ශ්‍රී ලංකාවේ ජනාධිපති පිලිපීන පන්නයේ “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” උත්කර්ෂයට නංවයි

Sri Lankan president praises Philippine-style “war on drugs”

විජිත් සමරසිංහ විසිනි , 2019 ජනවාරි 23

දුතර්තේගේ ඝාතක කල්ලි හා පොලිස්-රාජ්‍ය ප්‍රචන්ඩත්වයට සිරිසේන සහයෝගය දීම, ශ්‍රී ලංකාවේ ආඥාදායක පාලන ක්‍රමෝපායන් සඳහා සූදානම්වීම් පෙන්නුම් කරයි.

ගිය සතියේ මැනිලා නුවර මලකනැං මාලිගයේ දී පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයකට කල කතාවක දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති, ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේගේ ඊනියා මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය, “මුලු ලෝකයටම ආදර්ශයක්” ලෙස උත්කර්ෂයට නැංවී ය.

මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවන්යැයි හංවඩු ගැසූවන්ට එරෙහිව, දහස් ගනනක් නඩු නැතිව මරාදැමීම ඇතුලුව, හිතුමතේ අත්අඩංගුවට ගැනීමේ සහ අධිකරනයට පරිබාහිර ප්‍රචන්ඩත්වය ලිහාඇරීමේ උද්ඝෝෂනය සිරිසේන විසින් උත්කර්ෂයට නැංවීම, ඔහුගේ ම ආඥාදායක න්‍යාය පත්‍රය පිලිබඳ ඉඟියකි.

රාජ්‍ය සංචාරයේ දී සිරිසේන හා දුතර්තේ ආරක්ෂාව, කෘෂිකර්මය, කර්මාන්ත, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා සංස්කෘතිය පිලිබඳ ද්වි-පාර්ශවික ගිවිසුම්වලට එලඹුනහ. කොලඹ පිලිපීන තානාපති කාර්යාලයක් විවෘත කිරීම සඳහා පහසුකම් සැපයීමට ද ශ්‍රී ලංකාව එකඟ විය.

එහෙත් සිරිසේනගේ සංචාරයේ ප්‍රධාන අරමුන ලෙස පෙනෙන්නට තිබෙනුයේ, දුතර්තේ හා ඔහුගේ ඊනියා මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය සමග සබඳතා තර කරගැනීම යි. අර්ථභාරී ලෙස, ක්වෙසොන් නගරයේ පිලිපීන ජාතික පොලිස් (පීඑන්පී) මූලස්ථානයට ගිය සිරිසේන, පීඑන්පී ප්‍රධාන අධ්‍යක්ෂ ජනරාල් ඔස්කාර් අල්බයල්දේ හා ස්වදේශ ලේකම් එදුවාර්දෝ අඥෝ ඇතුලු මූලික නිලධාරීන් සමග පැවති මාධ්‍යයට විවෘත නොකෙරුනු සාකච්ඡාවලට සහභාගි විය.

මලකනැං මාලිගයේ දී දුතර්තේ සමග සව්දිය පිරූ සිරිසේන මෙසේ කීවේ ය: “අපරාධවලට හා මත්ද්‍රව්‍යවලට එරෙහිව ඔබ ගෙනයන යුද්ධය සමස්ත ලෝකයටත් පෞද්ගලිකව මටත් ආදර්ශයක්. මගේ රට තුලත් මත්ද්‍රව්‍ය උවදුර බහුල නිසා මෙම උවදුර පාලනය කිරීමට අප ඔබගේ වැඩපිලිවෙල අනුගමනය කල යුතු යයි මම සිතනවා”.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, දුතර්තේගේ “නීති-විරෝධී මත්ද්‍රව්‍ය වෙලෙන්දන් ජාතික පරිමාන ව නිශ්ශබ්ද කිරීම (එනම් මරා දැමීම)” අනුමත කල පලමු අවස්ථාව මෙය නො වේ. සිරිසේනට අනුගමනය කිරීමට අවශ්‍ය “වැඩපිලිවෙල” වනාහි, පොලිස්-රාජ්‍ය ප්‍රචන්ඩත්වය සාපරාධී ලෙස තීව්‍ර කිරීම හා ආඥාදායකත්වය සඳහා සූදානම්වීම යි.

2016 ජුනි මාසයේ දුතර්තේ ජනාධිපති තනතුරේ පිහිටවූ විට, “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” නිල ජාතික පිලිවෙත බවට පත් විය. 2017 දී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධ සඳහා මරන දඬුවම යලි හඳුන්වා දුන් පිලිපීන කොංග්‍රසය, පීඑන්පී නිලධාරීන්, පරීක්ෂක කන්ඩායම් හා රටපුරා විසිරුනු අනෙකුත් නිල නොවන සන්නද්ධ කල්ලි සමගින් මෙහෙයුම් දියත්කිරීම සඳහා, පුද්ගලයන් 500කින් යුත් නාමික ව සිවිල් ආයතනයක් වන මත්ද්‍රව්‍ය බලාධිකාර ඒජන්සිය (පීඩීඊඒ) සන්නද්ධ කලේ ය.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය හේතුවෙන් මරාදැමුනු ගනන 5,000ක් පමන විය. එහෙත් මානව හිමිකම් සංවිධාන පෙන්වා දී ඇත්තේ සැබෑ මරන සංඛ්‍යාව 20,000ක් දක්වා ඉහල ගනනක් විය හැකි බව සහ මරාදැමුනු අයගෙන් බොහෝ දෙනා නාගරික දුගීන් බව යි. අධිකරනයට පරිබාහිර මරාදැමීම් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ගනයට වැටෙන්නේදැයි යන තීරනය කිරීමට මූලික විමර්ශනයක් අන්තර්ජාතික අපරාධ අධිකරනය විසින් දැන් කරගෙන යයි.

“මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ” පිලිවෙත, දුතර්තේ දවාඕ නගරයේ නගරාධිපති ලෙස සිටි සමයේ ඔහු විසින් ස්ථාපනය කල දවාඕ ඝාතක කල්ලිය විසින් යොදාගත් විධික්‍රම සිහිගන්වයි. එම කල්ලිය වීදි ලමුන්, සුලු අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිය ගනනක් නීතියට පිටතින් මරා දැමී ය.

පෙරලා ශ්‍රී ලංකාවට පැමිනි සිරිසේන, තමන් විසින් පිලිපීන ආඥාදායකයා උත්කර්ෂයට නැංවීම ආරක්ෂා කරමින් මාධ්‍ය හා මානව හිමිකම් කන්ඩායම් විසින් කල විවේචනවලට එරෙහි ව ප්‍රතිචාර දැක්වී ය.

ජාතික මත්ද්‍රව්‍ය වැලැක්වීමේ සතිය දියත් කිරීම සඳහා, යුද්ධයෙන් ව්‍යසනයට පත් උතුරේ මුලතිවු නගරයේ පැවති උත්සවයක් අමතමින් සිරිසේන මෙසේ ප්‍රකාශ කලේ ය: “මානව හිමිකම් ගැන පමනක් කතා කරන රාජ්‍ය නො වන සංවිධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ගේ පැත්ත ගන්නවා ... තමන්ගේ වෙස්මුහුනු ගලවා අපේ ලමුන් ආරක්ෂා කරන ලෙස මා මානව හිමිකම් සංවිධානවලින් ඉල්ලා සිටිනවා.”

“මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා නව ප්‍රවිෂ්ටයක්” සම්මත කරන බව කී සිරිසේන, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරන දඬුවම හඳුන්වා දීමට තමන් ගත් තීරනය වෙනස් නොකරන බව කීවේ ය. 1984 දරන අංකයෙන් යුතු නව විසිහතර පැයේ දුරකථන අංකයක් ඔහු හඳුන්වා දුන්නේ, මහජනයාට මත්ද්‍රව්‍ය හෝ සංවිධිත අපරාධ පිලිබඳ තොරතුරු සම්පාදනය කල හැකි වනු පිනිස යි.

බොහෝ ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සහයෝගය සහිත ව සිරිසේන දිගු කාලයක් පුරා ජාතික මත්ද්‍රව්‍ය-විරෝධී උද්ඝෝෂනයක් කැඳවුම් කර ඇත. 2018 ජූලි මාසයේ දී ඔහු, වසර 43ක් දීර්ඝ ශ්‍රී ලංකාව තුල මරන දඬුවම අත්හිටුවීම අවසන් කරන ලෙසත්, යලි යලිත් මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවන්නන්ට දඬුවම වසයෙන් එල්ලා මරා දැමීම හඳුන්වා දෙන ලෙසත් කැඳවුම් කලේ ය.

සිරිසේනගේ නිල ප්‍රකාශක රාජිත සේනාරත්න, ආන්ඩුව මත්ද්‍රව්‍යවලට එරෙහි සටන මහපාරට ගෙන එනු ඇතැයි ප්‍රකාශ කරද්දී, කැබිනට්ටුව එම තීරනය අනුමත කලේ ය: “හමුදාව දියත් කොට මේ (මත්ද්‍රව්‍ය) ප්‍රශ්නය විසඳීමේ දී පිලිපීනය සාර්ථක වී තිබෙනවා; අපි ඔවුන්ගේ සාර්ථකත්වය අනුගමනය කිරීමට උත්සාහ කරනු ඇත.” දැනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් දහනව දෙනෙක් දැන් මරන දඬුවමට මුහුන දී සිටී.

සිරිසේන හා දුතර්තේ හෝ ඔවුන්ගේ රටවල පාලක ප්‍රභූන්ගේ ප්‍රමුඛ උත්සුකය වන්නේ මත්ද්‍රව්‍ය ගැටලුව නො වේ. සැබෑ උත්සුකය වන්නේ එම ගැටලුව නම්, මත්ද්‍රව්‍යවලට එරෙහි මිනීමරු යුද්ධයට යන පිරිවැයෙන් කොටසක් පමනක් වියදම් කොට මිලියන ගනනක් වන පීඩිත ජනයාගේ ජීවන තත්ත්වයන් දියුනු කිරීම, මත්ද්‍රව්‍ය පිලිබඳ අධ්‍යාපනය, මනෝ-සමාජීය සහයෝගය හා සෞඛ්‍යාරක්ෂනයට අරමුදල් සම්පාදනය කිරීම හරහා මෙම සමාජ උවදුරට එරෙහි ව සටන් කල හැකි බොහෝ ඵලදායී පියවරයන් තිබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ හා එහි දේශපාලන ප්‍රභූවේ සැබෑ උත්සුකය වන්නේ, මත්ද්‍රව්‍ය නො ව බ්‍රිතාන්‍ය විජිත පාලනය අවසන් වීමෙන් පසු එය මුහුන දී සිටින වඩාත් ම ගැඹුරු දේශපාලන අර්බුදය යි.

පසුගිය වසරේ දී දුම්රිය, තැපැල්, ඛනිජ තෙල්, අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල කම්කරුවන්ගේ තීව්‍ර වන පන්ති සටන් හේතුවෙන් ආන්ඩුව සලිත විය. මෙයින් පසුව දෙසැම්බර් මාසයේ දී 100,000කට අධික වතු කම්කරුවන් විසින් වැඩි වැටුප් ඉල්ලා යෙදුනු විරෝධතා හා දින නවයක ජාතික වැඩ වර්ජනයක් පැමිනියේ ය. අහස උසට නැගී වර්ධනය වන ශ්‍රී ලංකාවේ නය බර හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කරන කප්පාදු පිලිවෙත්, කම්කරුවන් හා පීඩිත ජනයා අතරින් ආන්ඩුව කෙරෙහි වර්ධනය වන පලල් විරෝධය ගැඹුරු කරනු ඇත.

මෙම වැඩෙන විරෝධය හේතුවෙන් වික්ෂිප්තයට පත් ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සියලු කන්ඩායම් වඩා ආඥාදායක පාලන විධික්‍රම සඳහා කැඳවුම් කර ඇති අතර, “ශක්තිමත් නායකයෙකු” ඉල්ලා මාධ්‍යවල ගනන් නැති අටුවා පලකර ඇත.

පසුගිය ඔක්තෝබරයේ සිදුකල දේශපාලන කුමන්ත්‍රනයක දී රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කල සිරිසේන, එම තනතුරට ඊනියා “ශක්තිමත් පුද්ගලයා” වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කලේ ය. 2005 සිට 2014 දක්වා වූ රාජපක්ෂගේ ජනාධිපති සමය, යුද්ධය, අනුකම්පා විරහිත මර්දනය හා කප්පාදුව විසින් ගුනාංගීකරනය වී තිබේ.

රාජපක්ෂ ස්ථාපනය කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ තැන, ආඥාදායක විධික්‍රම කරා හැරීමට ව්‍යාජ නිමිත්තක් ලෙස දැන් සිරිසේන, මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය යොදාගනිමින් සිටියි. ව්‍යවස්ථාවට අනුව සන්නද්ධ හමුදාවල ප්‍රධානියා හා ප්‍රධාන අනදෙන නිලධාරියා වන සිරිසේන, මෑත පැවති දේශපාලන අර්බුදය තුල දී නීතිය හා සාමය අමාත්‍යාංශයේ පාලනය සියතට ගත්තේ ය.

දුතර්තේගේ ජාතික “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද” පිලිවෙත දියත් කරන ලද්දේ තියුනු සමාජ ආතතීන් මධ්‍යයේ ය. එම පිලිවෙත තීව්‍ර වීම, 2016-2017 සමයේ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා 2017 මාර්තුවේ දී මැනිලා නුවර 15,000කට අධික ආන්ඩුවේ හිස් නිවාස ඒකක දුගී පදිංචිකරුවන් විසින් අල්ලාගැනීම සමග සමපාත විය.

ලෝසවෙඅ විස්තර කල පරිදි “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයේ සැබෑ අභිප්‍රාය වන්නේ කම්කරුවන් හා දුගීන්ගේ සමාජ විරෝධය මැඩීම පිනිස යොදාගනු ඇත්තා වූ යෝධ පොලිස්-රාජ්‍ය යාන්ත්‍රනයක් ස්ථාපනය කිරීම යි. මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයට ගොදුරුවන්නන්ගෙන් අතිමහත් බහුතරය සමාජයේ දුගී ම ස්ථරයන්ට අයත් වීම අහම්බයක් නො වේ.”

එක්සත් ජනපදය ඇතුලු මහා බලයන් හා අසල්වැසි ඉන්දියාවේ සහයෝගය සහිත ව 1983දී ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය දියත් කලේ ය. රාජපක්ෂ යටතේ යුද්ධය අවසන් කරන ලද්දේ, දෙමල වැසියන් දසදහස් ගනනක් ඝාතනය කරමින් හා 300,000ක් පමන රැඳවුම් කඳවුරුවලට ගාල් කරමිනි.

යුද්ධය තුල තමන්ගේ ම භූමිකාව යලි යලිත් ඉදිරියට දමන සිරිසේන බෞද්ධ ධූරාවලියට හා මිලිටරියට අනවරත ව ආයාචනා කරයි. යුද අපරාධ පිලිබඳ චෝදනාවන්ට ලක්වන මිලිටරි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට හා රඳවාගැනීමට ඔහු ස්ථීරසාර ව විරුද්ධ වී තිබේ.

තම මත්ද්‍රව්‍ය-විරෝධී උද්ඝෝෂනයට විරුද්ධ වන ඕනෑම අයෙකු හා මානව හිමිකම් කන්ඩායම් මත සිරිසේන එල්ල කරන ප්‍රහාරය ඉඟිකරන්නේ ඔහු හුදෙක් එම කන්ඩායම්වලට පමනක් නො ව, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ට ද විරුද්ධව හැරෙනු ඇති බව යි.

දුතර්තේගේ ප්‍රචන්ඩ පොලිස්-රාජ්‍ය විධික්‍රම සිරිසේන විසින් උත්කර්ෂයට නැංවීම, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට පැහැදිලි අනතුරු ඇඟවීමකි. මෙම අන්තරාය පරාජය කල හැක්කේ “මානව හිමිකම්” රැකීම සඳහා පාලක ප්‍රභූන්ට ආයාචනා කිරීමෙන් නො ව, ලාබ පද්ධතිය අවසන් කිරීම පිනිස සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම මගින්ම පමනි.

Share this article: