සේවක දඩයමට එරෙහිව කටුනායක ඒටීජී කම්කරුවෝ වර්ජනයේ යෙදෙති

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 ජනවාරි 22

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී සිලෝන් අත් වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් හය දෙනෙකු රැකියාවෙන් දොට්ට දැමීමට එරෙහිව එහි දහසක් පමන කම්කරුවෝ මේ මස 12 සිට අඛන්ඩ වර්ජනයක නිරත වී සිටිති.

සේවක දඩයමට එරෙහිව කටුනායක ඒටීජී කම්කරු වර්ජනය

“කම්හලේ දේපල අනිසි ලෙස භාවිතා කිරීම” යන ව්‍යාජ චෝදනාවන් ආයතන පරිපාලනය විසින් සේවක දඩයම සඳහා යොදා ගෙන තිබේ. 2015 දී පිහිට වූ වෘත්තීය සමිතියට අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර ඒ පිලිබඳ නිවේදනයක් දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීම කම්කරුවන්ට විරුද්ධව ඇති චෝදනාවයි.

උක්ත චෝදනා මත මීගමුව උසාවියේ නඩුවක් පවරා ඇති කම්හල් පරිපාලනය එහි තීන්දු ලැබීමටත් ප්‍රථම මේ මස 11 දා වෘත්තීය සමිතියේ ප්‍රධාන සංවිධායක, සභාපති සහ ලේකම් ඇතුලු හය දෙනෙකු රැකියාවෙන් දොට්ට දමා ඇත. අවුරුදු 15 ක පමන සේවා කාලයක් ඇති දඩයමට ලක් වී සිටින කම්කරුවන්ගේ රැකියාව ඇතුලු අනෙකුත් දීමනා තර්ජනයට ලක්ව තිබේ.

සේවක දඩයමට එරෙහිව කටුනායක ඒටීජී කම්කරු වර්ජනය

ඒටීජී පරිපාලනයේ එල්ලය ෆැක්ටරිය තුල ක්‍රියාත්මක දරුනු රැකියා කොන්දේසිවලට එරෙහිව සංවිධානය වීමට උත්සාහ ගත් කම්කරුවන්ගේ ඒකාග්‍රතාවය බිඳ විසුරුවීමයි.

කම්කරුවන් විසින් ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයට අයත්ව සමිතියක් පිහිටුවා ගත්තේ 2015 දී ය. නමුත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දක්වමින් කම්කරුවන් හෙලිදරව් කල අන්දමට කම්හල තුල සූරාකෑම හා මර්දනය පසුගිය කාලපරිච්ඡේදය තුල අඛන්ඩව උග්‍ර කෙරෙමින් පවතී.

කම්කරුවන්ගේ ඒකාබද්ධ ශක්තිය බිඳීම සඳහා පරිපාලනය විසින් පිහිටුවා ඇති මාහිස (මානව හිතවාදී සංගමය) වෘත්තීය සමිතියට නොබැඳුනහොත් රැකියාව අස්ථාවර වනු ඇතැයි නවක කම්කරුවන් බියවද්දා තිබේ. එපමනක් නොව සූරාකෑම හා මර්දනය තීව්‍ර කිරීමේ අටියෙන් පරිපාලනය, හමුදාවේ සහ පොලීසියේ විශ්‍රාම ලත් නිලධාරීන් කම්කරුවන්ගේ වැඩ අධීක්ෂනයට යොදවා තිබේ. පසුගිය වසර කිහිපය තුල කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුලු කම්කරුවන් දස දෙනෙකු පමන රැකියාවලින් දොට්ට දමා තිබේ.

ඒටීජී හි රැකියාවේ නිරත වන බලංගොඩ සිට පැමිනි කම්කරුවෙක් ලෝසවෙඅට ප්‍රකාශ කලේ ඉරිදා දිනයන් හි සේවය කිරීමෙන් ද, අතිකාල හා රාත්‍රී වැඩමුර 10 ක යෙදීමෙන්ද ඔහුට උපයාගත හැකි මාසික වැටුප රුපියල් 35,000 ක් පමනක් බවයි.

“ගෙදරට යවන්න පුලුවන් රුපියල් 15,000 ටත් අඩු මුදලක්. හතර දෙනෙක් ඒ මුදලෙන් කොහොම ද මාසයක් ජීවත් වෙන්නේ” යයි ඔහු ප්‍රශ්න කලේ ය.

ඔහුට රැකියා කිරීමට සිදු වී ඇත්තේ අත්වැසුම් නිෂ්පාදනයට යොදා ගන්නා විවිධ රසායන ද්‍රව්‍ය සමගයි. ඒ හේතුවෙන් නිතර හිසේ කැක්කුමට භාජනය වන බවත්, කම්හලේ කාන්තා කම්කරුවන් ගබ්සා වීම්වලට භාජනය වූ බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කලේ ය.

ලෝසවෙඅ සමග සාකච්ඡා කල සෑම කම්කරුවෙකුම කියා සිටියේ දිනපතා ඉහල යන බඩුමිල සමග අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් ඉහල යෑමත් හේතුවෙන් තම වැටුප ජීවත්වීමට ප්‍රමානවත් නොවන බවයි. ධනපති ආන්ඩු කිසිවකින් කම්කරු පන්තියේ ප්‍රශ්න නොවිසඳෙන බව පැවසූ එම කම්කරුවන් ආන්ඩුවලට මුක්කුව දීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා ඒ යටතේ ක්‍රියාත්මක අන්තර් සමාගම් සේවක සංගමය දැඩි ලෙස විවේචනයට ලක් කලේ ය.

වතු කම්කරුවන් ඇතුලු සෑම අංශයකම කම්කරු පන්තිය පොදු ප්‍රශ්නවලට මුහුන දී ඇති තතු යටතේ කම්කරු පන්තියේ සියලු අරගල ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ඔවුහු පිලි ගත්හ.

ජාත්‍යන්තරව පාරිභෝගික ඉල්ලුම හැකිලෙන කොන්දේසි ඇතුලත බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්ථානය, චීනය වැනි කලාපයේ ලාභ ශ්‍රම සූරාකෑමට විවෘත තවත් රටවල් සමග ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය ද බෙලි කපා ගැනීමේ තරගයක නිරත වී සිටී.

එම තත්වය යටතේ කම්කරු නීති ලිහිල් කරමින් ධනපති ආයෝජකයන්ගේ රුදුරු සූරාකෑමට අවශ්‍ය කොන්දේසි සකසාදීමට වත්මන් ආන්ඩුවත්, මහා කම්හල් කලමනාකාරීත්වය, අධිකරනය හා පොලිසි සමගින් පියවර ගනිමින් සිටී. නිදහස් වෙලඳ කලාප පුරා මහා ඇඟලුම් සමාගම්, මිනිස්බල (මෑන් පවර්) සමාගම් වලින් ලබා ගන්නා, මූලික කම්කරු අයිතිවාසිකම් පවා අහිමි කෙරුනු, කම්කරුවන් යොදා ගනිමින් ලාභ ශ්‍රම සූරාකෑම වේගවත් කොට තිබේ. නිදහස් වෙලඳ කලාප තුල බොහෝමයක් කම්හල් තුල වෘත්තීය සමිති පිහිටුවීමට අවසර නැත.

ඒටීජී කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය හුදකලා වූ එක් සිද්ධියක් නොවේ. පසුගිය මාසයේ ලංකාවේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලයේ දී කැලනිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් ඈන් ෆීල්ඞ් වත්තේ සෙන්ට් ලෙයාස් කොටසේ වැඩ වර්ජනයට මූලිකත්වය ගත් කම්කරුවන් මෙලෙසම බොරු චෝදනා මත දඩයමට ලක් කොට ඇත. ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) ශාඛා නායකයා වන සුප්පයියා බාලසුබ්‍රමානියම්ගේ වැඩ තහනම් කර ඇති අතර ඔහු සහ තවත් කම්කරුවන් හය දෙනෙකුට එරෙහිව පොලීසියට පැමිනිලි කර ඇත.

කැලනිවැලි ප්ලාන්ටේෂන් සමාගමෙහි කලමනාකාර අධ්‍යක්ෂ ධුරය දරනුයේ ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි වන අතර, ඒටීජී හි කලමනාකාරී අධ්‍යක්ෂ ධුරය දරනුයේ ලංකා අපනයන සංවර්ධන මන්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු වන ෆසාල් ආබ්දීන් ය. මොවුන් දෙදෙනාම කම්කරුවන් “විනයගත” කලයුතු බව දැඩිව අවධාරනය කරන්නෝ වෙති.

ෆසාල් ආබ්දීන්, ඔහුට අගමැති රනිල් වික්‍රමසිංහගේ, ඇමති මලික් සමරසිංහගේ හා පොලීසිවල සහයෝගය තිබෙන බව පවසමින් මේ වසරේ දී කම්කරුවන් අයත් වෘත්තීය සමිති අහෝසි කරන බවට කම්කරුවන්ට තර්ජනය කර තිබේ.

ආබ්දීන් බ්‍රිතාන්‍යයේ සිය හවුල්කරුවන් සමග එක්ව ඒටීජී සිලෝන්, ඔකුයුපේෂන් සහ හෑන්ඞ් කෙයාර් නමින් කටුනායක කම්හල් තුනක් සහ වතුපිටිවල සහ කොග්ගල තවත් කම්හල් දෙකක් පවත්වාගෙන යන ලංකාවේ ප්‍රධාන පෙලේ ධනපතියෙකි.

ධනපති ආන්ඩු, උසාවි, කම්හල් හිමියන් සහ වෘත්තීය සමිති සියල්ල එකතුව සටන්කාමී කම්කරුවන් දඩයමට ලක්කිරීම සම්බන්ධයෙන් මෑතකාලීන රුදුරුම ජාත්‍යන්තර උදාහරනය වන්නේ පසුගිය වසරේ මුල, ඉන්දියාවේ මරුටි සුසුකි සමාගමේ කම්කරුවන් 13 දෙනෙකුට එරෙහිව බොරු චෝදනා මත ජීවිතාන්තය දක්වා දී ඇති සිර දඬුවමයි. සිතාමතා අවුලුවන ලද ප්‍රකෝපකරනයක් තුලින් මෙම කම්කරුවන් දඩයමට ලක් කෙරුනේ හාම්පුතුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන පැරැනි වෘත්තීය සමිති වලට එරෙහිව නව සමිතියක් ගොඩ නැගීමට නායකත්වය ගැනීම හේතුවෙනි.

ධනපති ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය මධ්‍යයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ අර්බූදයේ බර කම්කරු පන්තිය මත පටවන ඒජන්සි ලෙසයි.

වෘත්තීය සමිති විසින් දශක ගනනක් පුරා කරන ලද යටපත් කිරීම්වලින් පසු පසුගිය වසරේ සිට ලොව පුරා පුපුරා යන කම්කරු පන්තියේ නව අරගලවල විශේෂ ලක්ෂනයක් වන්නේ වෘත්තීය සමිති ඇතුලු දක්ෂිනාංශික සංවිධානවල ග්‍රහනයෙන් බිඳෙමින් ඒවා පැන නැගීමයි.

ඇන්ටන් මාකස් යටතේ තිබෙන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය බොරු සටන්කාමීත්වයක් පෙන්වීමට උත්සාහ ගත්තද ඔවුන් ඒටීජී අරගලය තුල ද කම්කරුවන්ට දී ඇත්තේ දිරච්ච ලනු ය.

ඒටීජී කම්කරුවන්ගේ ආරක්ෂාවට අවශේෂ කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට මුලුමනින්ම සතුරු මෙම සමිති නිලධරය, කම්කරුවන් කම්හල ඉදිරිපිට උපවාස ක්‍රියාමාර්ගයක හුදකලා කොට පවත්නා ධනේශ්වර පර්යාය තුල විසඳුම් ඇතැයි යන මිථ්‍යාව වගාදිගා කරමින් සිටී.

වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට සූදානම් යයි ප්‍රකාශ කරමින් පසුගිය 17 වන දා ඒටීජී පරිපාලනය වෙත ඇන්ටන් මාකස් යැවූ ලිපියක, සහකාර කම්කරු කොමසාරිස් කර ඇති යෝජනාවට අනුව ඒටීජී පරිපාලනය කටයුතු නො කිරීම සම්බන්ධව අඳෝනා නගයි. දඩයමට ලක් වූ සේවකයන් හය දෙනා නැවත සේවයේ පිහිටුවා “අවශ්‍ය නම් කාර්මික අධිකරනයේ අවශ්‍ය පියවර ගෙන ආරවුල සමථයකට ගෙන ඒමට පියවර ගන්නැ” යි කොමසාරිස් යෝජනා කර ඇත.

කාර්මික අධිකරනය සහ කම්කරු කොමසාරිස් කාර්යාල වැනි ධනපති රාජ්‍යයේ ආයතනවල මැදිහත්වීම් මෙවන් යෝජනාවලට පමනක් සීමා වී තිබිය දීම සෑම තැනකදීම දක්කනට ලැබෙන්නේ කම්කරු පන්තිය මත අඛන්ඩ ප්‍රහාර එල්ල වීමයි.

ඇන්ටන් මාකස් යනු ඉන්ඩස්ට්‍රි ඕල්හි ඉන්දු පැසිපික් කලාපයේ විධායක කමිටු සාමාජිකයෙකි. ධනපති ආන්ඩු හා හාම්පුතුන් සමග “කේවල් කිරීමේ සමිතිවල ශක්තිය” පිලිබඳ ප්‍රෝඩාවකට මුවා වී මෙම සංවිධානය කම්කරුවන් ගෝලීය පරිමානව ධනපති ආන්ඩුවල හා සමාගම්වල සූරාකෑමට අවශ්‍ය ලෙස කාර්මික සාමය සලසාදීමට කැප වී සිටී.

පසුගිය වර්ෂයේ අග බංග්ලාදේශයේ පැවති මැතිවරනය තුල ධනපති පක්ෂවල කාකොටා ගැනීම් මැද ඉන්ඩස්ට්‍රිඕල් හි බංග්ලාදේශ මහා ලේකම් සලාහුධීන් ශාපෝන් ආන්ඩුව සමග එක්ව කියා සිටියේ නොසන්සුන්තාවය පැතිරීයෑම වැලැක්වීමේ පියවරක් ලෙස මැතිවරනයට පෙර කිසිදු විරෝධතාවයකට සම්බන්ධ නොවන ලෙසටයි. ශාපෝන් එලෙස කියා සිටියේ මැතිවරනයට පෙර සිටම බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවෝ සිය දරිද්‍ර වැටප දෙගුනයකින් වැඩි කරන්නැයි ඉල්ලා අඛන්ඩ වර්ජනය නියැලි සිටිය දී ය.

සේවක දඩයමට එරෙහිව ඒටීජී කම්කරුවන්ගේ ඒකාබද්ධවීම මගින් පෙන්නුම් කරන්නේ දරුනු සූරාකෑමට එරෙහිව සටන් වැදීමට කම්කරු පන්තියට පවත්නා අවශ්‍යතාවයයි. ඒටීජී කම්කරුවන්ට සේවක දඩයම ඇතුලු රුදුරු සූරාකෑමේ සහ මර්දනයේ කොන්දේසිවලට එරෙහිව සටන් කල හැක්කේ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් නිදහස් වෙලඳ කලාපය පුරාත් ඉන් බැහැරත් සූරාකෑමට ලක් වී සිටින අවශේෂ කම්කරු පන්තියේ සහාය තම අරගලය වටා ගොනු කර ගැනීමෙනි.

Share this article: