හැටන් අසල ෆෝඩයිස් වත්තේ හටගත් ගින්නකින් පවුල් විසිහතරක් අවතැන් වේ

එම්. දේවරාජා විසිනි, 2019 ජනවාරි 07

අමාරුවෙන් හරි හම්බ කරගත් රත්තරං භාන්ඩ, විදුලි උපකරන, ඇඳුම් සහ පාසල් දරුවන්ගේ පොත් හා නිල ඇඳුම් ද ඇතුලු දේපොල සමගින් ලයින් කාමර 20 ක් හදිසි ගින්නකින් විනාශ වීම නිසා හැටන්හි ෆෝඩයිස් වත්තේ, පුද්ගලයන් 108 කින් සමන්විත පවුල් විසිහතරක් අවතැන් වී තිබේ. දෙසැම්බර් 29දා උදෑසන 6ට පමන එක් ලයින් කාමරයකින් ආරම්භ වූ ගින්න වසර 150කට පෙර බ්‍රිතාන්‍ය විජිත පාලන සමයේ ගොඩනැගූ අනෙකුත් නිවාසවලට ද වහා පැතිර ගියේ ය. පොලීසිය විමර්ශනයක නිරත වුව ද තවමත් ගින්නට හේතුවක් සොයාගෙන නැත.

ෆෝඩයිස් වත්තේ, ලයින් කාමර ගින්නෙන් විනාශ වීමෙන් අවතැන් වූවන්

ගැහැනුන් 35 ක්, ලමුන් 45 ක් හා පිරිමින් 28ක් ඇතුලු අවතැන් වූ පුද්ගලයන් ප්‍රමානවත් ආහාර, පානීය ජලය හා වැසිකිලි වැනි පහසුකම්වලින් තොර ව බෙහෙත් ශාලාවේ හා වත්තේ විවෘත ශාලාවක නැවතී සිටී. ආරක්ෂක හමුදාවල ද සහයෝගය සහිත ව සමාගම විසින් එලිමහන් භූමියේ තාවකාලික කූඩාරම් තනමින් සිටී. එහෙත් වර්තමාන ශීත කාලගුනය හේතුවෙන් මෙම ඉතා කුඩා කූඩාරම්වල ලමුන් සමග ජීවත් වීම අසීරු බවට අවතැන් වූ පවුල් පැමිනිලි කරති.

ශ්‍රී ලංකාවේ වතුවල නිවාස ගිනිගැනීම් නිතර ම පාහේ සිදු වේ. 2011 අප්‍රේල් මාසයේ මස්කෙලියේ බෘන්ස්වික් හා බාග්රෝ වතුවල ගින්නකින් නිවාස 20ක් විනාශ විය. 2012 මැයි මාසයේ මෝචා වත්තේ හටගත් ගින්නකින් මිනිසුන් 100කට අධික පිරිසක් ජීවත් වූ ලයින් කාමර 22ක් විනාශ විය. 2014 නොවැම්බරයේ නුවරඑලිය ඩයගම වත්තේ ගින්නක් පුද්ගලයන් 83 දෙනෙකු අවතැන් කරමින් ලයින් කාමර 22ක් විනාශ කලේ ය. පසුගිය වසර 15 පුරා විදුලි දෝෂ හේතුවෙන් ලයින් කාමර 300කට අධික ප්‍රමානයක් ගිනිගෙන ඇත. එහෙත් වතු සමාගම් කිසිදු ප්‍රතිකර්මයක් සිදුකර නැත.

එක් ලයින් කාමරයකින් ආරම්භ වූ ගින්න

ෆෝඩයිස් වත්තේ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසූ පරිදි සිද්ධියට පෙර ඔහුගේ පවුල දෙමව්පියන් සමග ජීවත් විය. “පවුලේ සාමාජිකයන් හතක් සිටිනවා. අපි කුඩා කූඩාරමක ජීවත් වන්නේ කොහොම ද? අපි ඉල්ලන්නේ වෙන්කල කූඩාරම් දෙකක්. ඒත් ඒගොල්ලො ගනන් ගන්නෙ නැහැ.”

තමන්ගේ නිවස සම්පූර්නයෙන් විනාශ වූ තවත් කම්කරුවෙක් වන ඒ. යෝගේෂ්වරන් කීවේ: “අපිට සියල්ල අහිමි වුනා. ඒ අතර මගේ ලමයින්ගේ පොත්, හැඳුනුම්පත්, උප්පැන්න සහතික, අමාරුවෙන් දුෂ්කර කොන්දේසි යටතේ මිලට ගත් රත්තරං මාලය හා ලමයින්ගේ ඉස්කෝල නිල ඇඳුම් ඇතුලු රෙදි තිබෙනවා. අපිට දවසකට කෑමට වත් නො සෑහෙන පඩියෙන් මේ දේවල් අපි ආපහු ගන්නෙ කොහොම ද?”

දෛනික වැටුප රුපියල් 500 සිට 1,000 දක්වා වැඩි කරගැනීමට වතු කම්කරුවන් දින 9 ක් වැඩවැරූ බව ඔහු කීවේ ය. “ඒත් ඔක්කොම වෘත්තීය සමිති අපේ අරගලය පාවාදුන්නා. දැන් අපිට අපේ හැම දෙයක් ම නැති වෙලා. අපි ජීවත් වෙන්නෙ නය බරින් මිරිකිලා. හැම පැත්තෙන් ම අපි දුක් විඳිනවා. අපිට සුදුසු නිවාස පද්ධතියක් තිබුන නම් මේ තරම් බලපෑමක් වෙන්නෙ නැහැ.

දෛනික ව නෙලිය යුතු ඉලක්ක ගත දලු කිලෝ ප්‍රමානය 18ක් බවත් දිනකට රුපියල් 730ක සම්පූර්න දීමනාව ලබාගැනීමට කම්කරුවන් දින 21ක් වැඩ කල යුතු බවත් ඔහු කීවේ ය. “ඉලක්කය සම්පූර්න කරන්න බැරි වුනොත් දවසකට හම්බ වෙන්නෙ රුපියල් 500 මූලික පඩිය විතර යි. අනියම් කම්කරුවන්ට දවසකට හම්බ වෙන්නෙ රුපියල් 500 යි. ඒගොල්ලන්ට දීමනා හම්බ වෙන්නෙ නැහැ. බොහෝ කම්කරුවො කලින් විශ්‍රාම යනව පාරිතෝෂිකයයි අර්ථ සාධක අරමුදලයි අරගෙන ඒකෙන් ලමයින්ගෙ අධ්‍යාපනයට වියදම් කරන්න. ඊට පස්සෙ ඒගොල්ලො රුපියල් 500 වැටුපට අනියම් පදනමින් වත්තෙ වැඩට එනවා. අපි රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලන්නෙ ඒ නිසා.”

වතු කම්කරුවන් යනු ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කොටසකි. ඔවුන්ගේ සමාජ කොන්දේසි පසුගිය වසර 150 තිස්සේ සැලකිය යුතු ලෙස වෙනස් වී නැත.

ඔවුන් දිනකට පැය 10ක් වැඩකල යුතු ය. ඔවුන්ට පැමිනීමේ හා ඵලදායිතා දීමනා ලැබෙන්නේ මසකට දින 22ක් වැඩ කලහොත් පමනි. ඔවුන්ගෙන් සියයට 67ක් පමන තවමත් ජීවත් වන්නේ ජනේල හා ප්‍රමානවත් වාතාශ්‍රය රහිත වර්ග අඩි 120 ක් වන ලයින් කාමරවල යි. පවුල් කිහිපයක් එක් ලයින් කාමරයක එකට ජීවත් වෙති. වතු පවුල්වලින් සියයට 25කට පමන වැසිකිලි නැත. මුල දී සමාගම් විසින් ලයින් කාමර නඩත්තු කලත් දැනට එය පිරිවැය කප්පාදු කිරීමේ පියවරයන් යටතේ අත්හැර දමා ඇත. සෑම අනුප්‍රාප්තික ආන්ඩුවක් ම වතු කම්කරුවන්ට නිවාස හා සමාජීය පහසුකම් ලබාදෙන බවට පොරොන්දු වී තිබුනත් ඒ කිසිවක් ඉටුකර නැත.

නාගරික සාක්ෂරතාව සියයට 92ට වඩා වැඩි වුව ද වතුවල එම අගය සියයට 66ක් පමනි. වතු පාසල් නිසි ලෙස නඩත්තු නො කරන අතර ඒවා සුදුසුකම් ලත් ගුරුවරු, ගොඩනැගිලි, විද්‍යාගාර හා පුස්තකාල හිඟයෙන් පෙලේ. ගුරුවරුන්ගෙන් සියයට 20ක් පමන ස්වේච්ඡා ගුරුවරුන් ය.

තේ නිපදවන රටවල් අතර පවතින වැඩෙන තරඟය හේතුවෙන් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ශ්‍රී ලංකාවේ තේ සමාගම් සොච්චම් මාසික වේතන ක්‍රමය හා සමාජ ප්‍රතිලාභ අහෝසි කොට ආදායම් බෙදාගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කල යුතු යයි අවධාරනය කර ඇත. මෙම ආදායම් බෙදාගැනීමේ ක්‍රමය යටතේ කම්කරුවන් නවීන අඳගොවියන් බවට පත් කෙරේ.

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), ජාතික කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුලු සියලු වතු වෘත්තීය සමිති වතු සමාගම්වල හා ධනපති රාජ්‍යයේ ඒජන්තයින් ලෙස ක්‍රියා කරති.

එන්යූඩබ්ලිව්, ඩීඩබ්ලිව්සී, එල්ජේඊඩබ්ලිව්යූ හා යූපීඑෆ් අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුනු (එජාපෙ) ආන්ඩුවට සහයෝගය දෙන අතර සීඩබ්ලිව්සීය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සමග පෙලගැසී සිටී. මෙම සියලු සමිති නායකයන් උත්සුක වන්නේ ඔවුන්ගේ වරප්‍රසාද ගැන පමනි.

ඉහල වැටුප් ඉල්ලා වතු කම්කරුවන් යෙදුනු දින 9 වැඩ වර්ජනය පාවාදුන් ඔවුන්, තම සමාජ අයිතීන් හා ශිෂ්ට සම්පන්න වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් කරන කිසිදු පොදු කාර්මික ක්‍රියාවක් ප්‍රතික්ෂේප කර ඇත.

දුගී වතු කම්කරුවන්ගේ ලයින් කාමර 20ක් විනාශ වීම වතු සමාගම් සහ ආන්ඩුව විසින් වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිත ව වතු කම්කරුවන්ගේ සමාජ අයිතීන් අහිමි කිරීමේ ප්‍රතිඵලයකි.

Share this article: