ලංකාව තුල ලාභ ශ්‍රමය ඉලක්ක කරගත් විදේශ කම්කරු ආගමනය ඉහලයයි

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 පෙබරවාරි 7

ලංකාවේ සමාජ-ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ චින්තන පර්ෂදයක් වන ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කල වාර්තාවකින් එලිදරව් කෙරුනේ ගෙවුනු වසර කිහිපය තුල ලංකාවේ රැකියාවන් හි චීනය ප්‍රමුඛ විදේශ රටවලින් පැමිනෙන කම්කරුවන්ගේ නියුක්තිය වැඩිවීමේ ප්‍රවනතාවයක් පවතින බවයි.

“ලංකාව තවමත් ශුද්ධ විගමනයක් (කම්කරු ආගමනයට වඩා විගමනය වැඩි) රටක් වුවත් මේ වනවිට විදේශීය කම්කරුවන්ගේ සංක්‍රමනය ඉහලයාමේ නව ප්‍රවනතාවයක් ඉස්මතු වෙමින් පවතින” බවට වාර්තාව කරුනු ඉදිරිපත් කරයි. 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී විදේශිකයන් සඳහා නිකුත් කර ඇති නේවාසික වීසා බලපත්‍ර ප්‍රමානය 41,306 සිට 53,583 දක්වා ඉහල ගොස් ඇති අතර එයින් සියයට 60ක්ම රැකියා සඳහා මෙරටට සංක්‍රමනය වූවන් සඳහා නිකුත් කල ඒවාය.

විශේෂයෙන්ම ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩබිම් වල චීන කම්කරුවන්ගේ නියුක්තිය ඉහලගොස් අති බව පෙන්වාදෙන වාර්තාව ඊට සමගාමීව, වඩ වඩාත් නරක අතට හැරෙන වැඩ කොන්දේසි හේතුවෙන් ලංකාවේ කම්කරුවන් එම රැකියා හැරයන බවට කරුනු ඉදිරිපත් කරයි.

කොලඹ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නියුතු රුපියල් 1,500ක දෛනික වැටුපක් ලබන කම්කරුවෙකු, එම වැටුප ඔහුගේ අවශ්‍යතා සපුරාලීමට අසමත් නිසාත් ලංකාවේ රැකියා අවස්ථා සහ වැඩ කොන්දේසි ආකර්ශනීය නොවන නිසාත් විදේශයන්හි රැකියා සොයායෑමට පෙලඹෙන බව පෙන්වාදෙන වාර්තාව එම තත්වයන් යටතේම චීන කම්කරුවන් මෙරට රැකියාවලට ආකර්ෂනය වන බව ප්‍රකාශ කරයි.

උදාහරන ලෙස කමල් සහ හොන්ග් චුවා යන නම් වලින් හැඳින්වෙන කම්කරුවන් දෙදෙනෙකුගේ ප්‍රකාශයන් ගෙනහැර දක්වන වාර්තාව, “කමල් වැනි ශ්‍රී ලාංකික කම්කරුවෙකු සෞදි අරාබිය වැනි රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ රැකියා අවස්ථා අයහපත් යැයි දැකගන්නා අතර හොන්ග් චුවා වැනි සංක්‍රමනික චීන කම්කරුවෙකුගේ දැක්මට අනුව එම කොන්දේසි තමන්ගේ රටේ තත්වයට වඩා සතුටුදායක වේ” යැයි පවසයි.

2008 මුල්‍ය බිඳ වැටීමෙන් පසු සිය ලාභ රේට්ටු කඩාවැටීමට මුහුන දී ඇති ලෝක ධනපති පන්තිය එය පියවා ගැනීම උදෙසා කම්කරුවන් වඩා ඉහල පරිමානයෙන් සූරා කෑම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටියි. මෙහි ඉහලම ප්‍රකාශනයක් අත්පත් කරගන්නා චීනය තුල කම්කරුවන්ට ඉතා දුෂ්කර කොන්දේසි යටතේ වැඩකිරීමට බලකෙරී ඇත.

සමාජයීය සහ දේශපාලනික ගැටලු පිලිබඳ විශ්ලේෂන ඉදිරිපත් කරන බ්‍රිතාන්‍යය වෙබ් අඩවියක් වන ඕපන්ඩිමොක්‍රසි හි මෑතක පලවූ වාර්තාවක සඳහන් වූයේ මිලියන 55 ක් පමන වන චීනයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ගෙන් සියයට 75 කට පමන නිසි කලට වැටුප් නොලබා රැකියාවේ නිරත වීමට බලකෙරී ඇති බවයි. චීනයේ නීතියට අනුව මාස් පතා ගෙවීම් කල යුතු නමුත් බෙහෝ කම්කරුවන්ට මාස හයකට වතාවක් හෝ ගෙවීම් නොකෙරෙන බව වාර්තාව පෙන්වාදෙයි.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග සහ අප්‍රිකාව පිලිබඳ අධ්‍යනායතනය විසින් මෑතකදී කල සමීක්ෂනයකට අනුව චීනයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ගෙන් සියයට 75 කටත් වඩා සේවයේ යොදවා ඇත්තේ තාවකාලික කම්කරුවන්ය. ඉතා පහල මට්ටමේ වැටුප් ලබන ඔවුන්ට අවම අතිකාල ගෙවීම් ලබමින් දිනකට පැය 10 බැගින් සතියට දින 6 ක් දැරිය නොහැකි වේගයකින් වැඩකිරීමට බලකෙරී ඇත. ඇතැම් විට වැඩ කාලසටහන් වල විෂමාකාර ස්වභාවය නිසා කම්කරුවන්ට තමන් වැඩකරන කාලයෙන් කොපමනකට ගෙවීම් කෙරෙනවාද යන්න පවා නිශ්චය කරගැනීමට අපහසු වී තිබේ. වැඩබිම් වල අනාරක්ෂිත ස්වභාවය නිසා නිරන්තරයෙන් අනතුරුවලට මුහුනදෙන කම්කරුවන්ට සිය රැකියාවන් හි තාවකාලික පදනම හේතුවෙන් කිසිඳු වන්දි මුදලක් නොලැබේ.

චීනයේදී කම්කරුවන් මුහුනදෙන රැකියා කොන්දේසි හා සර්වසම නොවූවත්, ලංකාවේ රැකියා කොන්දේසි පිලිබඳව මෙරට කම්කරුවන් අතර වර්ධනය වන අතෘප්තිය මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙරට තුල ශ්‍රම සූරාකෑම නොකඩවා තිව්‍ර කෙරෙන බවයි.

චීන කම්කරුවන් වැඩි වැඩියෙන් යොදා ගැනීම ලංකාව තුල ආයෝජනය කර ඇති ධනපතියන්ට වඩාත් ලාභදායී වෙයි. වාර්තාවේ පෙන්වා දෙන අන්දමට දිනකට පැය 10ක් සේවයේ නිරතවන චීන කම්කරුවෙකුට ලබාදෙන්නේ රුපියල් 1000 ක දෛනික වැටුපකි. එහි අර්ථය වන්නේ එම වැඩබිම් වලම රැකියාවේ නිරතවීමට සිදුවන වන දේශීය කම්කරුවෙකුට වුව ද එකඟ වීමට සිදුවන වැටුප් සහ සේවා කොන්දේසි ඒවාම බවයි.

සංක්‍රමනික කම්කරුවන්ගේ නියුක්තිය ඉහල යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ආයතනයේ ඉහත වාර්තාව එලඹෙන නිගමනයන් වන්නේ ලංකාවේ ආගමන විගමන නීති රෙගුලාසි වල පවත්නා සීමාසහිතභාවය මෙම තත්වයට හේතු වී අති බවත් එය ලංකාවේ කම්කරුවන්ට රැකියා අවස්ථා සීමා කරන ප්‍රවනතාවයක් වන බවත්ය. තත්වය පාලනය කිරීමට ගැලපෙන පරිදි නව නිීති සකස්කල යුතු බවට යෝජනා ගෙන එන වාර්තාව, “විදේශ කම්කරුවන් සහ දේශීය කම්කරුවන් අතර පසමිතුරුභාවයක් වර්ධනය වන තත්වයක් නිර්මානය කෙරෙන අන්දමට සංස්ථාපිත සැකැස්මේ පවතින කිසිදු දුර්වලතාවයකට ඉඩදිය නොහැකි බව” පවසයි.

එහි අර්ථය වන්නේ, මෙරට ශ්‍රම වෙලඳපොලේ ඇති වැටුප් වලට වඩා අඩු වැටුප් යටතේ විදේශීය කම්කරුවන් මෙරටට සංක්‍රමනයවීම වලකාලියයුතු බවයි. නැතහොත් විදේශීය කම්කරුවන් මෙරටට සංක්‍රමනයවීම මුලුමනින්ම නවතාලියයුතු බවයි.

මෙය වනාහි, තමාට අභිමත ඕනෑම රටක රැකියාවේ යෙදීම සහ ජීවත්වීම සඳහා ලොව ඕනෑම පුද්ගලයෙකුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සහ කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවට එරෙහි ප්‍රතිගාමී යෝජනාවකි.

සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධයෙන් නොයෙක් අධ්‍යයන කවයන්ගේ විශ්ලේශන සියල්ලක්ම පාහේ මෙම අවසන් නිගමනයට එලැඹෙන්නේ තමන්ගේ ජාතිකවාදී ඉදිරිදර්ශනයන් තුලිනි.

වෘත්තිය සමිති සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධානයන් ද ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද තොරෙම්බල් කරනුයේ ඉහත ආකාරයේ ජාතිකවාදී වැඩපිලිවෙලවල් ය.

ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරුවන් බලමුලුගැන්වීමට සපුරා එරෙහි එවැනි ජාතිකවාදී සංවිධානවල ප්‍රතිගාමී ක්‍රියාමාර්ගයන්ගේ තාර්කික අන්තය වනුයේ සංක්‍රමනික කම්කරුවන්ට එරෙහිව දක්ශිනාංශික උද්ඝෝෂනයක් පෙරට ගැනීම යි.

යෝජිත ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂනික සහයෝගිතා ගිවිසුම (එට්කා) අරබයා ජවිපෙ ප්‍රමුඛව වෘත්තීය සමිති, ව්‍යාජ වම්මු සහ විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත කන්ඩායමක් ඉන්දියානු කම්කරුවන්ට එරෙහිව ගෙනගිය උද්ඝෝෂනය ඊට ආසන්න උදාහරනයක් සපයයි.

එහෙත් ජාත්‍යන්තර කම්කරුවන් අතර මේ වනවිට වර්ධනය වන මනෝගතිය ඊට සපුරා ප්‍රතිකූල මාවතකට අවතීර්න වී තිබේ. පන්ති අරගලය වඩ වඩාත් ජාත්‍යන්තර ක්‍රියාදාමයක් ලෙස වර්ධනය වෙමින් පවතින අතර වෘත්තීය සමිති විසින් මෙතෙක් කල් වලකාගෙන සිටි ජාත්‍යන්තර එකමුතුව සඳහා කම්කරුවන් පෙරට පැමිනෙමින් සිටියි.

තමන් එක් ජාත්‍යන්තර පන්තියක් බවත් තමන්ගේ රටේ කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීම උදෙසා තමන්ගේ දේශසීමාවලින් එහා සිටින සිය පන්ති සගයන් ඒකාබද්ධ කරගැනීමේ අර්ථභාරයත් කම්කරුවෝ වටහාගනිමින් සිටිති. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කල පරිදි, මෙක්සිකෝවේ මැටමොරොස් හි මැකිලඩෝරා රථවාහන අමතර කොටස් කර්මාන්ත ශාලාවල 70,000ක් කම්කරුවන්ගේ අරගලය උතුරු ඇමරිකාවේ රථවාහන නිෂ්පාදනය අකර්මන්‍ය කිරීමට තුඩුදිය හැකි තත්වයක් තුල පවා උතුරු ඇමරිකාවෙන් මෙන්ම ලෝකය පුරා කම්කරුවන්ගෙන් මෙක්සිකෝවේ කම්කරුවන්ගේ අරගලයට සහයෝගීතා පනිවුඩ ලැබී ඇත.

තමා කැමති රටක ජීවත්වෙමින් ශීලාචාර ජීවිතයක් ගතකලහැකි වැටුපක් සහිත රැකියාවක නිරතවීමට ඇති අයිතිය තහවුරු කිරීමට නම්, එම අයිතීන්ට එරෙහිව පිහිටා ඇති ජාතික රාජ්‍ය පද්ධතිය ද පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනවාදය ද අහෝසි කල යුතුය. මෙය සාක්ෂාත් කල හැක්කේ ගෝලීය ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක් තුලින් පමනි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය මේ සඳහා අත්‍යවශ්‍ය ම සාධකයකි.

Share this article: