සමාජ ව්‍යසනයට හා දේශපාලන ප්‍රතිගාමීත්වයට එරෙහි ව
සටන් වැදීම සඳහා ඉන්දියානු කම්කරුවන්ට
විප්ලවීය සමාජවාදී ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ය

Indian workers need revolutionary socialist program to combat social devastation and political reaction

දීපාල් ජයසේකර හා කීත් ජෝන්ස් විසිනි, 2019 ජනවාරි 8

බීජේපීය නායකත්වය දෙන ආන්ඩුවේ සමාජීය වසයෙන් ව්‍යසනකාරී “ආයෝජක-ගැති” ආර්ථික පිලිවෙත් -එනම්, රුදුරු කප්පාදුව, පුද්ගලීකරනය, අස්ථීර කොන්ත්‍රාත් රැකියා ප්‍රවර්ධනය, පාරිසරික හා වැඩපොල ආරක්ෂක ප්‍රමිතීන් බරපතල ලෙස නොතකා හැරීම, මහ ව්‍යාපාරිකයේ හා ධනවතුන්ගේ බදු විශාල වශයෙන් අඩුකිරීම සහ කම්කරුවන් හා ග්‍රාමීය දුගීන් මත අධික බදුබර පැටවීම ආදියට එරෙහි ව මෙම අඟහරුවාදා හා බදාදා පැවැත්වෙන පැය 48 ක සමස්ත ඉන්දීය වැඩ වර්ජනයට කෝටි සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයන් සහභාගි වනු ඇත.

මූල්‍යමය කැපකිරීම් කිරීමටත්, ප්‍රතිප්‍රහාරයන්ගේ හා රැකියාවලින් නෙරපීමේ අනතුරට පවා මුහුනදීමටත් කම්කරුවන් අතර පවතින සූදානම ලෝක සමාජවාදී වෙබ් අඩවිය සාදරයෙන් පිලිගනී.

අනිල් හා මුකේෂ් අම්බානි, ගවුතම් අදානි හා අනෙකුත් බිලියනපති කතිපයාධිකාරයන් විසින් නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු අධිපතිවාදී බීජේපීය බලයට පත්වීමට තල්ලු දුන්නේ කම්කරු පන්තිය මත පන්ති යුද්ධය තීව්‍ර කිරීමටත් ඉන්දියානු ධනේශ්වරයේ මහා බල අභිප්‍රායයන් වඩා ආක්‍රමනශීලී ව ලුහුබැඳීමටත් ය. ඔවුන් එය නිශ්චිතව ම කර ඇත. වසර හතරහමාරක් වයසැති බීජේපී ආන්ඩුව, වාර්ගික ප්‍රතිගාමීත්වයට ඉන්ධන සැපයීම, (සියලු විද්‍යුත් සන්නිවේදනයන් හා දත්ත පිලිබඳ ඔත්තු බැලීමේ අයිතිය පවරා ගැනීම ඇතුලු) රාජ්‍ය මර්දන යාන්ත්‍රනය ශක්තිමත් කිරීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග ඉන්දීය මිලිටරියේ මූලෝපායික සන්ධානය දැවැන්තව ප්‍රසාරනය කිරීම හා ඉන්දියාව ගෝලීය ධනවාදයේ ප්‍රමුඛ ලාබ ශ්‍රම තිප්පොලක් බවට ඉන්දියාව පත්කිරීමේ පාලක පන්තියේ ධාවනය වේගවත් කර ඇත.

කම්කරුවන් ප්‍රවේසම් විය යුතු ය.

ජනවාරි 8-9 විරෝධතා වැඩ වර්ජනයට දේශපාලනිකව නායකත්වය දෙන්නේ ඉන්දියානු සංස්ථාපිතයේ ඒකාග්‍ර පාර්ශවයක් වන, දැනට වසර විසිපහකට වඩා පැරනි ඉන්දීය ධනේශ්වර ප්‍රභූවේ “වෙලඳපොල-හිතැති” න්‍යාය පත්‍රය ක්‍රියාවට දැමීමේ දී ද එයට එරෙහි විරුද්ධත්වය මර්දනය කිරීමේ දී ද තීරනාත්මක භූමිකාවක් ඉටු කර ඇති වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ විසිනි.

මහ ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයේ අන්ඩක් වන ඉන්දියානු ජාතික වෘත්තීය සමිති සම්මේලනය (අයිඑන්ටීයූසී) හා දෙමල ධනේශ්වරයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් හා කොංග්‍රස් පක්ෂයේ මූලික සහකරුවෙක් වන ඩීඑම්කේහි වෘත්තීය සමිති අංශය වන කම්කරු ප්‍රගතිශීලී පෙරමුන (එල්පීඑෆ්) සම්බන්ධයෙන් පමනක් නො ව; නිවුන් ස්ටැලින්වාදී පක්ෂ දෙක වන ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය හෙවත් සීපීඑම් හා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) මෙන් ම පිලිවෙලින් ඔවුන්ගේ වෘත්තීය සමිති අඬු වන ඉන්දීය වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) හා සමස්ත ඉන්දීය වෘත්තීය සමිති සම්මේලනය (ඒඅයිටීයූසී) සම්බන්ධයෙන් ද මෙය එලෙසින් ම සත්‍ය වේ.

ස්ටැලින්වාදීන් හා විවිධාකාර ප්‍රධාන වෘත්තීය සමිති සංවිධාන ජනවාරි 8-9 ක්‍රියාව “මහා වැඩ වර්ජනයක්” ලෙස හුවා දැක්වීමේ දී ඔවුන් යෙදී සිටින්නේ නරුම දේශපාලනික රැවටිල්ලක ය.

මහා වැඩ වර්ජනය සදාකල්හි සම්බන්ධ වන්නේ, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස ඉස්මතු වීමට නායකත්වය සම්පාදනය කල සමාජවාදී කම්කරු ව්‍යාපාරයේ වර්ධනය හරහා, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය යටතේ කම්කරුවන් විසින් බලය අල්ලා ගැනීමෙන් කූටප්‍රාප්ත වූ පසුගිය ශතවර්ෂයේ මුල රුසියානු කම්කරු පන්තියේ විප්ලවවාදී පරිශ්‍රමයන් සමග ය.

එහෙත් කම්කරු පන්තිය දේශපාලනික ව ස්වාධීන ලෙස බලමුලුගන්වනවා වෙනුවට ස්ටැලින්වාදීන් හා වෘත්තීය සමිති යාන්ත්‍රනයන් උත්සාහ දරන්නේ එහි හුස්ම හිරකිරීමට ය.

ඔවුන්ගේ ඉලක්කය වන්නේ කම්කරු පන්තියේ හා ගම්බද දුගීන්ගේ වඩ වඩා සටන්කාමී වන විරුද්ධත්වය මැඩපවත්වා, අප්‍රේල්-මැයි මහා මැතිවරනයෙන් පසුව විකල්ප දක්ෂිනාංශික ආන්ඩුවක් බලයට ගෙන ඒමට ඉන්දීය පාලක ප්‍රභූවේ කොටසක් යටතට ගාල්කිරීම පිනිස දෙදින විරෝධතා වර්ජනය උපයෝගී කර ගැනීමයි.

ස්ටැලින්වාදීන් සම්බන්ධයෙන් ගත් කල සීපීඑම් ඉදිරියේ එන “මහා සංග්‍රාමය” යනුවෙන් හඳුන්වන 2019 මැතිවරනයටත් “විකල්ප අනාගමික ආන්ඩුවක්” තෝරා ගැනීම පිනිස ඡන්ද ගරාගැනීමට ඔවුන් දරන උත්සාහයන්ටත් වැඩ වර්ජනය මුලුමනින් ම යටත් ය. එනම්, බීජේපීය නොමැති මහ ව්‍යාපාරික ආන්ඩුවක් නව දිල්ලියේ පිහිටුවීම යි.

එවැනි ආන්ඩුවක්, 1989 සිට 2008 දක්වා සීපීඑම් හා එහි වාම පෙරමුන පාර්ලිමේන්තුව තුල මුක්කුව දුන් හා වොෂින්ටනය සමීප සබඳතා වාත්තු කරගන්නා අතර ධනේශ්වරයේ සමාජීයව ව්‍යසනකාරී, නව-ලිබරල්වාදී න්‍යාය පත්‍රය එක පැහැර ක්‍රියාවට දැමූ වැඩි වශයෙන් කොංග්‍රස් පක්ෂය නායකත්වය දුන් අනුප්‍රාප්තික “අනාගමික” ආන්ඩුවකට සමාන වනු ඇත.

2008 මූල්‍ය අර්බුදයෙන් දශකයකට පසුව අද සිදු වී ඇත්තේ පද්ධති ගත අර්බුදයක් විසින් ලෝක ධනවාදය විනාශ කරනු ලැබ තිබීම පමනි. මෙහි විපාකයක් ලෙස ඊලඟ ආන්ඩුවට ඉන්දීය හා ගෝලීය ප්‍රාග්ධනයේ න්‍යාය පත්‍රය වඩා අනුකම්පා විරහිත ලෙස පැටවීමට සිදුවනු ඇත. එහි සංයුතිය කුමක් වුව ද බීජේපීය හෝ කොංග්‍රසය හෝ ප්‍රාදේශීය හා කුල මත පදනම් වූ පක්ෂ වල “තෙවන පෙරමුනක්” විසින් ස්ටැලින්වාදීන් සහයෝගය දෙන “අනාගමික” සභාගයක් එම ආන්ඩුව තැනුව ද ඊලඟ ආන්ඩුවේ කර්තව්‍යය වනු ඇත්තේ විදේශ ආයෝජන අද්දා ගැනීමට හා විදෙස් වෙලඳපොල අල්ලා ගැනීමට ඉන්දියාවේ කම්කරුවන් හා පීඩිතයින් සූරාකෑම නාටකාකාර ව තීව්‍ර කිරීම යි.

ඉන්දියානු ධනේශ්වරයේ සාම්ප්‍රදායික පාලක පක්ෂය වන කොංග්‍රසය, බීජේපීයට එරෙහි සටනේ දී වැඩකරන ජනයාගේ මූලික සහකරුවෙක් ලෙස එය ඉදිරියට දැමීමට ස්ටැලින්වාදීන් දරන ප්‍රයත්නයේ වාසි දැනට මත් නෙලාගනිමින් සිටී. අයිඑන්ටීයූසී සභාපති හා හිටපු කොංග්‍රස් මන්ත්‍රී ජී. සංජීව රෙඞ්ඩි, කොංග්‍රස් සභාපති රාහුල් ගාන්ධි කම්කරු පන්තියේ “මිතුරෙක්” හා අනාගත “ප්‍රගතිශීලී ආන්ඩුවක” ප්‍රධානියා ලෙස ප්‍රක්ෂේපනය කිරීම සඳහා “මහා වැඩ වර්ජනය” ලජ්ජා විරහිත ව යොදාගනිමින් සිටී.

සීපීඑම් හා වෘත්තීය සමිති දඩයමට ලක්කල මරුති-සුසුකි කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි

ස්ටැලින්වාදීන් හා වෘත්තීය සමිති පන්ති අරගලය කෙරෙහි දක්වන සැබෑ ආකල්පය, ගොතන ලද ඝාතන චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිරගත කොට සිටින මරුති-සුසුකි මෝටර් රථ කම්කරුවන් 13 දෙනා ව වහාම හා කොන්දේසි විරහිත ව නිදහස් කිරීම තබා ඔවුන් ගැන කිසිදු සඳහනක් වත් නො කිරීම මගින් මනාව පෙන්නුම් කරයි. මෙම කම්කරුවන් සිදුකල එකම “අපරාධය” වූයේ, ඉන්දියාවේ ගෝලීය ව සම්බන්ධිත නව නිෂ්පාදන කර්මාන්ත තුල පවතින ඩාදිය වගුරන කොන්දේසිවලට අභියෝග කොට තිබීම යි. එහෙත් විරෝධය යටපත් කිරීමට හාම්පුතුන් පුරුද්දක් වසයෙන් “මරුති-සුසුකි මෙන් කරනවා” යයි තර්ජනය කරද්දී පවා, ස්ටැලින්වාදීන් ඔවුන්ට සලකන්නේ 19 වන ශතවර්ෂයේ දකුනු ඉන්දියාවේ කුලහීනයන්ට සැලකූ අයුරින් ය.

මරුති-සුසුකි කම්කරුවන්ගේ සටන්කාමී ආදර්ශය කෙරෙහි ඔවුන් දක්වන භීතිය සහ වඩාත් ප්‍රධාන කොට දරිද්‍රතා වැටුප් හා අස්ථීර රැකියාවන්ට එරෙහි ඔවුන්ගේ අරගලය ආරක්ෂා කරන උද්ඝෝෂනයක් කොංග්‍රස් පක්ෂය සමග තමන්ගේ සන්ධානය හා තමන්ගේ වෘත්තීය සමිති මහ ව්‍යාපාරිකය සමග පවත්වාගෙන යන සුහදශීලී, සංගතවාදී සබඳතා පුපුරුවා හරිනු ඇති බව හඳුනාගැනීම නිසාත් ස්ටැලින්වාදීහු මරුති-සුසුකි කම්කරුවන් ව මගහරිති.

ස්ටැලින්වාදී පක්ෂ හා වෘත්තීය සමිතිවල භූමිකාව ගැන විවේචනාත්මක ශේෂ පත්‍රයක් සකස් කරගැනීම හදිසි අවශ්‍යතාවය කි. කම්කරු පන්තිය, මුලුමනින් ම නව මූලෝපායක් එනම්, ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලට එරෙහි ව කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීමේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සහ සමාජය සමාජවාදී ව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සටනේ දී ගම්බද ජනයා හා සියලු පීඩිතයන් රැලි කරගැනීමේත් මූලෝපායක් සම්මත කරගත යුතු ය.

පසුගිය දශක තුන පුරා කලාක් මෙන් ස්ටැලින්වාදියෝ බීජේපීය හා එහි හින්දු දක්ෂිනාංශික සහකරුවන්ගේ අපරාධයන්ට ඇඟිල්ල දිගු කරන්නේ ඉන්දියානු ධනවාදයට චෝදනා කිරීමට සහ පාලක පන්තිය ප්‍රතිගාමීත්වය වැලඳගැනීම හා ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදයේ මාරක ස්වභාවය ගැන කම්කරු පන්තියට අනතුරු ඇඟවීමට නො වේ; ඔවුන් එසේ කරන්නේ, කම්කරු පන්තිය ඔවුන් විසින් ක්‍රමානුකූල ව කොංග්‍රසයට හා දක්ෂිනාංශික ප්‍රාදේශීය හා කුලවාදී පක්ෂ රොත්තකට යටත් කිරීම ව්‍යාජ ලෙස සාධාරනීකරනය කිරීම සඳහා ය.

2019 මැතිවරනය එලඹෙද්දී බීජේපී නො වන මහ ව්‍යාපාරික ආන්ඩුවක් ස්ථාපිත කිරීමට සහයෝගය දීම මගින් කම්කරු පන්තිය “ප්‍රජාතන්ත්‍රවාදය” හා “ව්‍යවස්ථාව” ආරක්ෂා කරගත යුතු බවට ස්ටැලින්වාදීහු ඝෝෂා කරමින් සිටිති.

බීජේපීය වැඩකරන ජනයාගේ දුෂ්ට හතුරෙකු බවට ප්‍රශ්නයක් නැත. එහෙත් ධනේශ්වරයේ පක්ෂවල වල්ග මත වාරුවීම සහ පුරුද්දක් ලෙස ප්‍රචන්ඩ ව කම්කරුවන්ගේ අරගල මර්දනය කරන හා එක් වාර්ගික අපරාධයකට පසු තවෙකක් සූදානම් කිරීමේ හා වසං කිරීමේ යෙදී ඇති ඉන්දියානු රාජ්‍යයේ කුනු වන “ප්‍රජාතන්ත්‍රවාදී” ආයතන කෙරෙහි විශ්වාසය තැබීම මගින් ඉන්දියානු කම්කරුවන්ට ප්‍රතිගාමීත්වය පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගත හැකි ය යන කියාපෑම භයානක බොරුවකි.

යථාර්ථය නම්, එවැනි අනතුරක් බවට හින්දු දක්ෂිනාංශය වර්ධනය වී ඇති නම් එයට හේතුව ස්ටැලින්වාදීන් අනුගමනය කරන අපරාධකාරී පිලිවෙත් බව යි. ඔවුන් ක්‍රමානුකූල ව පන්ති අරගලය මර්දනය කිරීම, ඔවුන් බලය දැරූ බටහිර බෙංගාලය වැනි ප්‍රාන්තවල දී ඔවුන් ම “ආයෝජක-හිතවාදී” යයි කියන පිලිවෙත් ක්‍රියාත්මක කිරීම හා හින්දු දක්ෂිනාංශයට එරෙහි වීමේ නාමයෙන් කොංග්‍රසය හා අනෙකුත් ධනපති පක්ෂවලට ඔවුන් විසින් කම්කරුවන් යටත් කිරීම ප්‍රතිගාමීත්වයට වර්ධනය විය හැකි සරුපසක් නිර්මානය කලේ ය.

සමාජ අර්බුදයට තමන්ගේ ම සමාජවාදී විසඳුමක් ඉදිරිපත් කිරීමෙන් කම්කරු පන්තිය වලකා තිබෙන තතු තුල, ස්ටැලින්වාදීන්ගේ පිටුබලය සහිත “අනාගමික” ආන්ඩු විසින් අනුගමනය කරන නව-ලිබරල්වාදී පිලිවෙත්වල විනාශකාරී බලපෑම අරබයා පවතින මහජන කෝපය ගසාකෑමට බීජේපීයට හැකියාව ලබා දී තිබේ.

ධනවාදයේ අර්බුදය හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම

මෝදි ආන්ඩුව වනාහි ගෝලීය ප්‍රපංචයක ඉන්දීය ප්‍රකාශනය යි. 1930 ගනන්වලින් මෙපිට වඩාත්ම දරුනු අර්බුදයේ ගිලී සිටින ලෝක ධනවාදය ප්‍රතිගාමීත්වය වමාරයි. එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන අධිරාජ්‍යවාදී බලයන් සීඝ්‍රයෙන් යලි සන්නද්ධ වේ. ජාතික-වාර්ගික හා ප්‍රජාගන බෙදීම්වලට ඉන්ධන සපයමින් ද ආඥාදායක පාලන රූපාකාරයන් කරා හැරෙමින් ද සෑම තැනක ම පාලක ප්‍රභූව දකුනට ලුහුටමින් සිටී.

ෆැසිස්ට්-හිතැති ට්‍රම්ප් පමනක් නො ව, අන්ත-දක්ෂිනාංශික ඉතාලියේ ලීගා පක්ෂය, ජර්මානු පාර්ලිමේන්තුවේ නිල විපාර්ශවික නව-නාසිවාදී ඒඑෆ්ඩීය හා බ්‍රසීලයේ අන්ත-දක්ෂිනාංශික හා මිලිටරි-හිතවාදී ජනාධිපති ජායිර් බොල්සොනාරෝ යන සියලු දෙනා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් ප්‍රතික්ෂේප කරමින් සිටිති. ලිබරල්වාදයේ ප්‍රදර්ශනකාමී භක්තිවන්තයන් සම්බන්ධ තත්ත්වය ද එලෙස ම ය.

එක්සත් ජනපදය තුල ඩිමොක්‍රටික් පක්ෂය, විශේෂයෙන් යුද-විරෝධී හා සමාජවාදී දෘෂ්ටීන් ඇතුලු විරුද්ධවාදී අදහස් පැතිරීම වැලැක්වීම සඳහා අන්තර්ජාලය වාරනය කිරීමේ උද්ඝෝෂනයකට නායකත්වය දෙයි. රුසියාවට එරෙහි වඩා යුදකාමී පිලිවෙතක් වොෂින්ටනය විසින් අනුගමනය කිරීම අවශ්‍ය නිසා මාලිගා කුමන්ත්‍රන විධිවලින් ට්‍රම්ප් ව ඉවත් කිරීම සඳහා ඩිමොක්‍රටිකයෝ මිලිටරි-ඔත්තු සේවා ඒජන්සි සමග කුමන්ත්‍රනය කරමින් සිටිති. “හදිසි නීති” හා “ත්‍රස්ත-විරෝධී” බලතල සාමාන්‍යකරනය කල ප්‍රන්ස ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන්, ඉන්පසු කම්කරුවන්ගේ සමාජ අයිතීන් මත දරුනු ප්‍රහාර එල්ල කිරීම සඳහා ඒවා යොදාගත්තේ ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමට හා ප්‍රතිගාමීත්වය පරාජය කිරීමට පවත්නා එකම ශක්‍ය මූලෝපාය වන්නේ ජාත්‍යන්තර පන්ති අරගලය හා ජරාජීර්න ධනේශ්වර සමාජ පර්යායට එරෙහි ව කම්කරු පන්තිය දේශපාලනික ව බලමුලුගැන්වීම මත පදනම් වීම යි.

2018 දී, සීපීඑම් හා අයිඑන්ටීයූසීහි ජාත්‍යන්තර සහකරුවන්, ධනපති-ගැති වෘත්තීය සමිති හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ද ග්‍රීසියේ සිරිසාව වැනි ව්‍යාජ-වාම පක්ෂ ද විසින් ගොඩනගන ලද බාධකයන් බිඳ දැමීම කම්කරු පන්තිය විසින් ආරම්භ කලේ ය. ධනේශ්වර කප්පාදුවට හා සමාජ අසමානතාවට එරෙහි මෙම ගෝලීය පුනර්ජීවනය සහ කම්කරු පන්තියේ විරෝධය වර්ධනය වන්නේ සංස්ථාපිත “වාම” පක්ෂ හා වෘත්තීය සමිතිවලට පිටස්තර ව හා වඩ වඩා ඒවාට එරෙහිව බවට ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය මනා උදාහරානයකි.

තමන්ගේ පන්ති අවශ්‍යතා අවධාරනය කිරීම සඳහා ඉන්දියාවේ කම්කරුවන්ට ස්ටැලින්වාදී පක්ෂ හා වෘත්තීය සමිති යාන්ත්‍රනයන්ගෙන් මුලුමනින් ම ස්වාධීන හා තමන් විසින් ම පාලනය කරන අරගලයේ නව සංවිධාන අවශ්‍ය ය. හාම්පුතුන්ගේ ප්‍රහාර වෘත්තීය සමිති විසින් බලයෙන් පැටවීමට ප්‍රතිචාර වසයෙන් තම මූලික අයිතීන් සඳහා අරගලය දියත් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාවේ ඇබොස්ලී වත්තේ වතු කම්කරුවන් ගත් මාවත ඉන්දීය කම්කරුවන් විසින් ආදර්ශයට ගත යුතු ය.

සියල්ලටමත් වඩා කම්කරුවන්ගේ බලය සඳහා අරගලයට නායකත්වය දීමටත් තම අරගල ගෝලීය පරිමානයකින් සම්බන්ධීකරනය කිරීමටත් කම්කරු පන්තියට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය ය. එම පක්ෂය වන්නේ හතරවන ජාත්‍යන්තරය හා ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ඇතුලු දකුනු ආසියාවේ එහි ජාතික ශාඛාවන් ය.

1938 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද හතරවන ජාත්‍යන්තරය, අධිරාජ්‍යවාදයට හා 1917 රුසියානු විප්ලවය ජාතිකවාදී “තනිරටේ සමාජවාදයේ” ධජය යටතේ පාවාදී සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කල සීපීඑම් හා සීපීඅයිහි දේශපාලන උපදේශකයන් වන සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය ඇතුලු එහි සියලු ඒජන්තයන්ට විරුද්ධ ව ජාත්‍යන්තර සමාජවාදයේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කොට වර්ධනය කර ඇත. 1953 පටන් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නායකත්වය දී ඇති හතරවන ජාත්‍යන්තරය, පසුගිය ශතවර්ෂයේ හා 21වන සියවසේ පලමු දශක දෙකේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ජයග්‍රහන හා පරාජයන් ඇතුලු එහි අරගලවල සියලු මූලෝපායික පාඩම් මූර්තිමත් කරයි.

කම්කරුවනි, තරුනයිනි: සමාජ අසමානතාවට, ධනේශ්වර ප්‍රතිගාමීත්වයට හා යුද්ධයට විරුද්ධ වන්න. ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන සියතට ගන්න. හජාජාක ඉන්දියානු ශාඛාව ගොඩනගන්න.

Share this article: