වොෂින්ටනයේ දේශපාලන යුද්ධය තීව්‍රවෙත් ම ට්‍රම්ප් පාලනාධිකාරිය ප්‍රශ්නයට බඳුන් වෙයි

Trump administration in question as political warfare in Washington intensifies

2018 දෙසැම්බර් 24

2018 වසර අවසානයට පැමිනෙමින් තිබෙන්නේ එක්සත් ජනපදය තුල ඓතිහාසික දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය. සිරියාවෙන් එක්සත් ජනපද භට කන්ඩායම් ඉවත් කර ගැනීම හා ඇෆ්ගනිස්තානයේ භට පිරිස් අඩු කිරීමේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරන සම්බන්ධ ගැටුම් හා ඉන් අනතුරු ව ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වීමෙන් වොෂින්ටනය සසල වී ඇත. මෙය කොටස් වෙලඳපොලේ තියුනු ඇද වැටීම හා බොහෝ සේ ලබන වසරට ද දිග් ගැස්සිය හැකි ආන්ඩුවේ අර්ධ අකර්මන්‍ය වීම සමග සම්පාත වී ඇත.

රාජ්‍යය තුල මෙන් ම ඩෙමොක්‍රටික් පක්ෂයේ ද කෝපයේ ආවේග අවුලුවා ඇත්තේ සංක්‍රමනිකයන් මත ට්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ප්‍රහාර, කම්කරු පන්තිය මත ඔහුගේ යුද්ධ හෝ චීනය වෙත ඔහුගේ යුදකාමී හැසිරීම නො වේ. එය නම්, සත්තකින්ම, අප්‍රකාශිත හා නීති විරෝධී සිරියාව හා ඇෆ්ගනිස්තානය තුල යුද්ධ හෙලා දැමීම පෙන්වන ඔහුගේ අභිප්‍රාය යි.

පාලනාධිකාරියේ අනාගතය ප්‍රශ්නයට ලක් කෙරෙමින් තිබේ. එන්බීසී ප්‍රවෘත්ති සේවයේ “මීට් ද ප්‍රෙස්” වැඩසටහනේ සත්කාරක, චක් ටොඞ් ඉරිදා පැවසුවේ, හමුදා ඉවත් කිරීම මත විරුද්ධත්වය දැක්වීමට මැටිස් ඉල්ලා අස්වීම “මෙම ජනාධිපතිගේ ක්‍රියාකාරිත්වයේ අවසානය ආරම්භ වීම” විය හැකි බව යි. ට්‍රම්ප්ගේ පුද්ගලික ගනදෙනු හා ට්‍රම්ප්ගේ මැතිවරන උද්ඝෝෂනයේ චුදිත රුසියානු බැඳීම් පිලිබඳ හිටපු එෆ්බීඅයි අධ්‍යක්ෂ රොබට් ම්‍යුලර්ගේ පරීක්ෂනය කේන්ද්‍රගත වූ, විමර්ශනයන්ට එරෙහි බෆරයක් ලෙස සේවය කල රිපබ්ලිකානු සෙනේට් සභිකයන් අතර ට්‍රම්ප් සඳහා වූ සහයෝගය ඛාදනය වීම ගැන ඔහු සඳහන් කලේ ය.

මිලිටරිය හා ඔත්තුසේවා ඒජන්සි වෙනුවෙන් කතා කරන ඩෙමොක්‍රටිකයෝ, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති මාරුව තුල, ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අතිමූලික ප්‍රතිඥාවක් විය යුතු ලෙස ඔවුන් සලකන යමක අත් හැර දැමීමක් දකිති: එනම් රුසියාවට විරුද්ධ පියවර ගැනීමේ දී මැද පෙරදිග පාලනය තීරනාත්මක වන අතර, දෙවනුව චීනයට මුහුන දෙනු පිනිස එය අවශ්‍ය ය. ඩෙමොක්‍රටික් සෙනේට් සභික ක්‍රිස් කෲන් සීබීඑස් රූපවාහිනියේ “ෆේස් ද නේෂන්” වැඩසටහනට ඉරිදා පැවසුවේ “ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ ව්ලැඩිමීර් පුටින් හා ඉරානයේ අයතොල්ලා කමේනීට මහා විශාල නත්තල් ත්‍යාගයක් පිරිනමමින් සිටින” බව යි.

මෙම ක්‍රියාදාමයේ දී, රාජ්‍ය සංවිධාන හා මිලිටරියේ ඉතාමත් ප්‍රතිගාමී කන්ඩායම් සමග ඩෙමොක්‍රටිකයෝ ලජ්ජා විරහිත ලෙස පෙල ගැසෙමින් සිටිති. “ඇතම් පුද්ගලයන්ට වෙඩි තැබීම විනෝදයක්” යැයි වරෙක පැවසූ, ෆලූජාවේ ඝාතක, “පිස්සු බල්ලා” මැටිස් සදාචාර ගුනධර්මවල ස්ථම්භය බවට පරිවර්තනය කෙරී ඇත. සෙනේට් සභාවේ දෙවැනි පෙල ඩෙමොක්‍රටිකයෙකු වන, ඩික් ඩර්බින් “මීට් ද ප්‍රෙස්” වැඩසටහනේ දී, මැටිස් යනවා දැකීමෙන් “මගේ හදවත කඩා හෙලන” බව පැවසුවේ ය. “නවතින්න, ඔබට පුලුවන් තාක් කල් නවතින්න” යැයි ඔහු මැටිස්ට වැඳ වැටුනේ, “අපට දරුනු ලෙස ඔබගේ පරිනත කටහඬ, ඔබේ දේශානුරාගයේ කටහඬ අවශ්‍ය” නිසා බව පවසමිනි.

තවමත් ජීවත් වන යුද අපරාධකරුවකු වන මැටිස් ගමන් කරමින් සිටින්නේ, මියගිය ජෝන් මැකේන් හා ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් වෙනුවෙන් ඩෙමොක්‍රටිකයන් හා මාධ්‍ය විසින් මුලින් ඇතිරූ දේශපාලන ශාන්තුවරයන්ගේ මාවතේ ය.

ට්‍රම්ප්ට එරෙහිව මිලිටරියේ ඍජු මැදිහත්වීමක් සඳහා ඉල්ලා සිටීම තුල ඉඟියකට වඩා වැඩි යමක් තිබේ. එක්තරා ආකාරයක මාලිගා කුමන්ත්‍රනයක් ඔස්සේ ට්‍රම්ප් ඉවත් කිරීමේ වැඩපිලිවෙලක් වූ යේ නම්, ඩෙමොක්‍රටිකයන් හා මාධ්‍ය විසින් එය සාදරයෙන් පිලිගැනීමට ඉඩ තිබුනි. කෙරෙමින් තිබෙන ප්‍රකාශනයන්ට අනුව, යමෙකුට නිගමනය කල හැකි එක ම දෙය වන්නේ මැද පෙරදිග යුද්ධය ද රුසියාවට එරෙහි ආක්‍රමනයේ ද ආසන්න උත්සන්න කිරීමක් මෙය පසු පස එනු ඇති බව යි.

සිරියාව හා ඇෆ්ගනිස්තානය තුල ට්‍රම්ප්ගේ පියවරයන්ට එරෙහි බියකරු ප්‍රතික්‍රියාව හෙලිදරව් කරන්නේ, ඉස්ලාමීය ත්‍රස්තයන් පරාජය කිරීමට යැයි දියත් කෙරුනු “ත්‍රස්තවාදය මත යුද්ධයේ” ප්‍රෝඩාව යි. ට්‍රම්ප් එක්සත් ජනපද හමුදා ඉවත් කිරීමේ තම සැලැස් ම යුක්තිසහගත කලේ සිරියාව තුල දී අයිඑස්අයිඑස් පලවා හැර ඇතැ යි යන්න පෙන්වා දෙමිනි. නමුත් මෙම පියවරට කුපිත විරුද්ධවාදීන් තොගයක් ප්‍රකාශ කර ඇති පරිදි, සැබෑ කාරනය අයිඑස්අයිඑස් නො වේ, නමුත් ඊට වෙනස් ව මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ, විශේෂයෙන් ම රුසියාව හා ඉරානය තුල වොෂින්ටනයේ භූමූලෝපායික තරඟකරුවන්ට එරෙහි අරගලය යි.

සැබවින් ම, 2001 සැප්තැම්බර් 11 සිදුවීම්, දීර්ග කාලයකට පෙර සම්පාදනය කෙරුනු ව්‍යාප්තවාදී සැලැසුම් ක්‍රියාත්මක කිරීමේ හුදෙක් කඩතුරාවක් පමනි. බුෂ් යටතේ ඇෆ්ගනිස්තානය හා ඉරාක ආක්‍රමනයෙන් පටන් ගෙන, එය පසු පස ආ ලිබියාවට එරෙහි යුද්ධය හා ඔබාමා යටතේ සිරියාවේ සීඅයිඒ පිටුබලය දුන් සිවිල් යුද්ධය ඇවිල වීම මෙම සැලැස්මේ කොටස් විය. ප්‍රථම මූලකාරනය විශාල වසයෙන් අත්හැර දමා ඇති අතර, ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය එය කුමක් සඳහා ද යන්න අනාවරනය කලේ ය, එනම් මිලිටරි බලය මගින් ලෝකය පාලනය කිරීමේ උත්සාහය සඳහා යි.

මෙය පෙන්වා දීම කිසිම ආකරයකින් ට්‍රම්ප් පාලනාධිකාරියේ ප්‍රතිගාමී ස්වභාවය අඩු කිරීමක් නො වේ. ධවල මන්දිරය තමාගේ ම අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියක් හඹා යමින් සිටී, මෙය මතක් කර දෙන්නේ ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධයට ඇතුලු වීමට පෙර චාල්ස් ලින්ඞ්බර්ග්ගේ “ඇමරිකාව පලමුව” උද්ඝෝෂනය යි. ලින්ඞ්බර්ග් නාසි ගැත්තෙකු විය. නමුත් පාලක පන්තියේ ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදීන් (ඔවුන් අධිරාජ්‍යවාදී සංහාරයේ දී එක්සත් ජනපද මැදිහත් වීමක් සඳහා බල කෙරුව ද) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන්ට වූ යම් කැපවීම් රඳවාගත් නමුත්, අද පාලක පන්තිය හා ආන්ඩුවේ ට්‍රම්ප් විරෝධී කන්ඩායම් තුල එවැනි කැපවීමක් නැත.

ට්‍රම්ප්ගේ අවධානය වඩාත් ම චීනය වෙත ය. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවෙන් හමුදා ඉවත් කිරීමේ ජනප්‍රියත්වය ගසා කෑමට බලාපොරොත්තු වන අතර, ඔහුගේ පාලනාධිකාරිය ඇමරිකාවේ විශාලම ආර්ථික තරඟකරුවා සමග “මහා බලවතුන්ගේ” ගැටුම වෙත යොමු වූ විදේශ ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇත.

ගෙවී ගිය සියවස් කාල තුල ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකත්වයට මුහුන දෙන, ට්‍රම්ප් පාලනාධිකාරිය නියෝජනය කරන්නේ වඩා ඒකපාර්ශ්විකවාදී හා ජාතිකවාදී භූමුලෝපායකට හැරීමකි. රාජ්‍යය ඇතුලතින් ම වැඩෙන විරුද්ධත්වයකට ට්‍රම්ප් මුහුන දීමත් සමග, මිලිටරිය හා පොලිස් කන්ඩායම් අතර ද ඇතුලුව, ෆැසිස්ට්වාදී පදනමක් පෝෂනය කිරීමේ තම උත්සාහය ඔහු දෙගුන කරනු ඇත.

මෙම රාමුව තුල “වම” හා “දකුනු” ගැන කතා කිරීමේ තේරුමක් නැත. ගැටුම වන්නේ අන්ත ප්‍රතිගාමිත්වයේ විවධ රූපාකාරයන් අතර ය.

ඩෙමොක්‍රටික් පක්ෂයේ සහකාර මුක්කු ලෙස සේවය කරන්නේ, ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කන්ඩායම් වෙනුවෙන් කතා කරන, ව්‍යාජ වම්මුන්ගෙන් සමන්විත නොයෙකුත් සංවිධාන යි. ඩෙමොක්‍රටිකයන් අනවරතව ප්‍රචාරය කරමින් සිටින්නේ වර්ගය, හා ගෙවී ගිය වසරේ ඃමටත්(ඃමීටූ) බැනරය යටතේ කෙරී ඇති ලිංගිකත්වය පදනම් කරගත් දේශපාලනය යි. මෙම ස්ථර අතරේ තම යුද පිලිවෙත් සඳහා පදනමක් වර්ධනය කර ගැනීම කේන්ද්‍රීය අරමුනක් වී ඇත.

වොෂින්ටනය තුල වේගයෙන් පැතිර යන දේශපාලන යුද්ධය මධ්‍යයේ, තම නිශ්ශබ්දතාව විසින් සිහිපත් කෙරෙන නිශ්චිත හඬවල් ඇත. ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ සමාජවාදී කම්කරුවා පත්‍රය කිසිවක් පවසා නැත. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ට බැඳුනු ජැකොබින් සඟරාව කිසිවක් පවසා නැත. සමාජවාදී විකල්පය කිසිවක් කියා නැත. ඔවුන් විසින් උලුප්පන වර්මොන්ට් සෙනේට් සභික බර්නී සෑන්ඩර්ස්, කරලියට එමින් සිටින නිව් යෝක් ප්‍රාන්ත නියෝජිත ඇලෙසන්ඩි්‍රයා ඔකෑසියෝ කෝර්ටෙස් ආදී ඩෙමොක්‍රටික් පක්ෂ දේශපාලඥයින් කිසිවක් කියා නැත.

ඔවුන් නිහඬ ඔවුන් ඩෙමොක්‍රටික් පක්ෂ මාවතට සහාය දෙන බැවිනි. ඔවුහු යුද්ධයට සහාය දෙන අතර ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහාය දෙති.

ඔවුන්ගේ සැබෑ දේශපාලන ගමන් මග පැහදිලිව විස්තර කරන ලද්දේ, සමාජවාදී කම්කරුවා හා අනෙකුත් ව්‍යාජ-වාම ප්‍රකාශන විසින් නිතර සඳහන් කෙරෙන නේෂන් පත්‍ර යේ ජෝන් වොල්ෂ් විසිනි. “ට්‍රම්ප් වියරු සහගත වෙත්ම, දෙවියෝ අප සැමොට ආශීර්වාද කරත්වා” යන ලිපිය තුල, “ආරක්ෂක ලේකම් වැනි යාවජීව මිලිටරි නායකයෙකු මෙන් ම රාජ්‍ය සේවකයෙකු වන ජිම් මැටිස්ගේ” උපදෙස් නොසලකා හැරීමේ ට්‍රම්ප්ගේ තීරනය ගැන වොල්ෂ් වැලපෙ යි.

මේ සියල්ල තුල කොහේවත් (ට්‍රම්ප් පාලනාධිකාරියේ සිට, ඩෙමොක්‍රටික් පක්ෂය, ව්‍යාජ වම්මුන් දක්වා) ජනගහනයේ විශාල බහුතරය වන කම්කරු පන්තියේ උත්සුකයක් ගැන කිසිදු ප්‍රකාශයක් නැත. කම්කරු පන්තියට තමන්ව පාලක පන්තියේ කුමන කන්ඩායමක් පසු පස හෝ හරවා යැවීමට ඉඩ දිය නො හැක. එය ධනේශ්වර අර්බුදයට තමන්ගේ ම විසඳුම: එනම්, සමාජවාදී විප්ලවය ඉදිරියට ගෙන ආ යුතු ය.

වඩා මුල් අවස්ථාවක දී වොෂින්ටනය තුල ගැටුම් විශ්ලේෂනය කරමින් ලෝසවෙඅ 2017 ජූනි 13 වැනි දින “මාලිගා බලකොල්ලය හෝ පන්ති අරගලය: වොෂින්ටනයේ දේශපාලන අර්බුදය හා කම්කරු පන්තියේ මූලෝපය” නම් තම ප්‍රකාශනය තුල මෙසේ සඳහන් කලේ ය: “ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ල ම ඇතුලත්, දේශපාලන සංස්ථාපිතය තුල ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් කතා කරන්නේ සංගත හා මූල්‍ය ප්‍රභූවේ කන්ඩායමක් වෙනුවෙනි.” ට්‍රම්ප් සමග ඔවුන්ගේ වෙනස්කම් “ප්‍රාථමික වශයෙන් කේන්ද්‍රගත වන්නේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රශ්න මත ය.” දේශපාලන යුද්ධයේ වර්තමාන තතු මෙම විශ්ලේෂනය තහවුරු කර යි.

“පාලක පන්තිය හා කම්කරු පන්තිය අතර, සමස්ත වසයෙන් වර්ධනය වෙමින් තිබෙන්නේ වෙනස් වර්ගයක ගැටුමක්” යැයි ද ප්‍රකාශනය සඳහන් කලේ ය. “එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර අර්බුදයේ වෛෂයික කොන්දේසි ද මහජන සමාජ විඥානයේ රැඩිකලීකරනය ද අතර අන්තර්ක්‍රියාකාරිත්වය පන්ති අරගලයේ පිපිරීම ලෙස ප්‍රකාශනය අත් පත් කරගනු ඇත” යි ලෝසවෙඅ අපේක්ෂා කලේ ය.

මෙම විග්‍රහය සනාත කෙරී ඇත. පසු ගිය වසර එක්සත් ජනපදයේ ද ලොව වටාද පන්ති අරගලයේ සැලකියුතු වර්ධනයක් අත්දැක ඇත. මෙය 2019 වසර තුල විදහා දැක්වෙනු ඇති සමාජ පිපිරීම් පිලිබඳ පූර්වාපේක්ෂාවක් පමනි.

කම්කරු පන්තික ව්‍යාපාරයට පෙර නො වූ විරූ මට්ටමක අවබෝධය හා සවිඤ්ඤානිකත්වය ලබා දීමට, මෙන් ම රාජ්‍ය බලය ලබා ගැනීමට හා පුද්ගලික ලාභය නොව, සමාජ අවශ්‍යතාවන්ගේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට වන සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා අධිරාජ්‍යවාද විරෝධී ව්‍යාපාරයට පන්ති අරගලයේ වර්ධනය සම්බන්ධ කිරීමට, දේශපාලන නායකත්වයක්, එනම් සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම තීරනාත්මක කර්තව්‍යය වන්නේ ය.

ජෝශප් කිෂෝර්

Share this article: