ඇමරිකානු යුද කටයුතු ආශ්‍රිත ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුල ඇරඹෙයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2018 ජනවාරි 31

චීනයට එරෙහි ඇමරිකානු යුද සූදානමෙහි කොටසක් ලෙස වර්ධනය කෙරෙන ඇමරිකානු-ශ්‍රී ලංකා යුද කටයුතු වල නව පියවරක් සලකුනු කරමින්, ඇමරිකානු නාවික හමුදාව පසුගිය අගෝස්තුවේ සිට ලංකාවේ සිට තම යුද නෞකා සඳහා භාන්ඩ මාරුකිරීම ආරම්භ කලේය.

මෙම “තාවකාලික නෞකා භාන්ඩ මාරු ආරම්භකත්වයේ” කොටසක් ලෙස, ජනවාරි 24 වන දා, ඇමරිකාවට අයත් යූඑස්එස් ජෝන් සී ස්ටෙනිස් නම් යුද අහස් යානා ප්‍රවාහන නෞකාවට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට සැපැයුම් ලබාගත් බව, ඇමරිකානු පැසිෆික් නාවික බලඇනිය ප්‍රකාශ කලේ යැයි ඬේලි මිරර් පුවත් පත ජනවාරි 25 වන දා වාර්තා කලේය. වාර්තාවට අනුව මෙම හුවමාරු මෙහෙයුම ජනවාරි 21 සිට 29 දක්වා ක්‍රියාත්මක වෙයි.

ඇමරිකානු නාවික හමුදාවට අයත් ක්‍-40් ගුවන් යානයකින් බහරේන් හි සිට ප්‍රවාහනය කෙරුනු භාන්ඩ තොගයක්, එම හමුදාවට ම අයත් ක්‍-2් ග්‍රේහවුන්ඞ් යානයන්ට කටුනායක දී මාරු කෙරී ඇති අතර, භාන්ඩ රැගත් ග්‍රේහවුන්ඞ් යානාවන්, ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බෙහි තිබූ ජෝන් සී ස්ටෙනිස් නෞකාවට පියාසර කොට ඇත.

ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලයිනා ටෙප්ලිට්ස් නිකුත් කල ප්‍රකාශයකට අනුව “මෙය තාවකාලික භාන්ඩ මාරු ආරම්භකත්වයේ තෙවන පුනර්කරනය යි. මෙම භාන්ඩ මාරුව සිදුවන්නේ, 2018 අගෝස්තු හි දී බන්ඩාරනායක ජාත්‍යන්තර තොටුපොලේදී ත්, 2018 දෙසැම්බර්හිදීී ත්‍රිකුනාමලයේදී ත් සාර්ථක භාන්ඩ මාරු දෙකක් සිදු කිරීමෙන් පසුවයි.”

චීනය සමග එලැඹිය හැකි යුද ගැටුමක පෙරහුරු ලෙස ඇමරිකානු නාවික හමුදාව සිදු කරන මෙම මෙහෙයුම් පිලිබඳව ලංකාව සහ කලාපය තුල වැඩෙන මහජන විරෝධය සමනය කිරීමට රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් කතා කරන ටෙප්ලිට්ස්, හුවමාරු කෙරුනු භාන්ඩ අතර “මාරක” වන භාන්ඩ කිසිවක් නොතිබුනු බවත් ඒවා අතර පැවතියේ “අමතර කොටස්, යාන්ත්‍රික ආවුධ, පුද්ගලික ලියුම්, කඩදාසි භාන්ඩ සහ අනෙකුත් දෑ පමනක්” බවත් පවසයි.

තාවකාලික භාන්ඩ මාරුව අවසන් වූ පසු එයට සම්බන්ධිත, “නාවික භාන්ඩ, මිලිටරි ආම්පන්න හෝ පුද්ගලයන් අතරින් කවරක් හෝ ශ්‍රී ලංකාව තුල නොරඳවන” බවත් තානාපතිනිය තම ප්‍රකාශයේ සඳහන් කරයි.

“සැපැයුම් සහ වානිජ කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය” කිරීම සඳහා එහි “නායකයන්” ගෙන ඇති ආරම්භකත්වයන්ට සහයෝගය දීම සඳහා මෙම මෙහෙයුම් සිදුු කල බව ටෙප්ලිට්ස් පැවසුවද, මෙවන් අභ්‍යාසයන්ගේ සැබෑ අරමුන චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි මූලෝපායික වැඩ කටයුතු වලට ලංකාව වඩාත් ඒකාග්‍රකර ගැනීම බව පසුව ඇය කරන සඳහනෙන් එලිමහනට පැමිනෙයි: “දෙරටෙහි කුසලතාවන් සහ අන්තර් ක්‍රියාකාරිත්වයන් වර්ධනය කෙරෙන ඒකාබද්ධ අභ්‍යාසයන් සහ පුහුනු වැඩසටහන් රාශියකින් එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව සමන්විත වෙයි.”

ඇමරිකාවේ මෙම මිලිටරි අරමුන, භාන්ඩ හුවමාරුව මෙහෙය වූ ඪඍක්‍-30 නාවික බලකායේ ප්‍රධානියා වන ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් බ්‍රෙට් ලර්නර් කල ප්‍රකාශයකින් වඩාත් පැහැදිලි වෙයි. ඔහුට අනුව මෙම හුවමාරු මගින්, ඇමරිකානු මිලිටරියට “ඉන්දියානු සාගරය තුල පිහිටි මූලෝපායික සම්පතක් සම්පාදනය කෙරෙයි.”

ඇමරිකාව, ලංකාව තුල දී භාන්ඩ මාරුව සඳහා තෝරාගෙන ඇත්තේ තම මිලිටරි කටයුතු වලදී සුවිශේෂී භූමිකාවන් ඉටුකල හැකි ස්ථානයන් දෙකකි.

ත්‍රිකුනාමල වරාය ලොව දෙවන ගැඹුරුතම වරාය වන අතර එය පිහිටා ඇත්තේ ඉන්දියානු සාගරය තුල පිහිටි ඉතා වැදගත් මිලිටරි මූලෝපායික ස්ථානයක වන අතර, දෙවන ලෝක යුද්ධයේ අවසන් වසරවල බි්‍රතාන්‍යයේ නැගෙනහිර නාවික බලකා මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වූයේ මෙම වරාය යි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කලාපයේ ප්‍රධානතම වානිජ ගුවන් ගමන් කේන්ද්‍රය කි.

ලංකාව තුල ඇමරිකානු මිලිටරි මෙහෙයුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙලෙස වේගවත් කෙරී ඇත්තේ, ආසියාව තුල චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි මූලෝපායික ස්ථානය ශක්තිමත් කිරීම එල්ල කරගත් “ආසියාව පුනරාරක්ෂනය කිරීමේ ආරම්භකත්ව පනත” ට දෙසැම්බර් 31 වන දා ජනාධිපති ට්‍රම්ප් විසින් අත්සන් තැබූ තතු යටතේ ය.

ලංකාව තුල වොෂින්ටනයට වඩාත් සමීප තන්ත්‍රයක් පවත්වාගෙන යාම චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි මූලෝපායේ අත්‍යන්ත කොටසකි. චීනය සමග සමීප සබඳතා වර්ධනය කරමින් සිටි රාජපක්ෂ තන්ත්‍රය හෙලා, තමාට වඩාත් සමීප සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය බලයට ගෙන ඒමට වොෂින්ටනය තිරය පිටුපස සිට ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. නව තන්ත්‍රය බලයට පැමිනි දා සිට චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි මූලෝපායට ලංකාව වඩවඩාත් ඒකාග්‍ර කෙරුනි.

පසුගිය වසර තුල පමනක් දෙරටෙහි මිලිටරි අතර ප්‍රධාන ක්‍රියාකාරකම් පහක් සිදු කෙරුනි. ඉහත දැක්වූ ජෝන් සී ස්ටෙනිස් නෞකාවේ පැමිනීම, එක්සත් ජනපද රෝහල් නෞකාවක් වන යූඑස්එන්එස් මර්සි නෞකාව ත්‍රිකුනාමලයට පැමිනීම සහ යූඑස්එස් ඇන්කොරේජ් සමග ශ්‍රී ලංකා නාවික හමුදාව පැවැත්වූ මුහුදු අභ්‍යාස තුන එම ක්‍රියාකාරකම් වෙයි. මීට අමතරව, හවායි හි පැවති ලොව සුවිසල්ම යුද-නාවික අභ්‍යාසයන් හි නිරීක්ෂකයෙක් ලෙස ද ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සහභාගිවිය.

පසුගිය ඔක්තෝබර් 26 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින්, ව්‍යවස්ථාමය කුමන්ත්‍රනයක් හරහා, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් පහකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්කලවිට, ලංකාව තමාට අහිමි වෙතැයි යන උත්සුකයෙන් වික්‍රමසිංහ යලි අගමැති ධුරයේ පිහිටුවන ලෙස වොෂින්ටනය එක දිගටම සිරිසේනට පීඩනය යෙදුවේය.

තමා වොෂින්ටනයේ අවශ්‍යතාවයන්ට අනුව හැඩගැසීමට සූදානම් බව රාජපක්ෂ යලියලිත් ප්‍රදර්ශනය කලද වොෂින්ටනයේ තෝරා ගැනීම වූයේ පරීක්ෂාවට ලක්වූ තම සගයා වන වික්‍රමසිංහ යි. අවසානයේදී වික්‍රමසිංහ යලි අගමැති ලෙසට පත් කෙරුනි.

කෙසේ නමුත්, සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය එල්ල කරන ප්‍රහාර හමුවේ වැඩෙන මහජන විරෝධය, සිංහල ස්වෝත්තමවාදී සහ ජාතිකවාදී උද්ඝෝෂනයක් තුලට හරවා, එමගින් යලි බලයට පැමිනීමට මාන බලන මහින්ද රාජපක්ෂ කඳවුර, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ලංකාව තුල වේගයෙන් වැඩෙන ඇමරිකානු මිලිටරි ආනුභාවය ට එරෙහි ව්‍යාජ විරෝධයක් ප්‍රවර්ධනය කරමින් සිටී.

පසුගිය ඔක්තෝබරයේදී ආන්ඩුවෙන් ඉවත්ව රාජපක්ෂ සමග සන්ධානගතවූ ජනාධිපති සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප), මෙම ජාතිකවාදී උද්ඝෝෂනයට මුලුමනින්ම කරබදු වී සිටී. ජනවාරි 18 වන දා මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ ඇමරිකානු මිලිටරි කඳවුරක් ලංකාව තුල ඉදි කිරීම සඳහා පසුගිය අගෝස්තු 18 වන දා ආන්ඩුව සහ ඇමරිකාව අතර සාකච්ඡාවක් පැවති බවයි.

උත්ප්‍රාසය වන්නේ, මෙම ඇමරිකානු මිලිටරි මෙහෙයුම් සිදුවනුයේ, 2007 දී මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ඇමරිකාව සමග අත්සන් කෙරුනු “අත්පත්කර ගැනීමේ සහ හරස්-සේවාවන් ගේ ගිවිසුම (්ක්‍ී්)” යටතේ වීමයි.

2017 දී සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය විසින් එය තවත් වසර දහයකින් දිගු කලේය. ගිවිසුමට අනුව, දෙරට අතර සැපැයුම් සහ සේවා, කාර්ය මන්ඩල පුහුනු සඳහා මෙන්ම, ව්‍යසනයන්හි දී මානුෂීය ආධාර සඳහා ද අවසර ලැබෙන බව ප්‍රකාශයට පත්කෙරී ඇත.

එනමුදු ගිවිසුමෙන් ඇමරිකානු මිලිටරියට ලබා දෙන පහසුකම් වඩා දුරදිග යන සුලුය. ඒසීඑස්ඒ ගිවිසුම සම්බන්ධයෙන් 2017 දී ඬේලිමිරර් පුවත්පතට ලිපියක් ලියන ලසඳා කුරුකුලසූරිය ඇමරිකානු මිලිටරියේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වයි: “සත්කාරක ජාතියේ සැපැයුම් සහ සේවාවන්ට අමතරව, එක්සත් ජනපද පැසිෆික් බලකායේ වගකීම් කොටස යටතේ, බලකා ප්‍රක්ෂේපනය සඳහා අත්‍යවශ්‍ය කඳවුරු සහ යටිතල පහසුකම් සඳහා මෙම ගිවිසුමෙන් අවකාශ ලැබෙයි.”

මේ අතර, ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “ඇමරිකාව ශ්‍රී ලංකාව තුල මිලිටරි කඳවුරක් ස්ථාපිත කිරීමේ කටයුතු වල නිරතව සිටින්නේ යැයි පලවන වාර්තා මුලුමනින්ම අසත්‍ය” බවයි. අගමැති වික්‍රමසිංහ ද පසුගිය සතියේ පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමරිකානු මිලිටරි කඳවුරක් ලංකාව තුල පිහිටුවීම පිලිබඳ චෝදනාව “පූර්න ප්‍රබන්ධයක්” බවයි.

අනෙක් අතට, ඉන්දියන් සාගරය තුල ඇමරිකානු මිලිටරි ක්‍රියාකාරකම් ඉහල දැමෙන්නේ චීනයේ “මුතුපොට” මූලෝපායට ප්‍රතිචාරයක් ලෙස බවට කෙරෙන සැඳහුම් ව්‍යාජ ය. “මුතු පොට”, නැතහොත් ලංකාවේ හම්බන්තොට සහ පකිස්තානයේ ග්වාඩාර් වැනි වරායන් ඇතුලත් වරාය මාලාව, වනාහි කලාපයේ රටවල් අතරින් භූ-මූලෝපායික සහකරුවන් දිනාගැනීම මගින් තමා වටකිරීමට ඇමරිකාවේ නායකත්වයෙන් කෙරෙන වැඩකටයුතු අහුරා දැමීමට දරන මංමුලා සහගත උත්සාහයකි. කෙසේ නමුත්, වඩාත් තීව්‍ර කෙරෙන ඇමරිකාවේ හා එහි සගයන්ගේ යුදවාදී ක්‍රියාවන්ට ප්‍රගතිශීලී පිලිතුරක් බීජිනයේ චීන තන්ත්‍රයට නැත.

චීනය, ඇමරිකානු ප්‍රහාරයකට මුහුනදීම සඳහා තම මිලිටරි බලය ප්‍රවර්ධනය කිරීම මෙම යුදවාදී ක්‍රියාවන්ට දක්වා ඇති ප්‍රතිචාරය යි. මාධ්‍ය වාර්තාවන්ට අනුව චීනය පසුගිය දශකය තුල සියයකට වැඩි යුද නෞකා සහ සබ්මැරීන තම නාවික හමුදාවට එක්කර ගෙන ඇත. පසුගිය වසරේදී එයට “අධි-නාශක” නම් නව පංතියේ යානා හඳුන්වා දුනි. මීට අමතරව, ඇමරිකාවේ ප්‍රධාන ප්‍රතිමල්ලවයන් දෙදෙනාවන, න්‍යෂ්ටික බලයෙන් අනූන රුසියාව සහ චීනය එක්ව කරන යුද අභ්‍යාසයන් වඩාත් තීව්‍ර කෙරෙමින් පවතින අතර, සැප්තැම්බර් මාසයේ චීන සොල්දාදුවන් 3000 ක්, දසදහස් සංඛ්‍යාත රුසියානු සෙබලුන් සමග දැවැන්තම යුද අභ්‍යාසයක යෙදී ගත්හ.

2018 අගෝස්තුවේ දී වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වූ තෙවන ඉන්දියානු සාගර සමුලුව අමතමින් අගමැති වික්‍රමසිංහ, චීනයට එරෙහි ඇමරිකානු මූලෝපාය ට තම සහයෝගය වක්‍රව ප්‍රකාශ කලේ මෙම තතු තුලයි.

“භූගෝලය හරහා වැඩෙන මූලෝපායික ප්‍රතිමල්ලවතා සහ මිලිටරි වර්ධනයන් මෙම සාගර අවකාශයට පිටාර ගලන” තත්වයක් තුල, “මීලඟ මහා ක්‍රීඩාව සිදුවන අවකාශය මෙය වනු ඇතැ”යි වික්‍රමසිංහ පැවසීය. “ශ්‍රී ලංකාවේ පිහිටීම ඉන්දියානු සාගර කලාපයේ පමනක් නොව, නැගෙනහිර ආසියාවේ, මැදපෙරදිග, නැගෙනහිර අප්‍රිකාවේ සහ පැසිෆික් කලාපයේ පවා ආරක්ෂාව කෙරෙහි ඇති කල හැකි බලපෑම ඓතිහාසික සිද්ධීන්ගෙන්” ප්‍රදර්ශනය වන බව සඳහන් කරමින් ඔහු කතාව ඉදිරියට ගෙන ගියේය.

නමුදු, අවසානයේදී ඔහු කියා සිටියේ, චීනයට එරෙහි ඇමරිකානු යුද මුලෝපායේ කොටසක් ලෙස තොරොම්බල් කෙරෙන “නාවික ගමනාගමනයේ නිදහස” ඉන්දියානු-පැසිෆික් කලාපය තුල ස්ථාපිත කිරීමට කලාපීය ජාතීන් යොමුවිය යුතු බවයි. ලංකාව තුල ඇමරිකානු “භාන්ඩ හුවමාරුව” සිදු කෙරෙනුයේ ද මෙම කඩතුරාව යටතේ ය.

ලංකාව පමනක් නොව, තම කලාපීය හවුල්කරු වන ඉන්දියාව හරහා සමස්ත ඉන්දියානු කලාපයම චීනයට එරෙහි යුද මූලෝපායට ඒකාග්‍ර කර ගැනීමේ කටයුතු වල ඇමරිකාව යෙදී සිටී. ඇමරිකාව සහ චීනය යන දෙරටම ලොව ප්‍රධානතම න්‍යෂ්ටික බලයන් දෙකක් වන තතු තුල, චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි ප්‍රචන්ඩත්වය සමස්ත කලාපයේම කම්කරු-පීඩිත මහජනතාව කෙරෙහි ව්‍යසනකාරී විපාකයන් සඳහා තර්ජනය කරයි.

Share this article: