ජාත්‍යන්තර පන්ති අරගලයේ මූලෝපාය සහ 2019 දී ධනපති ප්‍රතිගාමිත්වයට එරෙහි දේශපාලන අරගලය

The Strategy of International Class Struggle and the Political Fight against Capitalist Reaction in 2019

2019 ජනවාරි 3

මෙම ප්‍රකාශය සම්පූර්න කෙරෙමින් පැවතියදී, හතරවන ජාත්‍යන්තරයේ ජත්‍යන්තර කමිටුවට, එහි තුර්කියේ ආධාරකරුවන් වන “සමාජවාදී සමානතාව” කන්ඩායමේ නිර්මාතෘ සහ නායක, හලීල් සෙලික් සහෝදරයාගේ, අකල් වියෝව සැලවී තිබුනි. මෙම ප්‍රකාශය, 2018 දෙසැම්බර් 31 වනදා සිය 57 වන වියේදී පිලිකාවක් හේතුවෙන් මියගිය එම නොසැලෙන විප්ලවවාදියා සහ ට්‍රොට්ස්කිවාදයේ සටන්කරුවා පිලිබඳ මතකයට කැපකෙරේ.

1. පසුගිය වසර ආරම්භයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙසේ ප්‍රකාශ කලේය. “2018 ක්වූ මෙම නව වසර - මාක්ස්ගේ උපතේ ද්වි-ශතවර්ෂ සංවත්සරය - සංලක්ෂනය කෙරෙනු ඇත්තේ, අන් සියල්ලටමත් වඩා, ලොව පුරාම සමාජ ආතතීන්හි ඉමහත් තීව්‍රවීමකින් හා පන්ති ගැටුම් උත්සන්නවීමකිනි.”

2. සිද්ධීන් විසින් මෙම පෙර දැක්ම සනාථ කර ඇත. විශේෂයෙන් 1989 දී නැගෙනහිර යුරෝපය තුල ස්ටැලින්වාදී තන්ත්‍ර බිඳවැටීම, තියන්ආන්මෙන් චතුරශ්‍රයේදී චීන තන්ත්‍රය විසින් කම්කරුවන් සහ සිසුන් සමුලඝාතනය කරනු ලැබීම සහ සියල්ලටමත් වඩා 1991දී ක්‍රෙම්ලිනයේ නිලධාරි තන්ත්‍රය සෝවියට් සංගමය බිඳ විසිරවීම ආදියෙන් දශක ගනනාවක් පුරා මැඩපැවැත්වනු ලැබීමෙන් අනතුරුව පන්ති අරගලය ලෝකය පුරා යලි විද්‍යමාන වී ඇත. බොහෝවිට නිල ධනේශ්වර ගැති පක්ෂ සහ වෘත්තීය සමිති වල පාලනයට විරුද්ධව හෝ පරිබාහිරව හටගත් වර්ජන සහ විරෝධතා රැල්ල එක්සත් ජනපදය ඇතුලු භූගෝලය ම පීරාගෙන ගියේය. වසර අවසාන වූයේ ප්‍රන්සයේ “පොහොසතුන්ගේ ජනපති”, එම්මානුවෙල් මැක්රෝන්ගේ තන්ත්‍රය සොලවා දැමූ දැවැන්ත “කහ බැනියම්” විරෝධතාවයෙන් සහ ටියුනිසියාවේ නැගිටීම් සමගය. ලෝක දේශපාලනයේ මහත් වූ ප්‍රපංචය නම් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමාජ සමානතාවය උදෙසා සටන් කිරීමයි. 1995 තරම් ඈතදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සිය ජාතික ශාඛා සමාජවාදී සමානතා පක්ෂ නමින් පිහිටුවීමේදීම මෙම සංකල්පය අන්තර්ගත කරගත්තේය.

3. 1938 දී හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල තුල, පලවෙනි ලෝක යුද්ධයේ විනාශකාරී පිපිරීයාමත් සමග එලඹුනු යුගය “ධනවාදයේ මරලතෝනිය” ලෙස ලියොන් ට්‍රොට්ස්කි අර්ථ දැක්වීය. ලෝකයේ තත්වය සාරාංශ කරමින් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේග ඒක තැන පල්වෙයි. නව සොයාගැනීම් හා වැඩිදියුනු කිරීම් මේ වනවිටත් ද්‍රව්‍යම වස්තු සම්භාරයේ මට්ටම නැංවීමට අසමත්ය. සමස්ත ධනේශ්වර ක්‍රමයේ සමාජ අර්බුද තත්වයන් යටතේ මතුවන ප්‍රාසංගික අර්බුදයෝ එන්න එන්නම බරපතල වන නැතිබැරියාවන් හා දුක්පීඩා ජනතාව මත පටවති. වර්ධනය වන විරැකියාව රාජ්‍යයේ මුදල් අර්බුදය ගැඹුරු කර අස්ථාවර මුල්‍ය පද්ධතීන්ගේ අඩිතාලම බිඳ දමයි. ෆැසිස්ට්වාදී පාලනයන් මෙන්ම ප්‍රජාතාන්ත්‍රික පාලනයෝද එක් බංකොලොත් කමක සිට තවෙකකට ලුහුටා යයි. (ධනවාදයේ මරලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, 1938)

4. ට්‍රොට්ස්කි මෙම වචන ලියද්දී ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටි, ගෝලීය ආර්ථික අස්ථාවරත්වය, අධිරාජ්‍යවාදී බලයන් විසින් සියලු රටවල් යටත් කර ගැනීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීම සහ ලෝක යුද්ධයේ සමීපස්ථ අන්තරාය ආදී අප්‍රමාන ගැටලු වත්මනෙ හි විද්‍යමානය. 1930 දී මෙන් සෑම රටකම ධනපති ප්‍රභූව, ආන්තික ජාතිකවාදය සහ සංක්‍රමන විරෝධී විදේශික භීතිකාව අවුලුවන අතරේ වියරු සහගත අන්දමින් පොලිස් සහ මිලිටරි රාජ්‍ය යන්ත්‍රය ගොඩනගමින් සිටියි. තවමත් අව්‍යාජ මහජන පදනමක් නැති මෙම ෆැසිස්ට්වාදී ව්‍යාපාර පවත්නා ධනපති පක්ෂවල අනුග්‍රහය සහ ජනමාධ්‍යය තුලින් ලැබෙන ප්‍රසිද්ධිය මතට වාරු වී සිටියි. එතකුදු වුවත් මෙහි අන්තරාය පැහැදිලිය.

5. එහෙත් තවත් සමාජ බලවේගයක් දැන් දේශපාලන රංගපථයට අවතීර්න වී තිබේ. කාලාන්තරයක් තිස්සේ යටත් කරනු ලැබ, පිටමන් කෙරී සිටි කම්කරු පන්තිය සිය ස්වාධීන අවශ්‍යතාවන් දෘඪතරව කියා පෑමට පටන්ගනිමින් සිටියි. ප්‍රන්සයේද, එක්සත් ජනපදයේද දැවැන්ත සමාජ අරගලයන්ගේ පැතිරයාම ජාත්‍යන්තරවම නව විප්ලවවාදී යුගයක ආරම්භය සංඥා කරයි. අවසානයේදී, 1980 ගනන්වල දී ප්‍රධාන අරගල වල පරාජයන්ට සහ සෝවියට් සංගමයේ බිඳ විසිරීමට පසු පසින් පැමිනි අවමංගතවීම් සහ ව්‍යාකුලත්වයන්, අවසානයේදී, නව්‍ය සටන්කාමිත්වයක සහ පෙරලා සටන් වැදීමේ සූදානමක මනෝගතියක් වෙත මාරු කෙරී ඇත.

6. ඉසුරුමත් මධ්‍යම පන්තියේ බුද්ධිමය සහ දේශපාලන නියෝජිතයන්ගේ සියලු ප්‍රති මාක්ස්වාදී හොරවෙදකම්, අදදින න්‍යායාත්මකව පමනක් නොව භාවිතයේදීත් ධනපති සංස්ථාපිතයට නොදෙවෙනි ලෙස අපකීර්තියට පත්ව ඇත. මුලුමනින්ම සාවද්‍යවූ දේශපාලන අනාවැකිවල කුනු බක්කියට විසි කෙරී ඇත්තේ, සෝවියට් සංගමය බිඳ විසිරවීම මගින් “ඉතිහාසයේ අවසානය” සහ ධනපති වෙලඳපල ක්‍රමයේ විජයග්‍රහනයත් නියෝජනය කලේය යන ෆ්‍රැන්සිස් ෆුකුයාමගේ ප්‍රකාශය පමනක් නොවේ. 1991 සලකුනු කලේ, “කෙටි විසිවන සියවසක” සහ කම්කරු පන්තිය විසින් සමාජවාදී විප්ලවයක් සිදුකිරීමේ කවර හෝ හැකියාවක අවසානය බවට, බි්‍රතාන්‍ය ස්ටැලින්වාදී ඉතිහාසඥ එරික් හොබ්ස්බෝම් කල ප්‍රකාශයන්ද අදූරදර්ශී බව ඔප්පු කෙරී ඇත.

7. තවද, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පිලිබඳව ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ සුලු ධනපති න්‍යායාචාරින්ගේ දිරිසුන් ප්‍රතික්ෂේපනය ද, වෛෂයිකව තහවුරුකල හැකි ඓතිහාසික සිදුවීම් සම්බන්ධ නරුම පශ්චාත් නූතනවාදී ප්‍රතික්ෂේප කිරීම් සහ ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයේ ඓතිහාසික කේන්ද්‍රීයභාවය පිලිබඳ මාක්ස්වාදී “මහා ආඛ්‍යානය” වෙත පවත්නා අහේතුකවාදී සංශයන්ද, හරසුන් සහ විද්‍යාත්මකව නොවටිනා, ලිංග භේදයේ, වර්ගයේ හෝ ලිංගික අනන්‍යතාවය යනාදියේ “ප්‍රාථමික” බව ගැන දේශනා කරන ආත්ම-කේන්ද්‍රීීය මහාචාර්යවරුන්ගේ අනුශාසනාද, ධනපති පාලනයේ අධිකාරිත්වය වෙනුවෙන් කෙරෙන දෘෂ්ටිවාදී සාධාරනිකරනයන් බවට හෙලිදරව් වී තිබේ.

8. හජාජාක හි විශ්ලේශනය සහ ඉදිරිදර්ශනය සනාථ වී ඇත. නූතන ලෝකය මෙතෙකුදු පොරබදමින් සිටින්නේ “නොනිමි විසිවන සියවසේ” අතිමූලික ඓතිහාසික අභියෝගය වන, කම්කරු පන්තිය විසින් දේශපාලන බලය අත්පත්කර ගෙන සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීම සමගයි.

ධනපති පාලනයේ ගෝලීය බිඳවැටීම

9. 2019 වසර ආරම්භවන්නේ භු-දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදයන්ගේ පිපිරෙනසුලු අන්තර්ක්‍රියාවන් මධ්‍යයේය. සෝවියට් සංගමයේ අභාවයෙන් පසු පාලක කව තුල පැතිර පැවති උන්මත්තක ශුභවාදයන්ගේ ලේශමාත්‍රයක් හෝ ඉතිරි වී නැත. ඇත්තවශයෙන්ම ගෝලීය ධනපති පන්තියේ මනෝගතියේ ඇත්තේ ඉමහත් සාංකාවකි. 2018 අවසාන වත්ම ජාත්‍යන්තර කොටස් හුවමාරුවන් විසුනු කල ආන්තික කැලඹිල්ල, 2008 ආර්ථික කඩාවැටීමෙන් පසු වෙලඳපල යලි පනගැන්වීම උදෙසා ගනුලැබූ මංමුලාසහගත පියවරයන් මගින් ඒවාමත් හෙම්බත් කෙරී ඇති බවට සංඥාවකි. පැතිර පවත්නා අශුභවාදය ස්විස් බැංකුකරුවන්ගේ සහ සියලු ධනපති පුවත්පත් අතරින් චතුරම හඬ වන නොය ස‘චර් සයිතුන්ග් හි(Neue Zürcher Zeitung) වසර අවසාන කලාපයේ ලොකු අකුරින් මුද්‍රිත සිරස්තලයක “තත්වයන් මුලින්ම වඩා නරක අතට හැරිය යුතුය” යනුවෙන් සාරාංශ කෙරුනි. මුල් පිටුවේ පලවූ මෙම පනිවුඩය පැහැදිලිය: ගෝලීය පාලක පන්තිය නරක අතට හැරෙන ආර්ථික අර්බුදයට පිලිතුරු දෙනු ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කෙරුනු රුදුරු පියවරයන් ගෙනි.

10. ගෝලීය ධනවාදය මුහුනදෙමින් සිටින අර්බුදය වනාහි ඓතිහාසික හා පද්ධතිගත අංග ලක්ෂනයකි. සෝවියට් සංගමය බිඳ විසිරවීම පසුපස පැමිනි සියලු විජයග්‍රහනවාදයන් සහ පාලක ප්‍රභූවේ ස්වයං සාධාරනීකරනයේ ප්‍රචාරනයන් මැද, 1989-91 සිද්ධීන් සිදුවූයේ ආන්තික ආර්ථික, සමාජ සහ දේශපාලන අස්ථාවරත්වයන් විසින් ලෝක ධනවාදය විසුනු කල තත්වයක් යටතේ බව පුලුල් ලෙස අමතක කරනු ලැබ ඇත. 1980 ගනන්වල මැද එක්සත් ජනපදයේ රීගන් සහ සෝවියට් සංගමයේ ගොර්බචෝෆ් ස්වකීය තන්ත්‍රයන් තුල තීව්‍ර වෙමින් තිබූ අර්බුදයන් සමග පොරබදමින් සිටිද්දී, කවර පද්ධතිය මුලින් බිඳ වැටේදැයි ප්‍රශ්න කිරීම (හජාජාක කල පරිදි) යුක්තිසහගත විය. එජ අධිරාජ්‍යවාදය පශ්චාත් දෙවන ලෝක යුද සමයේ දැරූ ගෝලීය ආධිපත්‍යයේ ඛාදනය ඒ වනවිටත් වඩා දුරදිග ගොස් තිබුනි. තවද, පරිගනකකරනය හා බැඳුනු අත්‍යසාමාන්‍ය තාක්ෂනික වර්ධනය විසින්, ජාතික රාජ්‍යය නම් වූ දේශපාලනික ඒකකය තුල මුල්බැසගත් සහ එක්සත් ජනපදය විසින් අධිකාරිත්වය දැරූ, අධිරාජ්‍යවාදී පද්ධතියේ පදනම් ක්‍රමයෙන් බිඳ දැමුනු ආර්ථික භූගෝලීයකරනයේ සන්තතීන් ධාවනය කෙරෙමින් පැවතුනි.

11. එජ අධිරාජ්‍යවාදයට එහි සීතල යුද ”ජයග්‍රහන” සහ සිය පැරනි නායකත්වය විසින් කම්කරු පන්තියට කල පාවාදීම මගින් සම්පාදනය කෙරුනු දේශපාලන වාසිය තිබියදීම ගෝලීය ධනවාදය යටින් දිවූ අර්බුදය අනවරතව පැවැතුනේය. එවක හජාජාක පමනක් හඳුනාගත් පරිදි, යල්පැනගිය, ස්වාධිපත්‍යධාරී සහ ප්‍රති මාක්ස්වාදී පිලිවෙත් මංමුලාසහගත ලෙස ක්‍රියාවට දැමූ, චීනයේ, නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ නිලධාරී තන්ත්‍රයන් විසින් ධනවාදය පුනස්ථාපනය කිරීම, ජාතික ආර්ථිකයේ සහ සමාජ නියාමනයේ සියලු පශ්චාත් දෙවන ලෝක යුද වැඩපිලිවෙලවල් කඩාවැටීමේ තියුනු ම ප්‍රකාශනය විය.

12. පසුගිය දශක තුන මුලුල්ලේ එජ පාලක ප්‍රභූව තම ගෝලීය අධිකාරය පවත්වාගෙන යාම සඳහා යොදාගනු ලබන ප්‍රධානතම මාධ්‍යය වනුයේ මිලිටරි බලයේ නිර්දය භාවිතාවයි. මෙමගින් ජනනය කෙරුනු එකම ප්‍රතිඵලය වූයේ ගෝලීය පද්ධතියේ අර්බුදය වඩාත් උත්සන්න කල අසාර්ථකත්වයන් පමනි. ඇෆ්ගනිස්තානයට සහ ඉරාකයට එරෙහි නීති විරෝධී ආක්‍රමනයන් සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි රුදුරු ප්‍රහාරයන් සාධාරනීකරනය කිරීම සඳහා යොදාගත් “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හෙලිදරව් කර ඇත්තේ ඇමරිකානු මිලිටරියේ සීමාසහිතකම් පමනක් නොවේ. නිමක් නැති නව යටත්විජිතකරන මෙහෙයුම් ඇමරිකාව තුල මහජන අතෘප්තියක් නිර්මානය කර ඇත්තාක් මෙන්ම ප්‍රධාන අධිරාජ්‍ය බලයන් අතර සහ ඇමරිකානු පාලක ප්‍රභුව තුලමත් ගැඹුරු භේදයන් නිර්මානය කර ඇත.

13. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක භූදේශපාලනයේ පදනම ලෙස සේවය කල ප්‍රධාන ධනපති බලයන් අතර ජාත්‍යන්තර සන්ධානයන් විසුරුවා හැරෙමින් පවතියි. දිගුකාලීන මිතුරන්, සතුරන් බවට පෙරලෙමින් ඔවුන්ගේ මිලිටරි බලකායන් ගොඩනගමින් සිටියි. 2008 මුල්‍ය කඩාවැටීමෙන් වසර දහයකට වැඩි කලක් ගතවෙද්දී ගෝලීය ආර්ථිකය වැඩෙන ජාතික ආතතීන්ගෙන් සහ වෙලඳ යුද්ධයෙන් ඉරිතලා යයි. පසුගිය දශකය තුල කොටස් වෙලඳපලේ ගොඩඒම තිබියදී වුවත් “එය දැන් ආපසු හැරෙමින් පවතියි” මුල්‍ය කඩාවැටීමට ප්‍රතිචාර ලෙස පාලක ප්‍රභූවන් විසින් ක්‍රියාවට දැමූ ප්‍රතිපත්ති, අභ්‍යන්තර පරස්පර විරෝධතා කිසිවක් විසඳාලීමට සමත්වූයේ නැත. අර්බුදය මැඩපැවැත්වීමටත්, තමන්ම ධනයෙන් ආඪ්‍ය වීමටත් මුල්‍ය කතිපයාධිකාරය යොදාගත් ක්‍රමවේදයන් ඒවායේ විපාක ලැබෙන දිනය පමාකලා පමනි.

14. ගෝලීය බිඳවැටීමේ කේන්ද්‍රයේ පවතින්නේ 1865 දී සිවිල් යුද්ධයේ අවසානයෙන් පසු සිය දැවැන්තම දේශපාලන අර්බුදයේ නිමග්න වී සිටින එක්සත් ජනපදයයි. ට්‍රම්ප් යනු ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ කුනුවීමෙහි දේශපාලනික වශයෙන් මාරක වූ ප්‍රකාශනය මිස අපායෙන් ආ යක්ෂයෙක් නොවේ. එජ සමාජවාදී සමානතා පක්ෂය නැවත නැවතත් අවධාරනය කල පරිදි ට්‍රම්ප් සහ ඔහුගේ දේශපාලන ප්‍රතිමල්ලවයන් අතර ගැටුම කේන්ද්‍ර වී ඇත්තේ ඇමරිකාවේ ගෝලීය අනසක ආරක්ෂා කරගැනීමේ හොඳම මාර්ගය කුමක්ද යන්න අරබයා පාලක ප්‍රභූවේ විවධ ප්‍රතිගාමී කන්ඩායම් අතර පවත්නා වෙනස්කම් තුල යි. ගැටුමෙහි කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී හෝ ප්‍රගතිශීලි පාර්ශවයක් නැත. ට්‍රම්ප් විසින් යෝජිත, නමුත් මෙතෙකුදු ක්‍රියාත්මක නොකල, සිරියාවෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත්කරගැනීම අරබයා ඩිමොක්‍රටිකයන් සහ රිපබ්ලිකානුවන් වෙතින් පලවන කොපාග්නියේ ආවේගය වොෂින්ටනය තුල දේශපාලන අර්බුදයේ ස්වභාවය හෙලිදරව් කරයි.

15. ඩිමොක්‍රටික් පක්ෂය විසින්, මුල්‍ය සහ ප්‍රධාන සංගත අවශ්‍යතාවයන්ගේ, මිලිටරි සහ බුද්ධි අංශ නියෝජනයන්ගේ, චීනය සමග නොවැලැක්විය හැකි ගැටුම සූදානම් කලයුත්තේ පලමුව යුරෝපයේ, යුරේසියාවේ සහ මැදපෙරදිග කලාපයේ ඇමරිකානු පාලනයට බාධකයක් ලෙස ගැනෙන රුසියාව ඉවත්කිරීමෙනැයි එත්තුගෙන සිටින විදේශ ප්‍රතිපත්ති සකසන ප්‍රමුඛ පාර්ශවයන්ගේ සන්ධානයක් නියෝජනය කරයි. පසුගිය වසර දෙක තුල, ඩිමොක්‍රටිකයන් ට්‍රම්ප්ට එරෙහි සිය විරෝධය කේන්ද්‍රගත කලේ “අසමගිය වැපිරීම” සඳහා රුසියානුවන් ඇමරිකානු දේශපාලනයට “ඇඟිලි ගසන” බවට චෝදනා කෙරෙන උමතු සගහත නව මැකාතියානු උද්ඝෝෂනයකිනි. මෙහි අරමුන රුසියාවේ පුටින් තන්ත්‍රයට එරෙහිව වඩා තදබල පියවර ඉල්ලා සිටීම පමනක් නොවන අතර ඇමරිකාව තුල විරුද්ධවාදී අදහස් සාපරාධීකරනය සඳහා වන සැලැස්මක් ස්ථාපිත කිරීමද වේ. ට්‍රම්ප් ආන්ඩුවට එරෙහිව මහජන විරෝධයක් ගොනුකරන කවර දෙයකින් වුව තැතිගන්නා සහ ඊට විරුද්ධ වන පාලක ප්‍රභූව තුල ට්‍රම්ප්ගේ විවේචකයින්ගේ ක්‍රමවේදයන් වන්නේ මාලිගා බලකොල්ලයේ කූඨ ප්‍රයෝගයන්ය.

16. ට්‍රම්ප් පරිපාලනය පැත්තෙන් ගත්කල, එය, චීනය සමඟ ගැටුමක් අවුලුවා ගැනීම කේන්ද්‍ර කරගත් “ඇමරිකාව පලමුව” යන තමගේම අධිරාජ්‍යවාදී මූලෝපාය ඉදිරියට ගෙන යයි. ට්‍රම්ප්ගේ හිටපු ප්‍රධාන ධවල මන්දිර මුලෝපායඥ ස්ටීව් බැනන් උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පැහැදිලි කලේ, ට්‍රම්ප් විසින් ඇමරිකාවට එරෙහි සුවිසල්ම විදේශීය තර්ජනය ලෙස දැකගන්නා චීනයට එරෙහිව ගෙනයන ආර්ථික සහ භූදේශපාලනික තරගය කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඔහුට “මෙම මිලිටරි ක්‍රියාකාරකම් (සිරියාව සහ ඇෆ්ගනිස්ථාන තුල) අවසන් කිරීමට අවශ්‍ය” බවයි. “මෙය ඒකලිතවාදය (පරිවර්තක: අනිත් රටවල දේශපාලනයට මැදිහත් නොවී සිටීම) කරා යලි හැරීමක් නොවේ”. බැනන් මහතා මෙසේ පැවසීය: “එය ජාත්‍යන්තරවාදීන්ගේ මානුෂීය කාර්ය සාධන මානසිකත්වයෙන් හැරී ගැනීමයි.”

17. ඇමරිකානු පාලක පන්තියේ සියලු ප්‍රධාන දේශපාලන කන්ඩායම්, මිලිටරි බලය යොදා ගනිමින් ඇමරිකානු ධනවාදයේ දිගු කාලීන ඛාදනයේ පාඩුව පිරිමසාගැනීම සඳහා වූ ලෝක ආධිපත්‍යයේ ප්‍රතිපත්තියකට බැඳී සිටිති. මැදපෙරදිග හා මධ්‍යම ආසියාව කේන්ද්‍ර කරගත් නිමක් නැති කලාපීය යුද්ධ සහ ආක්‍රමනයන්ගෙන් සමන්විත සියවස් කාර්තුවක්, ඇමරිකාව සහ චීනය සහ රුසියාව අතර පමනක් නොව, ඇමරිකාව සහ යුරෝපය අතර “මහ බලවත්” එදිරිවාදිකම් මගින් අභිභවනය කෙරී ඇත. මෙම ක්‍රියාවලියේදී, අධිරාජ්‍යවාදී ආසක්තයන් නග්නවම සාක්ෂාත් කරගැනීම සඳහා, “මානව හිමිකම්” සහ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ඇතුලු යුද්ධය සඳහා පෙර යොදාගත් සියලු සාධාරනිකරනයන් අත්හැර දැමෙමින් පවතිී.

18. යුරෝපීය අධිරාජ්‍ය බලවත්හු ඇතැම් විට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අන් රටවලට අතපෙවීමේ ක්‍රියාකාරකම් වලට සහ ඒකපාර්ශවවාදයට එරෙහිව ගෝලීය ස්ථාවරත්වයේ ආරක්ෂකයන් ලෙස තමන්වම පින්තාරු කරගැනීමේ උත්සාහයක යෙදී සිටිති. නමුත් සිය විලෝපික ආර්ථික සහ භූදේශපාලනික අරමුනු හඹායාමේදී ඔවුන්, නිර්දයභාවයෙන් ද, යුද්ධය ඇතුලු සියලු මාධ්‍යයන් ඒ සඳහා යොදාගැනීමේ අභාලාෂයන්ගෙන් ද අඩු නොවනු ඇත. ජර්මන් පාලක පන්තිය යලි මිලිටරිකරනය අරඹා ඇත. චාන්සලර් ඇන්ජෙලා මර්කල් වසර අවසාන කතාවේ ප්‍රකාශ කලේ එහි ගෝලීය අවශ්‍යතා හඹා යාමේදී ජර්මනිය වඩා ක්‍රියාශීලි භූමිකාවක් (හමුදාමය වශයෙන් ප්‍රචන්ඩ වීම යනාදිය) ඉටුකලයුතු බවයි. දෙවන ලෝක යුද සමයේදී නාසි ජර්මනිය සමඟ එකාබද්ධව ප්‍රන්සයේ ෆැසිස්ට්වාදී විචි තන්ත්‍රයට නායකත්වය දුන් මාර්ෂල් පෙටේන් පුනරුත්ථාපනය කිරීම සඳහා මැක්රෝන් දරන ප්‍රයත්නය, ප්‍රන්ස අධිරාජ්‍යවාදය සහ රටතුල අඥාදායකත්වය ප්‍රවර්ධනය කිරීම සමග අත්‍යන්තලෙස සම්බන්ධිතය.

19. ජර්මනිය තුල, Alternative fur Deutschland (ජර්මනිය සඳහා විකල්පය )(AFD) නමැති නව නාසි පක්ෂය සැලකිය යුතු දේශපාලන බලවේගයක් ලෙස ඉස්මතු වී ඇත්තේ රාජ්‍යයේ සහ ශාස්ත්‍රාලිකයේ ඉහල සහයෝගයක් සහිතවය. පසුගිය වසරේ ජර්මනියේ චෙම්නිස්ට් හි සහ පෝලන්තයේ වර්සෝ හි ෆැසිස්ට් පෙලපාලි දක්නා ලදී. ඉතාලියේ නව ෆැසිස්ට්වාදී ලේගා පක්ෂය සභාග ආන්ඩුවේ පාර්ශවකරුවෙකි. බ්‍රසීලයේ ෆැසිස්ට්වාදී ජයිර් බොල්සොනාරෝ එරට මිලිටරි ආඥාදායකත්වයෙන් පසු වඩාත් දක්ෂිනාංශික ආන්ඩුව මෙහෙයවයි. ඊස්රායලයේ බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුව ලෝකය පුරා අන්ත දක්ෂිනාංශික තන්ත්‍රයන් සහ පක්ෂ සමග සමීපස්ථ සබඳතා ඇතිකරගනිමින් සිටියි. මෙම සන්ධානයන් පෙන්වා දෙන්නේ ඊස්රායලය තුලම ෆැසිස්ට් බලවේගවල වර්ධනය වන ශක්තියයි. ඊස්රායල් පුවත්පතක් වන හඅරෙට්ස් හි දෙසැම්බර් 31 පලවූ කොලමක තීරු රචක මිචෙල් ස්ෆ්රාඞ් මෙසේ අනතුරු ඇඟවිය:

අප සත්‍යයට මුහුන දිය යුතුයි. යුදෙව්වන්ගේ කූ ක්ලක්ස් ක්ලෑන් ව්‍යාපාරයක් නැගඑන අයුරු අපි අත් දකින්නෙමු. ඇමරිකානු ප්‍රතිරූපය මෙන්ම එහි යුදෙව්වාදී අනුවාදය (ඊස්රායලය), ආගමික භක්ත්‍යෝන්මාදයෙන් සහ බෙදුම්වාදයෙන් දූෂිත උල්පත් වලින් දිය පානය කරති. වෙනසකට ඇත්තේ ඇමරිකානු කිතුනු සංකේතකරනය තම යුදෙව් තුල්‍යයෙන් විස්ථාපනය කිරීම පමනකි. සුදු වර්ගවාදය මෙන්ම යුදෙව් වර්ගවාදය ද පදනම් වන්නේ පලස්තීනයේ තම තුල්‍යය වන කලු ජාතිකයන්ට එරෙහිව භීතිය සහ ප්‍රචන්ඩත්වය පැතිරවීම මතයි.

20. යුදෙව් විරෝධවාදයේ යලි මතුවීම ඇතුලු අන්ත දක්ෂිනාංශික ෆැසිස්ට් ව්‍යාපාරවල වැඩීම, කම්කරු පන්තියට ඉමහත් අන්තරායක් මතුකරයි. ගැඹුරුවන ධනපති අර්බුදයේ මෙන්ම, පෙර නොවූ විරූ මට්ටම් වල සමාජ අසමානතාවය සහ ලෝක යුද්ධය සඳහා වන සූදානමේ කොන්දේසි යටතේ පාලක ප්‍රභූවන් විසින් 20 වන සියවසේ දරුනුම අපරාධ සඳහා වගකිවයුතු සියලු දේශපාලනික අශ්ලීලයන් පුනර්ජීවනය කරමින් සිටියි. ඊස්රායලය තුල ෆැසිස්ට්වාදය ශීඝ්‍රයෙන් වර්ධනය වේය යන කරුන -ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයට අයත් රටවලින් වැඩිම දුප්පතුන් අනුපාතයක් මෙහි සිටියි- මෙම දේශපාලන ව්‍යාධිය වර්ධනය වන්නේ ආන්තික අසමානතාවයේ සහ විශේෂයෙන්ම ධනවාදය සඳහා සමාජවාදී විකල්පයක් වෙනුවෙන් සටන්කරන ව්‍යාපාරයක් නොතිබෙන පරිසරයක බවට නිදර්ශනාත්මක ඔප්පු කිරීමකි.

21. ෆැසිස්ට්වාදය තවමත් එය 1930 ගනන්වල දී පැවතියාක් මෙන් මහජන ව්‍යාපාරයක් නොවේ. එහෙත් වර්ධනය වන අනතුර නොසලකාහැරීම දේශපාලනිකව වගකීම් විරහිත විය හැකිය. පාලක පන්තියේ කොටස් සහ රාජ්‍යයේ උදව් ඇතිව දක්ෂිනාංශික ව්‍යාපාරවලට ජනප්‍රියවාදී ලෙස ජනගහනයේ පුලුල් කොටසකගේ කලකිරීම සහ කෝපය ගසාකෑමට හැකිවී තිබේ. මෙම තත්වය යටතේ දක්ෂිනාංශයේ සහ ෆැසිස්ට්වාදී ව්‍යාපාරයන්ගේ පුනර්ජීවනයට එරෙහිව සටන හදිසි දේශපාලන කර්තව්‍යයක් වනු ඇත.

ෆැසිස්ට් වාදයට එරෙහි අරගලය සහ ඉතිහාසයේ පාඩම්

22. සියලු ඓතිහාසික අත්දැකීම්, විශේෂයෙන් 1930 ගනන්වල සිද්ධීන්, පැහැදිලි කරන්නේ ෆැසිස්ට්වාදයට එරෙහි සටන වර්ධනය කල හැක්කේ ධනවාදයට විරුද්ධව කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක පදනම යටතේ පමනක් බවයි. 1933 හිට්ලර්ගේ නාසීන් බලයට පැමිනීම යථාවක් වූයේ ජර්මානු කම්කරු පන්තියේ මහජන පක්ෂ දෙක වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ පාවාදීම් නිසා පමනි.

23. හිට්ලර්ගේ ජයග්‍රහනය, යුරෝපීය කම්කරු පන්තිය තුල කම්පනයක් සහ ධනේශ්වර විරෝධී සහ ෆැසිස්ට් විරෝධී සටන්කාමීත්වයේ දැවැන්ත වර්ධනයක් නිපැදවීය. නමුත් ප්‍රන්සයේ සහ ස්පාඤ්ඤයේ කම්කරු පන්තියේ මුල් ජයග්‍රහන දිරිසුන්බවෙන් සහ පරාජයෙන් අවසන් විය. මෙම පරාජයන්ගේ දේශපාලන උපකරනය වූයේ “මහජන පෙරමුනයි”. එනම් ස්ටැලින්වාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂත්, වෘත්තීය සමිතිත් ධනපතියන් සමග ඇතිකරගන්නා සන්ධානයයි. මෙම සන්ධානයේ නිශ්චිත පදනම වූයේ ෆැසිස්ට්වාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ව්‍යාජ කියාපෑම් වලින් කම්කරු පන්තියේ විප්ලවවාදී අභිලාෂයන්ට එරෙහිව ධනපති උවමනාවන් ආරක්ෂා කිරීමයි.

24. මේ වනවිට “වාම ජනතාවාදය” යන බැනරය යටතේ මහජන පෙරමුනු දේශපාලනයේ නව අනුවාදයක් පුනර්ජීවනය කෙරෙමින් තිබේ. ග්‍රීක සිරිසාවේ, ස්පාඤ්ඤයේ පොඩෙමොස් හි සහ ප්‍රන්සයේ ජීන් ලූක් මෙලන්චන්ගේ උපදේශිකාව වන ශන්තාල් මූෆ් මෙම “වාම ජනතාවාදයේ” ප්‍රමුඛ න්‍යායාචාර්යවරියකි.

“හදිසි අවශ්‍යතාවය වන්නේ වඩාත් ප්‍රජාතාන්ත්‍රීය හෙජමොනික සැකැස්මක් ස්ථාපිත කරගැනීම පිනිස, පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිරෝධයන්ගේ ප්‍රභේදයන් ඒකාබද්ධ කෙරුනු ‘ජනතාව’ ගේ සංයෝජනයක් ඉලක්ක කරගත් වාම ජනතාවාදී මූලෝපායක්” බව වාම ජනතාවාදය වෙනුවෙන් මූෆ් ලියයි. “එයට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී තන්ත්‍රයෙන් ‘විප්ලවවාදී’ වෙන්වීමක් අවශ්‍ය නොකෙරෙන බවට මම තර්ක කරමි”

25. කම්කරු පන්තිය ධනේශ්වරයටත් එහි රාජ්‍ය යන්ත්‍රයටත් යටත් කිරීමේ අර්ථභාරය ගැන 1936 දී ට්‍රොට්ස්කි මෙසේ පැහැදිලි කලේය.

කම්කරු පන්තියේ නායකයින් සහ ධනේශ්වරය අතර සන්ධානය, “සමූහාන්ඩුව” ආරක්ෂා කිරීමක් ලෙස වෙස්ගන්වනු ලැබේ. ස්පාඤ්ඤයේ අත්දැකීම් මෙම ආරක්ෂාකිරීම යනු සැබැවින්ම කුමක්දැයි පෙන්වාදෙයි. ”ප්‍රජාතන්ත්‍රවාදියා” යන පදය මෙන්ම “සමූහාන්ඩුවාදියා” යන පදයත් පන්ති ප්‍රතිවිරෝධතා යටගැසීම උදෙසා සේවය කරන දැනුවත් හොර වෙදකමකි. සමූහාන්ඩුව පෞද්ගලික දේපල මත යැපෙන තාක් ධනේශ්වරය සමූහාන්ඩුවාදීය. (ස්පාඤ්ඤයේ පාඩම්, 1936)

26. වාම ජනතාවාදය හුදෙක් 1930 ගනන්වල මහජන පෙරමුනු දේශපාලනයේ පුනරාවර්තනයක් නොවේ. මහජන පෙරමුනුවාදයේ දේශපාලනය හා නිශ්චිත සමානකම් දරන අතරම- විශේෂයෙන්ම ධනපතියන් කෙරෙහි එහි ගැතිකම- එයට කම්කරු පන්තිය සමග, දේශපාලනිකව කෙසේ වෙතත්, ඓතිහාසික සම්බන්ධයක් නැත. එය, මූෆ් ම පවසන පරිදි, ප්‍රාග්ධනයේ සහ ශ්‍රමයේ පරස්පර විරෝධයන්ට දේශපාලනය ලඝු කරන්නන් සහ සමාජවාදී විප්ලවයේ වාහකය ලෙස හඳුන්වමින් කම්කරු පන්තිය ට සද්භාවී වරප්‍රසාදයක් පවරන්නන්” නිශ්චිතවම ප්‍රතික්ෂේප කරයි. එනම් එය මාක්ස්වාදී දේශපාලනයේ සමස්ත පදනම ම ප්‍රතික්ෂේප කරයි.

27. මූෆ් ගේ සහ ව්‍යාජ-වමේ දේශපාලනය විසින්, මාක්ස්වාදයට සහ සමාජවාදයට එරෙහිව, අපැහැදිලි, ක්‍රියාමාර්ගික වශයෙන් අර්ථ නොදැක්වෙන ඉහත ආකාරයේ අධි-පන්තියක් සහ ජාතිකවාදී ව්‍යාපාරයක් වෙනුවෙන් කතා කරති. මූෆ් පැහැදිලිව සඳහන් කරන පරිදි වාම ජනතාවාදී ව්‍යාපාරය එය සමාජවාදී ලෙස අනන්‍ය කර ගන්නේ හෝ ධනපති රාජ්‍යයට විරුද්ධව අරගලයකට කැඳවුම් කරන්නේ හෝ නැත. එය සිරිසාව ග්‍රීසියේදීත්, පොදෙමොස් ස්පාඤ්ඤයේදීත් කර ඇති පරිදි අන්ත දක්ෂිනාංශය සමග සම්මුතිය සහ සහයෝගිතාවය සඳහා හේතු සොයාගැනීමේ ඉඩකඩ ගැන සිහින දකියි. කම්කරු පන්තිය සමාජවාදී ව්‍යාපාරයට දිනාගැනීමේ සටනට එරෙහි වන වාම ජනතාවාදය සහ ව්‍යාජ වම, මිත්‍යාවන් සහ වෙනත් අතාර්කික දේශපාලන රූපාකාරයන් උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් දේශනා කරයි.

28. වාම ජනතාවාදය යනු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ න්‍යායාචාර්යයන් විසින් කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව පිලිබඳ දිරිසුන් ප්‍රතික්ෂේප කිරීම තුල සහ වෛෂයික සත්‍යය සහ විප්ලවවාදී පන්ති අරගලයේ මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී “මහා ආඛ්‍යානය” පිලිබඳ පශ්චාත් නූතනවාදී ප්‍රතික්ෂේප කිරීම තුල එහි න්‍යායික මූලයන් තිබෙන්නා වූ ව්‍යාජ වමේ දේශපාලනයේ එක් ප්‍රකාශනයකි. ජාතිය, ලිංග භේදය, ලිංගික අනන්‍යතාව සහ “ජනතාව” ඉස්මතුකර දැක්වීම මත පදනම් වන ව්‍යාජ වාම දේශපාලනය, “සියයට 99යේ පක්ෂය” වැනි ව්‍යාජ වාම වාග් ශෛලීන් සහ සටන්පාඨ අස්සේ සැඟවුනු, ජනගහනයෙන් ඉහලම සියයට 10 වන මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත තට්ටුවක දේශපාලනයයි.

29. ඉහල නගින කොටස් වෙලඳපල සහ ධනවත්ම සියයට 10 අත විශ්මයජනක ලෙස වත්කම් සංකේන්ද්‍රනය සමඟ බැඳී පවත්නා මෙම ස්ථරය සහ එහි ජීවන ස්වරූපය දැවැන්ත වැඩකරන ජනකායන්ගේ අවශ්‍යතාවන්ගෙන් මුලුමනින්ම වෙන් වී පවතියි. පලමුවන ලෝක යුද්ධයට පූර්ව සාමය සිහිගන්වමින් ශාස්ත්‍රාලිකයේ සැලකිය යුතු කොටසක් අධිරාජ්‍යවාදයට සහ වාරනයට තමන්ගේ සහයෝගය පලකරමින් තියුනු ලෙස දක්ෂිනාංශයට මාරු වී ඇත. ව්‍යාජ වාම සංවිධානයන් අධිරාජ්‍යවාදී යුද්ධයට දක්වන සහයෝගය තුල මෙය විශේෂයෙන් ප්‍රකාශයට පත්වේ. (එනම් සිරියාවේ සහ ලිබියාවේ අතපෙවීම්, “මානව හිමිකම්” ඔස්සේ කෙරෙන මැදිහත් වීම් සඳහා සහය, රුසියානු විරෝධී භීතිකාව ආදියේදී)

30. ව්‍යාජ වමේ ව්‍යාපාර විසින් තොරොම්බල් කරන වාර්ගික, ලිංග භේද සහ ලිංගික අනන්‍යතා දේශපාලනය බැඳී පවතින්නේ ධනය බෙදීයාම සහ සංගත, විශ්වවිද්‍යාල, වෘත්තීය සමිති සහ රාජ්‍ය යාන්ත්‍රනය තුල තනතුරු වලට පැනගැනීම ආදිය අරබයා ඉහලම සියයට 10 අතර පවත්නා ගැටීම සමගිනි. අනන්‍යතා දේශපාලනයේ සන්නද්ධ වීම “ප්‍රතිගාමී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී “#මී ටූ” ව්‍යාපාරය සහ උදාහරනයක් ලෙස ජුලියන් අසාන්ජ් දන්ඩනයට ලක්කිරීමට දක්වන සහය තුල මෙම දේශපාලනය එහි දුෂ්ටතම ප්‍රකාශනය අත්පත් කරගෙන ඇත.” එය, ධනය සහ තරාතිරම ආරක්ෂා කරගැනීමේ මාධ්‍යයක් පමනක්ම නොවේ; ඉතා සමෘද්ධිමත් මධ්‍යම පන්තියේ සැලකිය යුතු තට්ටුවක් (ඉහල සියයට 90 සිට 99 දක්වා) පාලක ප්‍රභූව සමඟ පවත්නා පෙලගැස්ම පිලිබිඹු කරන ධනේශ්වර-අධිරාජ්‍යවාදී දේශපාලනයේ නිශ්චිත සංරචකයකි. අනිවාර්යයෙන්ම මෙම නියමයෙන් බැහැරවීම් විද්‍යමාන වීමට නියමිතය. සමාජ ඝට්ටනයන් තියුනු වන කාල පරිච්ඡේදයකදී තමන්ගේ මධ්‍යම පන්තික වටපිටාවෙන් බිඳී සැලකියයුතු පුද්ගලික කැපවීමකින් සහ ධෛර්යයකින් විප්ලවවාදී සමාජවාදී පක්ෂයට සහයෝගය දෙනු ඇත. නමුත් දේශපාලන මූලෝපාය මෙවැනි “තම පන්තියට ද්‍රෝහීවූවන්” ආදී සුවිශේෂී පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් මත පදනම් කල නොහැකිය. එසේ ව්‍යාජ වම, සියයට 90 සිට 99 දක්වා ආදායම් හිමි ධනවත් රටවැසියන්ගේ පන්තිමය සහ ආර්ථිකමය අවශ්‍යතාවයන් පහල සියයට 90 සමඟ එකට ගලතා සමානකර කියාපෑම දේශපාලනිකව වංචාවකට අතගැසීමකි. “සියයට 99යේ පක්ෂය” යනු නොතකා හැරිය නොහැකි කම්කරු පන්තික ජනකායේ අවශ්‍යතා ධනපති ප්‍රභූවේ ආර්ථික හා සමාජ අවශ්‍යතාවයන්ට යටත් කිරීම සඳහා වන දේශපාලන සංවිධානයකට වැඩි යමක් නොවේ.

31. මධ්‍යම පන්තියේ වඩා සමෘද්ධිමත් කොටස් දකුනට තල්ලු වෙද්දී එහි පහල ස්ථරය වමට තල්ලු වෙයි. ප්‍රන්සයේ කහ බැනියම් ව්‍යාපාරය ඊට බලවේගයන් ආකර්ශනය කරගත්තේ කම්කරු පන්තියෙන් පමනක් නොවන අතර කුඩා ව්‍යාපාරිකයන් සහ ගොවීන්ද ඒ අතර විය. කලින්ම කිවහැකි පරිදි ප්‍රන්සයේ වෘත්තීය සමිති සහ සමෘද්ධිමත් ව්‍යාජ වම (නව ධනපති විරෝධී පක්ෂයේ ඇලන් ක්‍රිවින් සහ නොනැමෙන ප්‍රන්සය පක්ෂයේ ජින් ලූක් මෙලන්චන් ආදීන්) කහ බැනියම් විරෝධතාවය තුල මධ්‍යම පන්තියේ කොටස් පෙනීසිටීම තදින්ම ඩැහැගත්තේ ඊට “ෆැසිස්ට්වාදී” යැයි අවලාද නැගීමටයි. එහෙත් මධ්‍යම පන්තියේ එම කොටස් කම්කරු පන්තිය වෙත ආකර්ශනය වීම සහ සමාජ අසමානතාවයේ ගැටලු අරබයා විරෝධතා දැක්වීම දැවැන්ත අර්ථභාරයක් සහිත ධනාත්මක වර්ධනයකි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ වර්ධනය වන සමාජ ව්‍යාපාරයේ මෙම අවධියේදී මධ්‍යම පන්තියේ වැදගත් කොටස් ධනවාදයට විරුද්ධව කම්කරු පන්තිය සමඟ පෙලගැසීමට සූදානමින් සිටින බවයි.

32. මෙනයින් ගත්කල, මෙම සටනේදී නායකත්වය සැපයීමට තමන්ට පවතින හැකියාව පෙන්වාදීම කම්කරු පන්තියේ හදිසි කර්තව්‍යයයි. ආදායම අනුව පුලුල් පරාසයක පැතිරෙන කන්ඩායම් වලින් සමන්විත විවිධ ස්ථරයන්ගෙන් වැඩකරන ජනගහනය සකස්වී ඇති සංකීර්න සහ සමාජීයව විවිධාකාර සමාජයක මෙම පුලුල් සමාජ බලවේගයන් ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය දැවැන්ත දේශපාලන කර්තව්‍යයකි. මෙම කර්තව්‍යය සාර්ථකව සම්පූර්න කල හැක්කේ කම්කරු පන්තිය පැහැදිලි සහ සම්මුති විරහිත ධනේශ්වර විරෝධී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමෙන් පමනි. මෙම පදනම යටතේ එයට තමන් වෙත දිනාගත හැකිවන්නේ සියලු දියුනු ධනපති සමාජයන් හි කම්කරු පන්තික ජනකායේ වැදගත් කොටසක් අඩංගු කරගන්නා වෘත්තිකයන්ගේ විශාල සමෘද්ධිමත් ස්ථරයක් පමනක් නොවන අතර කතිපයාධිකාරී ධනපති ක්‍රමයෙන් පීඩාවට ලක්වී සිටින මධ්‍යම පන්තියේ ස්ථරයන්ද ඊට ඇතුලත්ය. මධ්‍යම පන්තියේ සමාජ මනෝ විද්‍යාව ගැන, මෙම ස්ථරය අදට වඩා සුපැහැදිලිව වෙන් වී පෙනෙන “කම්කරු පන්තික නොවන කොටස්වලින් සමන්විතව තිබූ මීට වසර 80කට පෙරදී ට්‍රොට්ස්කි විසින් කල විශ්ලේශනය මහත් අදාලත්වයක් උසුලයි:

එලඹෙන සමයේදී දේශපාලන වර්ධනය උද්‍යෝගී රිද්මයකින් චලනය වනු ඇත. සුලු ධනේශ්වරය ෆැසිස්ට්වාදයේ ජනප්‍රියවාදී පාලනය ප්‍රතික්ෂේප කරනු ඇත්තේ එය වෙනත් මාවතක යථාර්තවත් භාවය කෙරෙහි විශ්වාසය තබන්නේ නම් පමනි. එම වෙනත් මාවත නිර්ධන පන්ති විප්ලවයේ මාවතයි.

සුලු ධනේශ්වරය තමන්ගේ පැත්තට ගැනීමට නිර්ධන පන්තිය එහි විශ්වාසය දිනාගත යුතුය. එමෙන්ම ඒ සඳහා එයට තමාගේම ශක්තිය පිලිබඳ විශ්වාසයක් තිබිය යුතුය.

එයට ක්‍රියාකාරීත්වයේ පැහැදිලි වැඩපිලිවෙලක් තිබිය යුතු අතර හැකි සෑම මාර්ගයකින්ම බලය සඳහා අරගල කිරීමට සූදානමින් සිටිය යුතුය. [ප්‍රන්සය කොයිබටද? 1934 ]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී විප්ලවයේ මුලෝපාය

33. කම්කරු පන්තිය ඉදිරියේ ඇති විකල්පයන් වන්නේ “ප්‍රතිසංස්කරනයද විප්ලවයද” යන්න නොවේ, එය “විප්ලවයද ප්‍රතිවිප්ලවයද” යන්නයි. ධනපති පද්ධතියේ මරලතෝනිය විසඳාලන්නේ කෙසේද යන්න “ආඥාදායකත්වය, ෆැසිස්ට්වාදය, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ම්ලේච්ඡත්වයට කඩාවැටීමෙන්ද, ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදීව බලය අල්ලාගෙන සමාජවාදී සමාජයකට පරිවර්තනය වීමෙන්ද -තීරනය වනු ඇත්තේ ලෝක පරිමානව පන්ති අරගලයේ ප්‍රතිඵලයෙනි. මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය තුල ප්‍රථමයෙන්ම විස්ථාරනය කල ඓතිහාසික ඉදිරිදර්ශනය තියුනු යථාර්තවත් භාවයක් අත්පත් කරගෙන තිබේ. ධනපති ප්‍රභූව සහ කම්කරු පන්තිය අතර තීව්‍ර වන ඝට්ටනය අවසන් වනු ඇත්තේ - සමාජය සමස්තයක් ලෙස විප්ලවවාදීව ප්‍රතිස්තාපනයෙන් හෝ සටන් වැද සිටින පන්ති දෙකේ පොදු විනාශයෙනි.”

34. පසුගිය 40 වසර සලකුනු වූයේ කම්කරු පන්තියේ සමාජීය සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මත අනවරත ප්‍රහාරයකිනි. ප්‍රහාරයට සහය දුන්නේ සහ අනුබල දුන්නේ කලක් කම්කරු පන්තිය සහයෝගය ලබාදුන් සංවිධානයන්මය - විශේෂයෙන් වෘත්තිය සමිති.

35. සමාජ ප්‍රතිවිප්ලවයේ දශක ගනනක කාලපරිච්ඡේදය, කෙසේවුවත්, දැන් මහජන විරෝධයක අභිමුව සිටියි. පසුගිය වසරේ වර්ධනය වූ අරගල කම්කරු පන්තියේ සමාජීය සහ දේශපාලනික දිශානතියේ වැදගත් වෙනස්කමක වෛෂයික දර්ශකයකි. තවමත් ආරම්භක අදියරයන් හි පැවතියත්, දෘඩතර අරගලයකට මහෝපකාරී වන සටන්කාමි මනෝගතියක් වේගයෙන් පැතිරෙමින් පවතියි. අනිවාර්යයෙන්ම මෙම මනෝගතිය ධනවාදයට එරෙහි සහ සමාජවාදය සඳහා වන විවෘත අරගලයක ස්වභාවයකට පත්වීමට බොහෝ දෘෂ්ටිවාදාත්මක සහ දේශපාලනික ගැටලු විසඳාලීමට ඉතිරිවී ඇත. එහෙත් කම්කරු පන්තියේ පුලුල් කොටස් සෘජු අරගලය මඟහැර යා නොහැකිය යන අවබෝධයට පැමිනෙමින් සිටියි. තවද, 2018 වසරේ අරගල නිල, රාජ්‍ය අනුග්‍රහ ලත් වෘත්තීය සමිතිවල පාලනයට පිටින් හටගත්තේය යන කරුන මෙම ප්‍රතිගාමී සංවිධාන කෙරෙහි කම්කරු පන්තිය අතර ඇති විශ්වාසයෙහි තීරනාත්මක ගිලිහීයාමක් ප්‍රදර්ශනය කරයි. හජාජාක අපේක්ෂා කරන පරිදි සමාජ සමානතාවය සඳහා සටන සහ ලෝක සමාජවාදය මෙම අපකීර්තිමත්, ධනේශ්වර ගැති යාන්ත්‍රනයන්ට එරෙහිව ගෝලීය තලයේ කැරැල්ලක ආරම්භක ස්වරූපය ගනු ඇත.

36. ජාතික සහ සියල්ලටමත් වඩා ජාත්‍යන්තර, පුලුල් සහ අන්තර්ඡේදිත සාධක සංකීර්නයක බලපෑමට හසුවන සිද්ධීන්ගේ නියාම ලෙස සමපේක්ෂනය කිරීම උගහටය. කෙසේ වුවත් නිශ්චිතව පෙරදැකිය හැක්කේ කම්කරු පන්තියේ සටන්කාමී අරගලවල නැග්ම 2019දීත් අඛන්ඩව පවතිනු ඇති බවයි. නමුත් මෙම තීව්‍ර වන සමාජ සටන්කාමිත්වය සමාජවාදය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සවිඤ්ඤානික ව්‍යාපාරයක් කරා පරිවර්තනය වීම රැඳී පවතින්නේ කම්කරු පන්තියේ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂ, එනම් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාතික ශාඛා, ගොඩනැගීම මතය.

37. හජාජාක, ස්ටැලින්වාදීන් විසින් රුසියානු විප්ලවය හා සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවාදීමට එරෙහි ව මාක්ස්වාදය සඳහා අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ලියොන් ට්‍රොට්ස්කි විසින් හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ 80වන සංවත්සරය 2018 දී සැමරී ය. ශ්‍රී ලංකාවේ, එක්සත් ජනපදය පුරා, යුරෝපයේ සහ ඕස්ටේ්‍රලියාව හා නවසීලන්තයේ පැවති රැස්වීම්වල දී ප්‍රශ්නයකට පිලිතුරු සැපයුනි: හතරවන ජාත්‍යන්තරය ඓතිහාසික ව නොනැසී පැවැත්මට හේතුව කුමක් ද? අන් සියල්ටමත් වඩා එයට හේතු වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය යුගයේ වෛෂයික ස්වභාවයට අනුරූපී වීම යි.

38. ස්ටැලින්වාදයේ හා එහි මාඕවාදී ප්‍රභේදයේ සිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදය ද කස්ත්‍රෝවාදය වැනි සුලුධනේශ්වර ව්‍යාපාර ද දක්වා දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේ දේශපාලන ආනුභාවය දැරූ සියලු ජාතිකවාදී සංවිධාන හා පක්ෂ, එක්කෝ බිඳවැටී හෝ නැතහොත් ධනේශ්වර පාලනයේ ප්‍රධාන උපකරන බවට පර්වර්තනය වී ඇත. චීන තන්ත්‍රය ගත් කල, පසුගිය දශක හතර පුරා සිදු වූ චීනයේ යෝධ ආර්ථික වර්ධනය නො තකා කල්පසු වූ වර්ධනයක් සහිත රටවල ඓතිහාසික ගැටලු විසඳීමට එය අසමත් ව ඇත. අධිරාජ්‍යවාදී වටකිරීමේ යථාර්ථයට තවමත් මුහුන දෙන චීන කම්කරු පන්තිය හා ගම්බද ජනයා, එක්සත් ජනපදය හා එහි සහකරුවන් විසින් එල්ල කරන ව්‍යසනීය ප්‍රහාරයක තර්ජනයට මුහුන දී සිටිති. ලෝක ධනවාදයේ ප්‍රධාන මුක්කුවක් වන මාඕවාදී කොමියුනිස්ට් පක්ෂ යාන්ත්‍රනය, අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද න්‍යාය පත්‍රයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියට කිසිදු විශ්වාසවන්ත ආයාචනයක් කිරීමට අසමත් ය.

39. ධනවාදය පුනස්ථාපනය කිරීමේ විපාකවලට එරෙහිව තම විරෝධය ඇඟවුම් කිරීම සඳහා පසුගිය වසර තුල චීන කම්කරු පන්තිය වැඩ වර්ජනය කරා යොමු වී ඇත. මෙම අරගලයන් තරුන ශිෂ්‍ය කන්ඩායම්වල සහයෝගය දිනාගෙන තිබේ. චීනය තුල - එමෙන් ම, පසුගිය දශක හතර තුල කම්කරු පන්තියේ යෝධ වර්ධනයක් දැකගෙන ඇති ආසියාවේ, මැද පෙරදිග, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ සියලු රටවල- සමාජ අරගලයන්ගේ ප්‍රසාරනය ට්‍රොට්ස්කිවාදය කෙරෙහි උනන්දුවක් හා සහයෝගයක් පුනර්ජීවනය කිරීම අනිවාර්ය ය. පසුගිය ශතවර්ෂයේ ඓතිහාසික අත්දැකීම්වලට නො අඩුව වර්තමාන ලෝකය තුල පවතින කොන්දේසි ලියොන් ට්‍රොට්ස්කි විසින් විස්තාරනය කරන ලද නොනවතින විප්ලව න්‍යායේ අත්‍යවශ්‍ය මූලධර්මයන් සනාථ කරයි:

ජාතික සීමාවන් තුල සමාජවාදී විප්ලවය සම්පූර්න කිරීම සිතීමට වත් නො හැකි ය. ධනේශ්වර සමාජයේ අර්බුදයට එක් මූලික හේතුවක් වන්නේ එය විසින් නිර්මිත නිෂ්පාදන බලවේග තවදුරටත් ජාතික රාජ්‍ය රාමුව සමග සමහන් කල නො හැකි වීම යි. මෙයින් එක් අතකින් අධිරාජ්‍යවාදී යුද්ධයන් ද අනෙක් අතින් යුරෝපීය ධනේශ්වර එක්සත් ජනපදයක් පිලිබඳ මනෝරාජ්‍යය ද ගලා එයි. ජාතික තලයේ ආරම්භ වන සමාජවාදී විප්ලවය ජාත්‍යන්තර තලයේ දිගහැරී ලෝක තලයේ සම්පූර්න කෙරේ. මේ අනුව, වචනයේ නව හා පලල් අරුතකින් සමාජවාදී විප්ලවය නොනවතින විප්ලවයක් බවට පත් වේ; එය පරිපූර්නත්වය කරා එලඹෙන්නේ අපගේ සමස්ත ග්‍රහලෝකය මත නව සමාජයේ අවසාන ජයග්‍රහනයත් සමගිනි. (නොනවතින විප්ලවය යනු කුමක් ද? 1931)

40. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනාශ කොට හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය හා ධනේශ්වර ජාතිකවාදය තුලට දියකර හැරීමට උත්සාහ දැරූ පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාවට විරුද්ධ ව සමාජවාදී කම්කරු පක්ෂයේ නායක ජේම්ස් පී. කැනන් විසින් නිකුත් කල “විවෘත ලිපියෙන්” ඉක්බිති ව 1953 දී ජාත්‍යන්තර කමිටුව ගොඩනගන ලද්දේ මෙම ඉදිරිදර්ශනය ආරක්ෂා කිරීමට යි. අපෝහක හා ඓතිහාසික භෞතිකවාදී න්‍යාය ට එරෙහි තත්කාර්යවාදය හා එහි විවිධාකාර ආත්මීය විඥානවාදී සහ අතාර්කිකවාදී අංකුරයන්ට (ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදය වැනි) සහ ස්ටැලින්වාදය, පැබ්ලෝවාදී සංශෝධනවාදය (හා එහි මොරිනෝවාදී ප්‍රභේදය) ධනේශ්වර ජාතිකවාදයේ සකලාකාර රූපයන්ට සම්මුති විරහිත ව විරුද්ධ වීම ඇතුලු සුවිශාල වපසරියක් පුරා ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමය ආරක්ෂා කිරීමේ සටන සිදු වී ඇත. හජාජාක ඉතිහාසයේ තීරනාත්මක සැතපුම් කනුව වන්නේ, ට්‍රොට්ස්කිවාදයේ පදනම මත ජාත්‍යන්තර කමිටු ශාඛාවන් ඒකාබද්ධ කරමින් 1982 හා 1986 අතර සමයේ බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාතික අවස්ථාවාදයට විරුද්ධ ව ගෙනගිය අරගලය යි.

41. හජාජාක අරගලය දිගහැරුනේ න්‍යාය හා ක්‍රියාමාර්ගය පිලිබඳ ක්ෂේත්‍රයේ පමනක් නො වේ. ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය නමැති 1975 හා 1983 අතර පැවැත්වූ අධිරාජ්‍යවාදයේ හා සෝවියට් ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ ඒජන්තයින් දිගේලි කිරීම පිලිබඳ විමර්ශනය ජාත්‍යන්තර කමිටුවේ නොනැමෙනසුලු භාවය භාවිතය ක්ෂේත්‍රයේ දී ප්‍රදර්ශනය කලේ ය. මාක් ස්බොරොව්ස්කි, සිල්වියා කෝල්ඞ්වෙල් හා ජෝසෆ් හැන්සන් වැනි ට්‍රොට්ස්කිගේ ඝාතනය සූදානම් කිරීමේ දී තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටුකල ඒජන්තයින් ව විවෘත ව ආරක්ෂා කල පැබ්ලෝවාදී සංවිධානවල කටුක විරෝධය මධ්‍යයේ මෙම විමර්ශනය පවත්වනු ලැබී ය. අද දින දක්වා ම මෙම ඒජන්තයින් ව ආරක්ෂා කරන පැබ්ලෝවාදියෝ හා ඔවුන්ගේ ව්‍යාජ-වාම සහකරුවෝ ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය අතිශය සැරපරුෂ යෙදුම්වලින් හෙලාදකිති. එහෙත් විමර්ශනයේ දී තහවුරු කල එකම කරුනක් වත් ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් අසමත් ය. පසුගිය වසර පහක කාලය තුල ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ සොයාගැනීම් වැඩිදුර තහවුරු කරන ලේඛන ඉස්මතු වී ඇත. ජාත්‍යන්තර කමිටුව මෙම නව තොරතුරු එහි පූර්ව සොයාගැනීම්වලට අන්තර්ගත කරගෙන තිබේ. කම්කරු පන්තිය හා එහි ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත එල්ල කරන ඉහල යන ප්‍රහාරවල කොන්දේසි යටතේ ආරක්ෂාව හා හතරවන ජාත්‍යන්තරය විමර්ශනයේ සොයාගැනීම් නව ඓතිහාසික හා දේශපාලන අර්ථභාරයක් අත්පත් කරගනී.

42. ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීමේ දී හජාජාක විසින් දියත් කල අරගලයේ ඓතිහාසික හා දේශපාලන අර්ථභාරය සිද්ධීන් විසින් දැන් ප්‍රදර්ශනය කරනු ලැබේ. න්‍යායයේ දී හා භාවිතයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකම විප්ලවවාදී දේශපාලන පක්ෂය හා අව්‍යාජ මාක්ස්වාදයේ එකම නියෝජිතයා තමන් බව හජාජාක තහවුරු කර ඇත. 1938 දී ට්‍රොට්ස්කි විසින් ආරම්භ කල ජාත්‍යන්තර පක්ෂයේ අඛන්ඩතාව නියෝජනය කරන්නේ තමන් බව සත්‍ය වසයෙන් ප්‍රකාශ කල හැකි එකම දේශපාලන ප්‍රවනතාවක් වත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් පිටත නැත.

43. රුසියානු විප්ලවයේ ඉතිහාසය මුසාකරනය කිරීමට දරන සියලු ප්‍රයත්නයන්ට විරුද්ධ වත් ගනන් නැති මඩගැසීම් හා ප්‍රහාරයන්ට විරුද්ධ ව ලියොන් ට්‍රොට්ස්කිගේ බුද්ධිමය හා දේශපාලන උරුමය ආරක්ෂා කිරීමටත් හජාජාක විසින් නොනවතින උද්ඝෝෂනයක් දියත් කර ඇත. රුසියානු විප්ලවයේ ශතසංවත්සරය සලකුනු කිරීම සඳහා එහි යෝධ මූලෝපායික පාඩම් අධ්‍යයනයක් 2017 දී හජාජාක විසින් කලේ ය. මෙම පාඩම් අද්‍යතන දේශපාලන තත්ත්වය තුලට ගෙන එනු ලැබෙමින් තිබේ.

44. කම්කරුවන්ගේ අරගලවල තර්කනය ධනපති-ගැති නිලධාරී තාන්ත්‍රික යාන්ත්‍රනයන්ට එරෙහි කැරැල්ලක් බවත් සංගත-හිතැති වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වගකීම භාරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරන සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොලවල් තුල නව සංවිධාන ගොඩනැගීම අවශ්‍ය බවත් තහවුරු කරමින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වන අරගලයට හජාජාක නායකත්වය දෙයි. 2018 අවසන් සතිවල එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් හා ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් රැකියා, වැටුප් හා කොන්දේසි ආරක්ෂා කරගැනීම සැලසුම් කිරීම සඳහා පුරෝගාමී පියවර තබමින් හජාජාක බලපෑම යටතේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගූ හ. 2019 දී මෙම වැඩකටයුතු දිගට ම කරගෙන යමින් ප්‍රසාරනය කරනු ඇත. කම්කරු පන්තියේ ස්වාධීන හා සම්මුති විරහිත අරගල, එසේ නො වුවහොත් අන්ත දක්ෂිනාංශයේ වාචාලත්වය පිටුපසට ගාල් කර ගැනෙනු ඇති විනාශ වූ මධ්‍යම පන්තික කොටස්වල විශ්වාසය හා සහයෝගය දිනාගනු ඇත. ආර්ථික හා දේශපාලන අර්බුදවල බලපෑම කම්කරු පන්තියේ පලල් කොටස් අරගලයට ඇද ගනිද්දී එක්සත් ජනපදයේ ද ශ්‍රී ලංකාවේ ද ඒවා ක්‍රියාකාරී වන සියලු රටවල ද සමාජවාදී සමානතා පක්ෂවල කර්තව්‍යය වන්නේ මහජන ව්‍යාපාරයට සංවිධානාත්මක හා දේශපාලනික දිශානතිය සම්පාදනය කිරීම යි. කම්කරු පන්තියේ සියලු කොටස් බලය සඳහා සටනකට කැඳවන මහා දේශපාලනික වර්ජනයක් කෙරෙහි වන වෛෂයික ගාමකය, හජාජාක හා එහි ශාඛා විසින් සවිඥානික ව හඳුනාගෙන විස්තර කරදිය යුතු ය.

45. දෙසැම්බර් 9දා ඩිට්‍රොයිට්හි පැවති සාමාන්‍ය කම්කරුවන්ගේ සමුලුවේ දී සමාජවාදී සමානතා පක්ෂයේ නියෝජිතයන්ගෙන් තීරනාත්මක ප්‍රශ්න දෙකක් විමසනු ලැබී ය: 1) අරගලයේ නිරත කම්කරුවන්ගේ සියලු කොටස් අතර සන්නිවේදනය පහසු කිරීමේ උපකරනයක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය ක්‍රියාත්මක වනවා ද; 2) කම්කරුවන්ගේ අරගල ජාත්‍යන්තර ව සම්බන්ධීකරනය කිරීමට ලෝසවෙඅ සහයෝගය දෙනවා ද? ප්‍රශ්න දෙකට ම දුන් පැහැදිලි පිලිතුර වූයේ “ඔව්” යන්න යි. හජාජාක අන්තර්ජාල ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩ වඩා කැරලිකාරී හා සටන්කාමී වන ව්‍යාපාරයට ඓතිහාසික අධ්‍යාපනය, දේශපාලන විශ්ලේෂනය සහ හඬක් හා මාධ්‍යයක් සම්පාදනය කරනු ඇත. අන්තර්ජාල වාරනයට එරෙහි සටනේ දීත් විකිලීක්ස් ආරම්භක ජූලියන් සහ හිංසාවට ලක්කරනු ලබන අනෙකුත් ජනමාධ්‍යවේදීන්, හිටපු භටයන්, කලාකරුවන් හා පාලක පන්තිය මූලධර්මාත්මක ව විවේචනයට ලක් කරන්නන් ආරක්ෂා කිරීමේ දීත් ලෝසවෙඅ දිගට ම පෙරමුනේ සිටිනු ඇත.

46.2019 වසරේ වඩාත් ම තීරනාත්මක කර්තව්‍යය වන්නේ ජාත්‍යන්තර කමිටුවේ අර්ථභාරී ප්‍රසාරනයක් සඳහා ක්‍රමානුකූල ව වැඩකිරීම යි. අන් කවරදාටත් වඩා ඍජු ලෙස, ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික හා දේශපාලනික වැඩකටයුතු කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරය සමග අන්තර්ඡේදනය වෙමින් තිබේ. එහි තීරනාත්මක-ප්‍රායෝගික විප්ලවවාදී ක්‍රියාකාරීත්වය, විප්ලවීය පන්ති අරගලයේ වර්ධනය හා ප්‍රතිඵලය තීරනය කිරීමේ දී අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වෙමින් තිබේ. හජාජාක න්‍යායික ව හා ඓතිහාසික ව දැනුවත් විශ්ලේෂනය යෝධ දේශපාලනික හා ප්‍රායෝගික වැදගත්කමක් අත්පත් කරගනිමින් සිටී. මෙම නව තත්ත්වය විසින් මුනගස්වන අභියෝගයට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මුහුන දිය යුතු ය. ලෝක වර්ධනයන් පිලිබඳ එහි විශ්ලේෂනය තුලින් ද සමාජවාදී සමානතා පක්ෂවල හා ඒවායේ තරුන ව්‍යාපාර වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝහි (සසජාතශි) ක්‍රියාකාරිකයන්ගේ දේශපාලන වැඩකටයුතු හරහා ද සමාජවාදය සඳහා අරගලය ඉදිරියට ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික ආරම්භකත්වයන් වර්ධනය කිරීමට සහයෝගය දීම හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගලවලට අවශ්‍ය සවිඥානිකත්වය ලබාදීම කල යුතු ය.

47. යල්පිනූ හා ප්‍රතිගාමී ජාතිකවාදී සංවිධානවලින් හා වෘත්තීය සමිතිවලින් ද ඔවුන්ගේ ව්‍යාජ-වාම සහකරුවන්ගෙන් ද කම්කරු පන්තිය බිඳී වෙන්වෙද්දී ජාත්‍යන්තරවාදී විප්ලවීය මාක්ස්වාදී විඥානයකට හා භාවිතාවකට ක්ෂනික ව වර්ධනය විය හැකි වීමේ විභවයක් තිබේ. 21වන සියවසේ මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ උරුමය හා ක්‍රියාමාර්ගය සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ධාරිතාවන් පිලිබඳ විද්‍යාත්මක විශ්වාසයක පදනම මත ඉහල ම සුභවාදය සමගින් හජාජාක 2019 වසරට ඇතුලු වේ.

ජේම්ස් කොගාන්, ජෝසෆ් කිෂෝර් හා ඩේවිඩ් නෝර්ත්

Share this article: