වතු කම්කරුවෝ තම වැටුප් අරගලය වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබීම හෙලා දකිති

නවීන් දේවගේ විසිනි, 2019 ජනවාරි 31

තම මූලික දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ගෙනගිය දීර්ඝ සහ අධිෂ්ඨානවත් අරගලය පාවා දෙමින්, වෘත්තීය සමිති නිලධරය, වතු සමාගම් සමග අත්සන් කල වැටුප් ගිවිසුම සම්බන්ධයෙන් වතු කම්කරුවන් අතර පවතින්නේ බලගතු කෝපයකි.

සමාගම් විසින් යෝජිත රුපියල් 700 ක මූලික දෛනික වැටුපට එකඟවූ සමිති නිලධරය, අරලියගහ මන්දිරයට රැස් ව පසුගිය සඳුදා හොර රහසේ අත්සන් කෙරුනු මෙම ගිවිසුමේ අඩංගු දෑ කම්කරුවන් මෙතෙකුදු නොදනී.

කම්කරුවන් තම කෝපය පල කරනුයේ ගිවිසුමට අත්සන් තැබූ ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) සහ එක්සත් ජාතික පක්ෂයට අයත් ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) කෙරෙහි පමනක් නොවේ. තම අරගලයට එරෙහිව මුල සිටම ක්‍රියාකල ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන (ඩීපීඑෆ්) සහ කම්කරුවන්ගේ ඇසට වැලි ගැසීම සඳහා අවසාන මොහොතේ ගිවිසුමට අත්සන් තැබීමෙන් වැලකුනු ඒකාබද්ධ වතු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජේපීටීයූසී) යන සංවිධාන සියල්ල කෙරෙහි ඔවුනට ඇත්තේ බලගතු වෛරයකි.

නව වැටුප් ක්‍රමයට එකඟ වූ බැව් සමිති විසින් ප්‍රකාශයට පත් කල 27 වන ඉරිදා දිනයේ පටන් විරෝධතාවන් පවත්වමින් කම්කරුවෝ වෘත්තීය සමිති සහ ආන්ඩුව කෙරෙහි තම කෝපයත් පිලිකුලත් පල කරති. අඟහරුවාදා දිනයේ ද සමිති නායකයන්ගේ අනුරූ පුලුස්සමින් බගවන්තලාව නගරයේ දී විරෝධතා පැවැත්වුනි.

හැටන් නගරය ආශ්‍රිත වතු කීපයකට සංචාරය කල ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමඟ කම්කරුවෝ මේ පාවා දීම සහ තම ජීවන තතු සම්බන්ධයෙන් කතා කල හ.

ආර්. ක්‍රිෂාන්තිනි

“නව සාමූහික ගිවිසුම යටතේ මූලික වැටුප රුපියල් 200 කින් සහ දලු මිලට ගෙවන අතිරේක දීමනාව රුපියල් 20 කින් වැඩි කරල තියෙනව. ඒත් පැමිනීමේ සහ දිරිගැන්වීමේ දීමනා ලෙස දීපු රුපියල් 200 කපල. ඒ අනුව වැඩිවෙල තියෙන්නෙ රුපියල් 20 ක් විතරයි” යනුවෙන් ඇබොට්ස්ලී වත්තේ දෙ දරු මවක් වන ආර්. ක්‍රිෂාන්තිනි පැවසුවා ය. “රුපියල් 750න් කොහොමත් ජීවත් වෙන්න බෑ. දිනකට රුපියල් 1000ක් 1200 ක් අඩුම තරමින් අවශ්‍ය යි.”

කෝපයට පත් ව සිටින කම්කරුවන් ගේ කෝපය අනෙක් සමිති වෙත හරවා යැවීමට යත්න දරමින් එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම් මාධ්‍යයට පැවසූ අදහස් සම්බන්ධයෙන් ඈන්ෆීල්ඞ් වත්තේ බාලසුබ්‍රමනියම් මෙසේ “ජනතාව 1000 ක් ඉල්ලුවේ නැති බවත් කම්කරුවන්ට සුදුසු වැටුපක් ලබා දීමට තමන් මුල සිට ම පෙනී සිටි බවත් දිගම්බරම් කියනව. අපි මුල ඉඳලම කිවුවෙ 1000 ත් මදි කියල. මේ සුදුසු වැටුප හැටියට එයා යෝජනා කලේ සමාගම් යෝජනා කල ගනන.”

බාලසුබ්‍රමනියම් මෙසේ ද පැවසීය: “ආන්ඩුව, වතු සමාගම් සහ ඔක්කොම වෘත්තීය සමිති එක පැත්තක ඉන්නෙ. දිගම්බරම් කියන්නෙ ආදායම් බෙදා ගැනීමේ ක්‍රමයට ගියොත් මීට වැඩිය හොයා ගන්න පුලුවන් කියලා. අපිට ධනපතියො වෙන්න පුලුවන් ය කියනවා.”

වතු සමාගම් මුල සිටම දැඩි උත්සාහයක යෙදෙනුයේ අඳ ගොවියන් හා සමාන තත්වයකට කම්කරුවන් ඇද දමන මෙම ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය ස්ථාපිත කිරීමටයි. කම්කරු පවුල් වලට නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් ලබා දී ඒවායේ නඩත්තුව සහ දලු නෙලීම ඔවුනට පවරා ඉන් ලැබෙන ආදායම සමාගම සමග “බෙදා ගැනීම” මෙම ක්‍රමය යි. “මේ ක්‍රමය ආවම කම්කරුවන්ට ඊ.පී.එෆ්. වගේ පරන දේවල් ඔක්කොම නැති වෙනවා. ආදායම අඩු වෙනවා.”

ඉවත් කල රුපියල් 140 ක දිරි දීමනාව ලබා නුදුන්නොත් තමන් ආන්ඩුවෙන් අස් වන බවට පුහු අභියෝගයක් කල දිගම්බරම් පෙබරවාරි 1 වැනි දා හැටන් පැමින සත්‍යග්‍රහයක් පවත්වන බව ඉහත මාධ්‍ය හමුවේ දී පැවසීය.

වත්මන් ආන්ඩුවේ ඇමතියෙකු වන මනෝ ගනේෂන්, ගිවිසුම අත්සන් කලේ සීඩබ්ලිව්සී ය සහ එජාප ය යැයි ද ඊට තමා සම්බන්ධ නැතැයි ද මේ වැටුප් පිලිගත නොහැකි යැයි ද කියමින් මවා පෑමක නිරත විය.

මේ උත්සාහයන් කම්කරුවෝ අවඥාවෙන් බැහැර කරති. මේ වැටුප් ගිවිසුම අත්සන් කෙරුනේ දිගම්බරම් සහ ගනේෂන් ඇමතිකම් දරන වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පූර්න අනුබලය ඇතිව බව, අරලියගහ මන්දිරයේ ගිවිසුම අත්සන් කිරීමෙන්ම පැහැදිලිවෙන බව බාලසුබ්‍රමනියම් තවදුරටත් පැවසීය.

දෙසැම්බර් මාසයේ පැවති දින නවයක වර්ජනයේ දී එයට නායකත්වය දීම හේතුවෙන් බාලසුබ්‍රමනියම් ගේ වැඩ අත්හිටුවා නිතීමය ක්‍රියා මාර්ග ගැනීමට වතු කලමනාකාරිත්වය යොමු ව ඇත. වතු පරිපාලනයේ මෙම දඩයමට එරෙහි ව කිසිවක් නොකල වෘත්තීය සමිති ඔවුනගේ රැකියා අනතුරේ හෙලා ඇත.

“රුපියල් 750 හැම අතින් ම මදි. බඩු මිලත් එක්ක කොහෙත් ම පෑහෙන්නෙ නෑ. අපි රුපියල් 1000ක දෛනික වැටුපකට දිගට ම අරගල කරනවා” යැයි ඇබොට්ස්ලී වත්තේ ක්‍රිෂ්නසාමි පැවසී ය. “වෘත්තීය සමිතිවලින් වැඩක් නෑ. ඔක්කොම කම්කරුවො කතා වෙන්නේ දායකත්ව මුදල් ගෙවන එක නතර කරන්නයි. ඡන්දෙ දවස්වලට එනවා. ආරුමුගම් තොන්ඩමන් 1000 දිනා ගන්න බැරි නම් ඉල්ලා අස් වෙනවා කිව්වා. දැන් මේ අය කොහෙද ඉන්නෙ.”

ඇබොට්ස්ලි වත්තේ ෆ්ලොරෙන්ස් ඩිවිෂන්හි එක් දරු මවක් මෙසේ පැවසුවාය: “ඡන්දෙ ඉල්ලා ගෙන ගෙවල්වලට ආවට ඡන්දෙන් පස්සේ අපි ඒ ගොල්ලන්ව හොයා ගෙන යන්න ඕන. ඒ ගියත් මිනිස්සුන්ට කිසි ම ගරුත්වයක් ඇති ව සලකන්නේ නෑ. මට ගුරු පත්වීමක් ලබා ගැනීමට සුදුසු කම් ඇති යැයි කියූ සීඩබ්ලිව්සී නායකයෙකු ඡන්දයෙන් පසු හමු වීමට ගිය විට පැවසුවේ ඔය විභාග ප්‍රතිඵලයට කොහොමද රස්සා දෙන්නේ කියලා.”

එම්. මේරි

පෙරියසාමි විශ්වනාදන් (61) සහ මරියන්දෝනි මේරි (61) විශ්‍රාමික වතු කම්කරු යුවලකි. ප්‍රේම සබඳතාවයකින් වයස අවුරුදු 19 දී විවාහ වී ඇති ඔවුන්, ආර්ථික දුෂ්කරතාවයන් හේතුවෙන් තම ජීවන අභිලාෂයන් එකින් එක කඩවී ගිය අයුරු විස්තර කලේ පැවති ආන්ඩු වලට සහ සමිති වලට බලගතු ලෙස දොස් පවරමිනි.

මඩකුඹුර වත්තේ සේවය කල ඔවුන් විශ්‍රාම යාමෙන් පසු පුතා සමග වාසය කිරීමට ඇබොට්ස්ලි වත්තට පැමින ඇත. ඔවුන් ගේ දියනිය කොටගල වත්තේ කම්කරුවකු සහ විවාහ වී එහි දිවි ගෙවයි.

විශ්වනාදන්

විශ්වනාදන් මෙසේ පැවසුවේය: “අපි දෙන්න හිතාගෙන හිටියෙ උපදින දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දීල මේ නරාවලෙන් පිටමං කරන්න. ඒ දවස්වල දෛනික වැටුප රුපියල් 250 යි. පඩියට ලමයින්ට උගන්වන්න වියදම් කලොත් අනික් වැඩවලට අමාරුයි. යන්තමට ජීවිතය ගැට ගහ ගන්න එක විතරයි කරන්න පුලුවන් ඒ වගේ වැටුපකට. මේ ආර්ථික දුෂ්කරතා නිසා ලමයින්ටත් වත්තේ කම්කරුවන් වෙනවා හැර වෙන පිලියමක් තිබ්බේ නෑ.”

අවුරුදු 30 කටත් වඩා සමිති වලට සාමාජික මුදල් ගෙවූ නමුත්, ඉන් තම රැකියා හා ජීවන කොන්දේසි වල කවර හෝ වර්ධනයක් සිදු නොවූ බවත් මේරි පැවසුවාය. “සමිති නායකයො කලේ අපේ ඡන්දෙන් මැති ඇමතිකම් ලබාගෙන ඒ අයගෙ ජීවිත සරුසාර කර ගැනීම තමයි. අපෙන් සාමාජික මුදල් නොකැපෙන නිසා විශ්‍රාම ගිහින් වැඩ කරන අපි වැනි තාවකාලික කම්කරුවන් ගැන වෘත්තීය සමිති කොහොමවත් තැකීමක් කරන්නේ නෑ. අපේ දුක්ගැනවිලි පාලකයන්ට කීවම අපිට ලැබෙන සරල පිලිතුර කැමති නම් වැඩ කරන්න බැරි නම් නිකං ඉන්න කියන එක.”

“අපිට දවසට 750ක් ගෙවයි ද කියන එක අවිනිශ්චිත යි. අපි කැෂුවල් කම්කරුවෝ හින්දා අපිට මූලික වැටුප වැඩි වීම අදාල නෑ කියල 500ක් ගෙවන්න ඉඩ තියෙනවා” යැයි විශ්වනාදන් පැවසීය.

දීමනාවක් ලෙස අනෙකුත් කම්කරුවන්ට මාසිකව ලැබෙන වත්තේ නිශ්පාදිත තේ ප්‍රමානය ද විශ්‍රාමිකයන්ට නොලැබෙයි. තම ශ්‍රමයෙන් නිෂ්පාදනය වන තේ, ලැබෙන සොච්චම් වැටුපෙන් මිල දී ගැනීමට සිදු වීම ඔවුන් දෙ දෙනා ගේ සිත්වලට තදින් ම වේදනාකාරී ලෙස කා වැදී ඇත. “තේ දලු කඩන අපිට තේ නෑ” යනුවෙන් ඔවුහු දෙ දෙනා පැවසූ හ.

ප්‍රභාකරන්

සමාජවාදී සමානතා පක්ෂයේ මැදිහත්වීමෙන් පසුගිය වර්ජනය මධ්‍යයේ ගොඩනගාගත් ඇබොට්ස්ලි කම්කරු ක්‍රියාකාරී කමිටුවේ ලේකම් ප්‍රභාකරන් මෙසේ පැවසුවේය: “මම ඊයේ රෑ නිදා ගත්තේ රෑ 12 ට. නොයෙක් මාධ්‍යවල ඊයේ සිදු වීම් ගැන ඊට එරෙහි ව ලෝකය පුරා කම්කරුවන් පැවැත් වූ විරෝධතා ගැන තොරතුරු හෙව්වා.”

“ලෝකයේ රටේ කම්කරුවන් ගේ අරගල ගැන උනන්දු වීමේ ආසාවක් මට ඇති වුනේ වැටුප් අරගලය මැද ලෝක සමාජවාදී වෙබ් අඩවිය හඳුනා ගත්තට පස්සෙයි. ඇතැම් මාධ්‍ය අපේ වැටුප් අරගලය පාවා දුන් වෘත්තීය සමිති නායකයන් අපි වෙනුවෙන් පෙනී සිටින අය මෙන් පින්තාරු කරනවා. මේවා හෙලිදරවු කිරීමට කම්කරුවන් ගෙ ම මාධ්‍යයක් වශයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරන වැඩ කොටස හරි ම වටිනවා.”

“ගිවිසුම අත්සන් කලා කියලා වැටුප් සටන නතර කරන්න බෑ. වැටුප් අරගලය ඉදිරියට ගෙනියන්න හැම වත්තක ම ක්‍රියාකාරී කමිටු ගොඩ නගන්න ඕන; සියලු ම කම්කරුවෝ එකතු වෙලා සමාජවාදය සඳහා සටන් කරන්න ඕන. මාක්ස්වාදය හදාරන්න ඕන.”

Share this article: