ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව වතු සමාගම් යලි අවධාරනය කරයි

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2019 පෙබරවාරි 22

වතු කම්කරුවන්ට වැඩිපුර ඉපයීමට අවශ්‍ය නම් සම්ප්‍රදායික වැටුප් ක්‍රමයෙන් ඉවත් වී නිෂ්පාදන පලදායිතාවය මත පාදක වූ ආදායම් බෙදීමේ ක්‍රමයට මාරු විය යුතු බව වැවිලි කරුවන්ගේ සංගමය යලි අවධාරනය කර ඇත. ”මුල්‍යමය වශයෙන් ක්‍රියාවට දැමිය හැකි සහ වෙලඳපොල කොන්දේසිවලට අනුකූලවන අතර, කම්කරුවන්ට උපරිම ඉපැයීමක් සම්පාදනය කරන සහ දීර්ඝ කාලයක් අවශ්‍යව පැවති කල් පවත්නා වැටුප් ක්‍රමයක් දිසාවට මාරුවීම සඳහා සියලුම පාර්ශවයන් එක් විය යුතු ය. මෙහි තේරුම කම්කරුවන් වැඩියෙන් උපයන්නේ නම් ඔවුන්ට එසේ කල හැක්කේ ඔවුන්ගේ නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමෙන් පමනක්” බව වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඔබේසේකර ඬේලි එෆ්ටී පත්‍රයට පවසා ඇත.

නව වැටුප් ගිවිසුම දැනටමත් ක්‍රියාත්මක කර ඇති හෙයින් කවර පාර්ශවයකට හෝ එය වෙනස් කල නොහැකි බවත් කම්කරුවන්ට වැටුප් ගෙවීම දැනටමත් ඒ මත පාදකව සිදු කර ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. කර්මාන්තයේ දිගුකාලීන පැවැත්ම සහතික කෙරෙන නිෂ්පාදන පලදායිතාව කෙරෙහි යොමු වූ ”පෘථුල ප්‍රතිසංස්කරනයන් සමස්ත කර්මාන්තය” තුල ම සිදු කල යුතු බව ඔබේසේකර වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

නව වැටුප් ගිවිසුම අනුව වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 500 සිට 700 දක්වා රුපියල් 200 කින් සහ මිල බෙදීම් අතිරේක දීමනාව රුපියල් 30 සිට 50 දක්වා 20 කින් වැඩි කර ඇත. එහෙත් ඊට හිලව් වශයෙන් නිෂ්පාදන පලදායිතා දීමනාව සහ පැමිනීමේ දීමනාව ඉවත් කිරීමෙන් රුපියල් 200 ක වැටුප් කප්පාදුවක් කර තිබේ. ඒ අනුව යථාවශයෙන් වැටුප වැඩි වී ඇත්තේ රුපියල් 20 කින් පමනි. දෛනික නිෂ්පාදන ඉලක්කයට වැඩියෙන් නෙලන තේ දලු කිලෝවකට ගෙවන මිල රුපියල් 28.75 සිට රුපියල් 40 දක්වා වැඩිකර ඇති නමුත් නව නිෂ්පාදන ඉලක්කයන් නියම කරන්නේ වතු පාලකයන් විසිනි.

තේ නිපදවන සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වියදම වැඩි බවත් ඉන් සියයට 70 ක් වැයවන්නේ කම්කරුවන්ගේ වැටුප් සඳහා බවත් වැවිලිකරුවන්ගේ සංගමය චෝදනා කරයි. ”වර්තමාන වැටුප් ගතිකයන් නිසා මුලු නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා පවතින්නේ වලංගු තෝරාගැනීම්වලින් එකක් වන නිෂ්පාදන පලදායිතාව්‍ය ඉහල දැමීම” බව ඔබේසේකර සඳහන් කර ඇත.

කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සාධාරනීකරනය කිරීම සඳහා තේ කිලෝවක නිෂ්පාදන වියදම ඉහල ගොස් ඇති බව සමාගම් ඉදිරිපත් කරන එක් තර්කයකි. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාවට අනුව 2014 සිට පෙන්නුම් කර ඇත්තේ තේ කිලෝවක නිෂ්පාදන වියදම පහත වැටීමේ ප්‍රවනතාවයකි. මහ බැංකු වාර්තාවට අනුව තේ කිලෝවක නිෂ්පාදන වියදම 2014 රුපියල් 475.11 වූ නමුදු 2015, 2016, 2017වසරවල පිලිවෙලින් රුපියල් 458.84, 469.24, 466.98 කි.

වැවිලිකරුවන්ගේ සංගමයේ තර්කනය මුලුමනින් ම යොමු කෙරී ඇත්තේ නිෂ්පාදන පිරිවැය, විශේෂයෙන් ම ශ්‍රම පිරිවැය කප්පාදු කිරීම මගින් වැවිලි සමාගම් වල ලාභ මට්ටම් ඉහල දමා ගැනීම කෙරෙහිය. ඒ සඳහා වර්තමාන දරිද්‍රතා වැටුප් ක්‍රමය හා සොච්චම් සමාජ සහන පවා අහෝසි කෙරෙන හා විශ්‍රාමිකයන් සහ ලමා ලපටීන් ඇතුලු කම්කරුවන්ගේ මුලු පවුලම ශ්‍රම සුරා කෑමට යටත් කරනු ලබන ආදායම් බෙදීමේ ක්‍රමය කඩිනමින් ක්‍රියාවට දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි වතු සමාගම් අවධාරනය කරයි. වෘත්තීය සමිති සහ ආන්ඩුවේ සහයෝගය ඇතිව නව ගිවිසුම තුලින් එය ක්‍රියාවට දැමීමට වැවිලිකරුවන්ගේ සංගමය අපේක්ෂා කරයි.

තේ නිපදවන සෙසු රටවල් වලට වඩා ශ්‍රී ලංකාවේ ශ්‍රම පලදායිතාවය ”අතිශයින් ම” පහල මට්ටමක පවතින බවට සමාගම් චෝදනා කරති. ඔවුන්ට අනුව ශ්‍රී ලංකාවේ ලංකාවේ දිනකට නෙලන තේ දලු ප්‍රමානය කිලෝ 18 ක් වන අතර එය කෙන්යාවේ කිලෝ 60 ක් දකුනු ඉන්දියාවේ කිලෝ 50 හා ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයේ කිලෝ 36 කි. ඔවුන් ඉන් ඇඟවුම් කරන්නේ ශ්‍රී ලංකාවේ තේ කම්කරුවන්ගේ ශ්‍රම පලදායිත්වය ඒ මට්ටමට ඉහල දැමිය යුතු බවය. එනම්: ශ්‍රම සුරාකෑම අතිශයින් තීව්‍ර කල යුතු බවය.

ලංකා තේ බ්‍රෝකර් පීඑල්සී විසින් පෙබරවාරරි 8 වෙනිදා ඩේලි එෆ්ටී පත්‍රයේ පල කරන ලද ලංකාවේ තේ කර්මාන්තය පිලිබඳ විමසුම් ලිපියක ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය බරපතල අභියෝගයකට මුහුන දී ඇති බව කියයි. ”ප්‍රධාන අභියෝගය වන්නේ සැපයුම සහ ඉල්ලුමේ විචලනය, අපනයනයන කරනු ලබන රටවල මුල්‍ය හා දේශපාලන තත්වය සහ ප්‍රතිපත්ති විසින් කර්මාන්තය තුල ඇති කරනු ලබන ගැඹුරට මුල් බැසගත් අර්බුදය යි.” එහෙයින් ”මෙම අවිනිශ්චිතතාවයන් ට මුහුනදීම සඳහා අවදානම සමනය කරන සාර්ථක මූලෝපායක් කර්මාන්තය වර්ධනය කලයුතු ය” එනම්: ලෝක ධනවාදයේ අර්බුදය විසින් තීව්‍ර කෙරී ඇති ශ්‍රී ලංකාවේ වැවිවිලි කර්මාන්තයේ අර්බුදය වතු කම්කරුවන් මතට කඩාපාත් කරන මූලෝපායක් වර්ධනය කල යුතු ය..

ලිපිය සඳහන් කරන පරිදි 2014 දී ඩොලර් බිලියන (ඩො බි)1.63 වූ තේ අපනයන ආදායම 2015 දී ඩොබි 1.34 ක් ද, 2016 දී ඩොබි 1.26 ක් ද දක්වා පහත වැටී 2017 දී ඩොබි 1.53 දක්වා ඉහල නැග, යලිත් 2018 දී ඩොබි 1.43 දක්වා පහත වැටී ඇත. නිෂ්පාදනය පහත වැටීම සහ ඉරානයට සම්බාධක පැනවීම වැනි ගෝලීය දේශපාලන සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් 2018 වසරේ තේ අපනයන පහත වැටීමට තුඩුදුන් බව ලිපිය වැඩි දුරටත් සඳහන් කරයි.

තේ නිෂ්පාදනය සහ අපනයනයේ පහත වැටීමක් ඇති නමුත් වතු සමාගම් මහා පරිමාන ලාබ ලබන බවත් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම සඳහා සැබෑ ලාබය සගවන බවට පෙබරවාරි 20 ඩේලි එෆ්ටී පත්‍රයට ලිපියක් ලියන විශේෂ ලියුම්කරුවෙකු තේ සමාගම් වලට චෝදනා කරයි. තේ වතු මෙන් ම, තේ අපනයන සමාගම් වලින් බහුතරයක හිමිකාරිත්වය වතු සමාගම් අතෙහි පවතින බව ඔහු කියයි: ”ලාබයෙන් වැඩි කොටස ගොඩ ගැසෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය වතු සමාගම් වලට අයිති බලපත්‍රලාභී අපනයන සමාගම් තුල” බව ඔහු සඳහන් කරයි.

නිෂ්පාදන මිලට සරිලන අලෙවි මිලක් නොලැබෙන බව තේ සමාගම් කියන නමුත්, 2017 තේ කිලෝවක සාමාන්‍ය වෙන්දේසි මිල රුපියල් 620.44 වූ අතර එෆ්ඕබී තේ කිලෝවක අපනයන මිල රුපියල් 807.44 ක් බවත්, එය තේ කිලෝවක නිෂ්පාදන වියදමට වඩා සියයට 72.9 කින් වැඩි බවත් මහ බැංකු වාර්තාව උපුටා දක්වමින් ලියුම්කරු පෙන්වා දෙයි.

කම්කරුවන්ගේ බරපතල විරුද්ධත්වය නොතකා වැටුප් අරගලය පාවාදීමට හා ආන්ඩුව සමග එක්ව වතු සමාගම් වල වැටුප් සුත්‍රය කම්කරුවන් මත පැටවීමට සියලු වතු වෘත්තීය සමිති සහාය දුන්හ. දැන් ඔවුහු වතු සමාගම් විසින් යෝජිත ආදායම් බෙදීමේ ක්‍රමයට කම්කරුවන් කරබදු කිරීමට එකාවන් ව වැඩ කරති.

ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීමට හා “වතුවල කාර්යක්ෂමතාව හා ඵලදායකත්වය වර්ධනය කිරීමට සහයෝගය දෙමින් කැපවන” බව ට සහ “මෙහෙයුම් ගැටලු වතු මට්ටමින් සාමකාමී ව විසඳාගැනීමට” ද වෘත්තීය සමිති සහාය ලබාදෙන බව අන්තර්ගත වගන්ති නව ගිවිසුමට ඇතුලත් වී ඇත.

වෘත්තීය සමිති කෙරෙහි බලගතු විරෝධයක් කම්කරුවන් අතර වර්ධනය වී ඇති තත්වය තුල ව්‍යාජ-වම ඔවුන් දේශපාලනිකව අවමංගත කර හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ ප්‍රහාරවලට යටත් කිරීමේ කටයුතුවල යෙදෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ප්‍රමුඛ ”රුපියල් 1000 ව්‍යාපාරය” එවන් එක් සංවිධානයකි. රුපියල් 1000 වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කල වතු සමාගම්, ආන්ඩුව හා වෘත්තීය සමිති වලට එය ලබාදෙන ලෙස බල කිරීම සඳහා කම්කරුවන් තල්ලුකිරීමට ඔවුන් උද්ඝෝෂනය කරයි.

වතු කම්කරුවන් ඉදිරියේ ඇත්තේ හුදෙක් පලල් උද්ඝෝෂනයක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව සමාගම් වල හා ආන්ඩුවේ ප්‍රහාරයන් ට එරෙහි සටන සඳහා දේශපාලන ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයයි. එය පොදුවේ ශ්‍රී ලංකාවෙිත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප්‍රශ්නයයි. ලංකාවේ දී එය වතු, බැංකු, මහා පරිමාන කර්මාන්ත ඇතුලු මුලික ධනපති දේපොල කම්කරු පාලනයට යටත් කරන හා සමාජවාදී සැලසුම්ගත ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා සටනකි.

එවන් අරගලයක් සඳහා මුලික කොන්දේසිය වන්නේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ගොඩනගන කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා ගම්බද ගොවි ජනතාව සහ සෙසු පීඩිත ජන කන්ඩායම් රැලි කර ගත් කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමය.

කම්කරුවන්ගේ පසුගිය අරගලයේ පාඩම් සාකච්චාකර ඉදිරි අරගලය සඳහා වැඩපිලිවෙලක් සාකච්චා කිරීමට සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහය ඇතිව ඇබෝස්ලි වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව විසින් මාර්තු 17 වෙනි ඉරිදා හැටන් නගර ශාලාවේ දී කම්කරු සම්මේලනයක් කැඳවුම් කර ඇත. එයට සහභාගිවන ලෙස කම්කරුවන්ට හා තරුනයන්ට අපි ආරාධනය කරමු.

Share this article: