හලීල් සෙලික් (1961 - 2018) පිලිබඳ මතකය වෙනුවෙන්

In memory of Halil Celik (1961–2018)

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසිනි, 2019 ජනවාරි 2

තුර්කිය තුල හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සහාය දක්වන, සෝස්යලිස්ට් එසිට්ලික් කන්ඩාමෙහි පුරෝගාමියා මෙන් ම නායකයා වූ හලීල් සෙලික් බරපතල අසනීපයකින් පසු 2018 දෙසැම්බර් 31වන දා 57 වියෙහි දී අභාවප්‍රාප්ත විය. අඟහරුවාදා තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති, මෙම අශමනීය විප්ලවවාදියා හා ට්‍රොට්ස්කිවාදී සටන්කරුවාගේ අවමංගල්‍යයට, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, පහත සඳහන් ශෝක පනිවුඩය යවන ලදී.

හලීල් සෙලික් (1961-2018)

හලීල් සෙලික්ගේ පවුල හා Sosyalist Eşitlik (සෝස්යලිස්ට් එසිට්ලික්) හි සහෝදරයින් වෙත:

ප්‍රගාඪ ගෞරවය ද දැඩි අහිමි වීමක සංවේගයෙන් ද යුක්තව, මම හලීල් සහෝදරයාගේ අභාවය ගැන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශෝකය ඔබ වෙත පිරිනමමි.

හලීල් පෞද්ගලික ව හා දේශපාලනික ව අත්‍යසාමාන්‍ය පුද්ගලයෙකි. 1977 අවසානයේ 16 වියෙහි සිටිය දී සමාජවාදී ක්‍රියාකාරම්වල නියුක්ත වූ අතර ඔහු ජීවිතයේ අවසානය දක්වා විප්ලවවාදී සටන්කරුවෙකු ලෙස සිටියේ ය. ඔහු අනුගමනය කල දේශපාලන ගමන් මාවතට දේශපාලන දෘෂ්ටිය, පෞද්ගලික ධෛර්යය හා නිමා නොවන ශක්තියක් ද අවශ්‍ය විය.

ඔහු තම දේශපාලනික ක්‍රියාකාරකම් ආරම්භ කල ස්ටැලින්වාදී ස්ථරයෙන් ඉක්මනින් ම බිඳුනු හලීල් ට්‍රොට්ස්කිවාදය ගැන තදබල උනන්දුවක් වර්ධනය කර ගත්තේ ය. 1980 ගනන්වල මුල, තවමත් විසි හැවිරිදි තරුනයෙකු වූ ඔහු ට්‍රොට්ස්කිගේ, ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය නම් වූ කෘතිය අධ්‍යයනය කලේ ය. “මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ කෘති කියවීම ආරම්භ කල මම ස්ටැලින් මාක්ස්වාදයේ සතුරෙකු බව හඳුනා ගතිමි” යි ඔහු පසුව සඳහන් කලේ ය.

ට්‍රොට්ස්කිගේ ලිපිලේඛන සොයා ගැනීම දුෂ්කර වූ ද අනේක ජාතිකවාදී හා සුලු-ධනේශ්වර ප්‍රවනතාවන් දේශපාලනය විසින් අරක්ගත්තා වූ ද රටක, අව්‍යාජ මාක්ස්වාදී ජාත්‍යන්තරවාදය කරා මාවත දීර්ඝ හා දුෂ්කර එකක් විය. නමුත් කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ස්ථාපිත කිරීමට අධිෂ්ඨාන සහගත වූ හලීල් අව්‍යාජ සටන්කරුවෙකු විය. හිරගෙය, මර්දනය හෝ බොහෝ දේශපාලනික වංචාකාරයන් පිලිබඳ අත්දැකීම් වලින් ඔහුගේ දිරිසුන් කල නොහැකි විය.

හලීල් සහෝදරයාට ජාත්‍යන්තර කමිටුව සමග පලමුව සම්බන්ධකම් ඇති කර ගැනීමට හැකි වූයේ 2005 වර්ෂයේ දී ය. මෙය සිදුවූයේ ජර්මනියේ දී ය. ඔහු ධෛර්යවන්ත දැඩි ප්‍රතිපත්තිගරුක මිනිසෙකු බව පැහැදිලි වුනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය හදාරා තිබු හලීල් එය ට්‍රොට්ස්කිවාදී ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සමග තම එකඟත්වය පල කලේ ය. 2007දී ඔහු ආපසු තුර්කියට පැමිනීමෙන් පසු, දේශපාලනික ව යලි හැඩගැසීමේ හා හැදෑරීමේ වැඩ ක්‍රමානුකුලව ඇරඹුවේ ය. වෙහෙස නො තකන ශක්තියෙන් යුක්ත ව, ඔහු ලිපි ලිව්වේ ය. ඔහු අධ්‍යාපන පන්ති පැවත් වූ අතර ඉංග්‍රීසියෙන් තුර්කි බසට ද තුර්කි බසින් ඉංග්‍රීසියට ද පරිවර්තන කටයුතු කල අතර ම සෝස්යලිස්ට් එසිට්ලික් හි ප්‍රායෝගික වැඩ කටයුතුවලට මග පෙන්වී ය.

ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර කමිටුවේ දීර්ග අරගලයෙන් හලීල් ආවේශය ලැබී ය. ඔහු පසුව සඳහන් කල පරිදි, ජාත්‍යන්තර කමිටුව වෙතට ඔහුගේ හැරීම පැබ්ලෝවාදී සංවිධානවල ප්‍රතිපත්ති විරහිත හා ජාතික අවස්ථාවාදී දේශපාලනය පිලිබඳ තමන්ගේ ම කටුක අත්දැකීම්වල ප්‍රතිඵලය විය.

තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනය අත්පත් කර ගත හැක්කේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත පමනක් බව ඔහු වටහා ගත්තේ ය. ඒ සඳහා තරුන විප්ලවවාදීන් ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳව උගන්වා ගැනීම අවශ්‍ය විය. ජාතන්තර කමිටුවේ ඉතිහාසය පිලිබඳ, ඬේවිඞ් නෝත්ගේ අප රක්නා උරුමය නම් කෘතිය ඔහු විසින් තුර්කි බසට පරිවර්තනය කලේ ඒ නිසා ය. 2017දී ප්‍රකාශයට පත් කෙරුන මෙම කෘතියට විශේෂ හැඳින්වීමක් ලියන ලෙස ඔහු ඬේවිඞ් නෝත් සහෝදරයාගෙන් පුද්ගලිකව ඉල්ලා සිටියේ ය.

ඔහුගේ ජීවිතය ඩැහගත් රෝගයෙන් පීඩාවට ලක් වුව ද, ජාත්‍යන්තර කමිටුවේ උපදෙස් ලබා ගැනීමට හා රැස්වීම්වලට සහභාගී වීමට හලීල් සහෝදරයා නිතර යුරෝපය ට පැමිනියේ ය. ඔහුගේ ජීවිතයේ අවසන් වසර කීපය කැප කෙරුනේ තුර්කිය තුල ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ස්ථාපිත කිරීමට යි. සෝස්යලිස්ට් එසිට්ලික් ආරම්භ කිරීම එරට තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වර්ධනයේ තීරනාත්මක සන්ධිස්ථානයක් විය.

පනස් හත්වන වියේදී හලීල් සහෝදරයාගේ අභාවය, තමන්ට දේශපාලන අධ්‍යාපනය ලබා දීමේ දී එතරම් දැවන්ත කාර්යභාරයක් ඉටු කල, තුර්කියේ ඔහුගේ සහෝදරයන්ට මෙන් ම, ලෝකය පුරා ඔහුගේ සහෝදරයන්ට ද බලවත් පාඩුවකි. ඔහුගේ නොනිමි කටයුතු සමග ඉදිරියට යාමට අධිෂ්ඨාන සහගත ව, තුර්කිය තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ සටන ඉදිරියට යනු ඇත. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්ර කමිටුවේ තුර්කි ශාඛාව ලෙස සෝස්යලිස්ට් එසිට්ලික් ස්ථාපිත කිරීමේ ඔහුගේ අභිමාතාර්ථය සාක්ෂාත් කිරීමට වඩා හලීල් සහෝදරයාගේ මතකය වෙනුවෙන් පිරිනැමිය හැකි අන් ගෞරවයක් නොමැත.

හලීල් සෙලික් සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!

සෝස්යලිස්ට් එසිට්ලික් දිගු කල් දිනේවා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තුර්කි ශාඛාව කරා පෙරට!

පීටර් ස්වාෂ්, ලේකම්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

බර්ලින්, 2018 දෙසැම්බර් 31

Share this article: