ජනාධිපති සිරිසේන අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ බස් හා දුම්රිය වර්ජන තහනම් කරයි
කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක්

කේ. රත්නායක විසිනි , 2019 ජූලි 31

මෛත්‍රිපාල සිරිසේන ජූලි 27 මධ්‍යම රාත්‍රියේ නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනයකින් පොදු ප්‍රවාහන සේවය සහ දුම්රිය දෙපර්තමේන්තුවේ සියලු ප්‍රවාහන ක්‍ටයුතු ඊට අදාල සේවා සියල්ල අත්‍යවශ්‍ය සේවා නියෝගය යටතට පත්කර තිබේ. එම නියෝගවලින් සිදුකර ඇත්තේ මෙම සියලුම අංශවල වැඩ වර්ජන සහ විරෝධතා තහනම් කිරීමයි.

එම නියෝගයට යටත් අංශ ගැන ගැසට් නිවේදනයේ මෙසේ සඳහන් වේ: “මගීන් හෝ භාන්ඩ ප්‍රවාහනය සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්,” එම සේවාවන් “කාර්යක්ෂමව හා අඛන්ඩව පවත්වාගෙන යාමට අවශ්‍යවන්නාවූ දුම්රිය ධාවනය, දුම්රිය හා මාර්ග නඩත්තුව, හා නිසි ආරක්ෂාව සැපයීමට අදාල සඥා පද්ධති හා මෙහෙයුම් හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු, මෙම කාර්යයන් සඳහා අවශ්‍ය වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම.”

මීට දින පහකට පෙර, ජූලි 22 දා ජනාධිපති සිරිසේන හදිසි නීතිය හතරවන මාසයට දික්කරමින් නිකුත් කල ගැසට් නිවේදනයේ සඳහන් කලේ, “ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව හා රටේ යථා පැවැත්ම ආරක්ෂා කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවාවන් පවත්වාගෙන යාම සඳහා “හදිසි නීතිය දීර්ඝ කිරීම අවශ්‍ය බව මා අදහස් කරන හෙයින්” එම නීති පනවන බවයි.

කිසිදු නිශ්චිත අරගලයක් ප්‍රකාශයට පත්වී නැති තත්වයක පනවා ඇති වර්ජන තහනම ආන්ඩුව පොලාපැන කම්කරු පන්තිය මර්දනයට සූදානම් බවට නිකුත්කෙරුනු අනතුරු ඇඟවීමකි. අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කලහොත් ඒ යටතේ චෝදනා ලබන කම්කරුවන් රැකියාවලින් පහ කිරීමට, අත් අඩංගුවට ගැනීමට, අධිකරනය මගින් අවුරුදු 2 සිට 5 දක්වා සිර දඬුවම්වලට යටත් කිරීමට හා වරදකරුවන්ගේ දේපොල තහනම් කිරීමට ආන්ඩුවට හැකි ය. අත්‍යවශ්‍ය සේවා කඩ කිරීමට “පෙලඹවීම” ද වරදකි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට දිනකට පසු පනවන ලද හදිසි නීතිය දැන් දීර්ඝ කරමින් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රුදුරු ලෙස මැඩීමට පලල් කෙරෙමින් ඇත්තේ මෙලෙස ය.

ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව හදිසි නීතිය දීර්ඝ කිරීම ද ඒ යටතේ බස් ප්‍රවාහන සේවයේ හා දුම්රිය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් එල්ල කර ඇති ප්‍රහාරය ද ධනපති ජනමාධ්‍ය මුලුමනින්ම යටගසා ඇති අතර සියලුම වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම සංවිධාන ඇතුලු දේශපාලන පක්ෂ ඊට නිහඬව අනුමැතිය දී තිබේ.

අයිඑස්අයිඑස් සමග සම්බන්ධව ලංකාවේ ජාතික තවුහීත් ජමාත් සංවිධානය ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට යන බව දැනදැනම, ආරක්ෂක අංශ සහ ආන්ඩුවේ හා විපක්ෂයේ දේශපාලන නායකයෝ එය සිදුවීමට ඉඩහැරියහ. ඉනික්බිතිව, එය ඩැහගෙන සිරිසේන හදිසි නීතිය පනවා මිලිටරිය මර්දනය සඳහා මුදා හැරිය අතර අනෙකුත් සියලු පක්ෂ ඊට මුලුමනින් ම සහාය දුන්හ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැයි 2 නිකුත් කල ප්‍රකාශයකින් පාලක පන්තියේ පක්ෂවල මෙම රැලිවීමට හේතුවී ඇත්තේ කුමක් දැයි මෙලෙස පැහැදිලි කලේය: “පාලක කව අතර කටුක බෙදීම් තිබුන ද, ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීමේ හා ‘ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ’ කඩතුරාව යටතේ මිලිටරි-පොලිස් යන්ත්‍රය ශක්තිමත් කිරීමට ඒකාබද්ධ වීමේ දී මෙම පක්ෂවලට මොනම ප්‍රශ්නයක්වත් නැත. කම්කරුවන්, ගොවීන්, ශිෂ්‍යයන් හා තරුන ජනයාගේ නැගී එන විරෝධතා හා වර්ජන ව්‍යාපාරය කෙරෙහි සමස්ත පාලක පන්තිය ගැඹුරින් ම භීතියට පත්ව සිටී.”

පාලක පන්තියේ සැබෑ ඉලක්කය හුදෙක් ත්‍රස්තවාදී සංවිධාන නොව කම්කරු පන්තිය බව ද කියා සිටි සසප එම ප්‍රකාශය වැඩිදුරටත් මෙසේ සඳහන් කලේය: ”හදිසි තත්ත්වය පැනවීම හරහා, පාලක පන්තිය කම්කරු පන්තියටත් නාගරික හා ගම්බද දුගීන්ටත් එරෙහි පන්ති යුද්ධයට සූදානම් වෙමින් සිටින බවටත්, ආඥාදායක පාලන රූපාකාරයන් ස්ථාපනය කිරීම දෙසට ගමන් කරමින් සිටින බවටත් සසප අනතුරු අඟවයි.”

සසප කල පැහැදිලි කිරීම හා අනතුරු ඇඟවීම දැන් මුලුමනින්ම සනාථවී තිබේ.

අප්‍රේල් ත්‍රස්ත ප්‍රහාරය සමග පතුරුවාහල මුස්ලිම්-විරෝධී ප්‍රචාර හා ප්‍රචන්ඩ ක්‍රියාවල වාතාවරනය යොදා ගෙන පාලක පන්තිය වෘත්තීය සමිතිවල ද උදව්වෙන් පන්ති අරගල තාවකාලිකව පස්සට තල්ලු කර ගත්තේය. එසේ නමුත්, ජුනි මාසයේ සහ මේ මාසයේ ඇතිවූ දුම්රිය සේවකයින්ගේ, ගුරුවරුන්ගේ, තැපැල් කම්කරුවන්ගේ සංකේත වර්ජන මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ හා විරැකියාවෙන් පෙලෙන උපාධිධාරින්ගේ උද්ඝෝෂනවලින් සලකුනු වී ඇත්තේ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි පෙරලිකාරිත්වය අලුත් වටයකින් පුපුරා එමින් පවතින බවයි. ඊයේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දහස් ගනනක් එක්දින වර්ජනයක යෙදුනාහ.

ආන්ඩුවත් ධනපති පන්තියේ සෑම පක්ෂයක්මත් භීතියට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනය සමග නැගී එන මෙම දහනයේ කොන්දේසි පිලිබඳවයි. වෘත්තීය සමිති මෙම අරගල සීමාකර ආන්ඩුව හා ධනපති පන්තිය රැක ගැනීමේ වියරු උත්සාහයක යෙදුනත් ඒවාට පිටින් හා එරෙහිව කම්කරුවන් කැරලිකාරීවීමේ ලක්ෂන වර්ධනයවෙමින් තිබේ.

ආන්ඩුව දැන් එල්ල කර ඇති ප්‍රහාරයේ අනතුරු ඇඟවීම කම්කරු පන්තියේ අවධානයට වහා යොමු විය යුතුය. ජීවන හා සමාජ කොන්දේසිවලට එරෙහිව නැගෙන විරෝධය රුදුරු ලෙස තලා දමා පොලිස් පාලනයක් ඇටවීමට ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පාලක පන්තියේ සෑම කොටසක්ම සූදානම් වෙති.

ලංකාවේ පාලක පන්තිය ගිලී සිටින්නේ පෙරනොවුවිරූ දේශපාලන අර්බුදයකයි. හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවේ මර්දනාකාරි පාලනයට එරෙහිව නැගුනු කම්කරුවන්ගේ, දුගීන්ගේ හා තරුනයන්ගේ බරපතල විරෝධය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට හැරවූයේ වෘත්තිය සමිති, ව්‍යාජ වාම පක්ෂ සහ ප්‍රධාන පෙලේ ජන මාධ්‍ය යි.

“යහපාලනයක්” නමින් ගෙන ගිය එම උද්ඝෝෂනය පිටුපසින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් රාජපක්ෂ ඉවත්කර සිරිසේන ජනාධිපති කරවීමේ තන්ත්‍රමාරු මෙහෙයුම ක්‍රියාත්මක කලේය. වොෂින්ටන් පාලනය, රාජපක්ෂගේ මර්දනකාරී පාලනයට සහයෝගය දෙමින් සිටියේය. එහෙත්, තම අධිපති බලයට චීනය නතු කරගැනීමට ක්‍රියා කරමින් සිටි වොෂින්ටනය, බෙයිජිනය සමග රාජපක්ෂගේ සමීප සම්න්බන්ධතාවලට එරෙහිවිය.

ජනාධිපති බලයට ආ සිරිසේන, වික්‍රමසිංහගේ ද උදව් ඇතිව වොෂින්ටනයට හා නව දිල්ලියට ගැලපෙන ලෙස විදේශ පිළිවෙත වෙනස් කලේය. එහෙත්, සමාජ පිපිරීමක් වලක්වා ගැනීමට, රාජ්‍ය අංශයට වැටුප් වැඩිවීමක් දීම හා සොච්චම් සුබසාධන පියවර කිහිපයක් ගත්ත ද ආන්ඩුව වහාම හැරුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත කප්පාදු වැඩපිලිවෙලට බසිමින් විදේශ ආයෝජකයන්ට, මහ ව්‍යාපාරිකයන්ට හා දේශපාලන පරපුට්ටන්ට ධන මංකොල්ලයේ කොන්දේසි හදා දීමටයි.

ජීවන තත්වයන් කාබාසීනිය කරමින් එල්ලවූ ප්‍රහාරවලට විරුද්ධව කම්කරුවන්ගේ, දුගින්ගේ සිසුන්ගේ අරගල මතුවූ අතර 2018 පෙබරවාරි මාසයේ පැවති පලාත්පාලන චන්දයේදී සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) නින්දිත පරාජයකට ලක්වූයේ මහජන විරෝධය නැගී ඒම නිසාය. එතැන් පටන් ශ්‍රීලනිප-එජාප හවුල් ආන්ඩුව දෙකට පැලීගියේය.

සිරිසේන නැගෙන මහජන විරෝධය තලා දැමීම ඉලක්ක කරගෙන ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රනයකින් වික්‍රමසිංහ ඉවත්කර යලි තම පරම සතුරා වූ රාජපක්ෂ සමග පෙලගැසී ඔහු අගමැතිකමට පත්කොට ”අලුත්” ආන්ඩුවක් ඇටවීමට තැත් කලේය. කුමන්ත්‍රනය වැරදී ගියේ වොෂින්ටනය රාජපක්ෂ ආපසු ඒමට විරුද්ධ වීමත් ශ්‍රේෂ්ඨාධිකරනය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි වීමත් නිසාය.

පාලක පන්තියේ මේ කන්ඩායම් අතර දේශපාලන යුද්ධය රුදුරු ලෙස උග්‍රවෙමින් පවතී. ඊට හේතුව, ඔවුන් අතර එකිනෙකාට එරෙහි ව පවතින පුද්ගලික වයිරය නොවේ. කම්කරු පන්තිය තලා දැමීම සම්බන්ධයෙන් ඔවුන් අතර මොනම මතභේදයක් වත් නැත. එය තේරුම් ගැනීම අපහසු නැත. ඒ බව ඔවුන්ගේ ආන්ඩු යටතේ මහජනයාගේ ජීවන, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙටූ සමාන ආකාරයෙන්, තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයෙන් මෙන්ම පසුගිය මාස කිහිපයේ හදිසි නීති යටතේ යලි හමුදාව හා පොලිසිය ප්‍රහාරය සඳහා සීරුවෙන් සිටුවීමට එකාවන්ව එක්වීමෙන් පැහැදිලි කර ඇත.

සිරිසේන මිලිටරිය බලගන්වා ගනිමින් යටිකුට්ටු ක්‍රියාවල යෙදෙන අතරම රාජපක්ෂ සමග සම්බන්ධතා තරකර ගනිමින් සිටියි. වික්‍රමසිංහ වොෂින්ටනය මත වාරුවී ප්‍රතිගාමී බලවේග ශක්තිමත් කිරීමක යෙදෙයි. සිරිසේන හා වික්‍රමසිංහ අපකීර්තියට පත්ව සිටින තතු යටතේ, මිලිටරිය හා වර්ගවාදීන් පෙලගස්වාගෙන, “ශක්තිමත් ස්ථාවර පාලනයක්” මගින් අධිරාජ්‍යවාදී මුල්‍ය ප්‍රාග්ධනයට සහ මහ ධනපති ව්‍යාපාරිකයට සේවය කල හැක්කේ තමන්ට බව ඔප්පු කිරීමේ ව්‍යායාමයක රාජපක්ෂ යෙදී සිටී. ධනපති ජන මාධ්‍යවලින් සැලකිය යුතු කොටසක් රාජපක්ෂගේ ප්‍රචාරක හොරනෑ බවට අත්ව ඇත.

ඔවුන් අතර මතභේදය ලෙස පවතින්නේකුමන කන්ඩායම නැගී එන කම්කරු පන්තිය තලා දමා පොලිස් පාලනයක් අටවා ධනපති පන්ති පාලනය රැකීමට සමත්වේද යන්න ගැනයි. සිරිසේනගේ හදිසි නීති පාලනය හා කම්කරු අරගල තහනම මෙම සූදානම සමග බැඳී ඇත. ඒකාධිපති පාලනයක් දෙසට මේ සියලු කන්ඩායම් කරන මානබැලීම ජාත්‍යන්තරව ම අර්බුද-ග්‍රස්ත පාලක පන්තීන් ගනුලබමින් සිටින පියවර ලංකාව තුල ප්‍රකාශයට පත්වීමකි.

ජූනි 28-29- දුම්රිය සේවකයින් වර්ජනය කල අවස්ථාවේ අත්‍යවශ්‍යසේවා නියෝගය දැමූවිට වෘත්තීය සමිති එය අකුලා ගත්තේය. ජුලි 3 දා වර්ජනයේ යෙදුනු සමිතිවල නිලධාරීන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රනතුංග හමුවූ අවස්ථාවේ අත්‍යවශ්‍ය සේවා නියෝගය ඉවත් කිරීමට නම් වර්ජනය නොකල යුතුයයි තර්ජනය කල විට කටපියාගෙන දොට්ට බැස්සේය.

නව සම සමාජ පක්ෂය ඍජුවම වික්‍රමසිංහට සහයෝගය දෙන අතර අනෙකුත් බොරු වාම කන්ඩායම් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය “ව්‍යාජ යහපාලන ආන්ඩුව” බලයට ගෙන ඒමට වක්‍රව උදවු කොට අද කම්කරුවන්ගේ අරගල ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුලක කොටු කිරීමට වෘත්තීය සමිති වලට උදවුවෙති. එදා “යහපාලනයට” කත් ඇද්ද ශාස්ත්‍රාලිකයන් රොත්ත දැන් තවත් ධනපති සන්ස්තාපිතයේ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුනට ආවඩති.

මෙම සියලු කන්ඩායම්වලට පොදු දේශපාලන ගතිලක්ෂනය නම්, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කොට ධනපති පන්ති පාලනය පෙරලා දැමීමට බලමුලු ගැන්වීමට විරුද්ධව සිටීමයි.

ධනපති පන්තියේ ප්‍රතිවිප්ලවවාදී සූදානම්වීම් පරාජය කිරීම සඳහා කම්කරු පන්තිය තමන්ගේ ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීමට සටන් කිරීම කල්පමා කල නොහැක. කම්කරුවන් හදිසි නීතිය ඉවත් කරනු!, පොදු ප්‍රවාහන සහ දුම්රිය සේවකයින්ට පනවා ඇති තහනම වහා ඉවත් කරනු! යි උද්ඝෝෂනය කලයුතුය.

තමන්ගේ ස්වාධීන කාර්මික ශක්තිය සිය අයිතීන් හා දුගීන්ගේ හා තරුනයන්ගේ අයිතීන් රැක ගැනීමට හා දිනා ගැනීමට අරගල කිරීම සඳහා කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, තමන්ගේ ක්‍රියාකාරී කමිටු වැඩපොලබදව, වතුකරයේ හා සිය නිවහන් ප්‍රදේශවල ගොඩනැගීම තීරනාත්මක ය. ඔවුහු ධනපති පන්තියේ හා සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ දෙමල-විරෝධී හා මුස්ලිම්-විරෝධී විසකුරු අවිස්සීම් වලට මුලුමනින්ම විරුද්ධව වාර්ගික භේද කපාගෙන කම්කරු පන්තියේ එකමුතුව තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය ය.

පාලක පන්තියේ ප්‍රතිගාමී සූදානම පරාජය කල හැක්කේ, ධනපති පන්ති පාලනය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ක්‍රමයක් සඳහා සටන් කිරීම මගින්ම පමනකි .මෙම අරගලයේ යෙදෙමින්, කම්කරුවන්, දුගීන් හා තරුනයන් තමන්වටා රලිකර ගනිමින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම එකම විකල්ප ක්‍රියාමාර්ගය වේ. මෙම අරගලය සඳහා අන් සියල්ල්ලටමත් වඩා අත්‍යවශ්‍ය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමයි.

Share this article: