ශ්‍රී ලංකාවේ කම්කරුවන් සටන්කාමී වතු කම්කරුවන් දඩයම් කිරීමට විරුද්ධ විය යුතු ය

Sri Lankan workers must oppose the witch-hunt of militant plantation workers

එම්. දේවරාජා විසිනි , 2019 ජනවාරි 16

ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල සහයෝගය ලබන ශ්‍රී ලංකාවේ වතු කලමනාකරුවෝ වැඩි වැටුප් ඉල්ලා කාර්මික ක්‍රියාවේ නිරත වන කම්කරු ක්‍රියාකාරීන් දඩයම් කරමින් සිටිති.

ජනවාරි 10දා හැටන් නගරයට ආසන්න ඇබොස්ලී වත්තේ සහකාර කලමනාකරුවා වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවේ සභාපති පී. සුන්දරලිංගම්ට තර්ජනය කලේ ය. මෙම තර්ජනය සිදු වූයේ පසුගිය මාසයේ ජාතික වැඩ වර්ජනය සමයේ විරෝධතාවන්ට සහභාගි වීම නිසා එස්. බාලසුබ්‍රමනියම්ගේ වැඩ තහනම් කිරීමෙන් හා පොලීසිය විසින් ඔහුට හා ඈන්ෆීල්ඞ් වත්තේ තවත් කම්කරුවන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කිරීමෙන් අනතුරු ව ය.

වතුකරයේ ගුරුවරුන්, කුඩා වෙලෙන්දන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල සහයෝගය සහිත ව වතු කම්කරුවන් 100,000ක් පමන දෙනා තම දෛනික වැටුප රුපියල් 500 සිට 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා දෙසැම්බර් මාසයේ දී අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වූ හ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැටුප් ප්‍රශ්නය විසඳන බවට පොරොන්දු වූ බව කියමින් ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) දින නවයකට පසු වර්ජනය නතර කලේ ය. වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් සීමා කිරීමටත් අසීරුවෙන් දිනාගත් වැඩ කොන්දේසි විනාශ කිරීමටත් දශක ගනනාවක් තිස්සේ වෘත්තීය සමිති වතු කලමනාකාරීත්වය සමග සම්මාදම් වී ඇත.

සුන්දරලිංගම්

පසුගිය සතියේ ජනවාරි 10 දාට යෙදුනු පඩි දවසේ ඇබොස්ලී වත්තේ සහකාර කලමනාකරුවෙක් කම්කරුවන් 200ක් පමන ඉදිරිපිට දී සුන්දරලිංගම්ට ප්‍රසිද්ධියේ තර්ජනය කලේ ය. “කමිටුවක් තනා ඔබ වත්තේ ප්‍රශ්න ඇති කර තිබෙනවා. මම ඔබට විරුද්ධ ව පියවර ගන්නවා” යයි කලමනාකරුවා ප්‍රකාශ කලේ ය.

කම්කරු ක්‍රියාකාරී කමිටුව ස්ථාපනය කිරීම ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියක් සහකාර කලමනාකරුවාගේ ජංගම දුරකථනයේ තිබුනි. කමිටුවේ ආරම්භක රැස්වීමේ දී සුන්දරලිංගම් මුලසුන දරන ඡායාරූපයක් එහි අඩංගු විය.

හැටන් හි පිහිටි ඇබොස්ලී වත්තේ කම්කරුවන් 700ක් පමන සේවයේ යොදවා ඇති අතර හැටන් නගරයේ සිට කිලෝමීටර් පහක් දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් දහස් ගනනක් මෙන්ම ඇබොස්ලී වත්තේ බොහෝ කම්කරුවන් ද අනියම් සේවකයන් වන අතර, ඔවුන්ට දිනකට රුපියල් 500ක් හෝ තේ දලු කිලෝවකට රුපියල් 30ක් ගෙවනු ලැබේ.

ඇබොස්ලී කම්කරු ක්‍රියාකාරී කමිටුව දෙසැම්බර් මස ජාතික වර්ජනය සමයේ සමාජවාදී සමානතා පක්ෂයේ මග පෙන්වීම යටතේ ස්ථාපනය කරන ලදී.

වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තමන්ගේ ම කමිටුවක් තැනීමට ඇබොස්ලී කම්කරුවන් ගත් තීරනය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන අතර, ඔවුන්ගේ වැඩ කොන්දේසි හා ජීවන තත්ත්වයන් ආරක්ෂා කොට වර්ධනය කරගත හැකි එකම ක්‍රමය එය යි. මූලධර්මාත්මක හා ධෛර්යය සම්පන්න ආස්ථානයක් ගැනීම නිසා සුන්දරලිංගම් ව ඉලක්ක කෙරී ඇත.

මෙම ඇබොස්ලී සහකාර කලමනාකරුවා ම, වත්තේ දුෂ්කර සේවා කොන්දේසි හා වෘත්තීය සමිතිවල දේශපාලන පාවාදීම් විස්තර කරමින් ලෝසවෙඅ වෙත අදහස් දැක්වීම නිසා මීට කලින් කාන්තා කම්කරුවෙකුට තර්ජනය කලේ ය.

බාලසුබ්‍රමනියම්

දෙසැම්බර් 13 දා දික්ඔය ඈන්ෆීල්ඞ් වත්තේ සාන්ත ලේස් කොටසේ සීඩබ්ලිව්සී ශාඛාවට නායකත්වය දෙන කම්කරුවකු වන බාලසුබ්‍රමනියම්ගේ වැඩ නතර කිරීමට වතු කලමනාකාරීත්වය පියවර ගත්තේ ය.

වතු කලමනාකාරීත්වය කල පැමිනිලි කිරීම්වලින් පසු, දෙසැම්බර් 5 දා වත්තේ කර්මාන්තශාලා ගේට්ටුව වසා දමා තේ දලු පැටවූ ට්‍රක් රථ ඇතුලට පැමිනීම වැලැක්වූවා යයි කියමින් බාලසුබ්‍රමනියම්ට හා ක්‍රිෂ්නන්, පද්මනාදන් හා සුබ්‍රමනියම් යන කම්කරුවන් තිදෙනෙකුට පොලීසිය විසින් චෝදනා එල්ල කලේ ය.

අරුනල්යා, ගිලේරා හා සිවසාමි යන එම වත්තේ ම සීඩබ්ලිව්සී නියෝජිත තවත් කම්කරුවන් තිදෙනෙකුට ද චෝදනා එල්ල කොට ඇත්තේ එම සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටීම නිසා ය.

හැටන් සිට කිලෝමීටර 20ක් පමන දුරින් පිහිටි අප්කොට්හි ගවරවෙල වත්තේ කලමනාකාරීත්වය ද කම්කරු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු දඩයම් කිරීමට උත්සාහ දැරුවත් අනෙකුත් කම්කරුවන් කෝප වී විරෝධය පලකිරීම නිසා එම උත්සාහය හකුලා ගත්තේ ය.

හුදෙකලා හා අහම්බ සිද්ධි නො වන මෙම ප්‍රහාර, ආන්ඩුව, පොලීසිය හා වතු වෘත්තීය සමිතිවල සහයෝගය සහිත ව වතු කම්කරුවන් බියවද්දා ඔවුන්ගේ වැටුප් ඉල්ලීම් මර්දනය කිරීමට කලමනාකාරීත්වය විසින් මනාව සැලසුම්කොට ක්‍රියාවට දමන උත්සාහයකි. දඩයමට ලක්වූ ඈන්ෆීල්ඞ් වත්තේ ප්‍රාදේශීය නිලධාරීන් හා කම්කරුවන් ව උසාවියේ දී ආරක්ෂා කරන බව සීඩබ්ලිව්සී නායකත්වය කීව ද ව්‍යාජ චෝදනා පරාජය කිරීම සඳහා කිසිදු කාර්මික ක්‍රියාවක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම කම්කරුවන් මත කලමනාකාරීත්වය එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් අනෙකුත් වෘත්තීය සමිති මුලුමනින් ම නිහඬ ය. දඩයමට ලක්වූ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කරන ඕනෑම කැඳවුමක් වතුකරය පුරා පලල් සහයෝගයක් දිනාගනු ඇතැයි ද කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල අනුමැතිය ලබනු ඇතැයි ද යන්න ගැන ඔවුන් හොඳින් දැනුවත් ය.

පී. දිගම්බරම් නායකත්වය දෙන ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), වී. රාධාක්‍රිෂ්නන් නායකත්වය දෙන කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) හා මනෝ ගනේෂන් නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) යන ඒවායින් සැදුම්ලත් දෙමල ප්‍රගතිශීලී පෙරමුන (ටීපීඑෆ්) සීඩබ්ලිව්සී සාමාජිකයන් දෙසැම්බරයේ දියත් කල වැඩ වර්ජනයට ආරම්භයේ දී විරුද්ධ විය. සමිති නායකත්වයන් ප්‍රතික්ෂේප කල මේවායේ දහස් ගනන් සාමාජිකයන් ජාතික වර්ජනයට එකතු විය.

දිගම්බරම්, රාධාක්‍රිෂ්නන් හා ගනේෂන් යන සියලු දෙනා එක්සත් ජාතික පෙරමුන නායකත්වය දෙන ආන්ඩුවේ ඇමතිවරු ය. සීඩබ්ලිව්සී ප්‍රධානී ආරුමුගම් තොන්ඩමන් කලින් පාලනයේ ඇමතියෙකි.

ජනාධිපති සිරිසේන වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය “විසඳනු” ඇතැයි යන ව්‍යාජ කියාපෑම් පසෙක තිබිය දී, කම්කරුවන්ගේ රුපියල් 1,000ක මූලික වැටුප් ඉල්ලීම කර්මාන්තය කඩා වට්ටවනු ඇතැයි කියමින් හාම්පුතුන් හා ආන්ඩුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. පලමු වසරේ රුපියල් 125ක් ද ඊලඟ වසර දෙකේ රුපියල් 25 බැගින් ද වැටුප් වැඩිකරන තුන් අවුරුදු සූත්‍රයක් ආන්ඩුව විසින් යෝජනා කර ඇත.

මෙම යෝජනාව “ප්‍රතික්ෂේප” කරන අතර ම, වතු හාම්පුතුන් සමග හැකි ඉක්මනින් පාවාදීමේ ගිවිසුමකට එලඹීම සඳහා වෘත්තීය සමිති දිගට ම සාකච්ඡා කරමින් සිටිති. මෙම ගනුදෙනුවට වර්තමාන වැටුප් ක්‍රමය හා සීමිත සමාජ අයිතීන් අහෝසි කොට කම්කරුවන් අඳගොවියන් බවට හරවන වෛරයට පාත්‍ර ආදායම් බෙදාගැනීමේ සැලසුමක් හඳුන්වා දීම අඩංගු වීමේ හැකියාවක් තිබේ.

සටන්කාමී වතු කම්කරුවන් දඩයම් කිරීම ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සියලු කොටස්වලට අනතුරු ඇඟවීමකි. සුන්දරලිංගම්ට එරෙහි තර්ජනවලට විරුද්ධ විය යුතු කම්කරුවන්, වැඩ නැවැත්වූ බාලසුබ්‍රමනියම් ව කොන්දේසි විරහිත ව නැවත සේවයේ පිහිටුවන ලෙසත් සියලු ඈන්ෆීල්ඞ් කම්කරුවන්ට පොලිස් චෝදනා හකුලාගත යුතු බවටත් ඉල්ලා සිටිය යුතු ය.

Share this article: