවට වතු කම්කරුවෝ, තරුනයෝ, ශිෂ්‍යයෝ හා හැටන් ප්‍රදේශයේ අනෙකුත් කම්කරුවෝ ද සසප සාමාජිකයෝ ද සහභාගි වූ හ. වතු කම්කරුවන්ගේ එකම නිවාඩු දිනය ඉරිදා වන නිසා අසල වතුවල කම්කරුවන් සිය ගනනක් එදින නගරයට පැමිනෙති. මාර්ගය අසලට රැස්වුනු බොහෝ කම්කරුවෝ උද්යෝගිමත්ව පැවති රැලියේ දී පැවැත්වූ කතාවන්ට උනන්දුවෙන් සවන් දුන් හ.

අයිටීඑන් හා සිරස ඇතුලු ජාතික රූපවාහිනී නාලිකාවන් සිද්ධිය ආවරනය කල අතර, ප්‍රමුඛ පෙලේ දෛනික දෙමල පුවත්පතක් වන වීරකේසරී එහි අන්තර්ජාල සංස්කරනයේ ඡායාරූප සහිත වාර්තාවක් පලකලේ ය. සිරස රූපවාහිනියට සම්බන්ධ ශක්ති රූපවාහිනිය ද කෙටි වීඩියෝ පටයක් හා සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජාගේ කතාවෙන් කොටසක් විකාශනය කලේ ය.

සටන්කාමී වතු කම්කරුවන් වතු සමාගම් හා ආන්ඩුව විසින් රුදුරු ලෙස දඩයම් කිරීම වහා නතර කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිය හ. කම්කරුවකු හා ඈන්ෆීල්ඞ් වත්තේ ලංකා කම්කරු කොංග්‍රස් (සීඩබ්ලිව්සී) ශාඛා නායකයෙකු වන එස්. බාලසුබ්‍රමනියම්ගේ වැඩ කලමනාකාරීත්වය විසින් නවත්වා ඇත. සමාගම විසින් ඉදිරිපත් කල ගොතන ලද චෝදනා හේතුවෙන් ඔහු හා තවත් කම්කරුවන් කිහිප දෙනෙකුට එරෙහි ව පොලීසිය විසින් චෝදනා නැගීමට නියමිත ය.

“කම්කරුවන් දඩයම නවතනු,” “වෘත්තීය සමිති එපා, අතයට ගනුදෙනු එපා,” “වෘත්තීය සමිති භංගවේවා, ඔවුන්ගේ පාවාදීම් නවතනු” යනාදී සටන් පාඨ විරෝධතාකරුවෝ හඬනැගූ හ.

තමන්ගේ දෛනික ගැටලු හා ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව අතර සම්බන්ධය අවබෝධ කරගනිමින්, ඔවුහු “ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වදිනු. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරනු. ලෝක යුද්ධයට එරෙහි වනු” යි ද හඬනැගූ හ.

ක්‍රියාකාරී කමිටුව හා සසප උද්ඝෝෂකයෝ ඉරිදා විරෝධතාව සඳහා කල උද්ඝෝෂනයේ දී වතු කම්කරුවන් අතරින් බලගතු සහායක් දිනා ගත් හ.

රාජේන්ද්‍රන්

දැනට ආරක්ෂක නිලධාරියෙකු ලෙස කොලඹ වැඩකරන එස්. රාජේන්ද්‍රන්, තමන් දඩයමට ලක්වූ බවත් කලමනාකාරීත්වය විසින් ගොතන ලද චෝදනා හේතුවෙන් 2011 දී තමන්ට වතු කම්කරු රැකියාව අහිමි වූ බවත් ලෝසවෙඅ වෙත කීවේ ය.

තමන් ව දොට්ට දැමීමේ සැබෑ හේතුව අසාධාරන වැඩ කොන්දේසිවලට විරෝධය පෑම බව ඔහු විස්තර කලේ ය. ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) ඔහු ව ආරක්ෂා කරනු වෙනුවට සමාගම සමග නිෂ්ඵල නඩුවක පැටලවීමට උත්සාහ කලේ ය.

“වෘත්තීය සමිති සමාගම්වල ප්‍රතිලාභ වෙනුවෙන් අප ව අත්හරිනවා නම් අපි ඔවුන්ට සාමාජික මුදල් ගෙවිය යුත්තේ ඇයි? වෘත්තීය සමිති සමාගම්වලට සහයෝගය දෙන නිසා අද බාලසුබ්‍රමනියම් එම ඉරනමට ම මුහුන දී සිටිනවා” යි ඔහු කීවේ ය.

විරෝධතාවට සහයෝගය දැක්වූ ඈන්ෆීල්ඞ් වත්තේ කාන්තා කම්කරුවෙක් වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ විසින් වතු කම්කරුවන් ව වසර ගනනක් තිස්සේ පාවා දී ඇති බව ලෝසවෙඅ වාර්තාකරුවන්ට කීවා ය.

“බාලසුබ්‍රමනියම් දඩයම් කිරීමට අපි විරුද්ධ විය යුතු යි. කොලඹ ගොඩනැගිලි පොලක වැඩකරන මගේ මහත්තයාත් අද විරෝධතාවට සම්බන්ධ වෙනවා. අපේ වත්තේ, මේ රටේ හා ලෝකය පුරා සියලු කම්කරුවන් තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට එකතු විය යුතු යන්නට අපි එකඟ යි” යි ඇය කීවා ය.

සිද්ධිය කඩාකප්පල් කිරීම සඳහා එන්යූඩබ්ලිව් දැරූ උත්සාහයන් නො තකා ඉරිදා විරෝධතාවට කම්කරුවෝ සම්බන්ධ වූ හ. එන්යූඩබ්ලිව් වර්තමාන ආන්ඩුවේ කොටස්කරුවෙක් වන අතර එහි නායක පී. දිගම්බරම් ඇමතිවරයෙකි.

අබෝස්ලි වත්තේ එන්යූඩබ්ලිව් ප්‍රාදේශීය නායක මුන්නුසාමි නැමැත්තා ක්‍රියාකාරී කමිටුවට සහයෝගය දෙන කම්කරුවන්ට තර්ජනය කර ඇත. කම්කරුවන්ගේ ලයින්කාමර වෙත පුද්ගලික ව පැමින ඇති ඔහු, සමාජවාදී සමානතා පක්ෂය සමග සම්බන්ධතා පවත්වා ගතහොත් “විපාකවලට මුහුන දීමට” කම්කරුවන් සූදානම් විය යුතු බවට ඔවුන්ට අනතුරු ඇඟවී ය.

“අරගලයේ ඉදිරියෙන් ම සිටි නිසා” ඈන්ෆීල්ඞ් වත්තේ බාලසුබ්‍රමනියම් දඩයමට ඉලක්ක වී ඇති බව අබෝස්ලි වත්තේ ක්‍රියාකාරී කමිටුවේ සභාපති පී. සුන්දරලිංගම් රැලිය අමතමින් කීවේ ය. “ඔහු ආරක්ෂා කිරීමට අපි එක්සත් විය යුතු යි.”

පී. සුන්දරලිංගම්

වෘත්තීය සමිති හා සමාගම් අතර මෑත දී අත්සන් තැබූ සාමූහික ගිවිසුම වතු කම්කරුවන් පාවාදීමක් බවත් කම්කරුවන් එයට විරුද්ධ විය යුතු බවත් සුන්දරලිංගම් රැස්ව සිටි පිරිස අමතමින් කීවේ ය. “ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව තවම ගත වී ඇත්තේ මාසයකට අඩු කාලයක් වුවත් කම්කරුවන්ගේ වැඩ ප්‍රමානය වැඩි කරමින් තිබෙනවා.”

වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට ඇබොස්ලී කම්කරුවන් ගත් තීන්දුව මුලුමනින් සනාථ කරනවා. “ඉරිදා දෛනික ඉලක්කය කිලෝග්‍රෑම් 35 හෝ 40 දක්වා වැඩිකර තිබුනත් ගෙවන්නේ කලින් ප්‍රමානය ම යි. කාන්තා කම්කරුවන්ට දෛනික තේ නෙලීම පටන් ගැනීමට පෙර වල්පැල ගලවා වත්ත සුද්ද කරගැනීමට සිදු වී තිබෙනවා.”

සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා කියා සිටියේ, බාලසුබ්‍රමනියම්ට එරෙහි ව වත්තේ කලමනාකාරීත්වය සමගින් සමිති හා පොලීසිය ඒකාබද්ධ වීම, කම්කරු පන්තියට එරෙහි ව ආඥාදායක විධික්‍රම වඩ වඩා යොදාගැනීම පිලිබඳ තවත් සංඥාවක් බව යි. “මෙය හුදෙක් වතු කම්කරුවන්ට පමනක් නො ව සමස්ත කම්කරු පන්තියට එරෙහි තර්ජනයක් හා අනතුරක්” යි ඔහු කීවේ ය.

එම්. දේවරාජා

සෑම රටක ම මිලියන ගනන් කම්කරුවන් වැටුප් හා කොන්දේසි අරබයා ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා අරගලවලට එලඹෙද්දී පාලක පන්තීන් ගෝලීය පරිමාන ප්‍රහාරයක් එල්ල කරන තතු තුල ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් දඩයමට ලක් කිරීම එහි කොටසක් බව සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්ධන විස්තර කලේ ය.

“වෘත්තීය සමිති නො තකමින් මෙක්සිකෝවේ මැටමොරොස් කම්කරුවන් 70,000ක් පමන වර්ජනයේ නිරත වෙනවා. ඉන්දියාවේ මිලියන ගනන් කම්කරුවන් ද එක්සත් ජනපදයේ දහස් ගනන් කම්කරුවන් ද වර්ජනවල යෙදෙනවා. ඔවුන් සියලු දෙනා මෙහි වතු කම්කරුවන් මෙන් එකම ප්‍රහාරවලට මුහුන දී සිටිනවා” යි ඔහු කීවේ ය.

පානි විජේසිරිවර්ධන

වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය එකහෙලා ප්‍රතික්ෂේප කොට ඇබොස්ලී වත්තේ ආදර්ශය අනුගමනය කරමින් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස විජේසිරිවර්ධන සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලී ය. “ඔබගේ අයිතීන් සඳහා අරගලය ඔබගේ ම අතට ගන්න. ශ්‍රී ලංකාවේ හා ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක් සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වදින්න.”

විරෝධතාවට සහභාගි වූ කම්කරුවෝ දේශපාලන අරගලයක් සඳහා ඇබොස්ලී වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප ක්‍රියාමාර්ගය සමග එකඟතාව පලකල හ.

ඉන්වේරි වත්තේ අශෝගන්: “පසුගිය දින කිහිපයේ ඔබ ගෙනගිය උද්ඝෝෂනය තුල දී වතු කම්කරුවන් සමාගම් විසින් දඩයම් කිරීමට විරුද්ධ ව සටන් කරන එකම පක්ෂය සසප බව මා දැනගත්තා. අපි එකමුතු වී සසප කම්කරු පන්තියේ මහජන පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු යි.”

අවන්හල් කම්කරුවකු වන බාලසිංහම්: “රුපියල් 1,000ක දෛනික වැටුපකින් මම මගේ පවුල නඩත්තු කරගෙන යාමට වලිකනවා. ඒත් වතු කම්කරුවන්ට එච්චරක් වත් ලැබෙන්නෙ නැහැ. හැම තැන ම කම්කරුවන් මුහුන දෙන්නෙ එකම ප්‍රශ්නවලට. මම වතු කම්කරුවන්ගේ අරගලයට සහයෝගය දෙනවා, ඒකට සම්බන්ධ වෙලා ඔවුන්ගේ සටනට සහයෝගය දෙනවා.”

ඉරිදා පැවති විරෝධතාවට පලවූ ශක්තිමත් ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ, වතු කම්කරුවන් ස්ථරයක් තමන්ගේ ප්‍රශ්නවලට ධනවාදයේ රාමුව තුල විසඳුමක් නැති ය යන අවබෝධය කරා පැමිනෙමින් සිටින බව යි. බොහෝ දෙනා වෘත්තීය සමිතිවලින් බිඳී ස්වාධීන දේශපාලන බලයක් ලෙස සංවිධානය විය යුතු ය යන්න හඳුනාගැනීම අරඹමින් සිටිති.

මාර්තු 17දා හැටන් නගර ශාලාවේ පැවැත්වෙන කම්කරු සමුලුවට සහභාගි වන ලෙස සසප හා ක්‍රියාකාරී කමිටුව වතු කම්කරුවන්ට හා කම්කරු පන්තියේ අනෙක් කොටස්වලටත් ශිෂ්‍යයන්, තරුනයන් හා බුද්ධිමතුන්ටත් කැඳවුම් කරති. “වතු කම්කරු අරගලයේ පාඩම් සහ වැටුප් හා සමාජ අයිතීන් දිනාගැනීමේ ඉදිරි මාවත” නමැති මෙම සමුලුව මෙම තීරනාත්මක ප්‍රශ්න සවිස්තර ව සාකච්ඡා කිරීමට රාමුවක් සම්පාදනය කරනු ඇත.

Share this article: