ශ්‍රී ලංකාවේ සසප ජූලියන් අසාන්ජ් නිදහස් කරගැනීමේ උද්ඝෝෂනය තීව්‍ර කරයි

Socialist Equality Party in Sri Lanka intensifies the campaign to free Julian Assange

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 22

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), විකිලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් හා එක්සත් ජනපදයේ තොරතුරු හෙලිකරන්නියක වන චෙල්සී මැනිංට නිදහස ඉල්ලන උද්ඝෝෂනය තීව්‍ර කරමින් සිටිති.

සසප- සසජාතශි කොලඹ පැවති රැස්වීම

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ආරම්භ කරන ලද ගෝලීය උද්ඝෝෂනයේ කොටසක් ලෙස, පසුගිය සති දෙකේ දී ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීහු කොලඹ දී මනා සහභාගිත්වයක් සහිත රැස්වීමක් හා යාපනයේ මධ්‍යම බස් නැවතුම්පොල අසල බලගතු රැලියක් පැවැත්වූ හ. “ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටමං කිරීම වලකන ලෝක පරිමාන උද්ඝෝෂන ව්‍යාපාරයක් සඳහා!” (ලින්ක්) යන ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ සිංහල හා දෙමල පිටපත් දහස් ගනනක් මෙම රැස්වීම් ගොඩනැගීම සඳහා බෙදා හැරුනි.

ජූලි 17 කොලඹ රැස්වීමට කම්කරුවන්, තරුනයන්, කලාකරුවන් හා බුද්ධිමතුන් දුසිම් ගනනක් සහභාගි විය. ගොතන ලද ඔත්තු බැලීමේ චෝදනා යටතේ අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කොට වසර 170 ක් දක්වා සිර දඬුවම් පැමිනවිය හැකි බවත්, මැනිං යලි සිරගත කොට ඇති ට්‍රම්ප් පරිපාලනය, අසාන්ජ්ට එරෙහි ව සාක්ෂි දීමට බලකිරීම සඳහා ඇය මූල්‍යමය වසයෙන් බංකොලොත් කිරීමට උත්සාහ දරමින් සිටින බවත්, රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන මන්ඩල සභික පානි විජේසිරිවර්ධන විස්තර කලේ ය.

අසාන්ජ්ට එරෙහි ව චෝදනා නැගීම, ආන්ඩුවල අපරාධ වැඩිදුර හෙලිදරවු කිරීම නැවැත්වීම සහ සමාජ අසමානතාවට හා යුද්ධයට එරෙහි විරෝධය තලා දැමීම ඉලක්ක කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා නිදහස් ප්‍රකාශනය මත එල්ල කරන තීව්‍රතර ප්‍රහාරයක හී තුඩ බව විජේසිරිවර්ධන කීවේ ය.

“අසාන්ජ් හා මැනිං නිදහස් කරගැනීමේ අරගලය අත්‍යවශ්‍යයෙන් ම ජාත්‍යන්තර අරගලයක් විය යුතු” බව විජේසිරිවර්ධන කීවේ ය. “ඔවුන් නිදහස් කරගැනීමේ සටන, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා කරන අරගලයේ හරි මැදට ගෙන ආ යුතු යි” යි ඔහු කීවේ රැස්වීමේ සිටි සියලු දෙනාට එයට සම්බන්ධ වන ලෙස ආරාධනා කරමිනි.

ප්‍රදීප් රාමනායක

සසජාතශි වෙනුවෙන් කතා කල ප්‍රදීප් රාමනායක, විකිලීක්ස් විසින් හෙලිදරවු කල අධිරාජ්‍යවාදයේ අපරාධ පිලිබඳ ව ශ්‍රාවකයට සිහිපත් කලේ ය. අසාන්ජ්ගේ වෙබ් අඩවිය, “සාමාන්‍ය මහජනයාගේ රහස් තොරතුරු ඒකකයක්” බව ඔහු කීවේ ය.

ලෝසවෙඅ ශ්‍රී ලංකා ජාතික කර්තෘ හා දීර්ඝ-කාලීන සසප දේශපාලන මන්ඩල සභික කේ. රත්නායක, අසාන්ජ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරු පන්තිය පුබුදු කොට බලමුලුගැන්වීමේ අරගලය, සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයෙන් වෙන් කල නො හැකි බව කීවේ ය.

කේ. රත්නායක

“මෙම ජාත්‍යන්තර සටනේ කොටසක් ලෙස, සසප හා එහි ආධාරකරුවන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ බලගතු උද්ඝෝෂනයක් ගොඩනැගිය යුතු” යැයි ඔහු කීවේ ය. දිනකට පෙර ආරම්භ වූ ඉක්වදෝර කම්කරුවන්, තරුනයන් හා ගොවීන්ගේ පස් දින ජාතික වර්ජනය ගැන රත්නායක සඳහන් කලේ ය. මෙම අරගලයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තියේ කේන්ද්‍රීය භූමිකාව අවධාරනය කරමින්, වර්ජනයට අසාන්ජ්ගේ නිදහස පිලිබඳ කැඳවුම් අඩංගු විය.

ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ හා ලිබියාවේ යුද අපරාධ සහ ලොව පුරා සිදුකරන ලද අනෙකුත් කුමන්ත්රන හෙලිදරවු කිරීම එක්සත් ජනපද අධිරාජ්යවාදයට බලගතු පහරක් වන නිසා, වොෂින්ටනය හා එහි සගයන් අසාන්ජ් හා මැනිංට එරෙහි ව චෝදනා නගන බව කථිකයා වැඩිදුරටත් කීවේ ය.

“නව යුද්ධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ සූදානම් කරමින් සිටින එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්යවාදී රටවලට, වැඩිදුර හෙලිදරවු කිරීම් වලකා සියලු මහජන විරුද්ධත්වයන් මර්දනය කිරීම අවශ්‍ය යි.”

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන යුද්ධයක සැබෑ අන්තරාය, ගැඹුරු වන එක්සත් ජනපද-චීන ආතතීන් හා ජාත්‍යන්තර ව ඉහල යන කම්කරු පන්තික අරගල රැල්ල වෙත රත්නායක අවධානය යොමු කලේ ය.

අසාන්ජ් හා මැනිංට චෝදනා නැගීම පිලිබඳ ව නව සම සමාජ පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ශ්‍රී ලංකාවේ ව්‍යාජ-වාම සංවිධාන හා ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන්ගේ බිහිරි නිශ්ශබ්දතාව කථිකයාගේ හෙලාදැකීමට ලක් විය. ලෝසවෙඅ කර්තෘ මන්ඩලය විසින් ආරම්භ කර ඇති ගෝලීය ආරක්ෂක කමිටුව හා සම්බන්ධ වන ලෙසත්, අසාන්ජ් හා මැනිං නිදහස් කරගැනීමේ අරගලය සියතට ගන්නා ලෙසත් ශ්‍රාවකයෙන් ඉල්ලා සිටිමින් රත්නායක කතාව සමාප්ත කලේ ය.

අසාන්ජ් හා මැනිං නිදහස් කරගැනීමට යාපනයේ පැවති විරෝධතාවක්

කොලඹ රැස්වීමට දින හතකට පෙර ජූලි 10දා සසප හා සසජාතශි, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් වැනසුනු උතුරේ අගනගරය වන යාපනයේ මධ්‍යම බස් නැවතුම්පොල අසල විරෝධතාවක් පැවැත්වූයේ, අසාන්ජ් හා මැනිං නිදහස් කරන ලෙස බලකිරීමට යි. සිද්ධියට පෙර දිනවල යාපනය විශ්ව විද්‍යාලය, යාපනය කාර්මික විද්‍යාලය හා නගරයේ අනෙකුත් ස්ථානවල උද්ඝෝෂන පැවැත්වුනි.

යාපනයේ තදාසන්න ප්‍රදේශ හා ආසන්න කුඩා දිවයින්වල සිටත්, උතුරේ කේන්ද්‍රීය නගරයක් වන කිලිනොච්චියේ සිටත් කම්කරුවෝ, ශිෂ්‍යයෝ, තරුනයෝ හා ගෘහනීහු විරෝධතාවට පැමින සිටියහ. “අධිරාජ්‍යවාදී යුද අපරාධ හෙලිදරවු කල ජූලියන් අසාන්ජ් නිදහස් කරනු! චෙල්සී මැනිං නිදහස් කරනු! තුන්වන ලෝක යුද තර්ජනය පරාජය කරනු!” හා “එක්සත් ජනපද යුද සැලසුම්වලට සහාය දෙන දෙමල ජාතිකවාදයට එරෙහි වනු,” “එක්සත් ජනපදයේ යුද සැලසුම්වලට කොලඹ ආන්ඩුව දෙන සහයෝගයට එරෙහි වනු” යනාදී සටන්පාඨ පුවරු රැගෙන සිටි විරෝධතාකරුවෝ එම සටන්පාඨ හඬ නැගූ හ.

විරෝධතාව නිරීක්ෂනය කිරීමට ආන්ඩුවේ ඔත්තු බලන නිලධාරීන් දිගේලි කොට තිබුනි. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ආන්ඩුවේ වාර්ගික යුද්ධය අවසන් වීමෙන් දස වසරකට පසුව ද මිලිටරිය තවමත් උතුරේ වාඩිලාගෙන, අධීක්ෂනය කරමින් සිටී.

රැලියෙන් පසුව පැවති රැස්වීමේ මුලසුන දැරූ සසප දේශපාලන මන්ඩල සභික පී. තිරුඥානසම්බන්ධන්, අසාන්ජ් හා මැනිං සිරගත කිරීම හෙලාදුටුවේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හා රාජ්‍ය ආරක්ෂක හමුදා සමග සම්බන්ධ පැරාමිලිටරි කන්ඩායම් විසින් සිදුකරන ලද යුද අපරාධ හා අතුරුදන් කිරීම්වලට වොෂින්ටනයේ සබඳතාව විකිලීක්ස් විසින් හෙලිදරවු කොට තිබුනු බව ඔහු පෙන්වා දුන්නේ ය.

මාධ්‍ය ද්වාර විසින් යාපනයේ විරෝධතාව ආවරනය

සසප දේශපාලන මන්ඩල සභික එම්. දේවරාජා, ලෝසවෙඅ කර්තෘ මන්ඩලය විසින් කැඳවුම් කර ඇති ගෝලීය ආරක්ෂක කමිටුවක් තැනීමේ වැදගත් කම අවධාරනය කලේ ය.

රූපවාහිනී, වසන්තම් ටීවී, ඩෑන් ටීවී, පහලවන් ටීවී, අයිබීසී ටැමිල් හා කැපිටල් ටීවී ඇතුලු බොහෝ මාධ්‍ය ද්වාර විසින් විරෝධතාව ආවරනය කලේ ය. තිරුඥානසම්බන්ධන් හා දේවරාජාගෙන් වෙන වෙන ම ලබාගත් හඬපට කොටස් ගුවන් විදුලි නාලිකාවල විකාශ කල අතර, විරෝධතාවේ වාර්තාවක් “නිව්ස් ෆස්ට්” හි ශක්ති ටීවී රාත්‍රී 10.30 ප්‍රවෘත්ති සංස්කරනයේ එදින ම විකාශය කෙරුනි. “ජූලියන් අසාන්ජ් වහා ම නිදහස් කරනු!” යන හිසින් යුත් විරෝධතාව පිලිබඳ ඡායාරූප සහිත වාර්තාවක් යාපනයේ පලවන උදයන් පුවත්පතේ පලකරන ලදී.

Share this article: