ශ්‍රී ලංකා ජනාධිපතිගේ නිදහස් දින කතාව පාලනයේ ගැඹුරු අර්බුදය හෙලිදරවු කරයි

Sri Lankan president’s Independence Day speech exposes deep crisis of rule

විජිත් සමරසිංහ විසිනි, 2019 පෙබරවාරි 9

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටෙහි ධනේශ්වර පාලනයේ නරුමත්වය, දේශපාලන ඛාදනය සහ ගැඹුරු අර්බුදය, සම්පින්ඩනය කල කතාවක් රටෙහි ජාතික නිදහස් දින සැමරුම දා කලේ ය. නිදහස් දින ස්මරනය පෙබරවාරි 4 දා කොලඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වුනි.

උත්සවය අභිභවනය කෙරී තිබුනේ මිලිටරි පෙලපාලි විසිනි. රටෙහි දෙමල සුලුතරය මර්දනය කොට කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් වසර 30ක් තිස්සේ කරගෙන ගිය වාර්ගික යුද්ධය තුල සෑම රෙජිමේන්තුවක් ම ඉටුකල භූමිකාව ගැන පම්පෝරි ගසමින් මිලිටරි නිලධාරීහු විස්තර ප්‍රචාර සම්පාදනය කල හ.

උත්සවය සඳහා ආරාධනා ලැබූවන් අතරට දේශපාලන නායකයෝ, මිලිටරියේ ඉහල නිලධාරීහු, කොලඹ රාජ්‍ය තාන්ත්‍රිකයෝ හා බෞද්ධ භික්ෂු නායකයන් ඇතුලු ආගමික නායකයෝ ඇතුලත් වූහ. ඔවුන්ගේ දසුනම සිත්කාවදින ලෙස ප්‍රදර්ශනය කලේ මෙම සැමරුමට වැඩකරන ජනයා හා දුගීන් සමග කිසිදු සම්බන්ධයක් නැති බව යි.

අර්ථභාරී ලෙස මෙහි ආරාධිත අමුත්තා වූයේ, මාල දිවයින තුල චීනයේ මූලෝපායික බලපෑම කීතු කිරීම සඳහා එක්සත් ජනපදය හා ඉන්දියාව විසින් තන්ත්‍ර-මාරු මෙහෙයුමක් හරහා බලයේ පිහිටවූ එරට ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සොලිහ් ය. සොලිහ් පිටුපස පෙලගැසුනු මාල දිවයිනේ විපක්ෂය බොහෝ සෙයින් ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකාවේ සිට ය. ඔහුට ගෞරව දැක්වීම හරහා ශ්‍රී ලංකා පාලක ප්‍රභූවේ සෑම කන්ඩායමක් ම උත්සාහ දරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආශීර්වාදය ලබාගැනීමට යි.

සිරිසේන වැලපෙමින් සිය කතාව ආරම්භ කලේ ය: “අප ද ඇතුලු ව අප රටේ අතීතයේ සිටි සියලු නායකයින් එක ලෙස වගකිව යුතු 30 අවුරුදු යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගිය තැන ද රටේ සියලු දෙනාට එකඟ විය හැකි පූර්න දේශපාලන විසඳුමකට පැමිනීමට අපට නොහැකි වීම කනගාටුවට කරුනකි.”

යුද්ධය 2009 මැයි මාසයේ අවසන් වූයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි පරාජයත් සමගිනි. අවසන් ප්‍රහාරවල දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කොට 300,000ක් පමන රඳවා ගත් අතර 10,000කට වැඩි පිරිසක් පැහැරගනු ලැබිනි.

“දේශපාලන සංහිඳියාවක්” ඇති කිරීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු වෙමින්, සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සමගින් 2015 දී බලයට ආවේ, එම පොරොන්දු හරහා දෙමල ජාතික සන්ධානයේ සහයෝගය ද ගොනු කරගනිමිනි. මෙම සංහිඳියාව දිවයිනේ උතුරේ හා නැගෙනහිරේ දෙමල ධනේශ්වරයට සීමිත ලෙස බලය බෙදීමක් සමග සම්බන්ධවිය හැකි ව තිබිනි.

අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් මර්දනය කොට ඇති දෙමල වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි අංශු මාත්‍ර උත්සුකයක් සිරිසේනට හෝ වික්‍රමසිංහට නො තිබුනි. සිරිසේනගේ කතාවේ දී යුද අපරාධ සඳහා වගකිව යුතු “රනවිරුවන්” රට විමුක්ත කොට ගැනීම පිලිබඳ ව යලි යලිත් උත්කර්ෂයට නංවන ලද්දේ ඔවුන්ට විශාල ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු ද දෙමිනි. උතුර හා නැගෙනහිර තවමත් පවතින්නේ පීඩාකාරී මිලිටරි වාඩිලාගැනීම යටතේ ය.

දේශපාලන විසඳුමක් නොමැති කම ගැන සිරිසේන කල සැඳහුම් පිලිබිඹු කරන්නේ, සමස්ත දිවයින පුරා කම්කරුවන්ගේ වැඩෙන අරගල මධ්‍යයේ උතුරේ හා නැගෙනහිරේ ඇතිවන අතෘප්තිය කෙරෙහි පාලක කවවලට පවත්නා භීතිය යි. “අපේ රට හා ජනයා දශක ගනනාවක් තිස්සේ අපේක්ෂා කල ආර්ථික වර්ධනය” ගෙන ඒමට දේශපාලන නායකයන්ගේ අසමර්ථතාව ගැන වැලපෙමින් මෙම පලල් සමාජ කැලැඹුමෙ හි පදනම ගැන ද ඔහු සඳහන් කලේ ය.

සියයට 6.7ක් වන නිල දරිද්‍රතා රේට්ටුවට අවධානය යොමුකල ජනාධිපතිවරයා “ජනගහනයෙන් සියයට 50කට වඩා සාපේක්ෂ විරැකියාවෙන් පීඩා විඳින” බව සඳහන් කලේ ය. ඔවුන් දෛනික ව ලබන වැටුප රුපියල් 1,000ට අඩු අතර, විරැකියාව හා නය ගැටලුව උග්‍ර ය. “ලමුන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂනයෙන් පෙලෙනවා” යි ඔහු කීවේ ය.

මෙම සංඛ්‍යාවන් බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් නාමික නිදහස ලද තැන් පටන් 71 වසරක් තිස්සේ මහජනයාගේ දැවෙන සමාජ අවශ්‍යතා ඉටුකිරීමට අනුප්‍රාප්තික ආන්ඩු අසමත් වීම පිලිබඳ චෝදනා පත්‍රයකි.

සමාජීය විපාක කෙරෙහි ඉඟිකරමින් සිරිසේන කීවේ: “ආර්ථික අවපාතයක් දරා සිටීමට රටෙහි ජනයා තව දුරටත් සූදානම් නැහැ... රටට නායකත්වය දෙන දේශපාලන නායකයන් මෙය දැනගත යුතු යි.”

ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනය ගැන ශ්‍රී ලංකාවේ පාලක පන්තිය නොසන්සුන් ය. එක්සත් ජනපදයේ හා යුරෝපයේ පන්ති අරගල වර්ධනය වෙද්දී, ශ්‍රී ලංකාවේ සියදහස් ගනන් වතු කම්කරුවන් පසුගිය මාස හතර පුරා වැටුප් අරගලයක නිරත වූ අතර අනෙකුත් පුද්ගලික හා රාජ්‍ය අංශවල කම්කරුවන් ද අරගලවල නිරත විය.

දශක ගනනාවක් පුරා ජ්‍යෙෂ්ඨ ඇමතියෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) නායකයෙකු වන සිරිසේන, සමාජ අර්බුදය විසඳීමට තමන් ජනාධිපතිවරයා ලෙස උත්සාහ කල බව ව්‍යාජ ලෙස කියාපෑවේ ය. “නව සංවර්ධන අත්දැකීම් සමගින් නව දේශපාලන ගමනක් යාමට මා උත්සාහ කලා” යි ඔහු කීවේ ය.

යථාර්ථයේදී, 2015 ජනාධිපතිවරනයේ දී සිරිසේන බලයට පැමිනියේ, යුද අපරාධ, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාර හේතුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කෙරෙහි පැවති විරෝධය ගසාකමිනි. සිරිසේන, රාජපක්ෂගේ ඇමතිවරුන්ගෙන් හා සමීප සගයන්ගෙන් එක් අයෙකු වුවත්, ව්‍යාජ-වාම සංවිධාන හා ඊනියා සිවිල් සමාජ කන්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය ලෙස ඔහු ව ව්‍යාජ ලෙස ඉදිරියට දැමී ය.

රාජපක්ෂ ඉවත් කොට සිරිසේන බලයට ගෙන ඒම සඳහා වොෂින්ටනය තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැම්මේ මෙම දක්ෂිනාංශික ව්‍යාපාරය හරහා ය. එක්සත් ජනපදය රාජපක්ෂට හතුරු වූයේ ඔහුගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනය නිසා නො ව, බීජිනය සමග වොෂින්ටනයේ ආක්‍රමනශීලී ගැටුම සමග, චීනය සමග ඔහුගේ සබඳතා හරහට සිටි නිසා ය.

වසර හතරකට පසුව ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත එල්ල කරන ප්‍රහාර නිසා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අත්‍යන්තයෙන් අපකීර්තියට පත්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කරන කප්පාදු පිලිවෙත් ආන්ඩුව විසින් ක්‍රියාවට දැමීම නිසා දුප්පත්කම ගැඹුරු වී ඇත.

වැඩෙන මහජන අතෘප්තිය මධ්‍යයේ, සිරිසේන හා වික්‍රමසිංහ යන දෙදෙනාගේ ම පක්ෂ පසුගිය පෙබරවාරියේ පැවති පලාත් පාලන මැතිවරනයේ දී අන්ත පරාජයකට මුහුන දුන් හ. වහා ම ආන්ඩුවෙන් දුරස්ථ වූ සිරිසේන, වැඩෙන විරෝධය මැඩීම සඳහා “ශක්තිමත්” ආන්ඩුවක් බලයට ගෙන ඒමට උත්සාහ දරමින් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රාජපක්ෂ සමග පෙලගැසුනි.

ඔක්තෝබරය අග දී වික්‍රමසිංහ අගමැති ධුරයෙන් නෙරපූ සිරිසේන එම තනතුරට රාජපක්ෂ පත්කලේ ය. එහෙත් මෙම දේශපාලන කුමන්ත්‍රනය අසාර්ථක විය. රාජපක්ෂගේ ආගමනයට විරුද්ධ වූ එක්සත් ජනපදය වික්‍රමසිංහ යලි පත්කරන ලෙස තීව්‍ර පීඩනයක් යෙදී ය. පාර්ලිමේන්තු බහුතරයක් ලබාගැනීමට රාජපක්ෂ අසමත් වූ විට සිරිසේන පාර්ලිමේන්තුව විසිර වූ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරනය එම තීරනය අවලංගු කලේ වික්‍රමසිංහ යලි පත්කිරීමට ඔහුට බලකරමිනි.

එහෙත් දේශපාලන කාකොටාගැනීම දිගට ම පවතී. පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් රහිත වික්‍රමසිංහ, අනෙකුත් පක්ෂවල මන්ත්‍රීන්ට ඇමති ධුර සහිත දේශපාලන අල්ලස් දීම් හරහා “ජාතික ආන්ඩුවක්” පිහිටුවීමට කැස කවයි. සිරිසේන සිය කතාවේ දී ජාතික ආන්ඩුවක් තැනීමට අගමැතිවරයා දරන උත්සාහයන් ප්‍රසිද්ධියේ විවේචනය කලේ ය.

අතීත ආන්ඩුවල “අසමත්වීම්” විවේචනය කල ද රට මුහුන දෙන දැවෙන ආර්ථික හා සමාජීය ගැටලු විසඳන්නේ කෙසේදැයි යන්න ගැන වචනයක් වත් කීමට ජනාධිපතිවරයාට නො හැකි විය. සිරිසේන විසින් ව්‍යවස්ථාවට විවෘත ව ගැරහීම, කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය මැඩීම සඳහා පාලක පන්තිය පොලිස් රාජ්‍ය පියවරයන් වෙතට හැරෙනු ඇති බවට වන තවත් තියුනු අනතුරු ඇඟවීමකි.

1948 නාමික නිදහසේ පටන් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ කුනු වීම කම්කරුවන්ට හා තරුනයන්ට තීරනාත්මක දේශපාලන කර්තව්‍යයන් මුනගස්වයි. අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් තහවුරු කරගත හැකි එකම මාවත වන්නේ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා කරන අරගලයේ පදනම මත දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හා ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කරන අරගලය යි. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ මෙම ඉදිරිදර්ශනයට යි.

Share this article: