ආන්ඩුවේ අයවැයෙන් ආරක්ෂක අංශවලට විශාල මුදලක් වෙන්කිරීම ගැඹුරු වන සමාජ -ආර්ථික අර්බුදයේ දර්ශකයක්

සමන් ගුනදාස විසිනි, 2018 පෙබරවාරි 18

පසුගිය පෙබරවාරි 5 දින ආන්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය විසර්ජන පනතට අනුව ආන්ඩුවේ වියදමෙන් අඩකටත් වඩා නය වාරික හා පොලී සඳහා වෙන් කර ඇති අතර ඉන්පසු වැඩි වශයෙන්ම මුදල් වෙන් කර ඇත්තේ පොලිසියට හා ආරක්ෂක හමුදාවට ය.

මෙම මුදල් වෙන් කිරීම රට තුල ඔඩු දුවන සමාජ-ආර්ථික අර්බුදයේ පරිමානය කියාපායි. නය වාරික හා පොලී සඳහා වෙන් කර ඇති රුපියල් ට්‍රිලියන 2.23 ඉතිහාසයේ ඒ සඳහා වෙන් කර ඇති ඉහලම මුදල වන අතරම එය මෙම වසර තුල ආන්ඩුව විසින් ලබා ගන්නට සැලසුම් කරන නය ප්‍රමානය වන රුපියල් ටි්‍රලියන 2.16 සමඟ ආසන්න ය. ඉන් පෙන්නුම් කරන්නේ ආන්ඩුව නය වාරික හා පොලී ගෙවීමට නය ගනිමින් දරුනු උගුලක පැටලී සිටින ආකාරයයි.

ඇමරිකාවේ පොලී රේට්ටු ඉහල දැමීම නිසා රටින් විදේශ විනිමය ඉවතට යාම ශීඝ්‍ර වීමත් ඇමරිකාව ප්‍රමුඛ වී දියත් කර ඇති වෙලඳ යුද්ධ හා ලෝක ආර්ථික මන්දගාමිත්වය තුල අපනයන හා විදේශ ආයෝජන පසුගිය සමයේ පහත වැටීමත් විදේශ විනිමය සංචිත සිඳීගොස් අර්බුදය උග්‍රකරනු ලැබ ඇත.

මෙම වසර තුල ඇ.ඩො. බිලියන 5.9ක නය වාරික ගෙවිය යුතු බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉහතදී ප්‍රකාශ කල අතර ඉන් ජනවාරි මාසයේ දී ගෙවූ ඇ.ඩො. බිලියන 1.5 වැඩි ප්‍රමානයක් රටේ විදේශ විනිමය සංචිත වලින් ගෙවූ බව වාර්තා විය. ආන්ඩුව නය ගැනීම් නිසා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ මූලික නයකරුවෙකු ලෙස එහි අත්අඩංගුවට පත්වී සිටියි.

රටෙහි නය ප්‍රමානය ගිය වසර අගවන විට ඩොලර් බිලියන 53 දක්වා දැනට දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 77ට ආසන්න බව සන්ඬේ ටයිම්ස් සඳහන් කලේය. ලංකාව වැනි රටවල නය ප්‍රමාන සමඟ සසඳන විට එම නය ප්‍රමානයේ අධික බව පෙන්වමින් මූඩිස්, ෆිච් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ප්‍රධාන ජාත්‍යන්තර ඇගයුම් ඒජන්සි විසින් ලංකාවේ තත්වය පහල දමා තිබේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකාවේ පැනනැගුනු දේශපාලන කාකොටා ගැනීම් මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) 2016දී අනුමත කල නය මුදලේ ඉතිරි වාරික දෙක අත්හිටවූයේය. එය යලි ලබා ගැනීම සඳහා මුදල් ඇමති මංගල සමරවීර ඇතුලු ආන්ඩුවේ නියෝජිත පිරිසක් ජනවාරි මාසයේ වොෂින්ටනයට ගොස් ජාමූඅ ප්‍රධානීන් හමුවී එහි කොන්දේසි නොපිරිහෙලා ඉටු කරන බවට පොරොන්දු වූහ. ජාමූඅහි නියෝජිත කන්ඩායමක් නය මුදල යලි ලබාදීම ගැන සාකච්චා ඇරඹීම සඳහා පෙබරවාරි 15 වනදා ලංකාවට පැමිනයහ.

මෙම නය වාරික ලබා දීමට ජාමූඅහි අනුමැතිය ලැබීම ජාත්‍යන්තරව මුදල් වෙලඳපොලෙන් නය ලබා ගැනීමට යම් පහසුවක් සලසතැයි ආන්ඩුව බලාපොරොත්තු වේ. මේ අනුව ඉන්දියාවෙන්, චීනයෙන් මෙන්ම ඩොලර්, යෙන්, රෙන්මින්බි හා යුරෝ මුදල්වල බැඳුම්කරයන්ගෙන් නය ගැනීමට බලාපොරොත්තු වන බව කුමාරස්වාමි පැවසීය.

රටෙහි නයබර කම්කරුවන් සහ දුගීන් මත පැටවීම සඳහා ආන්ඩුවේ සැලසුම් ඉස්මත්තට පැමින ඇත්තේ ඊට එරෙහිව එල්ලවන ප්‍රතිරෝධය තලා දැමීම සඳහා මිලිටරිය හා පොලීසිය පෝෂනය කිරීමට අයවැයෙන් මුදල් සම්භාරයක් වෙන් කිරීම සමඟිනි. ආරක්ෂක සහ නීතිය හා සාමය අමාත්‍යංශ සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 393 ක මුදල මෙතෙක් ඒ සඳහා ලංකාවේ ආන්ඩුවක් අයවැයෙන් වෙන් කල ඉහලම මුදලවේ. 2018 වසර සඳහා මෙම අමාත්‍යංශ දෙක සඳහා වෙන්කල මුලු මුදල රුපියල් බිලියන 363කි.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව එකකට පසු එකක් ආන්ඩු ගෙන ගිය වාර්ගික යුද්ධයේදී පවා මෙතරම් මුදල් සම්භාරයක් මිලිටරිය හා පොලිසිය පෝෂනය කිරීම සඳහා වාර්ෂිකව ආන්ඩුව විසින් වෙන් කර නොමැත.

පෙබරවාරි 10, සන්ඬේ ටයිම්ස් පුවත් පතේ දේශපාලන ලියුම්කරු ආරක්ෂක හමුදා සඳහා මෙම දැවැන්ත මුදල් වෙන් කිරීම සිදුව ඇත්තේ ආන්ඩුවට මුහුනදීමට ඇති තර්ජන පිලිබඳව නිසි අධ්‍යයනයකින් තොරව බැවින් ඒ පිලිබදව සිය කනස්සල්ල ප්‍රකාශයට පත්කරයි. එම ලියුම්කරුට අනුව හමුදාව වඩාත් වෘත්තීයමය හා නවීන හමුදාවක් බවට පත් කල හැක්කේ ආන්ඩුවට මුහුන පෑමට ඇති තර්ජන වඩාත් සැලකිල්ලෙන් හා සාවධානව විශ්ලේෂනය කර ගැනීමෙනි.

එහෙත්, ආන්ඩුව සිය ප්‍රධාන අභියෝගය ලෙස සලකන්නේ වැඩ කරන ජනතාවගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අරගල පන නැගීමයි. සිය දෛනික මූලික වැටුප අවම වශයෙන් රුපියල් 1000ක් කර ගැනීම සඳහා සටන් වදිමින් සිටින වතු කම්කරුවන්ගේ සටන සමිති නායකයන්ගේ පිටුබලය සහිතව දිය කර හැරීමට ආන්ඩුව ක්‍රියා කරමින් සිටී. අනෙක් කම්කරු අරගල යටපත් කිරීමට වෘත්තීය සමිතිවල සහයෝගය ආන්ඩුවට ලැබුනි. එහෙත්, සමාජ ප්‍රතිරෝධය මැඩීමට සමිතිවල සහාය පමනක් ආන්ඩුවට ප්‍රමානවත් නොවන බව දන්නා ජනාධිපති හා අන්ඩුව මිලිටරි පොලිස් තන්ත්‍රය තර කරයි.

පසුගිය වසර කිහිපය තුල ආන්ඩුව විසින් මිලිටරිය හා පොලිසිය යොදවා කම්කරු සටන් මර්දනය කල අවස්තා එමටය. හම්බන්තොට වරායේ වාඩිලාගත් කම්කරුවන්ට එරෙහිව නාවික හමුදාව යෙදවීම, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරු වැඩ වර්ජනයට එරෙහිව මිලිටරිය යෙදවීම, සෞඛ්‍ය කම්කරුවන්ගේ හා තැපැල් වැඩ වර්ජන කඩාකප්පල් කිරීම සඳහා පොලිස් -මිලිටරි ප්‍රචන්ඩත්වය යෙදවීම, ප්‍රවාහන කම්කරුවන් වැඩ වරන විට ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සඳහා හමුදා යෙදවීම මීට ඇතුලත්ය. දිනක් නෑර පැන නැගෙන ගම්බද දුගී ගොවි ජනයාගේ හා සිසුන්ගේ අරගලයන් නිරතුරුවම පොලිස් ප්‍රචන්ඩත්වයට මුහුන දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක හමුදාවන් සෘජුවම තමන් යටතට ගෙන ඇත. හමුදාවේ නිලධාරින් යුද අපරාධ පිලිබඳව අත් අඩංගුවට ගැනීමට ඔහු ප්‍රසිද්ධියේ විරුද්ධත්වය පලකර ඇත. ජනාධිපතිගේ නවතම ඉලක්කය වී ඇත්තේ “මත් ද්‍රව්‍ය වලට එරෙහි” ප්‍රහාරයයි. පොලිසියට හා හමුදාවට නීතියට පිටින් ක්‍රියාකිරීමේ හැකියාව ලබා දෙන අයුරින් කටයුතු සම්පාදනය කිරීමට උත්සුක වී සිටින සිරිසේන ජනවාරි මාසයේ පිලිපීන සංචාරයේ දී ජනාධිපති රොඞ්රිගෝ දුතර්තේ ඉහලින්ම වර්නනා කලේය. එහිදී ඔහුගේ මිනීමරු ඊනියා මත් ද්‍රව්‍ය නාශක යුද්ධය අගය කල සිරිසේන ලංකාවේද එවන් මෙහෙයුමක් දියත් කරන බවට සපථ කලේය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අත්‍යවශ්‍ය අංශ සඳහා මෙම වසරේ අයවැයෙන් වෙන් කිරීමට යෝජිත මුදල ආරක්ෂක හා පොලිස් වියදම් වලට වඩා බිලියන 100 කින් අඩුය. එනම් සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 187ද, අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 105 ද වේ.

ජාමූඅ විසින් පිටුබලයදී සකස් කල බදු ප්‍රතිපත්ති මගින් වෘත්තීයමය හා ස්වයං-රැකියාවල නියුතු වූවන් ඇතුලු රට තුල සෑම වැඩකරන ජන කොටසක්ම මත බදු දැල එලන්නාවූ බදු සංශෝධන පසුගිය අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කිරීම සමඟ ආන්ඩුවේ ආදායම රුපියල් ට්‍රිලියන 2.4 දක්වා එනම් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.12 ක් දක්වා ඉහල නැග ඇතැයි ආන්ඩුව ගනන් බලා තිබේ.

මෙම පීඩාකාරී බදු හා තියුනු කප්පාදු මත වුව ආන්ඩුවේ ඉලක්කය ලෙස පැවති අය-වැය පරතරය වන දදේනින් සියයට 4.8 සීමා කර ගැනීමට නොහැකි වෙතැයි මහ බැංකු අධිපති ප්‍රකාශ කර ඇත.

මාර්තු 5 දා අයවැය යෝජනාවලින් ආන්ඩුවේ අලුත් ප්‍රහාර එලිදැක්වීමට නියමිත ය.

Share this article: