වතු කම්කරු අරගලය පීලිපැන්වීමට ව්‍යාජ වම්මුන් මැදිහත් වෙයි

සකුන ජයවර්ධන විසිනි, 2019 ජනවාරි 01

තරුනයන් කිහිපදෙනෙක් පවත්වා ගෙන ගිය උපවාසය

දෙසැම්බර් 22 දා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කොලඹ හා තදාසන්න ප්‍රදේශවල සේවය කරන වතු තරුනයන් කිහිපදෙනෙක් පවත්වා ගෙන ගිය උපවාසයකට සහයෝගය දීම පිනිස කම්කරුවන් ඇතුලු සිය ගනනක් සහභාගිවූ උද්ඝෝෂනයක් පැවැත්වුනි. උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීමට සහයෝගය පලකිරීම සඳහාය. උද්ඝෝෂකයෝ “වතු කම්කරු දිනෙක වැටුප රුපියල් 1000 වහා ලබාදෙනූ! අපේ ලේ, අපේ දහඩිය, අපේ කඳුලු! දෛනික මූලික වැටුප රුපියල් 1000ක් කරනු!, තොන්ඩමන් දිගම්බරම් උඹලා නිදිද?” යනාදී පුවරු රැගෙන විරෝධතාවයේ නිරත වූහ.

එදින මෙම විරෝධතා ව්‍යාපාරයට ෆ්‍රැක්සිස් සාමූහිකය, ලංකා ගුරු සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, අලුත් පරපුර, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු අරගල මධ්‍යස්ථානය ද සහභාගී වී සිටිනු දක්නට ලබුනි. වතුකරයේ විරෝධතා හා වර්ජන පැතිරීගොස් තිබූ පසුගිය මාස දෙක තිස්සේ මෙම ව්‍යාජ වම්මු වෘත්තීය සමිතිවල පාවා දීමට ඉඩදී මුලුමනින්ම පාහේ නිහඬව සිටියහ. මොවුන් පන්ති සටන් ක්‍රමයක් නොවන උපවාසයකට සහාය දෙමින් ඉදිරිපත්වී සිටින්නේ කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීම සඳහා පන්ති අරගලය වර්ධනය කිරීමටත් එය වතු හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීමට හැකි දේශපාලන වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමටත් එරෙහිවයි.

උපවාසයට සහභාගි වූවන්

දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් අරගල කරද්දී පසුගිය හා වත්මන් ආන්ඩුවල පාර්ශ්වකරුවන් ලෙස කුප්‍රකටව සිටින ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන හා කඳුරට ජනතා පෙරමුන ද කොම්පැනි හා ආන්ඩුව සමග නිරර්ථක සාකච්චාවල යෙදෙමින් එම අරගල දිය කර දැමීමට ක්‍රියා කලේය. දෙසැම්බර් 4 දා සිට අඛන්ඩ වර්ජනයකට කම්කරුවන් අවතිර්නව දින නවයක් ගතවන විට සීඩබ්ලිව්සී එය නතර කලේ ”ප්‍රශ්නය විසඳන බවට” ජනාධිපති දුන් බොරු පොරොන්දුවකට මුවාවෙමිනි.

සීඩබ්ලිව්සී නිවේදනයෙන් දින දෙකක් ගත වන තුරු ද කම්කරුවන් වර්ජනයේ යෙදුනේ වෘත්තීය සමිති වල ද්‍රෝහී ක්‍රියා කලාපයට විරුද්ධ වෙමිනි. වතු අරගලයේ වඩා දැනුවත් ප්‍රකාශනයක් වුයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මගපෙන්වීම මත ඇබෝස්ට්ලී වත්තෙහි කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ අරගලය වර්ධනය කිරීමට ක්‍රියාකාරී කමිටුවක් සාදමින් මූලිකත්වය ගැනීමයි.

තරුන කන්ඩායමක් කොටුවේ පැවැත්වූ උපවාස විරෝධතාව සෘජුවම කවුරුන් සංවිධානය කලේද යන්න පැහැදිලි නැත. එහෙත් කම්කරු පන්තිය ධනපති පන්තියට එරෙහිව තම අයිතීන් සඳහා කරන පන්ති අරගලයට කිසිදු සම්බන්ධයක් නැති හා ඊට එරෙහිව යන උපවාස, සත්‍යග්‍රහ, බෝධිපුජා, දේවාලවල කන්නලවු පසුගිය කාලය තුල වැඩිවැඩියෙන් සංවිධානය කරනු දක්නට ලැබුනි. වතු තරුන කන්ඩායමේ උපවාසයෙන්ද පෙන්නුම් කෙරුනේ ඒවායේ බලපෑමයි.

ධනපති පක්ෂ, සම සමාජ- ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ, “වාම” සංවිධාන, වෘත්තීය සමිති හා ඊනියා සිවිල් සමාජ කන්ඩායම් ඉහතකී නිරර්ථක ක්‍රියා සංවිධානය කලේ කම්කරුවන් නොමග යවා පන්ති අරගල මොට්ටකර පාවාදීමටයි. මෙම සියලු සංවිධාන ක්‍රියාත්මක වන්නේ ධනපති ක්‍රමය ආරක්ෂා කරන ඒජන්තයන් ලෙස ය.

ධනපතියන් මෙන්ම මෙම “වාම” කන්ඩායම් ද, සමාජ අයිතීන්ට පහරදීමට එරෙහිව පැනනැගී ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල සමග සමපාත වෙමින්, වතු හා අනෙකුත් අංශ අලලා ගත් අරගල වර්ධනය වීම ගැන තැතිගැනී සිටිති. ඔවුන්ගේ මැදිහත්වීම සසප දේශපාලනික මගපෙන්වීම මත ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමට ද ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම වෙතට ද කම්කරුවන් හැරීම වැලැක්වීමට එල්ල කරගෙන ඇත.

විරෝධතාවට සම්බන්ධවී සිටි පශ්චාත් නූතනවාදියෙකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය “ශිෂ්ටත්වය සම්බන්ධ ප්‍රශ්නයක්” බව පැවසීය. අවුරුදු 150ක් තිස්සේ සූරාකැවෙන වතු කම්කරුවන් ගැන සැලකිලිමත්වීම ”හෘදය සාක්ෂිය පිලිබඳ ප්‍රශ්නයක්” බව ද ඔහු කියා සිටියේය.

දේවසිරි අනුව ගිය “අලුත් පරපුර” නමැති ව්‍යාපාරයේ සුදන්ත මාධව ගේ අඳෝනාව වුයේ ද අප “තේ බොන මිනිසුන්” වන හෙයින් මේ ප්‍රශ්නය සියලු දෙනාටම බලපාන නිසා වතු වැටුප් ඉල්ලීම “හෘද සාක්ෂියක් සහිත සෑම පුරවැසියෙක්ගේම ප්‍රශ්නයක් බවට පත් කල යුතු” බවයි.

දේවසිරිගේ හා ඔහු පුනරුච්චාරනය කල සුදන්ත මාධවගේ ශෝචනීය යෝජනාව ආන්ඩුවේ නායකයන්ගේ හා ධනපති කොම්පැනිකාරයන්ගේ “හෘදය සාක්ෂියට ” කතාකර වතු වැටුප් දිනා ගැනීමටයි! ලාභ පිපාසිත ධනපතියන්ගේ “හෘදය සාක්ෂිය” කම්කරුවන් දන්නා තරමින් නම් නිර්දයව සුරාකෑමයි. චන්දිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන ආදී ධනපති නායකයන්ට ප්‍රතිපත්ති සම්පාදනයට අද්වකාත්කම් කිරීමේ ඉතිහාසයක් සහිත දේවසිරි ධනපතිවාදය තුල විසඳුම් සොයන්නෙකි. රාජපක්ෂගේ බොරු පොරොන්දු පිලිගනිමින් විශ්ව විද්‍යාල ගුරුවරුන් වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් සඳහා 2011 දී කල දීර්ඝ අරගලය නතර කිරීමට සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ අනෙකුත් නායකයන් මෙහෙයවාගෙන දේවසිරි ක්‍රියා කලේය.

ෆ්‍රැක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නංගර වංචනිකව පැවසුවේ උපවාස විරෝධතාව “ප්‍රජාතන්ත්‍රවාදය පරීක්ෂා කරන ස්ථානයක්” බවයි. කොම්පැනිකාරයන්ට හා ආන්ඩුවට ”ප්‍රජාතන්ත්‍රවාදය” ඉල්ලා ආයාචනා කිරීම කන්නංගරගේ ප්‍රකාශවල සැබෑ තේරුමයි. වතු කම්කරු ඡන්ද අයිතිය අහෝසි කරමින් පටන්ගෙන කම්කරුවන්ගේ, දුගීන්ගේ දෙමල ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගා දැමීමේ දීර්ඝ වාර්තාවක් සහිත පාලක පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය පරීක්ෂා කිරීමට කන්නංගර කරන යෝජනාව මහජනයා නොමග යැවීමේ වංචනික ප්‍රයත්නයකි.

“රජය හා හාම්පුතුන් කියන කතා වලට යටත් වෙන්න එපා” යයි වෘත්තීය සමිතිවලට ආයාචනා කල එක්සත් කම්කරු සම්මේලනයේ නායකයෙකු වන ලීනස් ජයතිලක “[රුපියල්] 1000 සටන් පාඨය ශක්තිමත් කල යුතුය” යි කියා සිටියේය. නව සම සමාජ පක්ෂය තුල පුහුනුව ලැබූ පට්ට වෘත්තීය සමිතිවාදියෙකු වන ජයතිලක, එදින කතාකල අනෙකුන් මෙන්ම, වතු සමිතිවල පාවාදීම ගැන වචයක් හෝ කතා නොකලේය. වතු හා අනෙකුත් තැන්වල සමිති මෙන්ම ජයතිලක හා ඔහුගේ වෘත්තීය සමිතිය අතීතයේ කලෙත් දැන් කරන්නේත් ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ යෝජනාවලට යටත් වෙමින් කම්කරුවන් පාවාදීමයි.

පෙසප කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කල නිලාන් ප්‍රනාන්දු “වතු කම්කරුවන්ට පාවාදුන් නායකයන් ගෙන් මිදෙන්න කොන්දේසි සැකසී තියෙනවා” යැයි පැවසීය. මේ වංචනික කතා පවත්වන පෙසප හා එහි ඊනියා අරගල මධ්‍යස්ථානය වෘත්තීය සමිතිවලට පනපිඹීම තමන්ගේ දේශපාලන ඉලක්කයක් කරගෙන සිටින සංවිධානයන් ය.

මෙම වෘත්තිය සමිතිවල පාවාදීම් හුදෙක් සීඩබ්ලිව්සී හෝ වෙනත් සමිතියවල නායකත්වයේ වැරදි වල ප්‍රතිඑලයක් නොවේ. වෘත්තීය සමිතිවල නායකත්වය මාරුකර තවත් නායකත්වයකින් විස්තාපනය කිරීමෙන් පාවාදීම් නතර කර ගත හැක්කේ ද නොවේ. ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අත්දැකීම එයයි.

හාම්පුතුන්ට හා ආන්ඩුවලට බලපෑම් දමා කේවල්කර ප්‍රතිසංස්කරන දිනා දීමේ භුමිකාවක අතීතයේ නිරතව සිටි වෘත්තීය සමිතිවල දැන් ඔවුන්ගේ ඉල්ලීම්වලට කම්කරුවන් යටත් කරදෙමින් දිනාගත් අයිතීන් උදුරා ගැනීමට ද සහාය දෙන සංවිධාන බවට පරිවර්තනය වී ඇත. වෘත්තීය සමිති නිලධරයන්ගේ කුනුවීම එම සංවිධානවල පරිහානියේ ප්‍රකාශනයකි.

වෘත්තීය සමිති ධනපති ක්‍රමයට හා ජාතික රාජ්‍ය පද්ධතියට ගැටගැසුනු ජාතිකවාදී සංවිධාන වේ. ජාත්‍යන්තරව ක්‍රියා කරන සංගත මගින් ධනපති නිෂ්පාදනය ගෝලීයව සංවිධානය කෙරෙන තතු තුල ජාතිකව පදනම් වූ කම්කරු සංවිධානවලට මෙම සංගතවලට හා ලාභ සොයමින් ජාත්‍යන්තරව සැරිසරන මුල්‍ය ප්‍රාග්ධනයට අභියෝග කල නොහැකිය. වෘත්තීය සමිති හා ප්‍රතිසංස්කරනවාදී පක්ෂ ඇතුලු ජාතිකවාදී වැඩපිලිවෙල මත පාදකවූ සියලු සංවිධානවල බිඳවැටීමේ මූලය එයයි.

කම්කරු පන්තිය දියවී ඇතිබවට හා එහි මුඛ්‍ය විප්ලවවාදී ක්‍රියා කලාපය අහෝසිවී ඇති බවට න්‍යාය ගොතන දේවසිරි, ජයතිලක, කන්නංගර හා පෙසප නායකයන් ද ඔවුන්ගේ සංවිධාන ද වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට යෝජනා කරන්නේ පුලුල් පෙරමුනක් අටවාගෙන ආන්ඩුවට හා හාම්පුතුන්ට බලපෑම් දැමීමේ ව්‍යාපාරයක් ගෙන යා යුතු බවයි. මෙය වනාහි අරගලයට ඇදෙන කම්කරුවන් ධනපති පන්තියට කොටුකර දීමට අටවන උගුලකි. වතුකරය ඇතුලු සෑම තැනකම කම්කරුවන්ගේ මෑත අරගල සියල්ලේම කටුක අත්දැකීම එයයි.

ඉහල මධ්‍යම පන්තියේ කොටස් වන ව්‍යාජ වම්මුන් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ අරගලයකට සහමුලින්ම සතුරුය. මොවුන්ගේ උත්සුකය පවතින්නේ කම්කරුවන්ගේ අරගල ධනපති ක්‍රමයට එරෙහි අරගලයක් බවට පත්වේය යන්න සම්බන්ධව ය.

වතුකරය සම්බන්ධයෙන් ආන්ඩුවේ, කොම්පැනිවල හා සමිතිවල ද යෝජනාව එය මුහුනපා ඇති අර්බුදයට කම්කරුවන් ද උරදී තම වැටුප් හා සේවාතත්වයන් බිලිදිය යුතු බවයි. අර්බුදය ලාභ ගැරීමේ පද්ධතියේ අර්බුදයකි. ඊට කම්කරුවන් පලිනැත. සැබෑ නිෂ්පාදකයා වන කම්කරුවන්ට තම අයිතීන් රැකගත හැක්කේ ඒවා කම්කරු පාලනය යටතේ ජනසතුකර ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. සෑම තැනකම කම්කරුවන්ගේ අත්දැකීම එයයි. විශාල වතු, බැංකු, හා කොම්පැනි කම්කරු පාලනය යටතේ ජනසතුකර ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලට සටන්කිරීම වැඩකරන ජනතාවගේ අයිතීන් රැකගැනීමේ එකම සක්‍ය වැඩපිලිවෙල ලෙස පවතී.

වෘත්තීය සමිති යකඩ සැට්ටය ඉරාදමා කම්කරුවන් වතුකරයේ, වැඩපලවල, හා කම්කරු නිවහන් ප්‍රදේශවල කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ස්වාධීන අරගලයක් වර්ධය කරන ලෙස ද, එම ක්‍රියාකාරී කමිටුවලට තරුනයන්ගේ හා දුගීන්ගේ සහය දිනා ගන්නා ලෙසද සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටියි. ධනපති පන්තියේ ප්‍රහාරයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙල මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරන ලෙසද සසප කැඳවුම් කරයි.

Share this article: