ගෝලීය මන්දගාමීත්වය: එක්සත් ජනපද වෙලඳ යුද්ධය සියරට ට පැමිනෙයි

The global slowdown: US trade war comes home

2019 ජනවාරි 4

එක් අටුවාකරුවකු උපුටා දක්වතොත්, එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ සබඳතා ඉරා දැමීම පිලිබඳ ව සඳහන් කරන “විසන්ධිය” යන යෙදුම “වොෂින්ටනයේ මාතෘකාව” බවට පත් ව තිබේ. “නව සීතල යුද්ධය” ලෙස පලල් ව විස්තර කරන දෙය තුලට රටවල් දෙක පටලැවී සිටින අතර, හිටපු භාන්ඩාගාර ලේකම් හෑන්ක් පෝල්සන්ගේ වචනවලින් කියතොත් එම යුද්ධයේ දී පැසිෆික් කලාපය මත “යකඩ තිරයක්” පහත් වී ඇත.

වොෂින්ටන් පෝස්ට් පත්‍රය “චීනය සමග පලල් සම්මුතියට කැමති ද්වි-පක්ෂ එකඟතාවක්” යයි කියන දෙය වෙනුවට, ඇමරිකානු විදෙස් පිලිවෙත් සංස්ථාපිතයේ සැලකිය යුතු කොටස්, ආරක්ෂනවාදයේ හා මිලිටරි ගැටුමේ වර්ධනය මධ්‍යයේ ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සුවිසල් ආර්ථික සබඳතා විඝටනය කිරීමේ ට්‍රම්ප් පරිපාලනයේ පිලිවෙතට සහයෝගය දෙති.

එහෙත් ජනවාරි 3දා සිද්ධි, එවැනි “විසන්ධියක්” 21වන ශතවර්ෂයේ භූගෝලකෘත ආර්ථිකය තුල දී කවරාකාරයක් ගනු ඇද්දැයි ඉඟි කර ඇත. ජර්මනියේ, චීනයේ හා ජපානයේ කඩා වැටෙන වෙලඳපොලවල භාන්ඩ මිලෙහි නිර්දය ඇදවැටීමක්, ඇදවැටෙන පාරිභෝගික වියදම් පිලිබඳ සංඥා සහ මෝටර් රථ හා අනෙකුත් කර්මාන්තයන් තුල ඉහල යන දොට්ට දැමීම් හා කම්හල් වැසීම් මධ්‍යයේ ගෝලීය මන්දගාමීත්වය එක්සත් ජනපදය තුල පැතිර යනු ඇතැයි ඇමරිකානු පාලක පන්තිය බිය වේ.

ලෝකයේ වැඩියෙන් ම ලාබ උපදවන සමාගම වන ඇපල් සමාගමට, චීනයේ ගැඹුරු වන ආර්ථික ඇදවැටීම එක්සත් ජනපදයේ වෙලඳ යුද්ධයට බැරකරමින් එලඹෙන වසර සඳහා එහි විකිනුම් ප්‍රක්ෂේපනයන්, 16 වසරක් තුල පලමු වතාවට කපාහැරීමට බලකෙරුනි.

මෙම නිවේදනය ඩව් දර්ශකය මත කොටස් 660ක ඇදවැටීමක් ජනනය කලේ ය. 1930න් මෙපිට නරක ම දෙසැම්බරයේ අවසානයෙන් අනතුරු ව, ඩොට්.කොම් බුබුලේ ඇදවැටීමේ සිට නව වෙලඳ වර්ෂයක් සඳහා නරක ම ආරම්භක දින දෙක එක්සත් ජනපද වෙලඳපොලවල් විසින් වාර්තා කලේ ය.

ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් ලියූ පරිදි: “නැග එන මූලික වෙලඳපොලවල සමහර අභියෝගයන් අපි පූර්වාපේක්ෂා කල ද විශේෂයෙන් ම චීනයේ ආර්ථික මන්දගාමීත්වයේ විශාලත්වය පෙරදුටුවේ නැත.” “එක්සත් ජනපදය සමග නැගෙන වෙලඳ ආතතීන් හේතුවෙන් චීනයේ ආර්ථික පරිසරය තවදුර ආතති සහගත වනු ඇතැයි අපි විශ්වාස කරමු” යයි ඔහු වැඩිදුරටත් ලීවේ ය.

වෝල් ස්ට්‍රීට් ජර්නලය තුල උපුටා දැක්වූ වෙලෙන්ඳා වඩා සෘජු විය: “ඒ සියල්ල එක්සත් ජනපද නිවස්නය තුලට කෙලින් ම ලැගීමට එමින් තිබේ...මන්දගාමීත්වය මෙහි තිබෙන අතර එය සිදුවෙමින් තිබේ.”

මනෝගතියේ ආපසු හැරවෙන වේගය සිත්ගන්නාසුලු ය. “ෆෙඩරල් රිසර්ව් නිලධාරීන් 2019 දී පොලී අනුපාත ඉහල දැමීම් දෙකක් නිවේදනය කිරීමෙන් යන්තම් සති කිහිපයකට පසු ආයෝජකයන්ගෙන් අඩක් පමන දෙනා දැන් අපේක්ෂා කරන්නේ මහ බැංකුව දිනකට පෙර පැවති මට්ටමෙන් සියයට 10කට වැඩියෙන් අනුපාත මේ වසරේ දී කපා හරිනු ඇති බව” යයි වෝල් ස්ට්‍රීට් ජර්නලය ලිවී ය.

ඇපල් සමාගමේ අනතුරු ඇඟවීම් කල දිනයේ ම, 2008 මූල්‍ය අර්බුදයේ පටන් එක්සත් ජනපදයේ විශාලතම කම්හල් ක්‍රියාකාරීත්වය ඇදවැටීමේ මාසය අයිඑස්එම් නිෂ්පාදන දර්ශකය විසින් වාර්තා කලේ ය.

මෙම දර්ශකයන්, ගෝලීය ආයතන විසින් පලල් ලෙස පුරෝකථනය කරන පරිදි වසර ගනනාවක් යනතෙක් එක්සත් ජනපදයේ වර්ධනය හුදෙක් ක්‍රමික ව මන්දගාමී වීම ගැන පමනක් නො ව, චීනය හා අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තියුනු හා ගැඹුරු පසුබෑමකට හේතුවනු ඇතැයි යන අනතුරු ඇඟවීම් ජනනය කොට ඇත. පරිමානයෙන් ජාත්‍යන්තර වන හා වෙලඳ යුද්ධය මගින් තීව්‍ර කරනු ලබන එවන් පසුබෑමකට 2008 අර්බුදයෙහි පරිමානයේ හෝ ඊටත් විශාල ගෝලීය මූල්‍ය අර්බුදයක් ජනනය කල හැකි ය.

මෙයට හේතු වන්නේ 2008 අර්බුදයේ කිසිදු මූලික හේතුවකට ආමන්ත්‍රනය නො කර තිබීම යි. බැංකුවල ශේෂ පත්‍රයන්හි සිදුරු සරල ව ම පුරවන ලද්දේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම හා ඉතා පහල පොලී අනුපාත හරහා මහ බැංකු විසින් නිකුත් කරන ලද මුදල් මගිනි. 2008 සිට ආර්ථික “ප්‍රකෘතිමත් වීමට” මුදල් සපයා ඇත්තේ පසුගිය මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රසිද්ධ කරන ලද අගයන්ට අනුව ඩොලර් ට්‍රිලියන 184ක විශාලතම අගය සටහන් කල ගෝලීය නයෙහි විස්තාරනය විසිනි.

ඩොලර් බිලියන ගනනින් මුදල් සොරකම් කිරීම පහසු කිරීමට ගෝල්ඞ්මන් සැක්ස් වැනි ආයතන විසින් ඩොලර් මිලියන සිය ගනන් ඇදගත් මැලේසියාවේ 1ඩීබීඑම් වංචාව වැනි සිද්ධි, 2008 මූල්‍ය අර්බුදයට හේතු වූ විශාල පරිමානයේ ප්‍රෝඩාවන් නො නැසී පවතින බව පෙන්නුම් කරයි.

එහෙත් ප්‍රධාන ආර්ථිකයන් සහයෝගයෙන් කටයුතු කිරීමට සපථ කල හා වෙලඳ යුද්ධය වැලැක්වීමට පොරොන්දු වූ 2008 අර්බුදයට වෙනස් ව, එක්සත් ජනපදය, හුදෙක් චීනයට පමනක් නො ව එහි යුරෝපීය නැටෝ සහකරුවන් ඇතුලු තවත් රටවල් දුසිම් ගනනකට එරෙහි ව වෙලඳ යුද පියවරයන් ආරම්භ කොට ඇත. 1930 ගනන්වල මෙන් ම මෙම වෙලඳ ගැටුම් තුල ගෝලීය අවපාතයක පරිමානය විශාලනය කිරීමේ විභවයක් තිබේ.

“මහා බල තරඟයේ” වර්ධනය හා ඉන් ප්‍රතිඵල වන වෙලඳ හා මිලිටරි ගැටුම් ජනනය වන්නේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මනසින් නො වේ. ඒ වෙනුවට, ඒවා අවධාරනය කරන්නේ ධනවාදයේ මූලික හා විසඳිය නො හැකි පරස්පර විරෝධයන් ය: එනම්, ගෝලීය නිෂ්පාදනය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ගැටුම යි. ආර්ථික ජීවිතයේ, සන්නිවේදනයේ හා විද්‍යාත්මක පර්යේෂනවල පෙර නුවූ විරූ ලෝක පරිමාන ඒකාග්‍රවීම නො තකා ලොව පුරා පාලක පන්තීන් ජාතිකවාදී වෙලඳ පිලිවෙත් හා යලි මිලිටරීකරනය වීම ලුහුබැඳ යන්නේ ඒ නිසා ය.

ලීමන් බ්‍රදර්ස් බිඳවැටීමෙන් මාස කිහිපයකට පසු ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් නිරීක්ෂනය කල පරිදි: “ඓතිහාසික ව අර්ථභාරී වන අර්බුදයක වඩාත් ම වැදගත් ලක්ෂනය වන්නේ බලපෑමට ලක් වූ රටේ (හා රටවල් කිහිපයේ) ප්‍රධාන පන්ති බලවේගයන්ට අර්බුදය සම්බන්ධිත ව ස්වාධීන ආස්ථානයක් සූත්‍රගත කොට තෝරාගැනීමට බලකෙරීමේ තත්ත්වයක් කරා ධාවනය වීම යි.”

එක්සත් ජනපදයේ ද ලෝකය පුරා ද පාලක ප්‍රභූන් 2008 මූල්‍ය අර්බුදයට ප්‍රතිචාර දැක්වූයේ අර්බුදයේ සමස්ත බර කම්කරු පන්තිය මත පැටවීමට උත්සාහ දරමිනි. බැංකු ඇපතැබීම්, නියාමන ඉවත් කිරීම් හා බදු කැපීම්වල ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය කතිපයාධිකාරයේ ආයෝජන සම්පූර්න කෙරී දෙගුන තෙගුන කෙරිනි. ඔබාමා පරිපාලනය හා එහි වෘත්තීය සමිති සහකරුවන් විසින් ක්‍රියාවට දැමූ ප්‍රතිව්‍යුහකරනයේ කොටසක් ලෙස එක්සත් ජනපද මෝටර් රථ සමාගම්වල විස්තෘත වූ අඩු-වැටුප් නිෂ්පාදනය විසින් පෙරමුන ගත් එක තැන පල්වන හා ඇදවැටෙන වැටුප්වල දශකයකට කම්කරු පන්තිය මුහුන දුන්නේ ය.

නව ගෝලීය අවපාතයක් පුපුරා යාම සමග පාලක ප්‍රභූව ක්‍රියාත්මක වනු ඇත්තේ, මූල්‍ය අර්බුදයේ පටන් එය ක්‍රියාවට දමා ඇති කප්පාදුවේ මෘග පිලිවෙත තීව්‍ර කරමින්මය.

එහෙත් පසුගිය දශකය ඔහේ ගෙවී ගියා නො වේ. 2018 වසර, එක්සත් ජනපදයේ ගුරුවරුන්, සෑම මහාද්වීපයක ම පාහේ බෙදාහැරීමේ හා ප්‍රවර්ධන කම්කරුවන්, ගුවන් නියමුවන්, මෝටර් රථ කම්කරුවන් හා අනෙකුත් කම්කරුවන් විසින් ගෙන ගිය වැඩ වර්ජන රැල්ල හා ඉරානයේ හා ලතින් ඇමරිකාවේ පුපුරනසුලු විරෝධතා ඇතුලු පන්ති අරගලයේ සැලකිය යුතු වර්ධනයක් දැකගත්තේ ය. වසර අවසන් වූයේ, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව ප්‍රන්සයේ මහජන කප්පාදු-විරෝධී විරෝධතා පුපුරා යාම සහ එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් හා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් විසින් ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පියවර ගැනීම සමග යි.

ඔවුන්ගේ වෙලඳ යුද්ධය හා “මහා බල ගැටුම” සුජාතකරනය කිරීමට හා 1930 ගනන්වල ෆැසිස්ට්වාදී උරුමය ප්‍රතිස්ථානය කිරීමට ඔවුන් දරන වෑයම සමගින් පාලක ප්‍රභූන් මාවත පාදමින් සිටින්නේ එම දශකය විලක්ෂනය කල සියලු සන්ත්‍රාසයන් පුනර්කරනය කිරීමට ය.

මෙම මඩගොහොරුවෙන් ඉවතට මාවතක් සම්පාදනය කල හැක්කේ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයකට පමනි. පාලක ප්‍රභූව යලි එල්ල කරන ප්‍රහාරයක අද්දර ලොව පුරා කම්කරුවන් ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමේ සහ සාමකාමී හා සමෘද්ධිමත් සමාජවාදී අනාගතයක සුරක්ෂිත කරගැනීමේ එල්ලය ඇති ව සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ධජය යටතේ අරගලයට පිවිසිය යුතු ය.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: