ගෝලීය ප්‍රභූව ඩාවෝස් හී රැස් වෙත්දී

ඔක්ස් ෆැම්: මානව වර්ගයාගේ දුප්පත්ම අඩ සතුව ඇති ධනයට වඩා වැඩි ධනයක් බිලියනපතියන් 26 දෙනෙකු විසින් පාලනය කරයි

Oxfam: 26 billionaires control as much wealth as poorest half of humanity

2019 ජනවාරි 22

ලෝක ආර්ථික සංසඳයේ වාර්ෂික රැස්වීමේ සමාරම්භය සඳහා, ගෝලීය මූල්‍ය ප්‍රභූවේ සාමාජිකයන් ස්විට්සර්ලන්තයේ ඩාවොස් නගරයට අද දින රැස් වෙත්දී, එක්සත් රාජධානියේ පුන්‍ය ආයතනයක් වන ඔක්ස්ෆාම් විසින් නිකුත් කල නව වාර්තාවක් විසින් සමාජයේ ඉහල මට්ටම් වල අති විශාල ලෙස ධනය සංකේන්ද්‍රනය වීම සහ සමාජ අසමානතාවයේ වර්ධනය තීව්‍ර වීම ඉස්මතුකර පෙන්වා ඇත.

පසුගිය වසරේදී ගෝලීය බිලියනපතියන්ගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 900 කින් නැතිනම් සියයට 12කින් ඉහල ගිය අතර ලෝක ජනගහනයෙන් අඩක් එනම් මිනිසුන් බිලියන 3.8 ක් තමන්ගේ ධනයේ සියයට 11ක අඩුවීමක් අත් වින්දේයැයි වාර්තාව පෙන්වා දුන්නේය.

පසුගිය වර්ෂයේ බිලියනපතියන් ඔවුන්ගේ ධනය සෑම දිනකට වරක්ම ඇඩො බිලියන 2.5 කින් වැඩි කරගත් අතර මිලියනපතියෙකු එම තත්වයට සෑම දින දෙකකට සැරයක්ම පත්විය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය විදාරනය වීමේ සිට ගෙවුනු දශකය තුල ආන්ඩු සහ මූල්‍ය අධිකාරීන්, එහි සම්පූර්න බලපෑම, එහි ප්‍රතිපලයන්ගෙන් සමහරක් ලෙස නම් කල හැකි, එක තැන පල්වන අඩු වැටුප් සහ සෞඛ්‍ය සහ අනෙකුත් සමාජ සේවාවන් විනාශකර දමා ඇති කප්පාදු වැඩ පිලිවෙලවල්, ස්වරූපයෙන් ලෝක කම්කරු පන්තියේ කර මත පටවා ඇත. මේ අතර ධනය වඩ වඩාත් සංකේන්ද්‍රනය වී ඇත. පසුගිය වර්ෂයේ ලෝක ජනගහනයෙන් හරි අඩක් වන බිලියන 3.8 ක මිනිසුන්ගේ ධනයට සමාන ධනයක් මිනිසුන් 26 දෙනෙක් විසින් පාලනය කල අතර ඊට පෙර වසරේ එම අගය වූයේ 43කි.

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඇමසන් හිමිකරු ජෙෆ් බෙසෝස් විසින් සංකේන්ද්‍රනය කරගෙන ඇති ඇඩො බිලියන 112ක ධනයෙන් සියයට එකක් පමනක්, මිලියන 105ක මිනිසුන් සිටින ඉතියෝපියාවේ මුලු මහත් සෞඛ්‍ය සඳහාම වෙන් කෙරෙන අයවැයටම සමාන බව ඔක්ස් ෆැම් වාර්තාව සඳහන් කලේය.

ඔක්ස් ෆැම් වාර්තාව විසින්, සංවර්ධිත රටවල් වල ධනවතුන් සඳහා ඉහලම බදු අනුපාතය, 1970 දී සියයට 62 සිට 2013 දී සියයට 38 දක්වා පහල වැටුනු බව හෙලිදරව් කරන අතරම, ධනවතුන් සහ සංගත වලට වාසි සලසමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් 2017 වර්ෂය අගදී හඳුන්වා දෙන ලද බදු කප්පාදුවට අවධානය යොමු කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ඉහලම පුද්ගලික බදු අනුපාතය සියයට 28ක් පමනි. එක්සත් රාජධානියේ සහ බ්‍රසීලයේ ජනගනයෙන් පහලම සියයට 10 තමන්ගේ ආදායමෙන් බදු ලෙස, ඉහලම සියයට 10 තම ආදායමෙන් බදු ලෙස ගෙවනවාට වඩා වැඩි කොටසක් ගෙවන බව වාර්තාව හෙලිදරව් කලේය.

බදු පැහැර හැරීම යනු බහුලව සිදුවන්නකි. සුපිරි ධනවතුන් ඇඩො ට්‍රිලියන 7.6ක් බදු පාලන අධිකාරීන්ගෙන් සඟවත්දී, සංගත විසින්, වසරකට සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇඩො බිලියන 170 ක ආදායමක් අහිමි කරමින්, මුදල් විශාල ප්‍රමානයක් විදේශයන්හී රඳවා තබා ඇති බව වාර්තාව අනාවරනය කලේය.

මෙහි ප්‍රථිපලයක් ලෙස, සියලුම බදු ආදායම් වලින් සියයට හතරක් පමනක් ධනය මත සිදු කරන බදු අයකිරීම් වලින් පැමිනේ.

“2013 සිට දරිද්‍රතාවය අඩුවීමේ සීඝ්‍රතාවය අඩාල වී” ඇති අතර “අන්ත දරිද්‍රතාවය උප සහරානු අප්‍රිකාව තුල ඇත්ත වශයෙන්ම වැඩි වෙමින් පවතී ” යැයි වාර්තාව සඳහන් කලේය.

1980 සහ 2016 අතර ලෝක ජනගහනයේ දුප්පත්ම සියයට 50 හට ලැබුනේ ගෝලීය ආදායම් වර්ධනයේ සෑම ඩොලර් එකකින්ම සත 12ක් පමනක් බවත් ඉහලම සියයට 1 සෑම ඩොලරයකින්ම සත 27 ක් අත්පත් කරගත් බවත් වාර්තාව තව දුරටත් සඳහන් කලේය.

දශකයකට පෙර, පාලක ප්‍රභූවේ වාර්ෂික රැස්වීම ඩාවොස් හී පැවතුනේ, ලෝකයේ විශාලතම මූල්‍ය ආයතන වල දැවැන්ත වංචාව සහ අපරාධකාරීත්වය විසින් ඇති කල වඩාත්ම දැඩි ආර්ථික සහ මූල්‍ය අර්බුදය අද්දරකය.

නමුත් සිරගත කරනවා වෙනුවට “මහා ධනයේ අපරාධකරුවන්” හට මූල්‍ය සහනාධාර ලබා දුන්නේය. ඊලඟ දශකය පුරාවට ඔවුන් හට ඩොලර් ටි්‍රලියන ගනනක අති-ලාබ මුදල් ලබා දුන්නේ ඔවුන්ගේ ධනය සංකේන්ද්‍රනය කිරීමේ ක්‍රියාවලිය ඝාතීය වේගයකින් දිගටම සිදුකරගෙන යාමට ඉඩලබා දෙමිනි.

බ්ලූම්බර්ග් හී නව වාර්තාවකට අනුව, ඩාවොස් රැස්වීම සඳහා සහභාගී වූ ධනවත්ම 12 දෙනාගේ ධනය සමස්ථයක් ලෙස ඇඩො බිලියන 175 කින් ඉහල නැග තිබුනේ එම කාලය තුලම ගෝලීය බිලියනපතියන්ගේ සමස්ත ධනය ඇඩො ටි්‍රලියන 3.4 සිට ඇඩො ටි්‍රලියන 8.9 දක්වා වර්ධනය වත්දීය.

බ්ලූම්බර්ග් වාර්තාව මෙම අතිවිශේෂ වර්ධනයේ තොරතුරු අවධානයට ලක් කරයි.

■ මාක් සකර්බර්ග්, දශකයකට පෙර ඇඩො බිලියන 3ක් වූ ඔහුගේ ධනය, ඇඩො බිලියන 55.6 ක් දක්වා එනම් සියයට 1853 කින් වැඩි කරගෙන ඇත.

■ බ්ලැක්ස්ටෝන් ආයෝජන රක්ෂන අරමුදලේ ප්‍රධානී ස්ටෙපන් ශුවර්ට්ස්මන් 2008 අවසානය වන විට ඇඩො බිලියන 95ක් වූ තමන්ගේ සමාගමේ වත්කම් ඇඩො බිලියන 457ක් දක්වා ඉහල නගිනු අත්දැක ඇත්තේ ඔහුගේ පුද්ගලික ධනය ඇඩො බිලියන 2.1 සිට ඇඩො බිලියන 10.1 දක්වා සියයට 486 කින් වේගයෙන් වර්ධනය වෙත්දීය.

■ මාධ්‍ය ධන කුවේරයෙක් වන රූපට් මර්ඩොක් ඔහුගේ ධනය ඇඩො බිලියන 3.2 සිට ධනය ඇඩො බිලියන 15.1 දක්වා සියයට 472කින් වර්ධනය කරගෙන ඇති අතර ජේපී මෝර්ගන් හී ප්‍රධානී ජෙමී ඩයමන් ඇඩො බිලියන 0.4 සිට ඇඩො බිලියන 1.1 දක්වා සියයට 276ක ධනය වර්ධනය වීමක් භුක්ති විඳියි.

මෙම ලැයිස්තුව තවදුරටත් ගමන් කරයි.

කෙසේවෙතත් ඔක්ස්ෆැම් විසින් ඉදිරිපත් කරන ආර්ථික දත්ත වල ප්‍රබලත්වය, සමාජ අසමානතාවයේ එවැනි තද බල මට්ටම් සමග ගනුදෙනු කිරීම සඳහා එය විසින් ඉදිරිපත් කරන පිලියම් වලට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධයක් නිර්මානය කරයි. “මානව ආර්ථිකයක්” යැයි එය විසින් හඳුන්වන දෙය පදනම් වන්නේ “වර්ධන ආර්ථිකයක්” යැයි එය විසින් හඳුන්වන දෙය මත පදනම් වූ මූලධර්මයන්ට වඩා වෙනස් වූ මූලධර්මයන් මතය.

“මානව ආර්ථිකය” සෞඛ්‍ය සේවාව. අධ්‍යාපනය, සහ ලිංගික සමානාත්මතාවය සපයනු ඇති අතර ධනය බෙදා ගැනීම සඳහා හොඳම කොන්දේසි නිර්මානය කරනු ඇත. ධනවත්ම පුද්ගලයන්ගෙන් අය කරන බදු සියට 0.5කින් ඉහල දැමීම මගින් පමනක් දැනට අධ්‍යාපන අවස්ථා නොලබන මිලියන 262ක ලමුන් හට අධ්‍යාපනය ලබා දීමට සහ වලක්වාගත හැකි මරනයන්ගෙන් මිලියන 3.3 ක් මිනිසුන් බේරා ගැනීමට සෞඛ්‍ය සේවා සැපයීමට හැකි තත්වයක් යටතේ, එයට මුදල් ලබා ගනු ඇත්තේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් බදු අය කරගැනීම මගින්ය.

කෙසේවෙතත් ඔක්ස්ෆැම් පසුගිය වසර අට පුරාවට මෙවැනි යෝජනාවන් සූදානම් කරමින් සිටින්නේ අනතුරු ඇඟවීම නිකුත් කරමින් සහ ක්‍රියා මාර්ගික වෙනසක් සඳහා කැඳවුම් කරමින්ය. ඔක්ස්ෆැම් විසින්ම පිලිගන්නා ආකාරයට සෑම වසරකම තත්වය තවත් නරක අතට හැරෙන්නේ ඉහල යන සීඝ්‍රතාවයකිනි.

සමාජ අසමානතා වසංගතය, වර්තමාන පද්ධතිය තුල ආධිපත්‍ය දරමින් එය පවත්වා ගෙන යන බලයන්ටම සිදුකරන නිරර්ථක ආයාචනාවන්ගෙන් අවසාන කල නොහැක. ඔවුන්ට 1789 විප්ලවයට පෙර ප්‍රන්සයේ පැවති ඒන්ෂන් රෙජිමයට හෝ 1917 ට පෙර රුසියාවේ පවතී ඒකාධිපති සාර් රෙජිමයට මෙන්ම ඒ සඳහා හැකියාවක් නොමැත.

අව්‍යාජ “මානව ආර්ථිකයක්” සඳහා මාවත වැටී ඇත්තේ, පුද්ගලික ලාභය සහ මූල්‍ය වෙලඳ පලවල් වල ඒකාධිපතිත්වය අවසන් කරන, සමාජවාදී විප්ලවයක් මගින්, කම්කරු පන්තිය දේශපාලන බලය ගැනීම හරහා පමනි. කම්කරු පන්තිය විසින් නිර්මානය කරන ලද දැවැන්ත සම්පත් සියල්ලන්ගේම සමාජ අවශ්‍යතාවයන් ලඟා කර ගැනීමට යෙදාගත හැක්කේ මේ ආකාරයට පමනි.

මෙක්සිකෝවේ මෝටර් රථ කොටස් වැඩවර්ජන, ලොස් ඇන්ජලීස් හී ගුරුවරුන්ගේ වැඩ වර්ජන වල සිට ඉන්දියානු කම්කරු පන්තියේ දැවැන්ත වැඩ වර්ජන දක්වා ලෝකය පුරා පුපුරා එමින් තිබෙන සමාජ සහ පන්ති අරගල තුල වර්ධනය කල යුත්තේ මෙම ඉදිරි දර්ශනයයි. එය විසින්, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවශ්‍ය නායකත්වය සැපයීම සඳහා සෑම රටකම ගොඩනැගීම ඉල්ලා සිටියි.

නික් බීම්ස්

Share this article: