ජනාධිපති අපේක්ෂකයන් පිලිබඳ ධනපති මාධ්‍ය සමපේක්ෂනයන්හි සැබෑ අරමුනු

2019 ජනවාරි 23

මෙම වසර අගභාගයේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරනයේ අපේක්ෂකයන් වනුයේ කවුරුන්ද යන්න පිලිබඳව ධනපති මාධ්‍ය තුල කෙරෙන සමපේක්ෂන මාලාව තුල මූලික අරමුනු දෙකක් දෘශ්‍යමාන ය: මහජනයා මුහුන දෙමින් සිටින සැබෑ ප්‍රශ්නවලින් ඔවුන් වෙනතක හැරවීම ඉන් පලමුවැන්නයි. දෙවැන්න වනුයේ, අර්බුදයෙන් ඇලලී ගිය ධනපති පාලනයට එරෙහිව වැඩෙන මහජන විරෝධය ම්ලේච්ඡ ලෙස තලා දැමීමේ ආඥාදායක පාලනයක් සඳහා, වඩාත් ම සුදුසු පාලක පන්ති නියෝජිතයා මතුකර ගනිමින් ඔහු පුම්බා තැබීම යි.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙවන වතාවට ජනාධිපතිධුරය සඳහා ඔහුගේ උත්සුකය පෙන්නුම් කර ඇත. පක්ෂ පතුරක් බවට පත්ව ඇති, සිරිසේන ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ඔහු තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව පවසති.

එක්සත් ජනපදය තිරය පිටුපස සිට මෙහෙයවූ පාලන තන්ත්‍ර මාරුවකින් බලයට පැමිනි සිරිසේන, මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කල විධායක ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම මහජන අප්‍රසාදයට පත් ජනාධිපතිවරයා වෙයි. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ද, දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ව්‍යාජ-වාම සංවිධානයන් හි වාරුවෙන් ද බලයට පැමිනීමේදී සිරිසේන වැමෑරු එකදු පොරොන්දුවක් හෝ ඉටුකිරීම ඔහු විසින් පැහැර හැර ඇත.

ඒ වෙනුවට, මහජනතාව විසින් බලයෙන් හෙලූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන විධික්‍රමයන් ද අනුයමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඇනවූ රුදුරු කප්පාදු පිලිවෙත් නිර්දයව ක්‍රියාවකට දමන ආන්ඩුවකට සිරිසේන නායකත්වය දුන්නේ ය.

ඔහු දැන්, පිලිපීනයේ මිනීමරු ජනාධිපති රොද්‍රිගෝ දුතර්තේ අනුයමින්, මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කඩතුරාව යටතේ රටපුරා දැවැන්ත මර්දන යාන්ත්‍රනයක් ක්‍රියාවට දමමින් සිටී. එම කඩතුරාව යටතේ, මරනීය දන්ඩනය යලි ක්‍රියාවට නැංවීමට සිරිසේන නියෝග කලේය.

2015 ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට වේදිකාවක් වේදිකාවක් පාසා දුන් පොරොන්දුව සිරිසේන විසින් එකපැහැර කඩකොට ඇත.

එපමනක් නොව, විධායක ජනාධිපති ධුරයේ බලතල පවා ඉක්මවමින්, පසුගිය ඔක්තෝබර් 26 දා, අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහකොට රාජපක්ෂ එම ධුරයට පත් කල අතර පාර්ලිමේන්තුව ද විසුරුවා හැරීමට නියෝග කලේය. මෙම ව්‍යවස්ථා කුමන්ත්‍රනයේදී සිරිසේන, ඔහු විසින් පොරොන්දු වූ “යහපාලනයේ” සියලු වහන්තරාවල් ඉරා දමමින් ඒකාධිපති පාලන බලයක් සඳහා තම සූදානම ප්‍රකාශයට පත් කලේ ය.

සිරිසේන ගේ තවත් මුසාවක් වන්නේ, නැවත වරක් ජනාධිපතිධුරයට තරඟ නොකරන බවට කල ශපථ කිරීම යි. එවැන්නක් ප්‍රකාශ කල බව මතකයට හෝ නොනංවන සිරිසේන ඊලඟ ධුර කාලය සඳහා පොරොන්දු මාලාවක් සකසමින් සිටී.

සිරිසේන ජනාධිපතිධුරයේ තබාගෙන ආන්ඩු බලය හොබවන එජාප, සිය ජනාධිපති අපේක්ෂකයා කවරෙක්ද යන්න ගැන සෘජුව කියා නැතත්, ඒ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ සමග පොරවැදී සිටින කීප දෙනෙක් සිටිති. ඒ අතර, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය සහ තවත් අය වෙති.

වික්‍රමසිංහ වේවා, ප්‍රේමදාස වේවා මෙරට සාම්ප්‍රදායික ධනපති පක්ෂය වන එජාපයේ එකදු දේශපාලනඥයෙකුට හෝ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන සද්වාර්තාවක් නොමැත. ලේවැකි වර්ගවාදී යුද්ධය ආරම්භ කිරීමේ සිට විවෘත ආර්ථික පිලිවෙත් සහ පෞද්ගලීකරන පිලිවෙත් ක්‍රියාවට දැමීමේ දී එජාපය හිමිකම් කියන්නේ කුප්‍රකට කම්කරු විරෝධී වාර්තාවකට යි. 1988-89 අවධියේ ගම්බද තරුන ඝාතන රැල්ලක් දියත් කිරීමේ ලෙයින් ලියවුනු වාර්තාවක් ද එය සතු ය.

වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප වඩාත් විවෘතවම එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී පිලිවෙත්වලට දායක වෙමින් විනාශකාරී මහාබල අරගලයේ හරිමැදට මෙම දූපත ඇදගෙන යාමේදී පෙරමුනු කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

කෙසේවෙත්, ඔවුන්ගේ අපේක්ෂකත්වය පිලිබඳ සමපේක්ෂනයේ යෙදෙමින් පත්තර පිටු පුරවන අටුවාකරුවන් යත්න දරනුයේ, එජාපයේ එකී අපකීර්තිමත් වාර්තාව වසන් කරමින් එජාප නායකයන්ගේ පෞද්ගලික හොඳ නොහොඳකම් උලුප්පා දැක්වීමට යි.

මහින්ද රාජපක්ෂ පිලෙන් ඉදිරිපත් වන්නේයැයි කියන අපේක්ෂකයා සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වනුයේ ඊට නොදෙවෙනි මාධ්‍යකරනයකි. අපේක්ෂකයා නිශ්චිතවම කවුරුන්ද යන්න ගැන රාජපක්ෂ විසින් විවෘතම ප්‍රකාශ කර නැතත්, ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකු වන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ යන දෙදෙනාම ජනාධිපතිවරනයට තරඟ කිරීම පිලිබඳ තම සූදානම ගැන මාධ්‍යට ප්‍රකාශ කලහ.

මේ සියලු දෙනා අතරින් මාධ්‍යකරුවන් හා ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉමහත් ඝෝෂාබද්දයක් ගෙනියන්නේ ගෝඨාභාය රාජපක්ෂගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙනි. මීට සති කීපයකට ඉහතදී, “ඔබ සූදානම් නම් මම ලෑස්තියි” යනුවෙන් මීලඟ ජනාධිපති අපේක්ෂකයා වීමට ඇති සිය සූදානම ගැන හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනය කලේ ය. තම දක්ෂිනාංශික හා ජාතිකවාදී පිලිවෙත ප්‍රකාශයට පත් කරමින්, “අප රටක් සංවර්ධනය කරන විට ශ්‍රී ලංකාවේ අනන්‍යතාව තහවුරු කර පවත්වා ගත යුතු” බව සහ එය “මහජන අපේක්ෂාව” බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ යනු, මහින්ද රාජපක්ෂ තන්ත්‍රයේ ආරක්ෂක ලේකම් තනතුර දරමින් දෙමල ජනයාට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධය ම්ලේච්ඡතම මට්ටම් වලට නැංවීම සඳහා ප්‍රමුඛ භූමිකාව ඉටුකල තැනැත්තා ය. ඔහුට අනුව “ශ්‍රී ලංකාවේ අනන්‍යතාව” යනු සිංහල-බෞද්ධ අනන්‍යතාවය යි. එය “තහවුරු කර පවත්වා ගත යුතු” යැයි පවසන විට ඉන් ප්‍රකාශයට පත් වනුයේ, දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහි කෙනහිලිකම් වඩාත් තීව්‍ර කොට පවත්වාගෙන යාමේ සහ එමගින් සමස්ත කම්කරු පන්තියට එරෙහි මර්දනය වඩාත් ඉහල මට්ටම් වලට නැංවීමේ සූදානමයි.

ඔහු අදහස් කරන “මහජන අපේක්ෂාව” වනාහී වැඩකරන කම්කරු පීඩිත මහජනයාගේ අපේක්ෂාව නොව, මහජන අරගල ලෙයින් තලා දැමීම ඉල්ලා සිටින ධනපති පන්තියේ අපේක්ෂාවයි. සැබවින්ම රාජපක්ෂගේ මෙම ප්‍රකාශය සමාන වන්නේ, සංක්‍රමනිකයන්ට එරෙහිව ම්ලේච්ඡ ලෙස කඩා පනිමින්, ෆැසිස්ට් පන්නයේ පාලන ක්‍රමයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ට ය.

යුද්ධයට එරෙහිවූවන් හා යම් ආකාරයකින් ස්වාධීන මත පල කල මාධ්‍යවේදීන් ඇතුලු රාජපක්ෂ පාලනයේ විරුද්ධවාදීන් රුදුරුම ආකාරයෙන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි. විශේෂයෙන්ම, සන්ඬේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධව ඔහුගේ නම ඈඳී තිබේ. මෙයට අමතරව, “නගර අලංකරනය” යටතේ, දසදහස් ගනන් පැල්පත්වාසීන් මිලිටරි බලය යොදා කොලඹ නගරයෙන් පලවා හැරීම ද ගෝඨාභය රාජපක්ෂගේ වාර්තාවට ඇතුලත් ය.

කෙසේවෙතත්, ගෝඨාභය රාජපක්ෂගේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී භූමිකාව මාධ්‍ය විසින් දැනුවත්ව වසන් කොට තිබේ. “ශ්‍රී ලංකාවේ ජනාධිපතිත්වය සඳහා ගෝඨාගේ ගමනේදී ඇති අවහිරතා” යන සිරස් තලය යටතේ, ජනවාරි 20 දා සන්ඬේ ටයිම්ස් පුවත්පතේ, පලකල තීරු ලිපිය ආරම්භ වන්නේ, ගෝඨාභය රාජපක්ෂ වනාහී “නිසැකවම, රාජපක්ෂ සහෝදරයින්ගේ වඩාත්ම බුද්ධිමත් හා තීක්ෂන පුද්ගලයා” ලෙස හිටපු ආරක්ෂක ලේකම්ට සහතිකයක් පිරිනමමිනි.

ලිපියේ කතෘ ඩොන් මනු, හිටපු ආරක්ෂක ලේකම්ට ඇති “අවහිරතා” තුනක් පෙන්වා දෙයි: 1. “දේශපාලන පදනමක් නොමැතිවීම” 2. “කඩිනම් උසාවි” (මෙහිලා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරනය තුල කෙරීගෙන යන දූෂන චෝදනා විභාග කිරීම් විස්තර කෙරෙයි) 3. “ද්විත්ව පුරවැසිභාවය”

ටයිම්ස් ලේඛකයා මෙම තාක්ෂනික “අවහිරතා” ගැන සටහන් කරන්නේ යම් කනගාටුවකිනි. එහෙත්, ඔහු හිටපු ආරක්ෂක ලේකම්ගේ සාපරාධී වාර්තාව ගැන කිසිවක් හෝ කීමෙන් වැලකෙයි.

ඒ අතර ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වයට එරෙහි ටීකාවන්ගේ යටින් පවත්නේ, ඔහු වැන්නකු ජනාධිපතිත්වයට යෝජනා කිරීමෙන්, පාලක පන්තිය විසින් ඇටවීමට යත්න දරන මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයේ ස්වභාවය කම්කරු-පීඩිත මහජනතාවට වඩාත් නග්නව ප්‍රදර්ශනය වෙතැයි යන බියයි.

“ශ්‍රී ලංකාව හසරක් නැති ගමනක” මැයෙන් පසුගිය 18 දා ඬේලි මිරර් හි පලවූ කොලම එවැන්නකි. එය ලියන කුසල් පෙරේරා, ගෝඨාභය රාජපක්ෂ ද ඇතුලු ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරයි: “ම්ලේච්ඡ හා ඛේදජනක ලෙස අවසන් කෙරුනු සහ 28 වසරක් ඇදී ගිය සන්නද්ධ අරගලයකට පසු තාමත් ශේෂව පවත්නා 70 වසරක් ඉක්මවා ගිය දේශපාලන ගැටුම අවසන් කිරීම සඳහා පිලිතුරක්, තෝරාගැනෙන ජනාධිපති අපේක්ෂකයන්ට සම්පාදනය කල හැකිද?”

මීට අමතරව, එම අපේක්ෂකයන්ට ඔහුට රැකියා ප්‍රශ්නය විසඳිය හැකි ද? ගුනාත්මක අධ්‍යාපනයක් හා ගුනාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කල හැකි ද? නීතියේ ආධිපත්‍ය තහවුරු කරන පොලිස් සේවාවක් ස්ථාපිත කල හැකිද? යන ප්‍රශ්නද ඔහු නගයි.

අවසානයේදී, නව ජනාධිපතිවරයාට ඒවාට පිලිතුරු “නැත” යනුවෙන් පෙරේරා ලියයි.

ඔහු එසේ ලියන්නේ, ධනපති පාලකයන්ගේ යථා පිලිතුර වන, මූල්‍ය ප්‍රාග්ධනයේ මහජන විරෝධී සමාජ සුභසාධන කප්පාදු කිරීම සහ ඊට එරෙහිව නැගෙන මහජන කැරැලිකාරීත්වය ලෙයින් මැඩීම සඳහා ෆැසිස්ට් පන්නයේ මිනීමරු බලකායන් සහ මිලිටරිය යෙදවීමේ ක්‍රියා මාර්ගය වසන් කිරීම සඳහා යි.

කෙසේවෙතත්, පෙරේරාට අනුව ප්‍රශ්නය පවතින්නේ, “බියකරු ව්‍යූහයක් සහිත ආඥාදායක ජීවිතයක්” සහිත පක්ෂ විසින් “ජනාධිපති අපේක්ෂකයෙක් තීන්දුකරන ක්‍රියාදාමය” තුල යි. මේ අනුව ගත් කල, “ශිෂ්ට වෙනසක් අත්පත් කරගත හැකි වන්නේ, විකල්ප සංවර්ධන මොඩලයක් සඳහා ගවේශනයේ යෙදෙන බැරෑරුම් හා බුද්ධිමය කතිකාවක් හරහා” යැයි පෙරේරා ශපථ කරයි.

ඔහු එසේ ලියන්නේ, ධනපති ක්‍රමය ගැඹුරින් ගැඹුරට යන අර්බුදයක කිඳී යමින් තිබෙන බවත්, එයට ප්‍රතිචාරී ලෙස ජාත්‍යන්තර පරිමානව කැරැලිකාරී වෙමින් සිටින කම්කරු පීඩිත ජනයාට එරෙහිව ලෝකය පුරා ධනපති පාලකයන් වඩවඩාත් දක්ෂිනාංශික, ජාතිකවාදී පිලිවෙත් මත වාරුවෙමින් ආඥාදායක පාලනයන් වෙතට මාරු වෙමින් සිටින බවත් පාඨකයාට වසන් කිරීමට යි.

ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති සිරිසේන ද, ඊනියා සිවිල් ක්‍රියාකාරිකයන් සහ ව්‍යාජ-වම්මුන් ඔහුට පොරවා තිබූ ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාජ සලු උනාදමා ආඥාදායක පාලනයක් වෙතට ගමන් කරනුයේ එබැවිනි.

ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම ධනපති අපේක්ෂකයෙකු ජනාධිපති ධුරයට පත්වුවද, ඔවුන් අනුයනු ඇත්තේ, මෙයද ඉක්මවා යන ආඥාදායක පාලන ක්‍රමෝපායන් ය. ජනාධිපති අපේක්ෂකයා ගැන කෙරෙන මාධ්‍ය සමපේක්ෂනයේ අරමුන වන්නේ, එම සත්‍යය මහජනයාගෙන් වසන් කොට ධනපති පන්තියට වඩාත් හිතකර ආඥාදායක පාලකයෙකු බලයට ගෙන ඒමට පසුබිම සැකසීම යි.

වසන්ත රූපසිංහ

Share this article: