ප්‍රවාහන ඇමතිගේ පොරොන්දුව පිලිගෙන දුම්රිය සමිති යලිත් වර්ජනය නතර කරයි

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ජනවාරි 02

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රනතුංග දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතා ඇතුලු ගැටලු මාසයක් ඇතුලත විසඳන බවට “ලිඛිත” පොරොන්දුවක් දී ඇති නිසා පැවැත්වීමට නියමිතව තිබු දෙදින දුම්රිය සේවක වර්ජනය නතර කරන බව සමිති නායකයෝ මාධ්‍යවලට ප්‍රකාශ කලහ. පසුගිය අවුරුද්දේ පමනක් දුම්රිය සමිති සන්ධානය ඇමැතියන්ගේ හා ජනාධිපතිගේ පොරොන්දු පිලිගෙන කම්කරුවන්ගේ අරගල නතර කල හතර වන වතාව මෙයයි.

ගිය වසරේ අගෝස්තු මාසයේ 8 වෙනිදා සිට දින හතරක් පැවති දුම්රිය සේවකයන්ගේ අඛන්ඩ වර්ජනය වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබුවේ ගැටලුවලට “කඩිනම් විසඳුම්” ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දුන් බොරු පොරොන්දුවක් පිලිගෙන ය. ඔවුන් එපරිදිම කැබිනට් අනුකාරක සභාවක් විසින් දුන් පච පොරොන්දු පිලිගෙන ජුලි මාසයේ 30-31 සහ මැයි මාසයේ 8-9 යෝජිත දෙදින වර්ජන නතර කල අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 6 වෙනිදා සිට ගෙන ගිය දින හතක වර්ජනය නිර්ලජ්ජිත ලෙස පාවා දුන්හ.

දෙසැම්බර් 26 පැවැත්වීමට නියමිතව තිබූ මෙවර වර්ජනයට දුම්රිය එන්ජින් රියැදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් හා දුම්රිය අධීක්ෂන කලමනාකරන සේවාවල නිලධාරීන් ඇතුලු 5,000 දුම්රිය සේවකයන් සහභාගිවීමට නියමිතව තිබුනි. විරෝධතාව කැඳවා තිබුනේ ඉහත අවස්ථා කිහිපයක දී ම දුන් පොරොන්දු ආන්ඩුව විසින් කඩකිරීමත් සේවක අරගලවලට ඇබ ගැසීමට සමිති ක්‍රියා කිරීම නිසාත් දුම්රිය සේවකයන් අතර පැසවන විරුද්ධත්වය යටපත් කිරීම සඳහා ය.

ආන්ඩුවේ බොරු පොරොන්දුවලට යටත්කර අරගල පාවාදෙන අතරම ශ්‍රේනිවාදී භේද කිරීම් මගින් සේවකයන් දුර්මුඛ කිරීමට ද එමගින් සමස්ත දුම්රිය සේවකයන්ගේ පොදු අරගලයක් ඇතිවීම වැලැක්වීමට ද මෙම සමිති ක්‍රියා කරති.

ආන්ඩුව මෙවර දුන් බව කියන පොරොන්දු ද ඉටු කරනු ඇතැයි දුම්රිය සේවකයන් තුල විස්වාසයක් නැත. හලාවත ප්‍රදේශයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු මෙසේ සඳහන් කලේ ය. “ඇත්තටම කිව්වොත් මේ පොරොන්දු විශ්වාස කරන්න බැහැ. අපි ගැන හිතලා පාලකයෝ කව්රුවත් වැඩ කරලත් නැහැ. කරන්නෙත් නැහැ. ඇත්තටම නම් මේ වෙලාවේ අවශ්‍ය සියලුම අංශවල ඒකාබද්ධ වර්ජනයක්. නමුත් වෘත්තීය සමිති එවැනි අරගලයකට සූදානම් නෑ.”

සමිති නායකයෝ ඔවුන්ගේ “වරප්‍රසාද සඳහා අරගලය නැවතත් පාවා දුන්න” බව හලාවත ප්‍රදේශයේ දුම්රිය කාර්යාල සේවකයන් දෙදෙනෙකු කෝපයෙන් කීහ. වසර පහක සේවා කාලයක් සම්පූර්න කලත් තවමත් සේවය ස්ථීර කර නැති බව පැවසූ ඔව්හු තමන් මුහුන දෙන දුෂ්කර ජීවන සහ සේවා කොන්දේසි විස්තර කලහ.

“ගම වාද්දූවේ. දවස් ගනනක් උත්සාහ කලත් ගෙදර යන්න නිවාඩුවක් ගන්න බැහැ. නිවාඩු ගත්තොත් රැකියාවෙන් දොට්ට දානවා කියලා තර්ජනය කරනවා. අතිකාලත් එක්ක මාසේ සම්පූර්න වැටුප 30,000 විතර ලැබෙන්න” යයි කී ඔවුහු ලැබෙන ආදායම අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමටවත් ප්‍රමානවත් නොවන නිසා නයගැතිවී සිටින බව සඳහන් කලහ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිහානිය ගැන ද ඔවුහු මෙසේ කීහ: “සේවක පුරප්පාඩු ගනනාවක් තියෙනවා. නමුත් බඳවා ගැනීම් නැහැ. ආන්ඩුවේ සැලැස්ම විදිහට තියෙන්නේ පෞද්ගලීකරනය කිරීම. වෘත්තීය සමිති එකක්වත් ඒ ගැන කතා කරන්නේ නැහැ. දුම්රිය පොදු සේවක සංගමයට අපිව බන්ද ගත්තා නමුත් පලක් නැහැ”.

දුම්රිය සේවකයන්ගේ පොදු අත්දැකීම මෙයයි. තමන්ගේ අයිතීන් ගැන තීන්දු ගැනීමට සමිතිවලට ඉඩදී පසෙකට වී සිටියහොත් කම්කරුවන්ට බරපතල ප්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවනු ඇත. සමිතිවල කර උඩින් රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කපාදමමින් පුද්ගලිකරනයේ මූලික ප්‍රහාරයකට ආන්ඩුව සුදානම්වෙමින් සිටී. තැපල්, සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය සංවෘත සේවාවන් බවට පරිවර්තනය කිරීමට ආන්ඩුව ගෙන ඇති තීන්දුව ඒවා ප්‍රතිව්‍යුහකරනයේ සහ පුද්ගලීකරනයේ ප්‍රථම පියවරයන් ය. අගෝස්තු වර්ජනය නතර කිරීමේ දී ආන්ඩුව සහ වෘත්තීය සමිති අතර ඇති කරගත් කොන්දේසි පහේ ප්‍රථම කොන්දේසිය වූයේ දුම්රිය සංවෘත සේවාවක් බවට පරිවර්තනය කිරීම ය.

අගෝස්තු විරෝධතා ක්‍රියාවේ කම්කරුවන් යෙදුනු විට “වර්ජනය කරන පලියට වැටුප් වැඩි කල නොහැකි” යයි මුදල් ඇමති මංගල සමරවීර තර්ජනාත්මකව ප්‍රකාශ කල අතර වර්ජන “ත්‍රස්තවාදී ක්‍රියාවන්” ලෙස හෙලා දකිමින් “එල්ටීටීඊ ය මර්දනය කල ආකාරයට” ඒවා තලා දමන බවට එවකට තරුන කටයුතු හා දක්ෂින සංවර්ධන ඇමති සාගල රත්නායක බුරා පැන්නේය.

දුම්රිය කම්කරුවන් තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට මූලිකත්වය ගතයුතුය. එය තවදුරටත් සමිති හරහා කල නොහැක. ඒවා ආන්ඩුවේ හා පාලක පන්තියේ උපකරන බවට පත්ව ඇත. දුම්රිය කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වැඩපොල ආශ්‍රිතව හා නිවහන් ප්‍රදේශවල තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් ක්‍රියාකාරී කමිටු තනාගැනීම සිය අයිතීන් සඳහා අරගලය සංවිධානය කර ගැනීමට ඇති විකල්ප මාවතයි. මෙය අද දින කම්කරු පන්තියේ සෑම කොටසක් ම ගතයුතු මූලික පියවරකි. එවන් මූලිකත්වය ගැනීමකින් තොරව ආන්ඩුවේ හා පාලක පන්තියේ ප්‍රහාරවලට එරෙහිව සටන් කල නොහැකිය.

වතු වෘත්තීය සමිති රුපියල් 1000 දෛනික වැටුපක් සඳහා වතු කම්කරුවන් ගෙන යන අරගලය කඩාකප්පල් කරන අතර ශ්‍රම සූරා කෑම තීව්‍ර කිරීමේ හා සමාජ සහන කප්පාදු කිරීමේ සැලසුම් ඔවුන් මත පැටවීමට වතු සමාගම් වලට සහය දෙති. ශ්‍රී ලංකාව තුල පමනක් නොව, ජාත්‍යන්තරව ම වෘත්තීය සමිතිවල භූමිකාව එයයි.

ගෝලීය අර්බුදයෙන් බැටකා ආර්ථික ප්‍රශ්න ඔද්දල්වීමෙන් පෙලී සිටින පාලක පන්තියේ සෑම කොටසක්ම හැරී සිටින්නේ අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමටයි. ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට දමන ආන්ඩුව වැඩකරන ජනතාවගේ ප්‍රතිරෝධය මැඩීම සඳහා පොලිස් රාජ්‍ය විධික්‍රම ක්‍රියාවට දැමීමට වැඩිවැඩියෙන් හැරෙමින් සිටියි.

ජාත්‍යන්තර පන්ති අරගල වර්ධනය වීමේ කොටසක් ලෙස ලංකාවේ විශ්ව විද්‍යාල, තැපැල්, ඛනිජ තෙල්, වරාය ජල සම්පාදන හා වතු ඇතුලු කම්කරුවන්ගේ අරගල ද සිසුන්ගේ හා ගම්බද ජනයාගේ විරෝධතාද වැඩෙන තතු යටතේ පාලක පන්තියේ කන්ඩායම් අතර රුදුරු කාකොටාගනීමක් ගිය ඔක්තෝබරයේ පුපුරා ඉස්මත්තට ආවේය. ජනාධිපති සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක පසෙක ද අනෙක් පස අගමැති රනිල් වික්‍රමසිංහ ද පෙරට දමාගෙන පෙල ගැසුනු පාලක පන්තියේ කන්ඩායම් වැඩකරන ජනයාගේ ප්‍රතිරෝධය තලා දමමින් ධනපති පන්ති පාලනය ආරක්ෂා කර ගැනීමට තම තමන්ගේ පැතිවලින් සුදනම්වෙති.

වෘත්තීය සමිති විසින් තමන් ව කොටු කර තිබෙන ශ්‍රේනිවාදී හා ආයතනික සීමා කිරීම් කපාගෙන රාජ්‍ය, පුද්ගලික සහ වතු කම්කරුවන් අතර එකමුතුව තහවුරු කර ගනිමින් ධනපති ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව පොදු අරගලයක් සංවිධානය කල යුතුය. ඒ සඳහා මූලික පියවරවන්නේ වෘත්තීය සමිතිවල හිරකිරීම් වලින් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමයි.

කම්කරු පන්තියේ අයිතීන් සඳහා අරගලය අද සෘජුවම දේශපාලන අරගලයකි. රාජ්‍ය බලය ධනපති පන්තිය අත තිබිය දී කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගැනීමට හෝ රැක ගැනීමට නොහැකිය. කම්කරු පන්තියේ අයිතීන් තහවුරු කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසි කර දුම්රිය ඇතුලු රාජ්‍ය සහ පුද්ගලික සියලු මූලික ව්‍යවසායන් කම්කරු පන්තියේ පාලනයට යටත් කරන සහ සමාජවාදී ආර්ථික සැලැස්මක් ක්‍රියාවට දමන කම්කරු -ගොවි ආන්ඩුවක් යටතේ පමනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම ඉදිරිදර්ශනය කම්කරුවන් හා තරුනයන් ඉදිරියේ තබයි. වතු කම්කරු අරගලය තුල දී සසප මූලිකත්වය හා දේශපාලන මගපෙන්වීම මත ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගාගෙන මෙම ඉදිර්දර්ශය වෙතට පියවරක් තබා ඇත. ඊට සහය පල කරමින් සෑම තැනකම කම්කරුවන් එවන් මූලිකත්වයක් ගතයුතු යයි අපි ඉල්ලමු.

Share this article: