ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිංට නිදහස ඉල්ලමින් සසප යාපනයේ දී විරෝධතාවක් පවත්වයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 17

යාපනයේ පැවති උද්ඝෝෂනය

කම්කරුවෝ, ශිෂ්‍යයෝ, තරුනයෝ හා ගෘහනියෝ උද්ඝෝෂනයට සහභාගි වූ හ. යාපනයේ තදාසන්න දූපත්වල හා උතුරේ ප්‍රධාන නගරයක් වන කිලිනොච්චියේ සිට ඔවුහු උද්ඝෝෂනයට පැමිනිය හ. කම්කරුවන්, ශිෂ්‍යයන්, කාන්තාවන් හා ත්‍රී-රෝද රථ රියදුරන් ඇතුලු සිය ගනනකගේ අවධානය දිනාගැනීමට විරෝධතාව සමත් විය. බැනර් හා විරෝධතා පුවරු කියවීමට සැලකිය යුතු කාලයක් මිඩංගු කල ඔවුහු හඬනැගූ සටන්පාඨවලට ද අවධානය යොමු කල හ.

“අධිරාජ්‍යවාදී යුද අපරාධ හෙලිදරවු කල ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! චෙල්සී මැනිං නිදහස් කරනු! තුන්වන ලෝක යුද තර්ජනය පරාජය කරනු! එක්සත් ජනපද යුද සැලසුම්වලට සහාය දෙන දෙමල ජාතිකවාදයට විරුද්ධ වනු හා එක්සත් ජනපද යුද සැලසුම්වලට කොලඹ ආන්ඩුව දෙන සහයෝගයට විරුද්ධ වනු!” යනාදී සටන්පාඨ සහිත පුවරු විරෝධතාකරුවෝ ප්‍රදර්ශනය කල හ. “නිදහස් ප්‍රකාශනයේ හා භාෂනයේ අයිතිය රකිනු” හා “ගූගල් හා ෆෙස්බුක් වාරන ඉවත් කරනු” ඇතුලු සටන්පාඨ ඔවුහු හඬනැගූ හ.

තිරුඥානසම්බන්ධන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී

පැයක් පමන පැවති විරෝධතාවෙන් අනතුරු ව පැවති රැස්වීමේ මුලසුන දැරුවේ සසප දේශපාලන කමිටු සාමාජික පී. තිරුඥානසම්බන්ධන් ය. “ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං සිරගත කොට ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග සිදුකල යුද අපරාධ හෙලිදරවු කිරීම නිසා” යි ඔහු කීවේ ය. “අසාන්ජ් හා මැනිං නිදහස් කරගැනීමේ අරගලය, ලොව පුරා සියලු ජනමාධ්‍යවේදීන් හා ලේඛකයන්ගේ නිදහස් ප්‍රකාශන අයිතිය රැකගැනීමේ අරගලය බැඳී තිබෙනවා” යි ඔහු පැහැදිලි කලේ ය.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හා ආන්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පැරාමිලිටරි කන්ඩායම් විසින් සිදුකරන ලද යුද අපරාධ, අතුරුදන් කිරීම්, පැහැරගෙන යාම් හා මරාදැමීම්වලට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හවුල්කාරීත්වය හෙලිදරවු කරන ලේඛන විකිලීක්ස් විසින් පලකල බව තිරුඥානසම්බන්ධන් පෙන්වා දුන්නේ ය.

“අද වන විට කම්කරුවන් හා පීඩිතයින් යලි පන්ති අරගලවලට පිවිසෙමින් සිටිද්දී, පාලක පන්තීන් ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වයන් දිරිමත් කරමින් දකුනට ගමන් කරමින් සිටිනවා. එහි කොටසක් ලෙස නිදහස් ප්‍රකාශනයේ අයිතිය මර්දනය කිරීමට ඔවුන් සූදානම් වෙනවා” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.

ජූලියන් අසාන්ජ් ආරක්ෂා කරගැනීම සඳහා ගෝලීය ආරක්ෂක කමිටුවක් ගොඩනැගීමේ අවශ්‍යතාව විස්තර කල සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය විසින් ජුනි 20දා පලකල “ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා! ඔහුගේ ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමට ගෝලීය ආරක්ෂක කමිටුවක් තැනීම සඳහා!” යන ප්‍රකාශයට අවධානය යොමු කලේ ය.

“දේශපාලනික දක්ෂිනාංශය හැර හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලනය සමග එකඟ නො වන අයට මෙම අරගලයේ දී ආරක්ෂක කමිටුව සමග එක්වන ලෙස ප්‍රකාශය ආයාචනා කර තිබෙනවා. වාමාංශිකයන්, බුද්ධිමතුන් හා ශිෂ්‍යයන් ඔවුන්ගේ නිදහස සඳහා වන අරගලය සමග එක්විය යුතු” යි ඔහු අවධාරනය කලේ ය.

දේවරාජා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී

“අසාන්ජ් හා මැනිං පන්ති යුද සිරකරුවන්” බව දේවරාජා ප්‍රකාශ කලේ ය. ඇමරිකානු නාවික හමුදාවේ ඔත්තු සේවා නිලධාරිනියක් වූ චෙල්සී මැනිං විසින් සම්පාදනය කරන ලද වීඩියෝ සාක්ෂියක් පලකිරීම මගින්, එක්සත් ජනපදය මිලිටරිය ඉරාකයේ සිවිල් වැසියන් හා රොයිටර් ජනමාධ්‍යවේදියෙක් ඝාතනය කිරීම විකිලීක්ස් විසින් හෙලිදරවු කිරීම ඔහු උපුටා දැක්වී ය.

“විමුක්තිය සඳහා අරගලයට දේශපාලන ඉදිරිදර්ශනයක් අවශ්‍ය යි. එය වනාහි ලෝක සමාජවාදයේ ක්‍රියාමාර්ගය යි. ජාත්‍යන්තර කම්කරු පන්තිය යෝධ දේශපාලනික ක්‍රියාවල නිරත විය යුතු යි. කම්කරුවන්ගේ හා මහජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිනෙන්නන්, මෙම ගෝලීය ආරක්ෂක කමිටුවට සහභාගි විය යුතු යි” යි ඔහු අවධාරනය කලේ ය.

විරෝධතාව සංවිධානය කිරීම සඳහා සසප හා සසජාතශි සාමාජිකයෝ, යාපනය විශ්ව විද්‍යාලය, යාපනය කාර්මික විද්‍යාලය, යාපනය නගරය හා නවන්තුරෙයිහි දෙමල, සිංහල හා මුස්ලිම් කම්කරුවන් හා ශිෂ්‍යයන් අතර බලගතු උද්ඝෝෂනයක් ගෙන ගිය හ.

“ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටමං කිරීම වලක්වන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා! ඔහුගේ ආරක්ෂාව සුරක්ෂිත කරගැනීමට ගෝලීය ආරක්ෂක කමිටුවක් තැනීම සඳහා!” යන ලෝසවෙඅ ප්‍රකාශයේ පිටපත් දහසකට වැඩියෙන් බෙදාහැරි ඔවුහු, සසප විසින් පලකල පොත්පත් හා පොත්පිංචවල් අලෙවි කල හ.

සසප හා සසජාතශි උද්ඝෝෂනය හා විරෝධතාව ගැන සඳහන් කරමින් ඡේද කිහිපයක ප්‍රවෘත්ති, දෙමල වෙබ් පිටු වන පාතිවු හා ටුඬේ ජැෆ්නාහි පලකරන ලදී.

රජයට අයත් රූපවාහිනී, වසන්තම් ටීවී, ඩෑන් ටීවී හා පහලවන් ටීවී, අයිබීසී ටැමිල් සහ කැපිටල් ටීවී හා රේඩියෝ, නිව්ස් ෆස්ට්හි ශක්ති ටීවී හා යාපනයේ පලවන උදයන් නමැති දිනපතා පුවත්පත ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් විසින් විරෝධතාව ආවරනය කලේ ය. ඔවුහු තිරුඥානසම්බන්ධන් හා දේවරාජාගේ හඬපට කොටස් ද ලබාගත් හ.

විරෝධතාව පැවතෙද්දී ඔත්තු බැලීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා තිබුනි. විශ්ව විද්‍යාලය අසල පැවති උද්ඝෝෂනයේ දී ඔත්තු සේවා නිලධාරීන් දෙදෙනෙක් පැමින ඒ පිලිබඳ ව විමසුවේ ඔවුන් ඒ ගැන දැනගත යුතු බව සඳහන් කරමිනි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වී දස වසරක් ගත වී ඇතත්, මිලිටරිය තවමත් උතුරේ වාඩිලාගෙන අධීක්ෂනය කරමින් සිටී.

විරෝධතාව නැරඹූ අය ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කල හ. දීර්ඝ වේලාවක් තිස්සේ පිකට් උද්ඝෝෂනය නරඹමින් සිටි ත්‍රී-රෝද රථ රියැදුරෙක් කීවේ ඔහුට උනන්දුවක් තිබුනත් ඔත්තු සේවා නිලධාරීන් අධීක්ෂනය කරමින් සිටි නිසා විරෝධතාවට සභභාගි වීමට නො හැකි වූ බව යි. “එක්සත් ජනපදයේ යුද අපරාධ හෙලිදරවු කල ජූලියන් අසාන්ජ් ගැන මට දැනගන්නට ලැබුනා. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කරන යුද්ධ නැවැත්වීමට අපි සටන් කල යුතු යි. අපි දැනට මත් වසර තිහක් පැවති සිවිල් යුද්ධයෙන් පීඩා විඳ තිබෙනවා. අපිට අපේ ජීවිකාව අහිමි වුනා. අපි ඥාතීන් හා මිතුරන් අහිමි වෙලා සරනාගතයො හැටියට ජීවත් වුනා” යි ඔහු මතකයට නැංවී ය.

“අපි ලෝක යුද්ධයකට ඉඩ නො දිය යුතු යි. ශ්‍රී ලංකාවේත් යුද අපරාධ සිදු වුනා. ඒවා ආවරනය කරනු ලබනවා. අපි තවමත් ජීවත් වෙන්නේ මිලිටරි විමර්ශනය යටතෙ. ඔබලා දියත් කල අරගල දෙස අපි නිරන්තරයෙන් බලා ඉන්නවා” යි ඔහු වැඩිදුරටත් කීවේ ය.

මෙම සමාජය තුල සත්‍යය කතා කරන පුද්ගලයන්ට දඬුවම් පමුනුවන බව පුද්ගලික සමාගමක සේවය කරන එස්. පද්මනාදන් කීවේ ය. “අසාන්ජ් හා මැනිං සිරගත කර තිබෙන්නේ ඔවුන් සත්‍යය ප්‍රකාශ කල නිසා. ශ්‍රී ලංකාවේ සත්‍යය ලියූ බොහෝ ජනමාධ්‍යවේදීන් ව පාලකයන් විසින් මරා දමා තිබෙනවා. අවුරුදු කිහිපයකට පෙර සත්‍යය ප්‍රකාශ කිරීම නිසා යාපනයේ ජනමාධ්‍යවේදී නිමලරාජන් පාලකයන් විසින් මරා දැම්මා මට මතකයි. ඒ ආකාරයට ජූලියන් අසාන්ජ් ඝාතනය නො කල යුතු යි” යි ඔහු කීවේ ය.

රජයේ සේවකයෙක් වන එම්. එම්. මොහොමඞ් මෙසේ කීවේ ය: “සත්‍යය ප්‍රකාශ කල ලේඛකයා ආරක්ෂා කිරීමට ඔබලා මානවවාදී ක්‍රියාවක් කරනවා.” ඔහු තවදුරටත් කීවේ: “ආන්ඩුව කරන්නේ මිනිසුන් සංහාරය කරන එක. එක්සත් ජනපදය බොරු කියමින් මැද පෙරදිග මහජන ඝාතන සිදුකරනවා. මේ අපරාධ හෙලිදරවු කිරීම නිසා අයෙක් ව හිරේ දමන්න බැහැ. අයිඑස්අයිඑස් සංවිධානය නිර්මානය කලේ එක්සත් ජනපදය හා ඊස්රායලය විසින්. එහෙත් ඔවුන් අයිඑස්අයිඑස් සංවිධානයේ අපරාධවලට සමස්ත මුස්ලිම් ප්‍රජාවට වරද පටවනවා.”

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ දේවස්ථාන හා හෝටල් ඉලක්ක කර එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මුස්ලිම්වරුන්ට එරෙහි ව මුදාහරිනු ලබන අපරාධ ගැන කතා කරමින් ඔහු මෙසේ කීවේ ය: “ආන්ඩුව ප්‍රහාරය පිලිබඳ ව හොඳින් ම දැන සිටියා. ඒත් දැන් ඔවුන් සියලු මුස්ලිම්වරු ත්‍රස්තවාදීන් ලෙස පෙන්නුම් කිරීම අප්‍රසන්න ලෙස අසාධාරන යි.”

Share this article: