ශ්‍රී ලංකාව: වතු පාලකයන් වර්ජනයේ ක්‍රියාකාරීන් දඩයම් කරයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජනවාරි 3

තම දෛනික වැටුප රුපියල් 1000ක් කර ගැනීම සඳහා සටන් වදිමින් සිටින වතු කම්කරුවන් දුර්මුඛ කිරීම සඳහා ආන්ඩුවේ සහ පොලීසියේ පූර්න සහය සහිතව මර්දනයක් දිගේලි කිරීමට මහා ව්‍යාපාරික වතු කලමනාකාරිත්වය වැඩට බැස සිටියි. දෙසැම්බර් 4 ආරම්බ කල වතු වර්ජනයේදී ඈන් ෆීල්ඞ් වත්තේ සෙන්ට් ලෙයාස් කොටසේ මූලිකත්වය ගත් කම්කරුවන් මෙසේ දඩයමට ලක්ව ඇත.

කැලනිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අයත් මෙම වත්තේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ (සීඩබ්ලිව්සී) ශාඛා නායකයා වන සුප්පයියා බාලසුබ්‍රමානියම්ගේ වැඩ තහනම් කර තිබේ. දෙසැම්බර් 5දින වැඩ වර්ජනය අවස්තාවේදී දලු රැගත් ලොරි ෆැක්ටරියට ඇතුලු වීම වැලැක්විමට ෆැක්ටරියේ ගේට්ටුව වැසීය යන චෝදනාව යටතේ බාලසුබ්‍රමානියම් සමඟ ක්‍රිෂ්නන්, පත්මනාතන්, සුබ්‍රමානියම් යන එම වත්තේ කම්කරු ක්‍රියාකාරිකයන් තිදෙනෙකුට ද ඒ අවස්තාවේ එතැන සිටියේය යන්න මත අරූල්නයාහි, ගිලේරා හා සිවසාමි යන සීඩබ්ලිව්සී සමිති නිලධාරීන් තිදෙනෙකුටද එරෙහිව වතු පාලකයන් විසින් හැටන් පොලිසියේ පැමිනිල්ලක් දමා තිබිනි.

දෙසැම්බර් 16 දින මෙම සියලු දෙනා පොලිසියට කැඳවුනු අතර ඔවුන්ට එරෙහිව වතු පාලකයන්ගේ චෝදනාව මත නඩු පවරන බවට පොලිසිය දැනුම් දී තිබේ. බාලසුබ්‍රමානියම්ගේ වැඩ තහනම් කිරීමට වතු පාලකයන් යොදා ගෙන ඇත්තේ ද එම චෝදනාවයි. වැඩ වර්ජනයෙන් පසුව ඔහු වැඩට ගැනීම වතු පාලකයන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති රොෂාන් රාජදුරෙයි කැලනිවැලි සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන තතු යටතේ ඊට අයත් වත්තක මේ දඩයම සිදුවීම අහම්බයක් නොවේ. වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් කම්කරුවන් සටනට පිවිසීමත් සමඟ වැටුප් වැඩි කිරීම කිසිසේත් කල නොහැකි බවට අවධාරනය කරමින් මහා බහු ජාතික ව්‍යාපාර ජාලයන්ගේ සුපිරි ලාභ සහතික කිරීම සඳහා සැලසුම් සකස්කරන්නන් හා ප්‍රචාරය ගෙනයන්නන් අතර රාජදුරෙයි මූලිකත්වය ගෙන ඇත.

මීට පෙර ද කැලනි වැලි සමාගමට අයත් වතුවල ක්‍රියාකාරී කම්කරුවන්ට එරෙහිව අපරාධ චෝදනා මත මර්දනයන් උසිගන්වා ඇත. 2016දී වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් අරගලයට පිවිසි ඉන්ජෙස්ට්‍රා වත්තේ වතු කම්කරුවන් හත් දෙනෙකුට එරෙහිව වතු අධිකාරී නිවාසයේ ගෙවත්තට හානි සිදු කලේය යන චෝදනාව යටතේ නඩු පවරනු ලැබූ පාලකයෝ එම කම්කරුවන්ට දඬුවම් දුන්හ.

එම වර්ජනය අවස්ථාවේම ෆැක්ටරියේ විදුලිය නිවා දැමුවේය යන චෝදනාව යටතේ එන්ෆීල්ඞ් වත්තේ කම්කරුවන් සිව් දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාලකයෝ පොලිසිය මෙහෙයවූහ. එම නඩුව තවමත් ඇසෙමින් පවතියි.

මෙම කම්කරුවන් ආරක්ෂා කිරීමට කිසිවක් නොකල සීඩබ්ලිව්සී නායකයෝ පාලකයන්ගේ උවමනාව මත පොලිසියේ හා උසාවියේ මර්දනයට ඉඩදී සිටිති.

දෙසැම්බර් 16දින පොලිස් පරීක්ෂනයේදී බාලසුබ්‍රමානියම් යලි සේවයේ පිහිටුවේ නැති නම් වැඩ වර්ජනයක් දියත් කරන බවට සීඩබ්ලිව්සී නියෝජ්‍ය නායක කනපති කනකරාජ් වහසි බස් දෙඩ වූවද තමන් ක්‍රියා කරන්නේ සමාගමේ උපදෙස් පිටබව වත්තේ කලමනාකරුවන් දැනුම් දුන්විට ඔහු කරබා ගත්තේය.

වැඩ කරන ජනයාට එරෙහිව කඩා පැනීම සඳහා පොලිසියට පූර්න බලතල ලබා දීමට නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ද මිලිටරිය මුදා හැරීමට ද මෙම ආන්ඩුව දිගටම ක්‍රියාත්මක වී තිබේ. 2015 බලයට පත්වූ පසු වරාය, සෞඛ්‍ය, තෙල්, ප්‍රවාහන කම්කරු අරගලයන් මැඬීම සඳහා පොලිසිය හා මිලිටරිය යෙදවීමේ වාර්තාවක් ආන්ඩුව සතුය.

දෛනික මූලික වැටුප රුපියල් 500 සිට 1000 දක්වා වැඩිකරන ලෙස කම්කරුවන් කර ඇති ඉල්ලීම හාම්පුතුන්ගේ සංගමය එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. සොච්චම් පඩි වැඩිකිරීමක් කරන අතර අදායම් බෙදා ගැනීමේ ක්‍රමය ලෙස මූලික මට්ටමේ ප්‍රහාරයක් ආන්ඩුවේ ද සමිතිවල ද සහයෝගයෙන් වතුකරය පුරා ක්‍රියාවට දැමීමට සමාගම් සුදානම් වේ. කම්කරුවන් දඩයමට ලක්කර බිය ගැන්වීමට සමාගම් ක්‍රියා කරන්නේ මෙම තත්වය තුලයි. කම්කරුවන් ආරක්ෂක නොකරන සමාගම්වල සැලසුම් පැටවීමට උදව්දෙන වෘත්තීය සමිති පාලකයන් වෙනුවෙන් ක්‍රියා කරන කාර්මික පොලිසියකි.

දඩයමට ලක්ව ඇති බාලසුබ්‍රමානියම් කොන්දේසි විරහිතව යලි සේවයේ පිහිටුවන ලෙස ද ඔහු ඇතුලු කම්කරුවන්ට එල්ල කර ඇති පොලිස් දඩයම නතර කරන ලෙස ද සමාජවාදී සමානතා පක්ෂය (සසප) බල කර සිටියි. වතුවල හා අනෙකුත් තැන්වල කම්කරුවන් සෙන්ට් ලෙයාස් වත්තේ කම්කරුවන්ට එල්ල කර ඇති චෝදනා ඉවත්කරන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ආරක්ෂාවට නොපමාවම ඉදිරිපත් වීම අවශ්‍යය.

කම්කරු පන්තියේ අයිතීන් සඳහා සටන් කිරීම සඳහා තමන්ගේම ක්‍රියාකාරී කමිටු වතුවල, වැඩපොලවල හා නිවහන් පෙදෙස්වල ගොඩනගා ගතයුතු යයි සසප කරන ඉල්ලීම ක්‍රියාවට දැමීම හදිසි අවශ්‍යතාවක් ලෙස මතුවී ඇත.

Share this article: