ශ්‍රී ලංකාව: ජනාධිපති මරන වරෙන්තු හතරකට අත්සන් තබයි

විජිත් සමරසිංහ විසිනි, 2019 ජූලි 05

අවුරුදු 43 තිස්සේ මරන දඬුවම අත්හිටුවා තිබීම අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ නිවේදනය කලේ, මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධව මරන දඬුවම ලබා සිටින හතරදෙනෙකු එල්ලා මැරීමේ ලේඛන වලට ඔහු අත්සන් තැබූ බව යි. මෙම තීන්දුව ගෙන ඇත්තේ පාලක එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා බෞද්ධ සංස්ථාපිතයේ පිටුබලය සහිත ව, මෙම අමානුෂික දඬුවම යලි පැනවීම පිනිස වසරකට අධික කාලයක් සිරිසේන ගෙන ගිය උද්ඝෝෂනයකින් පසුව ය.

දඬුවමට නියමිත පුද්ගලයන්ගේ නම් තවමත් හෙලිදරවු කර නැත. පසුගිය සතියේ ආන්ඩුව අලුගෝසුවන් දෙදෙනෙකු සේවයට බඳවා ගත්තේ ය. ආන්ඩුවේ වාර්තාවන්ට අනුව, බන්ධනාගාර රැඳවියන්ගෙන් සියයට 60 ක්, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලට වැරදිකරුවන් වූ අයයි. මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකාරී වූ 48 ක් ඇතුලු මරන දඬුවම නියම වූ පුද්ගලයන් 1,299 ක් සිටී.

ජනාධිපතිවරයා නියමිත දිනයක් නිවේදනය නො කල ද ජුනි 25 දා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවක දී පැවසුවේ “ඉතා ඉක්මනින්” එල්ලා මැරීම සිදුකරනු ඇති බව යි. “බන්ධනාගාර තුල කැලඹිලි ඇති විය හැකි නිසා දැන් ම නම් නිවේදනය කිරීම අවශ්‍ය නැතැ” යි ඔහු කීවේ ය.

සිරිසේන මරන වරෙන්තුවලට අත්සන් තැබීම රට තුලත් ජාත්‍යන්තර වත් බලවත් කෝපයක් අවුලුවා ඇත. මේ සතියේ ශ්‍රේෂ්ඨාධිකරනයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දුසිම් ගනනක් ගොනු කෙරී ඇති අතර, ඉන් සමහරක් ඉදිරිපත් කර ඇත්තේ මරන දඬුවමට නියම ව සිටින්නන් විසිනි. ශ්‍රේෂ්ඨාධිකරනය අද දින සිට මෙම පෙත්සම් විභාගයට ගනු ඇත. පුවත්පතක හිටපු කතුවරයෙකු විසින් ගොනු කල නඩුවක් විභාග කිරීම අභියාචනාධිකරනය විසින් අරඹා ඇත.

“අනෙකුත් රටවල් මත්ද්‍රව්‍ය පාලන පිලිවෙත් ප්‍රතිසංස්කරනය කල යුතු යයි අවබෝධ කරගනිමින් මරන දඬුවම යොදාගැනීම අඩුකිරීමට පියවර ගනිද්දී, ශ්‍රී ලංකාව එම ප්‍රවනතාව ආපසු හරවමින් සිටී” යි සඳහන් කරමින් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) දකුනු ආසියා අධ්‍යක්ෂ බිරාජ් පැට්නයික් ප්‍රකාශයක් නිකුත් කලේ ය.

“ශ්‍රී ලංකාවේ මරන දඬුවම භාවිතා කරනු ලබන්නේ ජාත්‍යන්තර නීතිය හා සම්මතයන් උල්ලංඝනය කරන තත්ත්වයන් තුල” බවත්, “එය අසාධාරන නඩු විමසීම් හරහා වරදකරුවන් කරනු ලැබූ ජනයාගේ ජීවිත බිලිගනිමින්, සුලුතර හා අවාසි සහගත සමාජ-ආර්ථික පසුබිම්වලින් පැමිනෙන ජනයා මත විසමානුපාතික ලෙස බලපෑ හැකි” බවත්, අප්‍රේල් මාසයේ ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් පලකල වාර්තාවක් සඳහන් කලේ ය.

එක්සත් රාජධානිය හා යුරෝපා සංගමය ඇතුලු බටහිර රටවල් ගනනාවක්, සිරිසේනගේ පියවර පිලිබඳ “උත්සුකය” පලකර ඇත. යුරෝපා සංගමයේ ප්‍රකාශකයා විසින් නිකුත් කල ප්‍රකාශය ඉඟි කර ඇත්තේ, එය එම සංවිධානයේ ජීඑස්පී ප්ලස් බදු සහන මත බලපානු ඇති බව යි.

මෙම රටවලට ශ්‍රී ලංකාවේ හෝ ජාත්‍යන්තර ව මහජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගැන අබමල් රේනුවක් තැකීමක් නැත. එම රටවල් වරින් වර මානව හිමිකම් පිලිබඳ උත්සුකතා යොදාගෙන ඇත්තේ, සිය මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා පෙරට ගැනීමටයි. මරන දන්ඩනය ගැන ඔවුන්ගේ උත්සුකය, කොලඹ ආන්ඩුව බටහිර-හිතවාදී පිලිවෙත්වලින් අපසරනය වුවහොත්, මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යලි වතාවක් යොදාගැනීමට පැකිලෙන්නේ නැති බවට වන පනිවුඩයකි.

ජූලි 2 කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමති මංගල සමරවීර විසින් ජීඑස්පී බදු සහන අහිමි වීම පිලිබඳ භීතිය පලකල විට, සිරිසේන අවධාරනය කලේ මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ තම තීරනය දිගට ම පවත්වාගෙන යන බවත්, එය ඔහුගේ “පරම අභිමතය” අනුව ක්‍රියාවට දැමීමට හැකි බවත් ය. නඩු ඇසීම් සමාප්ත වූ විට ඊලඟ පියවර ගන්නා බව ඔහු තවදුරටත් කීවේ ය. යුරෝපා සංගමයේ අනතුරු ඇඟවීම ස්වෛරී රටකට “අතපෙවීමක්” යි කියමින් ප්‍රසිද්ධ රැස්වීමක දී ඔහු උත්සාහ කලේ, බටහිර රටවල් විවේචනය කරන්නෙකු ලෙස පෙනී සිටීමට යි.

ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා ඇත්තේ “එල්ලා මැරීම් නීති-විරෝධී මත්ද්‍රව්‍ය වෙලඳාම කරන්නන්ට බලගතු පනිවුඩයක් වීම ජනාධිපතිවරයාට අවශ්‍ය” බව යි.

ජනාධිපතිවරයා විසින් මරන දඬුවම අවධාරනය කිරීම සිදුවන්නේ, ඔහු නායකත්වය දෙන ආන්ඩුව ඇතුලු සමස්තයක් ලෙස පාලක ප්‍රභූව 1948 නිදහසෙන් මෙපිට මුහුන දෙන ගැඹුරුතම දේශපාලන අර්බුදය මධ්‍යයේ ය. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කඩතුරාවට මුවා වී ඔහු උත්සාහ දරන්නේ, ආඥාදායක ජනාධිපති බලතල වැඩිදුර ශක්තිමත් කිරීමට ගනන් බලමින් මර්දනීය පොලිස්-රාජ්‍ය පියවරයන් තහවුරු කිරීමට යි.

ජනවාරියේ පිලිපීනයට කල සංචාරයක දී, ජීවිත දහස් ගනනක් බිලිගෙන ඇති ජනාධිපති දුතර්තේගේ කුප්‍රකට හා මිනීමරු “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයට” සමාන මහා පරිමාන “මත්ද්‍රව්‍ය යුද්ධයක්” දියත් කිරීමට ඇති අභිප්‍රාය සිරිසේන නිවේදනය කලේ ය.

අර්ථභාරී ලෙස, මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ ඔහුගේ තීරනය පසුගිය සතියේ ප්‍රසිද්ධ කරද්දී, ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කොට, ආඥාදායක විධායක ජනාධිපති ක්‍රමය කරා ආපසු යාම සඳහා ඔහු කැඳවුම් කලේ ය.

ජනාධිපති, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යනාදීන් විසින් නායකත්වය දෙන පාලක ප්‍රභූවේ විවිධ කන්ඩායම් අතර දේශපාලන යුද්ධය තීව්‍ර වී ඇත.

ආන්ඩුව වැඩකරන ජනයා අතර දැඩි ලෙස අපකීර්තියට පත්වෙද්දී, පසුගිය ඔක්තෝබරයේ නීති-විරෝධී ලෙස වික්‍රමසිංහ නෙරපූ සිරිසේන, ඔහුගේ ප්‍රතිමල්ලවයා වන රාජපක්ෂ සමග යලි පෙලගැසුනේ ය. පාර්ලිමේන්තුව විසිරවීමේ සිරිසේනගේ තීරනය ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අවලංගු කල විට හා රාජපක්ෂ චීන-හිතවාදී යයි සලකන එක්සත් ජනපදය ඔහු යලි පත්කිරීමට විරුද්ධ වූ විට දේශපාලන කුමන්ත්‍රනය අසාර්ථක වී ගියේ ය.

අහිංසක සිවිල් වැසියන් සිය ගනනක් මරා දමමින්, දේවස්ථාන තුනක් හා සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් අප්‍රේල් 21දා ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වූ විට, මෙම පක්ෂ හදිසි නීතිය පැනවීමට ඒකාබද්ධ වූ නමුත්, ව්‍යසනය පිලිබඳ වගකීම ගැන එකිනෙකාට චෝදනා කරගත් හ. ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ ඔවුන්ගේ අපරාධකාරී වගකීම ගැන මහජනයා වඩ වඩා දැනුවත් වීම ගැන ඔවුහු භීතියට පත් වෙති.

මෙම තියුනු දේශපාලන කාකොටාගැනීම පුපුරා ගොස් ඇත්තේ, කම්කරුවන්, දුගීන් හා ශිෂ්‍යයන් අතර පෙරලිකාරිත්වය වර්ධනය වෙද්දී ය. මහජනයා අතර අපකීර්තියට පත්ව ඇති මේ සියලු කන්ඩායම්, සමාජ විරෝධය වඩා හොඳින් තලා දමන්නේ කෙසේදැයි ගනන් බලමින් සිටිති.

ම්ලේච්ඡ මරන දන්ඩනයට, සමස්ත දේශපාලන සංස්ථාපිතයම පක්ෂපාතී වුවත්, මේ මොහොතේ සිරිසේනගේ තීරනයෙන් දුරස්ථ වීමට උත්සාහ දරයි.

අධිකරන ඇමැතිනී හා එජාප නායිකාවක් වන තලතා අතුකෝරල පෙබරවාරියේ නිවේදනය කලේ, “මත්ද්‍රව්‍ය වැරදිවලට වරදකාරී වූ පුද්ගලයන් පස්දෙනෙකු එල්ලා මැරීමට අවශ්‍ය පරිපාලනමය ක්‍රියාවලීන්” ඇයගේ අමාත්‍යාංශය විසින් සම්පූර්න කර ඇති බව යි. එහෙත්, අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක දී උපාසක ලීලාවෙන් කියා සිටියේ, “ජීවිතවලට හානිකිරීම එජාපයේ පිලිවෙත්වලට එරෙහි ව යන නිසා, මරන දඬුවමට සහයෝගය දිය නො හැකි” බව යි.

පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කල රාජපක්ෂ, තමන් “සෑමවිට ම මරන දඬුවමට” විරුද්ධ වී ඇති බව ප්‍රකාශ කල අතර ම, “මෙය මරන දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට නිසි වේලාව නො වේ” යි අවධාරනය කලේ ය. රාජපක්ෂ ඉඟි කරන්නේ තමන් සුදුසු යයි තෝරාගන්නා විට මෙම අපරාධකාරී ක්‍රියාව යොදාගැනීමට ඔහු පසුබට නො වන බව යි.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), මෙම තීන්දුව පිලිබඳ ව අතිශය ව්‍යාජ උත්සුකයක් පලකර ඇත්තේ, එය ශ්‍රී ලංකාවට වෙලඳ වාසි ලබාදීමෙන් බටහිර රටවල් වලක්වනු ඇතැයි ඉස්මතු කරමිනි. ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ, මරන දඬුවම ක්‍රියාත්මක කිරීම “ශ්‍රී ලංකාවට විරුද්ධ උද්ඝෝෂනයන්ට අවකාශ ලබා දෙනු ඇති” බවත්, “යුරෝපා සංගමයෙන් ලැබෙන ජීඑස්පී ප්ලස් පහසුකම අහිමි වීමේ විශාල හැකියාවක් ඇති” බවත් ය.

මරන දඩුවම යලි ක්‍රියාත්මක කිරීමේ සිරිසේනගේ තීන්දුව පිලිබඳ වික්‍රමසිංහ, රාජපක්ෂ හා ජවිපෙ නායකයන්ගේ උත්සුකයන් පදනම් වන්නේ කිසිදු මූලධර්මාත්මක ආස්ථානයක් මත නො වේ. එක් අතකින් ඔවුහු, බටහිර රටවලින් ලැබෙන බදු හා අනෙකුත් සීමිත ආර්ථික සහන අහිමි වීම ගැන බිය වෙති. අනෙක් අතට, මෙම අපරාධකාරී ක්‍රියාව කෙරෙහි කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් අතර පවතින අව්‍යාජ විරෝධය ගසාකෑමට උත්සාහ දරති.

අන් සියල්ලටමත් වඩා වික්‍රමසිංහගේ එජාපය සහ රාජපක්ෂගේ හා සිරිසේනගේ ශ්‍රීලනිපය විසින් නායකත්වය දුන් ආන්ඩු, දෙමල වැසියන්ට එරෙහි රුදුරු වාර්ගික යුද්ධයත්, කම්කරුවන්, දුගීන් හා තරුනයන් ලේවැකි ලෙස මර්දනය කිරීම හා නීතිය නොතකා මරාදැමීම් සිය ගනන් සිදුකර ඇත.

කුමනාකාරයෙන් ගත්තද, මරන දඬුවම වනාහි ම්ලේච්ඡ හා මානව-විරෝධී භාවිතාවකි. ලොව පුරා ඕනෑම රටක මරා දමා ඇති වැරදිකරුවන්ගෙන් අතිමහත් බහුතරය, එක්කෝ නිසි නෛතික ආරක්ෂාවකට ප්‍රවේශය නො තිබුනු ආර්ථික ව දුප්පත් ජනයා හෝ හිතාමතා ම බොරු නඩුවලට පටලවන ලද අයයි.

මරන දඬුවම ක්‍රියාත්මක කිරීමේ සිරිසේනගේ තීරනය, ධනපති පාලනය කුනු වෙද්දී පාලක පන්තිය පොලිස්-රාජ්‍ය පාලන ක්‍රමවලට මාරුවීම තවත් අතකින් පෙන්නුම් කරයි. එය මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වඩ වඩා මර්දනය කරමින් සිටී. කම්කරු පන්තිය, දුගීන් හා තරුනයන් මෙම ම්ලේච්ඡ දඬුවමට විරුද්ධ විය යුතු ය.

Share this article: