වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් ඉල්ලීම “අසාධාරන” බව එන්යූඩබ්ලිව් නායක දිගම්බරම් කියයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 ජනවාරි 11

ජාතික කම්කරු සංගමයේ (එන්යූ ඩබ්ලිව්) නායක පලනි දිගම්බරම් ජනවාරි 6 ලංකා ඉරිදා සංග්‍රහයට දුන් සම්මුඛ සාකච්චාවක දී වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් ඉල්ලීම අසාධාරන බව පවසා ඇත. දිගම්බරම් අගමැති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුනු (එජාපෙ) ආන්ඩුවේ කඳු රට නව ගම්මාන හා වතු යටිතල පහසුකම් ඇමති ය.

ඔහු සහ ඔහුගේ සමිතිය, ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සංගමය, ඒකාබද්ධ වතු කම්කරු මධ්‍යස්ථානය, කඳුරට ජනතා පෙරමුන සමස්ත ලංකා වතු කම්කරු සංගමය ඇතුලු අනෙකුත් සමිති සමග වැඩ බෙදාගෙන වැටුප් අරගලය කඩාකප්පල් කර වතු සමාගම්වල ලාබ අවශ්‍යතාවයට කම්කරුවන් යටත් කිරීමේ නිරන්තර උත්සාහයක යෙදී සිටිති.

“කම්කරුවන්ට සාධාරන වැටුපක් ලැබෙනවා වගේම වතු සමාගම් ලාබ ගත යුතුයි. ඔවුන් ලාබ ගන්නේ නැත්නම් කම්කරුවන්ට වැඩි වැටුපක් ගෙවන්න බැහැ..... රුපියල් දහසේ මූලික වැටුප දැන්නම් දෙන්න බැහැ. ඒ ඉල්ලීම අසාධාරනයි” දිගම්බරම් එහිදී සඳහන් කර ඇත.

ලංකා පත්‍රය ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සතිපතා ප්‍රකාශනය කි. පසුගිය වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය මුලුමනින් ම මග හරිමින් එය පාවාදීමට සෙසු සමිති වලට ඉඩ හැර සිටියේ ය. වතු කම්කරු වැටුප් ඉල්ලීම අසාධාරන බවට දිගම්බරම්ගේ කර ඇති ප්‍රකාශය ට ප්‍රමුඛස්තානයක් දෙමින් ඔහුගේ සම්මුඛ සාකච්චාව ලංකා පත්තරය විසින් හුවා දැක්වීම මගින් තමන්ගේ ස්ථාවර ය ද එයම බවට ජවිපෙ හාම්පුතුන්ට ඉඟි කර ඇත.

දිගම්බරම්ගේ ප්‍රකාශය සහ කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම “අසාධාරන” බවට සමාගම් අඹරන තර්කය අතර වෙනසක් නැත. වැවිලිකරුවන්ගේ සංගමය දෙසැම්බර් 6 වෙනිදා නිකුත් කල මාධ්‍ය ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. “සියලුම ප්‍රාදේශීය සමාගම් (ප්‍රාවස) ඔවුන්ගේ සේවකයන්ට ගෙවන්නේ ආදායම් ලෙස උපයන දෙයිනි. එහෙත් වෘත්තීය සමිතිවල ඉල්ලීම ඤරුපියල් දහසේ ඉල්ලීම% මෙම ධාරිතාව බෙහෙවින් ඉක්මවා යයි. මෙම තීරනාත්මක මොහොතෙදි, එය මත යැපෙන්නන් ප්‍රායෝගික නොවන සහ අසාධාරන තීන්දුවක් ගතහොත් මෙම කර්මාන්තයට ඇතිවිය හැකි මාරක ව්‍යසනය සැලකිල්ලට ගන්නා ලෙස සියලුම පාර්ශවයන් ගෙන්, විශේෂයෙන් ම, ඔවුන්ගේ දෛනික ජීවිකාව මෙම කර්මාන්තය මත රඳා පවතින අය ගෙන් අපි ඉල්ලා සිටිමු”.

“තීරනාත්මක මොහොත” යනුවෙන් වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදයක් හා ජාත්‍යන්තර වෙලඳ පොල තුල තරඟය තීව්‍ර වීම මධ්‍යයේ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අපනයන ආදායම් සහ ලාබ මට්ටම් කඩාවැටීමකට මුහුන දී සිටීමයි. සිය “දෛනික ජීවිතය” වැවිලි කර්මාන්තය මත රඳා පවතින නිසා වතු කම්කරුවන් ඒ බරට කර ගැසිය යුතුය. වතු සමාගම් කියන්නේ එයයි.

වතුසමාගම්, හාම්පුතුන්ගේ සම්මේලනය සහ ධනපති ආන්ඩුව උත්සාහ කරන්නේ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව වැටුප් සහ සෙසු සමාජ සහන කප්පාදුවක් හා ආදායම් බෙදීමේ ක්‍රමය ඇතුලු නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීමේ ක්‍රම මගින් අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමට ය.

වතු සමාගම් විසින් දැනට යෝජනා කර තිබෙන දෛනික මුලික වැටුප රුපියල් 600 දක්වා රුපියල් 100 න් වැඩිකිරීම සහ දීමනා වශයෙන් රුපියල් 340 දීම හැර වෙනත් වැටුප් වැඩිවීමක් දිය නොහැකි බව වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක 8 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සමාගම්වල හොරනෑවක් ලෙස ප්‍රකාශ කර ඇත. “මුලික වැටුප රුපියල් 600 විය යුතුයි. දීමනා සමග රුපියල් 940 ක් වෙනවා. ඊට වඩා කිසිවක් දුන්නොත් කර්මාන්තය කඩා වැටෙනවා.” ඔහු එහිදී පවසා ඇත. පැමිනීමට සහ නිෂ්පාදන ඉලක්ක සම්පූර්න කිරීමට අදාලව ගෙවන රුපියල් 340 දීමනා උපයා ගැනීම කම්කරුවන්ට බෙහෙවින් දුෂ්කර ය.

වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් ඉල්ලීම දඩබ්බර ලෙස ප්‍රතික්ෂේප කරන වතු සමාගම් සහ හාම්පුතුන්ගේ සම්මේලනය පවසන්නේ ද මෙම යෝජිත වැටුප් වැඩි කිරීම හැර වෙනත් කිසිවක් දිය නොහැකි බව ය. වැටුප් සම්බන්ද තීරනයක් ගැනීමට වැවිලි කර්මාන්ත ඇමති, කම්කරු ඇමති සහ වෘත්තීය සමිති වල සහභාගිත්වයෙන් 8 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු සාකච්චාවට වැවිලිකරුවන්ගේ සංගමය සම්බන්ද නොවී එය වර්ජනය කලේ ය.

වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තුල දරිද්‍රතා වැටුප් සහ දුෂ්කර සේවා කොන්දේසි යටතේ ශ්‍රම සුරා කෑමට භාජනය කෙරෙන කම්කරුවන් අතර ප්‍රමුඛ කොටසකි. වසර 150 ක් තුල ඔවුන්ගේ සමාජ කොන්දේසිවල මූලික වෙනසක් සිදු වී නැත. 1992 වතු පුද්ගලීකරනයෙන් පසු සිදු වී ඇත්තේ තත්වය තවත් නරක අතට හැරීමකි.

වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව 1992 වතු පුද්ගලීකරනය කරන විට වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 61.84 කි. ජීවන වියදම් දීමනාව වැඩිවන ජීවන වියදම් ඒකකයකට සත 4 කි. පුද්ගලීකරනයෙන් පසු එම සොච්චම් ජීවන වියදම් දීමනාව ද වතු සමාගම් විසින් කපා දැමුනි. ඒ වෙනුවට දෛනික වැටුප සියයට 15 න් එනම් රුපියල් 72 සත 22 දක්වා ප්‍රෝඩාකාරී වැඩි කිරීමක් කලේ ය. කම්කරුවන්ගේ ජීවන තත්වයන් නගා සිටුවීම ගැන වතු සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිති වංචනික හා වාචාල දෙඩවිලි කරන නමුත් එදා සිට අද දක්වා වතු කම්කරු දෛනික වැටුප වැඩි වී ඇත්තේ රුපියල් 427.78 නි. ජීවන තත්වයන් පහලින් පහලට කිඳා බස ඇත. ජීවන වියදම සිය ගුනයකින් නොව දහස් ගුනයකින් ඉහල නැග තිබේ.

වතු සමාගම් සහ දිගම්බරම් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම “අසාධාරන” යයි චෝදනා කරන්නේ එවන් තත්වයක් තුලය.

දිගම්බරම් ඇතුලු වතු සමිති නිලධරය ව්‍යාපාරිකයන්, දේපල හිමියන් සහ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ නියෝජිතයෝ ය. ඔවුන් සිතන්නේ හා ක්‍රියාත්මක වන්නේ ධනේශ්වර රාජ්‍යයේ සහ දේපල හිමි පන්තියේ අවශ්‍යතාවයන් ගැන මිස කම්කරු පන්තියේ සමාජ ආර්ථික අවශ්‍යතාවයන් ගැන නොවේ.

දිගම්බරම් ඇතුලු වෘත්තීය නිලධරයට වතු කම්කරුවන් හුදෙක් ඔවුන්ගේ සමාජ සහ දේශපාලන වරප්‍රසාද සඳහා ධනේශ්වර රාජ්‍යය සමග කේවල් කිරීමේ සමාජ ආධාරකයක් පමනි. වතු සමිති සහ පොදුවේ ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව වෘත්තීය සමිති තුලින් ප්‍රකාශයට පත්වන්නේ ධනවාදයේ ගෝලීයකරනය හා ලෝක ධනවාදයේ අර්බුදය තුල ඒවා පදනම්ව සිටි ජාතිකවාදී ක්‍රියාමාර්ගයන්ගේ බංකොලොත්කම සහ බිඳ වැටීමයි.

අතීතයේ වෘත්තීය සමිති කම්කරු පන්තියේ සීමිත ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටියේ නම් අද ඔවුහු ධනේශ්වර රාජ්‍යයේ සහ සංගතයන්ගේ ව්‍යුහයන්ට අන්තර්ග්‍රහනය වෙමින් කම්කරු පන්තිය මත වඩ වඩා සූරා කෑමේ කොන්දේසි පැටවීමට ක්‍රියා කරති. මෙම සමිති ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ගේ ස්වාධීන මූලිකත්වය ගැනීමකට කිසිදු ඉඩක් නොදී ඔවුන්ගේ අයිතීන් උදුරා ගැනීමට සහයෝගය දෙන කාර්මික පොලිසියක් ලෙසය.

කම්කරු පන්තිය මෙම පරිහානිගත හා ධනේශ්වර සුරාකෑමේ පද්ධතියේ සෘජු උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති වලින් බිඳිය යුතුය. සමාගම්, ධනපති ආන්ඩුව සහ වෘත්තීය සමිති වල කුමන්ත්‍රනයක් මගින් තමන් මත පටවීමට සැලසුම්කරන දරිද්‍රතා වැටුප් සහ දුෂ්ට සූරාකෑමේ කොන්දේසි සහිත වැටුප් සාමූහික ගිවිසුම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය.

සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා අරගලය සංවිධානය කිරීමට කැප වූ විකල්ප සංවිධාන ලෙස තම ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් පත් කර ගන්නා ක්‍රියා කමිටු ඔවුන් විසින් ගොඩ නගා ගත යුතු ය. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මග පෙන්වීම යටතේ හැටන් හි ඇබෝස්ලි වත්තේ කම්කරුවන් ඒ සඳහා මූලිකත්වය ගෙන ඇත. ඔවුන් අනුගමනය කරමින් සෑම වත්තකම ක්‍රියාකාරී පිහිටුවා ගනිමින් වැටුප් සහ සමාජ අයිතීන් සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමට ද සෙසු රටවල වතු කම්කරුවන් ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව තහවුරු කර ගැනීමට ද කම්කරුවන් පියවර ගත යුතු ය.

Share this article: