අකර්මන්‍ය කිරීමට එරෙහි සටනේ දී එක්සත් ජනපද ආන්ඩුවේ කම්කරුවන් සඳහා වන ඉදිරි මාවත

The way forward for US government workers in the fight against the shutdown

2019 ජනවාරි 23

එක්සත් ජනපද ආන්ඩුවේ අර්ධ අකර්මන්‍ය කිරීම එහි පස්වැනි සතියේ පවතින්නේ පෙනෙන තෙක් මානයක අවසානයක් නොමැතිව යි. මධ්‍යම ආන්ඩුවේ කම්කරුවෝ 800,000ක් වැටුප් රහිත දෙවැනි වැටුප් දිනට මුහුන දෙමින් සිටිති.

ආසන්න වශයෙන් කම්කරුවන් 500,000ට වැටුප් රහිත ව වැඩ කිරීමට බල කෙරී සිටින අතර තවත් 300,000ක් අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ ඇමරිකානු ඉතිහාසයේ විශාල ම ලොකවුට් කිරීම වාර්තා කරමිනි. අර්බුදයට ඇද දමා සිටින පවුල් සියදහස් ගනනකට ගෙවල් කුලී හෝ උකස් මුදල් ගෙවීම්, වෛද්‍ය රැකවරන හෝ පෝෂ්‍යදායි අහාරවලට ගෙවීම් ඉටු කිරීමට නො හැකි වී ඇත. ඇමරිකානු පාලක ප්‍රභූවේ එකිනෙකාට වෙනස්, එක සමානව ම ප්‍රතිගාමී කන්ඩායම් අතර, දේශපාලනිකව කැත එකිනෙකා නසා ගන්නා ගැටුමක ප්‍රාන ඇපකරුවන් ලෙස ඔවුහු රඳවා ගෙන සිටිති.

ඩොනල්ඞ් ට්‍රම්ප් මධ්‍යම ආන්ඩුවේ දෙපාර්තමේන්තු හා ඒජන්සි හතරෙන් එකක් සඳහා අරමුදල් සැපයීම කපා දැමීම පාවිච්චි කරමින් සිටින්නේ එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර දේශසීමා තාප්පයක් ඉදි කිරීම සඳහා වන තම ඉල්ලීම හා සංක්‍රමනිකයන් මත අනෙකුත් ප්‍රජාතන්ත්‍ර විරෝධි හා නීති විරෝධී ප්‍රහාරයන් අනුමත කිරීමට ඩෙමොක්‍රටිකයන්ට බලපෑම් කිරීමට යි. ඩෙමොක්‍රටිකයන් තමන් තාප්පය ඉදි කිරීමේ විරුද්ධවාදීන් ලෙස මවා පාමින් සිටින්නේ, දේශසීමාව මිලිටරීකරනයට තවත් ඩොලර් බිලියන ගනනවාක් ප්‍රදානය කරමින් හා ට්‍රම්ප් විසින් දේශසීමාවේ හමුදා භටයින් රැඳවීම මෙන් ම රැකවරන පතන්නන් හා සරනාගතයින් සඳහා රඳවා ගැනීමේ මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමට නිශ්ශබ්දව අනුග්‍රහ දක්වමිනි.

රජයේ කම්කරුවන්ගේ කෝපය ඉහල යමින් තිබේ. ගමන්මලු පිරික්සන්නන්ගෙන් සියයට 10ක් නො පැමිනි බව ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (ටීඑස්ඒ) සඳුදා වාර්තා කලේ ය. එය වසරකට පෙර පැවති සියයට 3ට වඩා ඉහල යාමකි. ඉහල යන ලෙඩ නිවාඩු යෑමේ මට්ටම කම්කරුවන්ගේ විරුද්ධත්වය හා ආපසු සටන් කිරිමට ඇති කැමත්ත පිලිබඳ මිම්මකි.

එක්සත් ජනපද ගුවන් ගමන් අඩ පන කරමින් හා අකර්මන්‍ය කිරීම අවසන් කිරීමට බල කරමින් ටීඑස්ඒ කම්කරුවන්ගේ දැවන්ත ලෙඩ නිවාඩු යාම හෝ වැඩවර්ජනයක හැකියාව ගැන සංගත මාධ්‍යයේකන්ඩායම් පවා සමපේක්ෂනය කර ඇත. නමුත් එක් කන්ඩායමක්, එනම් වෘත්තීය සමිති රජයේ කම්කරුවන්ගේ මොන යම් හෝ ස්වාධීන ක්‍රියාවක් ගැන මුලුමනින් ම නිහඬ ය.

අරගලයක් සංවිධානය කරනවා වෙනුවට, වෘත්තීය සමිති කම්කරුවන්ට පවසමින් සිටින්නේ මහා ව්‍යාපාරික පක්ෂ දෙක විසින් නියෝග කෙරෙන කොන්දේසි මත අකර්මනය කිරීම අවසන් වන තෙක් බලා ඉඳිමින් ප්‍රජා සත්කාර හා නය මුදල් සොයා ගන්නා ලෙස යි.

මධ්‍යම ආන්ඩුවේ විශාලම වෘත්තීය සමිතිය වන, රජයේ සේවකයින්ගේ ඇමරිකානු සම්මේලනය (ඒඑෆ්ජීඊ) වැටුප් නො ලැබ සිටීමේ “පීඩාව ලිහිල් කිරීමට උදව් කිරීමට” ඔවුන්ට තම බැංකුවලට අභියාචනා ඉදිරිපත් කල හැක්කේ කෙසේ දැ යි කම්කරුවන්ට උපදෙස් දෙමින් තොරතුරු තැපල් කර ඇත. එය සුදුසකම් ඇති සාමාජිකයින්ට ඩොලර් 300ක නින්දා සහගත එක් වරක දීමනාවක් පොරොන්දු වෙමින්, පේපැල් නම් ඔන්ලයින් ගෙවීම් සේවාවකින් පොලී රහිත මුදල් අත්තිකාරමක් ලබා ගැනීමට කම්කරුවන් යොමු කරමින් සිටී.

ජාතික භාන්ඩාගාර සේවක සංගමය හා එඑෆ්එල්-සීඅයිඕ විසින් ද තම සාමාජිකයින්ට එවැනි උපහාසාත්මක ප්‍රදානයන් සකසමින් සිටී.

වෘත්තීය සමිති ඩෙමොක්‍රටිකයන්ට හා රිපබ්ලිකානු සෙනේට් බහුතර නායක මිච් මැකනොල්ට අභියාචනා කිරීමට කම්කරුවන් යොමු කරමින් ඇත්තේ, රට පුරා ඔවුන් කැඳවා ඇති කුඩා රැස්වීම්වල දී “මිච් ඔබගේ කාරිය කරනු” යනුවෙන් පැවසෙන වැදගත්කමකට නැති ගායනයට එක් වන්නැ යි කොංග්‍රස් මන්ඩල නියෝජිතයින් හා ප්‍රමුඛ වාත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ට අනුශාසනා කරමිනි. මෙහි දී ඔවුන් ඩෙමොක්‍රටිකයන් ප්‍රදර්ශනය කර ඇත්තේ කම්කරුවන්ගේ “මිතුරන්”ලෙස මවාපාමිනි.

කම්කරුවන්ගේ මොන යම් හෝ ස්වාධීන ක්‍රියාවක් සංවිධානය කිරීම වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කිරීම ප්‍රදර්ශනය කරන්නේ කම්කරු පන්තිය මර්දනය කිරීම සඳහා පාලක පන්තියේ හා ආන්ඩුවේ ඒජන්සි ලෙස මෙම සංවිධානවල වෛෂයික ස්වභාවය හා කාර්යභාරය යි.

ඔවුන් ආන්ඩුවේ කම්කරුවන්ට පිටු පසින් පිහියෙන් ඇනීම කිසිම අර්ථයකින් ව්‍යතිරේඛයක් නො වේ. කම්කරු පන්තියේ සියළු ම කන්ඩායම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඉටු කරන කාර්භාරය මෙය යි.

කැලිෆොර්නියාවේ දී, ලොස් ඇන්ජලීස් එක්සත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය ගුරුවරුන්ගේ කේන්ද්‍රීය ප්‍රශ්න කිසිවක් ඉටු නො කර විකුනා දැමීමේ ගිවිසුමක් සම්මත කර ගැනීමට හා ගුරු වැඩවර්ජනය අවසන් කිරීමට උත්සාහ ගනිමින් සිටී. කිසියම් සංවිධානගත විරෝධතාවකට වෘත්තීය සමිති දැක් වූ විරුද්ධත්වය කඩා බිඳ දැමීමට සමාජ මාධ්‍ය යොදා ගත් සාමාන්‍ය සමාජික ගුරුවරුන් විසින් සංවිධනාය කල ප්‍රාන්ත මට්ටමේ වැඩවර්ජනයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු, ගුරුවරුන්ගේ ඇමරිකානු සම්මේලනය හා ජාතික අධ්‍යාපන සංවිධානය පසු ගිය වසරේ බටහර වර්ජීනියා, ඔක්ලහෝමා හා ඇරිසෝනා ප්‍රාන්තවල වැඩවර්ජන අවසන්කර දැමී ය.v

ජෙනරල් මෝටර්ස් සමාගම(ජීඑම්) එක්සත් ජනපදය හා කැනඩාව තුල කම්හල් වසා දැමීමට සහ කම්කරුවන් 15,000ක් දොට්ට දැමීමට එරෙහිව කම්කරුවන්ගේ ප්‍රතිප්‍රහාරය මර්දනය කිරීමට යූඒඩබ්ලිව් වෘත්තීය සමිතිය උත්සාහ කරමින් සිටී. ටීම්ස්ටර්ස් වෘත්තීය සමිතිය පොදු සාමාජික යූපීඑස් කම්කරුවන්ගේ “එපා” ඡන්දය නො සලකා හැරි අතර පසු ගිය වසරේ කුනු වූ වරදාන කොන්ත්‍රාත්තුවක් අත්සන් කලේ ය.

2017 ජානුස් නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ තර්ක කරමින් වෘත්තීය සමිති වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා, පාලක පන්තියේ ලෝගු ලාගත් නියෝජිතයින්ගේ සහාය සඳහා අභියාචනා කරමින්, මොට්ට ලෙස මෙසේ පැවසුවේ ය: “වෘත්තීය සමිති ආරක්ෂාව වැඩවර්ජන නො කිරීම සඳහා තුටුපඬුරකි.”

අද වෘත්තීය සමිතිවල කාර්යභාරය වන්නේ පන්ති අරගලය මර්දනය කිරීම හා සංගත ලොක්කන් වෙනුවෙන් කම්කරු පන්තිය මුර කිරීම බව හඬ නගා පිලිගැනීමකි මෙය.

මෙම කම්කරු පන්ති විරෝධී භූමිකාව නිර්දයව ගලා එන්නේ ඔවුන්ගේ ජාතිකවාදයෙන් හා ධනවාදය ආරක්ෂා කිරීමෙනි. වෙලඳ යුද්ධය හා විදේශික භීතිකාව (තම හතුරා ධනවාදය නො ව මෙක්සිකෝව, චීනය හා අනෙක් රටවල තම සගයින් බව එක්සත් ජනපද කම්කරුවන්ට කියන) ප්‍රචාරය කිරීම සඳහා වෘත්තීය සමිතිවල සහාය අත්‍යාවශ්‍ය වන්නේ කම්කරු පන්ති විරුද්ධත්වයේ හුස්ම හිර කර “තමන්ගේ ම” ජාතික පාලක පන්තියට යටත් කිරිමේ කර්තව්‍යය සඳහා යි.

වෘත්තීය සමිති කම්කරු පන්තික සංවිධාන නො ව, ඔවුන් ඉහල සියයට පහේ ආදායම් සීමාව තුල තබන ඉලක්කම් හයේ වැටුප් ලබන නිලධාරීන් විසින් පාලනය කරනු ලබන ව්‍යාපාරයන් ය. ඔවුන් කම්කරුවන්ගේ වැටුපින් වෘත්තීය සමිති ගාස්තු මිරිකා ගන්නේ ඩෙමොක්‍රටික් පක්ෂ සේප්පුවලට මුදල් පොම්ප කරනු පිනිස ය.

ඒඑෆ්ජීඊ සභාපති, ජේ. ඬේවිඞ් කොක්ස් 2015දී ආසන්න වශයෙන් ඩොලර් 300,000ක සම්පූර්න වරදාන උපයා ගත්තේ ය. එය ආසන්න වශයෙන් ටීඑස්ඒ කම්කරුවෙකුගේ ආරම්භක වැටුප මෙන් දහ ගුනයකි. 2016 මැතිවරන වටයේ දී, කොක්ස්ගේ වෘත්තීය සමිතිය ඩෙමොක්‍රටිකයන්ට ඩොලර් මිලියනයකට වඩා පිරිනැමුවේ ය.

පන්ති අරගලය මර්දනය කිරිමේ දී ජාත්‍යන්තර සමාජවාදීන් (අයිඑස්ඕ) ඇතුලු ව්‍යාජ වාම සංවිධානවල ඔවුන්ගේ සහචරයන් විසින් වෘත්තීය සමිතිවලට සහාය දෙනු ලැබේ. අයිඑස්ඕ වෙබ් අඩවියේ සඳුදා පල කෙරුනු ආන්ඩුවේ අකර්මන්‍ය විම පිලිබඳ ලිපියක් වැඩවර්ජනයක් සඳහා මොනයම් හෝ ඉල්ලීමක් කිරීමට අසමත් වූ අතර එය කම්කරුවන්ට එරෙහිව වෘත්තීය සමිති නිලධාරීන් පිටුපස පෙල ගැසිනි. වර්ධනය වෙමින් තිබෙන ටීඑස්ඒ ලෙඩ නිවාඩු රැල්ල සඳහන් කරමින් එයට වඩාත් ම ගොනු කර ගත හැකි වූයේ ශෝඛජනක වාක්‍යයකි: “මෙය සමායෝජිත ‘ලෙඩ නිවාඩුවක්’ ලෙස සංවිධානය කලහැකි ද?”

රට පුරා මෙන් ම ජාත්‍යන්තර කම්කරුවන්ගෙන් රජයේ කම්කරුවන්ට ගලා එමින් තිබෙන සහයෝගය ප්‍රකාශ කරන්නේ විශාල කාර්මික හා දේශපාලන ක්‍රියා තුල මෙම මනෝගතිය බලමුලු ගැන්වීම සඳහා පවතින බලගතු හැකියාව යි. කෙසේ නමුත්, කව්රුන් විසින් සමාජය පාලනය කල යුතු ද: එනම්, කතිපයාධිකාරියේ අති-පොහොසත් සුලුතරය ද නැති නම් කම්කරු පන්තික බහුතරය ද යන ප්‍රශ්නය මතු කරනු ඇති, ට්‍රම්ප්ට එරෙහි සැබෑ සමාජ ව්‍යාපාරයක්, ඩෙමොක්‍රටික් පක්ෂය හා වෘත්තීය සමිති මෙන් ම ව්‍යාජ වමේ එහි සහචරයන්ට අවශ්‍ය අවසාන දෙය වන්නේ ය. පාලක පන්තියේ හස්තයට අත හැරුනු, අකර්මන්‍ය කිරීමට වන විසඳුමක අර්ථය වනු ඇත්තේ කම්කරුවන්ගේ ජීවන තත්වයන්ට එරෙහි වඩා දැඩි ප්‍රහාරයකි.

මෙම තත්වය පිලිබඳ තර්කය පැහදිලි කරන්නේ කම්කරු පන්තිය වෘත්තීය සමිතිවලින් නිදහස් වීමේ හදිසි අවශ්‍යතාවය යි. එක්සත් ජනපද රජයේ කම්කරුවන්ගේ අරගලය ධනේශ්වර පද්ධතියේ අර්බුදය හා සමාජ අසමානතාවේ යෝධ වර්ධනය විසින් තල්ලු කෙරෙන ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ කොටසකි. පන්ති අරගලයේ යලි මතු වීම දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය මර්දනය කර ඇත්තා වූ ද වැටුප් හා ජීවන තත්වයන් පහලට ඇද දැමීමට පාලක පන්තියට සහාය දුන්නා වූ ද පැරනි නිලධාරීවාදී සංවිධානවලට එරෙහි කැරල්ලක රූපාකාරය ගනී.

ප්‍රන්සයේ කහ බැනියම් විරෝධතාව, මෙක්සිකෝවේ මැටමොරොස් නගරයේ මැකිලඩෝරා සමාගම් කම්කරුවන් 70,000ගේ වැඩවර්ජනය, 2018 ගුරුවරුන්ගේ කැරලි තීරනාත්මත ආදර්ශයක් පිහිටුවා ඇත්තේ කම්කරුවන්ට බැරෑරුම් කාර්යක් බාර ගත හැක්කේ ඔවුන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව හා ඒවාට එරෙහි ව බලමුලු ගැන්වීමෙන් පමනක් බව පෙන්වා දෙමිනි.

රජයේ කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් කර ගැනුනු සමාජිකයින්ගේ කමිටු ඇති කර ගත යුතු ය. මෙම කමිටු රට හරහා මධ්‍යම ආන්ඩුවේ කම්කරුවන් සමග ඒකාබද්ධ විය යුතු අතර ලොස් ඇන්ජලීස්, ඕක්ලන්ඞ්, ඩෙන්වර් හා වර්ජීනියාවේ ගුරුවරුන්; යුපීඑස් හා ඇමසන් කම්කරුවන්; එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝවේ මෝටර් රථ කම්කරුවන්; හා ප්‍රන්සයේ කහ බැනියම් විරෝධාතාව ඇතුලු ව එක්සත් ජනපදය හා ජාත්‍යන්තර ව අරගලයට එමින් සිටින අනෙකුත් කම්කරුවන්ගේ අරගල සමග සම්බන්ධ කල යුතු ය.

මෙය මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකට එරෙහි ව දේශපාලන බලමුලු ගැන්වීමක් හා සමාජවාදය සඳහා සටනක කොටසක් ලෙස දැවන්ත පෙලපාලි හා වැඩවර්ජන සඳහා පදනම දමනු ඇත.

නයිල්ස් නීමුත්

Share this article: