කලාකරුවන් පිරිසක් එන්ජීඕ සංවිධාන සමග එක්ව ධනපති මාධ්‍ය ආයතනවලට එරෙහිව පැවත්වූ විරෝධතාවට පාලක පන්තිය බුරා පනියි

වසන්ත රූපසිංහ විසිනි, 2019 ජනවාරි 14

ජනවාරි 10දා එන්ජීඕ සංවිධාන කීපයක් හා එක්ව කලාකරුවන් පිරිසක් “ස්වාධීන මාධ්‍ය කලාවක් පවත්වා ගන්නැයි” බලකරමින් ධනපති විද්‍යුත් හා මුද්‍රිත ආයතන කීපයක් වෙත ගොස් ලිපියක් භාරදීම එකී මාධ්‍ය ආයතන හා ධනපති දේශපාලකයන්ගේ කෝපයටත් වෛරයටත් හේතුවී තිබේ.

උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ, 2015 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ දේශපාලන ක්‍රමන්ත්‍රනයේදී ප්‍රමුඛ කර්තව්‍යක් ඉටු කල මධ්‍යම පන්තික කන්ඩායමක් වන “අලුත් පරපුර”, “අලුත් පියාපත්“, “වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය” සහ “අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව” යනාදී කන්ඩායම් කීපයක් විසිනි.

උද්ඝෝෂනයේ ප්‍රතිගාමී දේශපාලන අරමුනු පිලිබඳ කිසිදු එකඟතාවක් නැති බව පැහැදිලිවම ප්‍රකාශ කරන අතර, සමාජවාදී සමානතා පක්ෂය, ඕනෑම අයෙකුට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියි. විවිධාකාර දේශපාලඥයින් හා ඇතම් මාධ්‍ය ආයතන උද්ඝෝෂකයන්ට එරෙහිව බුරා පැනීම පෙන්නුම් කරන්නේ, දේශපාලන සංස්ථාපිතයේ නිල අදහස්වලට එරෙහි කිසිදු විවේචනයක් ඉවසීමට ධනපති පාලක පන්තිය සූදානම් නැති බව යි.

ඊනියා “සිවිල් ක්‍රියාකාරීන්” ලෙස තමන්ව හඳුන්වාගත් මෙම පිරිස, කාල වර්න වස්ත්‍රහැඳ පැලඳ, ඇතමුන් කලු පටිවලින් මුහුනු ආවරනය කරගෙන, පෞද්ගලික හා රාජ්‍ය පාලිත මාධ්‍ය ආයතන ගනනාවක් ඉදිරියට ගොස් විරෝධතාවේ නියැලුනහ. “අපගේ සටන ජඩ මාධ්‍යකරනයට එරෙහිවයි” යන බැනරය ප්‍රදර්ශනය කල ඔවුහු, “මාධ්‍ය සගයිනි, ඔබගේ වෘත්තීය වගකීම ජනතාව වෙනුවෙනි, හිමිකරුවන් වෙනුවෙන් නොවේ”; “ජනතාවගේ ඇස් ඇරවන මාධ්‍ය කෝ අද, රට අවුලන පච තෙපලන පඩංගු විතරද” සහ “මේ සටන මාධ්‍ය මුදලාලිකරනයට එරෙහිවයි” යනාදී විරෝධතා පාඨයන් ලියූ පෝස්ටර් ප්‍රදර්ශනය කලහ. පසුව ඔවුහු, කොටුව දුම්රිය පොල ඉදිපිටට රැස්වී විරෝධතාවේ නියලුනහ.

පිරිස තම විරෝධයේ අරමුනු අඩංගු යැයි කියවෙන “සදාචාර හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක් වෙනුවෙන් පෙල ගැසෙමු!“ යන හිසින් යුත් ලිපියක් එක් එක් මාධ්‍ය ආයතනවලට භාරදුන් අතර සිරස, හිරු නාලිකා අයත් රූපවාහීනී ආයතන හා මව්බිම පුවත්පත් ආයතන එකී ලිපිය භාර ගැනීමට ප්‍රතික්ෂේප කල බව සංවිධයකයෝ පැවසූහ. මේ පිලිබඳ වාර්තා කරමින් මව්බිම ප්‍රකෝපකාරී හා තර්ජනාත්මක ලෙස ලියූ ලිපියට මාතෘකාව ලෙස යෙදුවේ, “මව්බිම වටලන්න ආ රනිල්ගේ එන්ජීඕ නඩ හූ හඬ මැද්දේ පලායති” යනුවෙනි.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් සිය වෛරය එලිපිට ප්‍රකාශයට පත් කල සිරස රූපවාහිනිය, අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී “කලු මාධ්‍ය ගැන කතා කර තිබෙන” බව සඳහන් කරමින් විරෝධතාව පිලිබඳ වාර්තා කලේ ය. ලිපිය භාරදීමට පැමිනි පිරිස අතරේ සිටි ව්‍යාජ වාම ප්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුලු නිලියන් කීපදෙනෙක්, එන්ජීඕ ක්‍රියාකාරිකයෙක් වන බ්‍රිට්‍රෝ ප්‍රනාන්දු සහ තවත් අයගේ රූප වටා රවුම් යොදා ප්‍රදර්ශනය කරමින් තමන් ඔවුන් එලෙස “අනාවරනය” කරන බව සිරස කීවේ ය. නිවේදකයා, “සිරසට අත තියන්න එපා, අත තියලා පසු තැවෙන්න එපා” යැයි තර්ජනයක් ද කලේ ය.

උද්ඝෝෂනය අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ ක්‍රියාවක් යැයි ඇඟවෙන පරිදි, මේ පිලිබඳ සිරස නිව්ස් වෙබ් අඩවිය සටහන් කර තිබුනේ, වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව “ප්‍රජාතන්ත්‍රවාදය යලි ඇති කරන ලෙස” ඉල්ලා විරෝධතාවේ නියැලුනේ මෙම කන්ඩායමම බව යි. මේ පිලිබඳව ප්‍රතිචාර දක්වමින් තමන් “කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති” බව උද්ඝෝෂකයෝ කියා සිටියහ.

පාර්ලිමේන්තුවේ විපක්ෂය මූලිකව කරන චෝදනාවක් පුනරුච්ඡාරනය කරමින්, විපක්ෂ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍යයට කීවේ, මාධ්‍යට “බලපෑම් දැමීම” සඳහා දියත් කල මෙම උද්ඝෝෂනයේ පිටුපස ඉන්නේ කවුද යන්න පැහැදිලි බව යි. “කලු මාධ්‍යයට” එරෙහි වික්‍රමසිංහගේ ප්‍රකාශය මෙහිදී ඔහු සිහිපත් කලේ ය.

මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ස්වෛරීත්වය පවත්වා ගැනීමෙහිලා එම නිදහස ක්‍රියාත්මකවූයේ කෙසේද යන්නත් ගැන පාරම්බෑ, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උද්ඝෝෂනය “දැඩි ලෙස හෙලා දකින” බව කීවේ ය. යූඇන්පී ඇමති හර්ෂ ද සිල්වා හා තවත් පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් කීප දෙනෙක්ම “මාධ්‍ය නිදහස සුරැකීමේ” නාමයෙන් විරෝධතාකරුවන් හෙලා දකිමින් අදහස් දක්වා තිබිනි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු වන විජිත හේරත්, පාලක පන්තියේ බුරා පැනීම් ගැන මුනිවත රකිමින්, සිරස නිව්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කලේ, උද්ඝෝෂනයට තම පක්ෂය සම්බන්ධ නැති බව යි.

පක්ෂ, විපක්ෂ ධනපති දේශපාලකයින්ගේ “මාධ්‍ය නිදහස සුරැකීම” පිලිබඳ කතා අතිශයින් ප්‍රෝඩාකාරී ය. සුප්‍රකට රංගන ශිල්පී හා මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා අමුඅමුවේ ඝාතනය කිරීම ඇතුලුව මාධ්‍යවේදීන් රැසකට තර්ජනය කිරීම් හා පහරදීම් ගනනාවකට යූඇන්පිය උරුමකම් කියයි.

රාජපක්ෂ සම්බන්ධයෙන් ගතහොත් කෙනෙකුට එක්වරම සිහියට එන්නේ, වසර දහයකට පෙරාතුව සන්ඬේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහදවල් අමුඅමුවේ ඝාතනය කලේත්, තවත් මාධ්‍යවේදීන් කීප දෙනෙකු අතුරුදහන් කරමින්, මාධ්‍යවේදීන් දුසිම් ගනනකට රට හැර යන තැනට පත් කලේත් ඔහුගේ පාලන සමයේදී බව යි. සිරිසේන බලයට පත්වන විට වික්‍රමතුංගගේ ඝාතකයන් නීතිය හමුවට පමුනුවා නිසි දඬුවම් පනවන බවට දුන් පච පොරොන්දු යටපත් කල, එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, මාධ්‍යයට වින කැටීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය තරම්ම කුප්‍රකට ය.

මෙම උද්ඝෝෂනයට සම්බන්ධ සියලුම දෙනා පාහේ රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සඳහා, 2015 පැවැති ජනාධිපතිවරනයේදී ඇමෙරිකාව පිටුබලය දුන් පාලන තන්ත්‍රමාරුවට එකහෙලා සහය පලකලවුන් ය. එම ආන්ඩුව බලයට පැමින කම්කරු පීඩිත මහජනයාගේ විරෝධතාවන්ට එල්ල කල විෂකුරු පොලිස් ප්‍රහාරයන් පිලිබඳ ඔවුහු කිසිවිටකත් විරුද්ධත්වය පල කොට නැත.

උද්ඝෝෂනයේදී ඔවුන් ප්‍රදර්ශනය කල පුවරුවල සටහන්ව තිබූ උක්ත පාඨ හා මාධ්‍ය ආයතනවලට බාරදුන් ඔවුන්ගේ ලිපියේ අඩංගු කරුනුවලින්මත් මොනවට සනාථ වන්නේ, ධනේශ්වර සංස්ථාපිතය සමග සහජීවනය ඔවුන්ගේ අපේක්ෂාව බව යි. මෙහිදී මොවුන් මහජනයාට වසන් කරන කාරනය වන්නේ, මෙම මාධ්‍ය වනාහී කම්කරු පන්තියේ හෝ පීඩිත ජනයාගේ නොව ධනපති පන්තියේ මාධ්‍ය බව යි. මහා ව්‍යාපාරිකයන් විසින් පවත්වා ගෙන යන මාධ්‍ය ආයතන පාලක ප්‍රභූවේ ඒ හෝ මේ කන්ඩායම සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන අතර ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව තීන්දු වන්නේ එකී දේශපාලන වුවමනා වෙනුවෙන් මිස මහජනයාගේ උවමනාව සඳහා නොවේ.

ඔක්තෝබර් 26දා සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රනයේදී සියලුම ධනපති මාධ්‍ය ක්‍රියාත්මකවූයේ, එයාකාරයෙන් පුපුරාගිය සමස්ථ ධනපති ක්‍රමයේ අර්බුදය වසන් කරමින්, මෙය සිරිසේනගේ හා වික්‍රමසිංහගේ පෞද්ගලික එදිරිවාදිකමේ ප්‍රතිපලයක් යැයි සාවද්‍ය ලෙස හුවා දැක්වීමට යි.

ධනපති මාධ්‍යයට අවශ්‍යවූයේ මහජනයා ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති තන්ත්‍රය මහජන වෛරයෙන් ගලවා ගැනීම යි. ධනපති මාධ්‍ය සිදුකලේ ඔවුන් පවරාගෙන ඇති නිල කර්තව්‍ය යි.

උද්ඝෝෂකයන්ගේ ලිපියේ ඉතිරි කොටස්ද කැපව ඇත්තේ, මාධ්‍යයට තම “වගකීම” සිහිපත් කරන අනුශාසනාත්මක කාරනවන් ගනනාවකිනි.

ඔවුහු එමගින් මහජනයාට ඒත්තු ගැන්වීමට වෑයම් කරන්නේ, එකම විකල්පය වන සමාජවාදී විප්ලවයෙන් මොබ, ධනපති ක්‍රමයට බලපෑම් දමා තමන්ට අවැසි ලෙස ධනපති ක්‍රමය හැඩගස්වා ගත හැකිය යන සුලුධනේශ්වරයේ ප්‍රතිගාමී හා බංකොලොත් දෘෂ්ටිවාදය යි.

රුසියන් විප්ලවයේ ලියොන් ට්‍රොට්ස්කි හා සමනායකත්වය දුන් ලෙනින් මාධ්‍ය සම්බන්ධයෙන් පවසා ඇත්තේ, එය ධනපති අයිතියෙන් නිදහස් කර ගැනීම සඳහා, කම්කරු පීඩිත මහජනතාව ම්ලේච්ඡ ධනපති ක්‍රමය පෙරලා දැමීමේ විප්ලවවාදී ඉදිරිදර්ශනයෙන් සන්නද්ධවී ගතයුතු බව යි.

“ධනපති පන්තිය විසින් “නිදහස” යන වචනය සෑමවිටම යොදාගෙන ඇත්තේ, ධනපතියාට වඩාත් ධනවත් වීම සඳහාත් කම්කරුවන්ට මරනයට පත්වන තෙක් නිරාහාරව සිටීමටත් ඇති නිදහස යන අර්ථයෙනි. ධනේශ්වර අර්ථයෙන් ගත් කල, මාධ්‍ය නිදහස යනුවෙන් අදහස් කරන්නේ, ධනපතියාට මාධ්‍යට අල්ලස්දීම සඳහා ඇති අයිතිය යි; ඊනියා මහජන මතය හැඩගැස්වීමට හා විකෘතිකිරීමට ඔවුන්ගේ ධනය පාවිච්චි කිරීමට ඇති අයිතිය යි. මෙම අර්ථයෙන් ගත්කල පවා, “ශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදයේ” ආරක්ෂකයෝ, ජන මාධ්‍ය පාලනය කිරීමට ධනපති පන්තියට අවස්ථාව සලසන අතිශයින් නින්දිත හා දූෂිත ක්‍රමයක ආරක්ෂයන් බව ප්‍රදර්ශනය කරති. කූඨ, සාටෝපවත්, එහෙත් මුලුමනින්ම සාවද්‍ය වාංමාලාවල ආධාරයෙන් යුතුව, ඔවුන් ඉටුකරන කටයුත්ත වන්නේ, ධනේශ්වර වහල්භාවයෙන් මාධ්‍ය මුදා ගැනීමේ ඒකායන ඓතිහාසික කර්තව්‍යයෙන් මහජනයා වෙනතකට හැරවීම හා රැවටීම බව ඔවුහු සනාථ කරති. සැබෑ නිදහස හා සමානතාව ස්ථාපිත කෙරෙනු ඇත්තේ, අනෙකාගේ වියදමින් ධනය පොදි ගසාගන්නා අවස්ථාවන් නැතිවනු ඇති, සෘජුව හෝ වක්‍රව මුදලේ බලයට මාධ්‍ය යටත්කරන අවස්ථාවන් වෛෂයිකව නොතිබෙනු ඇති, පොදු මුද්‍රිත මාධ්‍ය හා පොදු පුවත්පත් පරිහරනයේදී ඒවා බුක්ති විඳීම හා සමානව භාවිතා කිරීම සඳහා ඕනෑම වැඩකරන මිනිසෙකුට (ඕනෑම ගනනකින් යුත් කම්කරුවන් කම්කරුවන් කන්ඩායමකට) මොනයම් බාධාවක් නොතිබෙනු ඇති කොමියුනිස්ට්වාදීන් විසින් ගොඩනගනු ලබන සමාජ ක්‍රමය තුලදී ය.“ ( 101 පි. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පලමුවන සම්මේලනය, ධනපති ප්‍රජාතන්ත්‍රවාදය සහ කම්කරු පන්තියේ ආඥාදායකත්වය ගැන නිබන්ධය සහ වාර්තාව) “First Congress of the Communist International, Thesis and report on bourgeois democracy and the dictatorship of the proletariat˜”).

අන් හැමකරුනකදී මෙන්ම, පසුගිය ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රනයේදී ද සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැපවී ගත්තේ, කුමන්ත්‍රනයේ පන්තිමූලයන් පැහැදිලි කරමින් මාධ්‍ය නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා සමාජවාදී වැඩපිලිවෙල මත කම්කරු පීඩිත මහජනතාව දේශපාලනිකව බලමුලු ගැන්වීමේ අවශ්‍යතාව පැහැදිලි කරදීමට යි.

Share this article: