ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම්කරුවා ලෙස ව්‍යාජව පෙනී සිටී

සකුන ජයවර්ධන සහ කේ.රත්නායක විසිනි, 2019 ජනවාරි 2

ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) “කුමන්ත්‍රනය පරාදයි ජනතාවගේ සැබෑ ජයග්‍රහනයට පෙල ගැසෙමු” යන තේමාව යටතේ උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත. මෙය කම්කරුවන් තරුනයින් සහ පීඩිතයින් තවත් උගුලකට හසු කර ධනපති ක්‍රමය තුල රඳවා ගැනීමට ජවිපෙ විසින් දියත් කර ඇති නව වංචනික ව්‍යාපාරයකි.

දෙසැම්බර් 13 වනදා ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවැම්බර් 9 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට තීන්දුකොට එය නැවත කැඳවීමට ඉඩ සැලසීමෙන් අනතුරුව ජවිපෙ මෙම නව උද්ඝෝෂනය දියත් කලේය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙම තේමාව යටතේ දෙසැම්බර් 14 වනදා පැවති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් “කුමන්ත්‍රනකරුවන්ට දඬුවම්දීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට නව ජනවරමක් සඳහා මැතිවරනයක් පැවැත්වීම” දැන් පවතින කර්තව්‍යයන් බව ප්‍රකාශ කලේය. මෙහි කොටසක් ලෙස ජවිපෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය පසුගිය සතියේ පුද්ගලික මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස ගෙන එනු ලැබින.

ඔක්තෝබර් 26දා සිරිසේන රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද රාජපක්ෂ දේශපාලන කුමන්ත්‍රනයකින් අග්‍රාමාත්‍ය තනතුරට පත් කලේය. ඊලඟ දිනයේ පාර්ලිමේන්තුව කල්තබා රාජපක්ෂට බහුතරය පෙන්වන ලෙස අවස්ථාව දුන්නද ඔහු එයට අසමත් වූ විට සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඊට විරුද්ධව ඉදිරිපත් කෙරුනු පෙත්සම් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය නොවැම්බර් 11 දා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තාවකාලිකව අත් හිටුවීය. ශ්‍රේෂ්ඨාධිකරනයේ අවසාන නියෝගයෙන් අනතුරුව සිරිසේන විසින් අකමැත්තෙන් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කොට නව කැබිනට් මන්ඩලයක් දිවුරුම් දෙනු ලැබුව ද ඔවුන් අතර තවමත් ගැටුම් ඉදිරියට යයි.

සිරිසේන-රාජපක්ෂ කඳවුර සහ රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂය (එජාප) අතර වර්ධනය වන මෙම දරුනු කාන්ඩායමික ගැටුම අවුලුවාලූයේ මූලිකවම තම සමාජ හා ජීවන කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වර්ධනය වූ විරෝධයයි.

ඔක්තෝබර් 26 දා සිරිසේනගේ දේශපාලන කුමන්ත්‍රයෙන් අනතුරුව ජවිපෙ උද්ඝෝෂනය එල්ල කෙරුනේ, මෙම අර්බුදයෙන් මිදීමට එකම මග නම් ගරාවැටෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීම යයි ජනතාව නොමග යැවීමටයි. ඔවුන්ගේ සෑම ක්‍රියා මාර්ගයකදීම ජවිපෙ නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ එය පාලක පන්තියේ අන්ඩක්ම බවයි.

ඔක්තෝබර් 28 වනදා මාධ්‍ය හමුවකදී දිසානායක තම පක්ෂය මේ “බලුපොරයේ දී කිසිම පාර්ශවයකට සහය නොදෙන” බව ප්‍රකාශ කලේය. නමුත් ඊලඟ දිනයේ ජවිපෙ තානය වෙනස් විය. ජවිපෙ කථානායකට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලා ලිපියක් යවන ලදී. මෙය වික්‍රමසිංහගේ ඉල්ලීම පමනක් නොව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ඔක්තෝබර් 28 වනදා නිකුත් කල “කථානායකවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිමු” යන ප්‍රකාශයේ ප්‍රතිරාවයකි.

ජවිපෙ, එජාපය සහ දෙමල ජාතික සංධානය (දෙජාස) සහ තවත් කන්ඩායම් සමග පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට පෙත්සම් ගොනු කිරීමට පෙල ගැසුනේය. අධිකරනය පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තාවකාලිකව අත්හිටවූ පසු ජවිපෙ නොවැම්බර් 14 හා 16 වනදා රාජපක්ෂට විරුද්ධව එජාපය සහ දෙජාස සහයෝගයෙන් විශ්වාස භංග යෝජනා දෙකක් ගෙන ආවේය. මෙම යෝජනා දෙකම පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එය සිරිසේන විසින් ප්‍රතික්ෂේප කලේය.

ඉන් පසුව, ජවිපෙ, එජාපය හා දෙජාස සමග රාජපක්ෂ ගේ ආන්ඩුව නීතී විරෝධී බව ප්‍රකාශ කිරීමට ඉල්ලා අභියාචනාධිකරනයට පෙත්සමක් යැවීය. රාජපක්ෂට විශ්වාසය නොමැති බවට සිරිසේන ට දිවුරුම් ප්‍රකාශ ලබා දුන් මන්ත්‍රීවරුන් 122 දෙනා අතරේ ජවිපෙ මන්ත්‍රීවරු හය දෙනාද විය.

කිසිදු ස්වාධීන පිලිවෙතකින් තොරව, ජවිපෙහි මෙම සියලු ක්‍රියාමාර්ග මගින් රනිල් වික්‍රමසිංහ සහ එජාප කඳවුරට පිටු බලය සැපයිනි.

පසුව මව්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී එය ප්‍රශ්න කල විට ජවිපෙ නායකයෙකු වන ලාල් කාන්ත මෙසේ ප්‍රකාශ කලේය: “දේශපාලනයේදී විටින් විට ප්‍රමුඛතාවන් වෙනස් වෙනවා. රටේ ජාතික වශයෙන් ප්‍රතිගාමී බලවේගයන් කුමන්ත්‍රණයන් හරහා බලය අල්ලා ගන්න හදපු එක පරාද කිරීම ඒ මොහොතේ ප්‍රධාන එක.." ඔහු තව දුරටත් පැවසුව වික්‍රමසිංහට ඉන් වාසියක් සිදුවුයේ නම් එය කිසිවෙකුටවත් නැවත්විය නොහැක යනුවෙනි.

මේ “අඩු නපුර” පිලිබඳ සූත්‍රය ඒ හෝ මේ ධනපති පක්ෂයට බලයට පත් වීමට සහය දැක්වීමට ජවිපෙ යොදාගන්නා සාම්ප්‍රදායික සූත්‍රයයි. නමුත් සෑම අවස්ථාවකදීම කම්කරුවන් හා පීඩිතයින් ඉන් දරුනු ප්‍රතිවිපාක වලට මුහුන දෙයි.

කොලඹ පැවති රැස්වීමකදී දිසානායක විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයිද යන්න පැහැදිලි කරමින් “ජනාධිපති ධුරයේ සිටි සියලුම දෙනා” ආඥාදායකයින්, හොරුන් සහ අපරාධ වලට සහය දෙන්නන් බවට අවසානයේ දී පත්වූ බව කීවේය.

ජවිපෙ සාමාන්‍යයෙන් සිතන්නේ ජනතාව අමතකවීමේ රෝගයෙන් පෙලෙන බවයි. එනිසා ජවිපෙ නායකයන් මෙම ජනාධිපතිවරුන්ගෙන් බහුතරයකට බලයට පත් වීමට තමන් සහය දැක්වීම සම්බන්ධයෙන් වචනයකුදු කතා නොකර ඇඟ බේරාගනී.

1994 දී ජනාධිපතිවරනයේදී චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් පොරොන්දුව මත ජවිපෙ සිය අපේක්ෂකයා ඉවත් කරගනිමින් ඇගේ පොදු ජන පෙරමුනට සහය දුනි. 2001 දි මෙම පක්ෂය කුමාරතුංගගේ සුලුතර ආන්ඩුව ගෙනයාමට සහය දුන්නේය. 2004 දී වික්‍රමසිංහ නෙරපා හැරීමට කුමාරතුංගට පිටු බලය දුන් ජවිපෙ ඇය සමග සන්ධානයකට එලැඹී මැතිවරනයට තරඟකොට අමාත්‍ය ධුර සතරක් ලබාගනිමින් ඇගේ පාලනයට ද හවුල් විය.

2005 දී රාජපක්ෂ බලයට ගෙන ඒමට ද එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ නාමයෙන් වර්ගවාදී යුද්ධය යලි ඇරඹීමට විධායක බලතල පාවිච්චි කිරීමට ද මෙම පක්ෂයේ ඍජු සහය ලැබුනි. 2010 ජනාධිපතිවරනයේදී එජාපය සමග ජවිපෙ පෙල ගැසුනේ යුද්ධය ජයගත් ජනරාල් සරත් ෆොන්සේකා ට සහයෝගය දීමටයි.

ජවිපෙ 2015 දී “රාජපක්ෂගේ ඒකාධිපතිත්වය” පරාජය කිරීමේ නාමයෙන් සිරිසේන බලයට ගෙන ඒමේ ව්‍යාපාරයේ පෙරමුනේම ක්‍රියා කලේය. තවත් පුවත්පත් සාකච්ඡාවක දී දිසානායක මෙසේ පැවසුවේය: “අප කැමති වුවත් නැතත් යථාර්තයේදී රාජපක්ෂව පරාජය කිරීමට හැකියාව පැවතුනේ එජාපය ප්‍රමුඛ සන්ධානයකට පමනයි”. ජවිපෙ එලෙස පෙල ගැසුනේ රාජපක්ෂ චීනය සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට විරුද්ධව වොශින්ටනය මැදිහත්වී සිරිසේන බලයට ගෙන එමින් සිදුකල තන්ත්‍ර මාරුව සමගයි.

ජවිපෙහි “කාලයේ ප්‍රමුඛතාවයන්ට” අනුව හා “ප්‍රායෝගික ප්‍රවිෂ්ටයට අනුව” යන සූත්‍ර අධම උපාමාරු විය. මෙම ජනාධිපතිවරුන් අපකීර්තියට පත් වූ සෑම විටම ජවිපෙ වහාම ඔවුන්ගෙන් දුරස් වීමට ක්‍රියා කලේය.

දෙසැම්බර් 14 දා රැස්වීමේදී දිසානායක වැඩිදුරත් උත්සාහ කලේ ධනපති පාලනයට එරෙහිව ජනතාවගේ අතෘප්තිය ගසා කෑමටයි. ඔහු පසුගිය ආන්ඩු වල පාලනය යටතේ අධ්‍යාපනය පුද්ගලීකරනය, ප්‍රවාහන සේවයේ බිඳ වැටීම, පිරිහෙන සෞඛ්‍ය, කලා කටයුතු හා තවත් බොහෝ දේ කරගෙන යාමට නොහැකි වීම නිසා සමාජය කඩා වැටී ඇති බව ප්‍රකාශ කලේය. මෑතකදී ව්‍යවසායකයින් සමග සාකච්ඡාවකදී කර්මාන්ත ශාලා 400 කට ආසන්න ප්‍රමානයක් වසා දැමුනු බවට ඔවුන් පැමිනිලි කල බවට ද ජවිපෙ නායකයා වැලැපුනේය .

ජවිපෙහි විසඳුම කුමක්ද? දිසානායක ජවිපෙ ශාස්ත්‍රාලිකයින් සමග එක් වී ලංකාවේ ප්‍රශ්න විසඳීමට ගොතන ක්‍රියා මාර්ගය ලබන මස එලි දක්වන බව ප්‍රකාශ කලේය. මෙම ශාස්ත්‍රාලිකයින් අතරට හරිනි අමරසූරිය, මයිකල් ප්‍රනාන්දු, ලියනගේ අමරකීර්ති ඇතුලු කන්ඩායමක් සම්බන්ධ වී සිටිති. මොවුන්ගෙන් සමහරක් මෙවර හා පසුගිය වසරේ රැස්වීම්වලට සහභාගි වී ජවිපෙ පිම්බීමට පුච්චානම් දෙඩූහ.

තමන් ජවිපෙ හි සාමාජිකයින් නොවන නමුත් එයට “දූෂනයෙන් තොර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීමට” සහය දක්වන බව මෙම ශාස්ත්‍රාලිකයෝ ප්‍රකාශ කලහ. දේශපාලනිකව අතිශයින්ම දූෂිත පක්ෂයක “අව්‍යාජත්වය” සම්බන්ධ ඔවුන්ගේ සහතිකය අර්ථභාරී එකකි. ධනපති පන්ති පාලනය මුලුමනින්ම කුනු වී ඇති තත්වයක මොවුන් ජවිපෙ විකල්පයක් ලෙස තොරොම්බල් කරති. උත්ප්‍රාසාය නම්, මෙම බුද්ධිමතුන්ගෙන් බහුතරය ධනේශ්වර පාලනය පුපුරන සුලු සමාජ අර්බුදයකට මුහුන දුන් 1994 කුමාරතුංගට ද 2015 දී සිරිසේන බලයට ගෙන ඒමටත් සහය දුන් අයයි.

ඉහල මධ්‍යම පන්තික කන්ඩායම්වල සහය ඇතිව ජවිපෙ විසින් සූදානම් කෙරෙමින් පවතින මෙම උගුල ප්‍රතික්ෂේප කරන ලෙස අප කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. ලංකාවේ හා ජාත්‍යන්තර මාධ්‍ය “මාක්ස්වාදී පක්ෂයක්” ලෙස නිතරම හඳුන්වන ජවිපෙට සමාජවාදය හෝ මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැත. ජවිපෙ ආරම්භ වූයේ 1960 දශකයේ අග භාගයේ මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදය කලතාගත් මිශ්‍රනයක් මත වූ අතර එය දශක ගනනාවක් ගතවී යද්දී ධනපති පන්ති පාලනයේ මුක්කුවක් හා දේශපාලන සංස්ථාපිතයේ ප්‍රධාන පක්ෂයක් බවට පරිවර්තනය වී තිබේ.

පාලක පන්තියේ සියලුම කන්ඩායම් සහ ජවිපෙ වැනි ඔවුන්ගේ දිගු කාලීන සහකරුවන් සහ ඉහල මධ්‍යම පන්තියේ භීතියට හේතුවී ඇත්තේ ලෝක අර්බුදය මධ්‍යයේ ලංකාව තුලත් ජාත්‍යන්තරවත් වැඩෙන පන්ති අරගලයයි.

කම්කරුවන්ට ඇති එකම විකල්පය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස ලංකාවේ කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් වැදීමයි. සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය මෙම ඉදිරි දර්ශනය සඳහා සටන් වදී.

Share this article: