“වමේ විප්ලවවාදී බලයක්” පිලිබඳ “වමේ හඬ” යෝජනාව : කම්කරු පන්තිය ධනේශ්වරයට යටත් කිරීමේ මර උගුලක්

විලානි පීරිස් විසිනි, 2019 පෙබරවාරි 21

වමේ හඬ පුවත් පතට සිවුවසරක් පිරීම නිමිත්තෙන් දෙසැම්බර් මාසයේදී නිකුත්කල සංවත්සර කලාපයට, එම කන්ඩායමේ නායකයකු වන නීල් විජේතිලක විසින්, “විප්ලවකාරී වාම බලයක් උදෙසා වමේ හඬ” යනුවෙන් ලිපියක් සම්පාදනය කර ඇත.

විජේතිලක මෙසේ ලියයි: “විවිධ වාමවාදී ගුරුකුලයන්, විවිධ වූ දේශපාලන අත්දැකීම් සහිත වාම දේශපාලන ධාරාවන් සමග එක්ව එකට වැඩකොට ධනේශ්වර ක්‍රමයට විරුද්ධව විවිධ මට්ටම් වලින් සටන් කරන සියලු රැඩිකල් ධාරාවන් සමග එක්සත් කමක් ගොඩනගා ගැනීම ‘වමේ හඬ’ මූලික අරමුන වේ.”

“වමේ හඬ” එක්සත් කිරීමට තතනන මෙම “විප්ලවකාරී වාම බලය” වනාහි, ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව නිරතුරුව අරගලයට ඇදෙන කමිකරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ස්වාධීනව බලමුලු ගැන්වීමට එරෙහිව ඇටවීමට යත්න දැරෙන මහජන පෙරමුනු උගුලකි.

පසුගිය වසර හතර තුල, මෙම අරමුන පෙරදැරිව, “සයිටම්-විරෝධී සිසු-ජන අරගලය සහ ගොවි උද්ඝෝෂන” ආදී විවිධ “අරගලයන්හි” තම සංවිධානය යෙදීගත් බව විජේතිලක පවසයි. ‘වමේ හඬ’ විසින් එක් පෙරමුනකට ගෙන ඒමට යෝජනා කරන සංවිධානයන්හි “ධනේශ්වර ක්‍රමයට එරෙහි රැඩිකල්” ස්වභාවය වටහා ගැනීමට “සයිටම්-විරෝධී සිසු-ජන අරගලයේ” දී එලෙස එක්සත් කෙරුනු සංවිධානයන් ගේ නම් කීපයක් සඳහන් කිරීම පමනක් වුව සෑහෙයි.

සයිටම් සඳහා අනුමැතිය මෙන්ම පූර්න අනුග්‍රහය ලබාදුන් මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධාන ඇමතිවරුන් ව සිටි, අන්ත දක්ෂිනාංශික සිංහල වර්ගෝත්තමවාදී සංවිධාන දෙකක් වන මහජන එක්සත් පෙරමුනට සහ ජාතික හෙල උරුමය ට නායකත්වය දෙන, දිනේශ් ගුනවර්ධන සහ චම්පික රනවක එම “සයිටම්-විරෝධී සිසු-ජන අරගල” වේදිකාවේ ප්‍රධාන කථිකයෝ වූහ.

විජේතිලක ඔජවඩවන එම වේදිකාවන් තුල “එක්සත්ව” සිටියේ, ඉහත ආකාරයේ අන්ත දක්ෂිනාංශික ධනපති දේශපාලනඥයන්, ධනපති ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට පරම වශයෙන්ම සතුරු ව්‍යාජ-වාම පක්ෂයන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ වමේ හඬ වැනි සංවිධානයන් සහ එකක් පසුපස එකක් කම්කරු සටන් පාවාදීමේ ඉතිහාසයක් සහිත දේ‍රා්හී වෘත්තීය සමිති නිලධරය යි.

මෙම සටන් තුලින් “සමාජයේ පහල මාලය බලගැන්වීමේ ක්‍රියාවලියක” “වමේ හඬ” නිරතව සිටිබව විජේතිලක තවදුරටත් පවසයි. ධනපති ප්‍රහාරයන්ට එරෙහිව පැන නැගි සියලු සටන්, “නව ලිබරල් ධනවාදයට” එරෙහි බලපෑම් යෙදීමේ සීමාවක කොටු කර, කම්කරු-පීඩිත මහජනතාව ධනේශ්වර ක්‍රමය තුල සිර කර තැබීම විජේතිලක ඇතුලු නඩය විසින් සිදුකල “පහත මාලය සවිබල ගැන්වීම” යි.

රටක් රටක් පාසා ධනපති ආන්ඩු අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ට මෙන්ම ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර ලෝක ධනපති ක්‍රමය මුහුන දී සිටින ප්‍රගාඪ අර්බුදයේ ප්‍රතිඵලයකි. ලංකාවේ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ද පසුගිය දශකයේ අත්දැකීම වනුයේ එම ප්‍රහාරයන් බලපෑම් යෙදීමෙන් ආපසු හැරවිය නොහැකි බවයි.

එම අයිතීන් සුරක්ෂිත කරගත හැක්කේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ දේශපාලනික සටනකින් පමනි.

කම්කරු පන්තිය මෙම විප්ලවවාදී විඥානයෙන් සවිබල ගැන්වීම වෙනුවට වමේ හඬ ඇතුලු ව්‍යාජ-වාම නඩ දිගටම යෙදී සිටින්නේ ආන්ඩු වලට පීඩනය යෙදීමේ විරෝධතා දේශපාලනය තුල කම්කරු පන්තිය කොටුකොට ඔවුන් දුබල කිරීමේ ක්‍රියාවලියකයි.

අධ්‍යාපන අයිතියට එල්ල කෙරෙන ප්‍රහාරයන් පරාජය කිරීමේ අව්‍යාජ උවමනාවෙන් සටනට පැමිනි දහස් සංඛ්‍යාත සිසුන් ඊනියා සයිටම්-විරෝධී අරගලයක් තුල කොටුකොට, ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන අරගලයට නායකත්වය දිය හැකි එකම පන්තිය වන කම්කරු පන්තිය දෙසට හැරීම වලක්වනු ලැබුවේ මෙම ව්‍යාජ-වාම නඩ විසිනි.

සයිටම්-විරෝධය තුල සිසුන් සහ කම්කරුවන් කොටුකර සිටියදී, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අධ්‍යාපනයේ පුද්ගලීකරනය ඇතුලු ප්‍රහාර පෙරටත් වඩා වේගයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, සයිටම් වසා දැමීම ජයග්‍රහනයක් ලෙස ඔජවඩවන මෙම නඩ සියල්ලම වගකිව යුතුය.

“වමෙි හඬ” යෝජනා කරන “වමේ විප්ලවවාදී බලය” අන් කිසිවක් නොව, ව්‍යාජ-වම සහ ධනපති පන්තික කොටස් සන්ධාන ගත කෙරෙන මහජන පෙරමුනක් බව, පසුගිය සිවු වසර පුරා ඔවුන් සමග “එක්සත්ව” වැඩකල සහ “එක්සත්” කිරීමට වෙර දරන බලවේගයන්ගේ පන්ති ස්වභාවයන්ගෙන් පැහැදිලි වෙයි.

විජේතිලක යෝජනා කරන ආකාරයේ නව මහජන පෙරමුනු, “වාම ජනතාවාදය” යන බැනරය යටතේ, ලෝකයේ විවිධ රටවල ගොඩනැගෙමින් පවතී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පෙන්වා දුන් පරිදි මෙම “වාම ජනතාවාදී ව්‍යාපාරය එය සමාජවාදී ලෙස අනන්‍ය කර ගන්නේ හෝ ධනපති රාජ්‍යයට විරුද්ධව අරගලයකට කැඳවුම් කරන්නේ හෝ නැත. එය සිරිසාව ග්‍රීසියේදීත්, පොඩෙමොස් ස්පාඤ්ඤයේදීත් කර ඇති පරිදි අන්ත දක්ෂිනාංශය සමග සම්මුතිය සහ සහයෝගිතාවය සඳහා හේතු සොයාගැනීමේ ඉඩකඩ ගැන සිහින දකියි.” (ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය- 2019 ජනවාරි 03, ලෝක සමාජවාදී වෙබ් අඩවිය)

පරාජයේ කාල පරිච්ඡේද

විජේතිලක මෙසේ ලියයි: “පරාජයේ කාල පරිච්ඡේදයන් බොහෝවිට දිගු වැඩිය. එම කාල පරිච්ඡේදයන් තුල ඉතා ඉවසීමෙන් සහ කැපවීමෙන් වාමාංශික මතවාදයන් ශක්තිමත් කර ගනිමින්, ඒවා ජනතාව අතරට ගෙන යමින් ඉවසිලි සහගත ලෙස කටයුතු කිරීමට හුරුපුරුදුවීම අවශ්‍ය ය. 1905 විප්ලවයේ පරාජයෙන් පසු ලෙනින්ට මෙන්ම ට්‍රොට්ස්කිගේ ජීවිතයේ පසුභාගයේ කටයුතු කිරීමට සිදුවූයේ එවැනි ඉවසිලි සහගත ආකාරයකට ය.”

“වමේ හඬ” ට පරාජයේ කාල පරිච්ඡේදයන් හි “ඉවසිලි සහගත ලෙස කටයුතු කිරීම” යනු මහජන පෙරමුනු දේශපාලනයේ යෙදීමයි. විජේතිලක විසින් ලෙනින් සහ ට්‍රොට්ස්කි තම ග්‍රාම්‍යත්වයට පිරිහෙලීමට දරන දිරිසුන් උත්සාහයට එරෙහිව ඉතිහාසය නැගී සිටියි.

1905 න් පසු ලෙනින් යෙදී සිටියේ, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය වනසාලන සකල සියලු දෘෂ්ටිවාදයන්ට එරෙහි බලගතු දේශපාලනික සහ න්‍යායික අරගලයක යි.

1912 දී ලෙනින් මෙසේ ලිවීය: “ඉන් අදහස් වන්නේ සෑම අවස්ථාවකදීම ජනතාවගේ විඥානය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (ජාත්‍යන්තර සමාජවාදය-පරිවර්තක) දෙසට තල්ලු කිරීමටත්, සෑම නිශ්චිත ප්‍රශ්නයක්ම නිර්ධන පන්තියේ පොදු කර්තව්‍යයන් සමග සම්බන්ධ කිරීමටත්, සෑම සංවිධාන කටයුත්තක්ම පන්තිය තහවුරු කිරීමේ පියවරක් බවට පරිවර්තනය කිරීමටත්, ධෛර්ය සහ දෘෂ්ටිමය බලපෑම අනුව (නමුත් පදවි සහ නම්බුනාම වලින් නොවේ) නීත්‍යානුකූල නිර්ධන පන්ති සංවිධාන සියල්ලෙහි ම නායකත්ව කාර්ය කොටස දිනා ගැනීමටත් උත්සාහ කලයුතු බවය.” (ගමන ඇරැඹීම- පිටුව 169, වෙලුම 3, ලෙනින්- තෝරාගත් කෘති, ප්‍රගති ප්‍රකාශන)

1905 න් පසු එලැඹි කාලය ට්‍රොට්ස්කි වැය කලේ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මූලෝපාය වන “නොනවතින විප්ලව න්‍යාය” වර්ධනය කිරීමටයි.

1906 දී ට්‍රොට්ස්කි “නොනවතින විප්ලව න්‍යාය” ඉදිරිපත් කරමින් 1917 ඔක්තෝබර් විප්ලවය සඳහා ක්‍රියාමාර්ගික පදනම තහවුරු කලේය.

ට්‍රොට්ස්කි එය මෙසේ පැහැදිලි කලේය.

“ඒ ඒ සුවිශේෂ රටවල විප්ලවයේ ප්‍රථම තාවකාලික අවධිය කුමක් වූවත් නිර්ධන පන්තිය හා ගොවිජනතාව අතර විප්ලවවාදී සන්ධානය ගොඩ නැගෙන්නේ කොමියුනිස්ට් පක්ෂය තුල සංවිධානයවූ නිර්ධන පන්ති පෙරටු බලඇනියේ දේශපාලන නායකත්වය යටතේ පමනි. මින් අදහස් වන්නේ ගොවි ජනතාව සමග සන්ධානය මත පදනම්වූ, එසේම සියල්ලට පලමු ප්‍රජාතන්ත්‍ර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරන්නාවූ නිර්ධන පන්ති ඒකාධිපතිත්වය තුලින් පමනක්ම ප්‍රජාතන්ත්‍ර විප්ලවය ජයග්‍රහනය කල හැකිය.”

ට්‍රොට්ස්කි තම ජීවිතයේ පසුභාගය විශේෂයෙන්ම වැය කලේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂය, එනම් හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ වැඩකටයුතු වලටයි. හතරවන ජාත්‍යන්තරයේ පාදක ලේඛනය වන “ධනවාදයේ මරලතෝනිය” තුල ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කරයි: “පූර්ව විප්ලවීය තත්වය විප්ලවීය තත්වයට පරිවර්තනය කිරීමේ මාවතෙහි පවත්නා ප්‍රධාන බාධකය නම් නිර්ධන පන්ති නායකත්වයේ අවස්ථාවාදී ස්වරූපය යි. මහා ධනේශ්වරය අබියස එහි සුලු ධනේශ්වර බියගුලුකම සහ මරලතෝනියේ පසුවන්නාවූ මහා ධනේශ්වරය සමග එය පවත්වන දේ‍රා්හී සම්බන්ධය යි.” (ධනවාදයේ මරලතෝනිය, පිටුව 3, කම්කරු මාවත ප්‍රකාශන)

වික්‍රමබාහු කරුනාරත්න සහ නව සම සමාජ පක්ෂය

නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක වික්‍රමබාහු කරුනාරත්නගේ ප්‍රතිගාමී දේශපාලනය, නසසප ය ආරම්භයේ සිටම නියැලුනු අවස්ථාවාදී දේශපාලනයෙන් වියෝ කිරීමට විජේතිලක යත්න දරයි.

වික්‍රමබාහු කරුනාරත්න ඇතුලු නසසප යේ ප්‍රථම නායකයන් සියල්ලෝම, ධනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආන්ඩුවකට ඇතුලුවී ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල පාවාදුන්නා වූ ලංකා සම සමාජ පක්ෂයේ සමාජිකයන්ව සිටියහ. 1970-77 හවුල් ආන්ඩුව අපකීර්තියට පත්වීමෙන් පසු ලසසපයෙන් ඉවත්වූ මොවුහු නසසප පිහිටුවා ගනිමින් මහජන පෙරමුනු දේශපාලනය තවත් ආකාරයකින් ඉදිරියට ගෙන ගියෝය. පසු කලෙක විජේතිලක ද මෙම අවස්ථාවාදී නඩයට එක් විය.

කරුනාරත්නගේ නායකත්වයෙන් යුත් නසසප නඩය 1980 ගනන් අගභාගයේදී ධනපති ශ්‍රී ලංකා මහජන පක්ෂය (ශ්‍රීලමප) සමග සන්ධාන ගතවූහ. සමාජවාදී සමානතා පක්ෂයේ පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රහාරයන්ගෙන් කම්කරු පන්තිය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියේ එක්සත් පෙරමුනක් යෝජනා කලවිට නසසප එය ප්‍රතික්ෂේප කලේ, ශ්‍රීලමප සමග ඒ වන විටත් එවන් එක්සත් පෙරමුනක් ගොඩනගාගෙන ඇති බැවින් තවෙකක් අවශ්‍ය නොවන බව පවසමිනි. එහි ප්‍රතිඵලය වූයේ දහස් සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයන් රාජ්‍ය හමුදාවන් සහ ජවිපෙ තුවක්කුකරුවන් අතින් ඝාතනයට ලක් වීමයි.

නසසපය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගෙනගිය “නිදහසේ වේදිකාව” ඇතුලු සියලු ප්‍රතිගාමී උද්ඝෝෂනයන්ට විජේතිලක ඇතුලු “වමේ හඬ” නඩයේ සියලු දෙනා සහයෝගය දුන්හ. “නිදහසේ වේදිකාව” මගින් එජාපය සහ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගේ ආරක්ෂකයන් ලෙස පින්තාරු කිරීමට ක්‍රියා කලේය.

මෙම මහජන පෙරමුනු දේශපාලනය හේතුවෙන් නසසපය බරපතල ලෙස කම්කරුවන් හා දුගීන් අතර අපකීර්තියට පත්වීමෙන් පසු එම පක්ෂය තුලම සිටිමින් ධනේශ්වර ක්‍රමය ආරක්ෂා කිරීමේ පිලිවෙත වෙනස් ආකාරයකින් ඉදිරියට ගෙනයාම සඳහා 2014 වනවිට “වමේ හඬ” කන්ඩායම ඉදිරිපත් වූයේය.

නසසපය මෙන්ම “වමේ හඬ” කන්ඩායම ද 1964 ලසසප පාවාදීමට න්‍යායික පසු තලය සැපයූ පැබ්ලෝවාදයේ නියෝජිතයෝ වෙති. මොවුහු, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප්‍රතික්ෂේප කරමින් මයිකල් පැබ්ලෝ ඉදිරිපත් කල ප්‍රති-මාක්ස්වාදී න්‍යායන් මත පාදකව 1953 දී පිහිටුවා ගත් එක්සත් ලේකම් මන්ඩලයේ කොටස්කරුවෝ වෙති.

කරුනාරත්න සහ “වමේ හඬ” අතර පවතින මතභේදයන් රඳා පවතිනුයේ කිනම් ධනපති කන්ඩායම් සමග මහජන පෙරමුනු දේශපාලනයේ යෙදිය යුතුද යන්න මත යි. ඔවුන් භේදවූයේ, 2015 ජනාධිපතිවරනයේදී ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට සහයෝගී තන්ත්‍රයක් බලයට ගෙනඒම සඳහා කරුනාරත්න විවෘතවම වැඩට බැසීමත් සමගය. එවන් දේශපාලනයක නිරත වීමෙන් තම ව්‍යාජ-වාම දේශපාලනයට බාධා පැමිනෙතැයි විජේතිලක ඇතුලු නඩය ගනන් බැලූහ.

එමෙන්ම “වමේ විප්ලවවාදී බලයක්” පිලිබඳ “වමේ හඬ” යෝජනාව ලංකාවේ සහ ජාත්‍යන්තරව වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල මාලාවෙන් දෙපා සලිතවූ මධ්‍යම පන්තික නඩයක දැනුවත් ප්‍රතිචාරයකි.

ජනාධිපති මැක්රෝන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව ලක්ෂ සංඛ්‍යාත මහජන සහභාගිත්වයෙන් ප්‍රන්සය තුල පැන නැගී ඇති කහ බැනියම් ව්‍යාපාරය, එක්සත් ජනපද ගුරුවරුන්ගේ අරගල මාලාව, ඉන්දියාවේ හින්දු ස්වෝත්තමවාදී බීජේපී ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට එරෙහිව මිලියන ගනනක කම්කරු සහභාගිත්වයෙන් පැවති දෙදින වැඩවර්ජනය සහ මෙක්සිකොවේ මෝටර් රථ කමිකරු අරගලය මෙම ජාත්‍යන්තර අරගල මාලාවෙන් කොටසක් පමනි.

ලංකාව තුල පසුගිය වසර අගදී පැනනැගුන වතු කම්කරු අරගලය මෙම ජාත්‍යන්තර අරගල හා සම්පාත වේ. ටෙලිකොම් සහ විදුලිබල කම්කරුවන්ද ඇතුලු තවත් ක්ෂේත්‍ර ගනනාවක කම්කරුවෝ අරගලයේ නියැලී සිටිති.

මෙම අරගලයන්හි ජාත්‍යන්තර පරිමානව පොදු අංග ලක්ෂනයන් ගැබ් වෙයි. වෘත්තීය සමිති, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදී පක්ෂ මෙන්ම ඔවුන්ගේ ව්‍යාජ- වාම උපාංග විසින් කෘතීම ලෙස පන්ති අරගලය මර්දනය කල දශක ගනනාවකින් පසු කම්කරු පන්තිය ස්වාධීනව ඉදිරියට ඒම මේ සෑම අරගලයකම අති මූලික අංග ලක්ෂනයක් වෙයි.

කම්කරුවන්ගේ ඉල්ලීම් වල සහ සටන් රූපාකාරයන්හි සමානත්වය ගත්කල එම අරගල හරයෙන් පමනක් නොව රූපාකාරයෙන් ද ජාත්‍යන්තරය. එමෙන්ම කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී එකමුතුවක් දෙසට වන ගාමකය එම අරගලයන්හි තවත් ලක්ෂනයකි.

මේ සියලු වර්ධනයන් මගින් පෙන්නුම් කරන්නේ යුද්ධයට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව ලෝක කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත ස්වාධීනව බලමුලු ගැන්වීමේ ඓතිහාසික ශක්‍යතාවය යි.

අවශ්‍ය වන්නේ, “වමේ හඬ” ඇතුලු ව්‍යාජ-වම්මුන් තොරොම්බල් කරන මහජන පෙරමුනු දේශපාලනයට එරෙහි විප්ලවවාදී නායකත්වය සහ ඉදිරි දර්ශනය සැපයීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමයි.

Share this article: