ජනතා විමුක්ති පෙරමුන ශ්‍රී ලංකාවේ ආන්ඩුව ඉවත් කිරීමට කැඳවුම් කරයි

Janatha Vimukthi Peramuna calls for removal of Sri Lankan government

කේ. රත්නායක විසිනි, 2017 ජූලි 18

ජූලි 8දා නුගේගොඩ පැවති පක්ෂ රැලියක දී කතා කල ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් ඉවත් කොට, ඊනියා ජනතා බලයේ පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා කැඳවුමක් කලේ ය. එය වනාහි, තමන්ට දේශපාලන පලිප්පුවක් දමාගැනීමටත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂවලට එරෙහි ශක්‍ය විකල්පයක් ලෙස තමන් හුවා දක්වා ගැනීමටත් ජවිපෙ දරන තවත් උත්සාහයක් විය.

ජවිපෙ උද්ඝෝෂනය සිදුවන්නේ, කම්කරුවන්, ගම්බද දුගීන් හා තරුනයන් අතර ආන්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් පැටවීමට එරෙහි ව විරුද්ධව නැගී සිටින්නාවූ තත්වයක මෙන්ම සමස්තයක් ලෙස කොලඹ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි ගැඹුරු මහජන අතෘප්තියක් වර්ධනය වන තත්වයක් තුලය.

අප්‍රේල් 21දා ශ්‍රී ලංකාව තුල අයිඑස්අයිඑස් විසින් උසිගන්වන ලද ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර එල්ල කිරීම කෙරෙහි පාලක කල්ලි දැක්වූ ප්‍රතිචාරය තුලින් පැහැදිලි ලෙස ප්‍රදර්ශය කෙරුනේ මෙම නැගෙන සමාජ විරෝධය කෙරෙහි ඔවුන් තුල පවත්නා භීතියයි. පොලීසිය, ආරක්ෂක අධිකාරීන් සහ සිරිසේන, වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලු‍ මූලික දේශපාලන නායකයෝ ප්‍රහාර පිලිබඳ ව කල්තබා ලැබුනු අනතුරු ඇඟවීම් නො තකා හරිමින් ඒවා සිදුවීමට ඉඩ හැරිය හ.

ඉන්පසු මර්දනකාරී හදිසි නීති පැනවීමට හා රට පුරා මිලිටරිය දිගේලි කිරීම සඳහා ආන්ඩුව විසින් බෝම්බ ප්‍රහාර ඩැහැගන්න ලදී. පාලක ප්‍රභූව පොලිස්-රාජ්‍ය පාලන ක්‍රම කරා හැරෙමින්, කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීමට අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යොදාගනිමින් සිටිති. කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය මුස්ලිම්-විරෝධී ස්වෝත්තමවාදය අවුලු‍වති.

සිරිසේන විසින් කැඳවුම් කල සර්ව-පාක්ෂික සමුලු‍වට සහභාගි වූ ජවිපෙ, ආඥාදායක හදිසි නීතිවලට හා මිලිටරිය මුදා හැරීමට සහයෝගය දුන්නේ ය. එහෙත් අලු‍තින් පනවා ඇති මර්දනකාරී පියවරයන් සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති ලෙස පෙනී සිටින ජවිපෙ, දැන් එහි හෙලා දැකීමට ලක්ව ඇති පක්ෂවලට අතීතයේ දී දුන් සහයෝගය ද වහංගු කිරීමට උත්සාහ දරයි.

මන්ත්‍රීවරයෙක් ද වන දිසානායක, පාර්ලිමේන්තුව තුල “ශක්තිමත් විපක්ෂයක්” බවට ජවිපෙ පත්කිරීම සඳහා ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් අතීතයේ දී ඉල්ලා සිටි බව රැලියේ දී කීවේ ය. මෙවර ජවිපෙ ආයාචනා කරන්නේ රට පාලනය කිරීම සඳහා “අපට බලය දෙන”‍ ලෙස යයි ඔහු කිවේය.

මහජනයා මුහුන දෙන ගැටලු‍ නො විසඳීම ගැන පසුගිය දශක හත තිස්සේ පාලනය කල සියලු‍ පක්ෂ ජවිපෙ නායකයාගේ හෙලාදැකීමට ලක්විය. සිරිසේන, වික්‍රමසිංහ හා රාජපක්ෂ නායකත්වය දෙන පක්ෂ මුලු‍මනින් දූෂිත බවත් රටට “නව දේශපාලනයක්” අවශ්‍ය බවත් ඔහු සඳහන් කලේ ය.

ජවිපෙ භූමිකාව වන්නේ “දේශපාලන කලමනාකරනය...හා වසර පහක් තුල ආර්ථිකයේ විවිධ අංශවල ක්‍රියාවට නැගිය යුතු ඉලක්ක සූදානම් කිරීම” යි ඔහු තවදුරටත් කීවේ ය. වෘත්තිකයෝ පක්ෂයට සහයෝගය දෙන බව කී ඔහු ප්‍රකාශ කලේ එම විශේෂඥයන් අදාල අංශ සඳහා සැලසුම් සකස් කරනු ඇති බවයි. “නීතියේ පාලනයෙහි උත්තරීත්වය තහවුරු කල හැක්කේ ජවිපෙට පමන යි” යි දිසානායක අවධාරනය කලේය.

ජවිපෙ “හුදෙක් පාර්ලිමේන්තු මැතිවරනයක් දෙස බලා නො සිටිමින්, ජනතාවගේ පාලනයක් බලයට ගෙන ඒම සඳහා වීදිවල හා සෑම තැනක ම මහජන ව්‍යාපාරයක්” ගොඩනගමින් සිටින බව කියමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා තැත් කලේ පක්ෂයට රැඩිකල් මූනත්තහඩුවක් දමාගැනීමටයි.

කලින් ආන්ඩුබලයේ සිටි පක්ෂ පලල් ලෙස අපකීර්තියට පත්ව ඇති තියුනු දේශපාලන අර්බුදයක කොන්දේසි යටතේ, කම්කරුවන් හා තරුනයන් අතර වැඩෙන විරුද්ධත්වය ආරක්ෂාකාරී පාර්ලිමේන්තු මාර්ග ඔස්සේ අපසරනය කරමින්, ධනපති ක්‍රමය බේරාගත හැකි පක්ෂය තමන් බවට ජවිපෙ යෝජනා කරයි.

ජාත්‍යන්තර පරිමාන ව ගැඹුරු වන ධනපති පාලනයේ අර්බුදයක් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය හටගන්නා නමුත් එම ජාත්‍යන්තර තත්වය ගැන ජවිපෙ නායකයන් වචනයක්වත් කතා කලේ නැත. වැඩෙන භූ-දේශපාලනික ආතතීන් මධ්‍යයේ, එක්සත් ජනපදය නායකත්වය දරන අධිරාජ්‍යවාදී බලයෝ තුන්වන ලෝක යුද්ධයක් දෙසට යලි ධායවනය වෙමින් සිටිති. සමාජ අයිතීන් මත එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධ ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ පුනර්ජීවනයකට මුහුන දෙන පාලක පන්ති, සෑම තැනක ම ෆැසිස්ට්වාදය හා ආඥාදායකත්වය දෙසට හැරෙමින් සිටිති.

දිසානායක හා සිල්වා ඔවුන්ගේ කතාවලින් තුනෙන් පංගුවක් ම වෙන්කලේ, පාලක එක්සත් ජාතික පක්ෂ (එජාප) පාලනය හා අගමැති වික්‍රමසිංහ සමග ජවිපෙට කිසිදු ගනුදෙනුවක් නො තිබුනේ යයි අවධාරනය කිරීමට යි. (වර්තමාන) ආන්ඩුව සමග අපිට කිසිදු සම්බන්ධයක් නැති බවට මම සහතික වෙනවා” යි දිසානායක දිවුරුවේය.

ජවිපෙ නායකත්වය පැහැදිලි ලෙස අපේක්ෂා කරන්නේ මහජනයා අමතකවීමේ රෝගයෙන් පෙලෙනු ඇති බව යි. ජවිපෙ, වර්තමාන එජාප පාලනයට සහයෝගය දුන්නා පමනක් නො ව, 1990 ගනන් මුල සිට බලයට පත් ශ්‍රී ලංකාවේ සියලු‍ දේශපාලන පක්ෂවලට හා නායකයන්ට එක දිගටම සහයෝගය දී ඇත.

1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා චන්ද්‍රිකා කුමාරතුංගට සහයෝගය දුන් ජවිපෙ, 2004 දී ඇයගේ ආන්ඩුවට ඇතුලු වී කැබිනට් තනතුරු ද භාරගත්තේ ය. 2010 දී එය එජාපය සමග සන්ධානයක් තැනුවේ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහයෝගය දීමට ය.

2015 දී රාජපක්ෂ ඉවත් කිරීමට ද ජවිපෙ සහයෝගය දුන්නේ, වික්‍රමසිංහ හා හිටපු ජනාධිපතිනි කුමාරතුංග විසින් ආරම්භ කල ව්‍යාජ “යහපාලන” ව්‍යාපාරය අනුමත කරමිනි. ව්‍යාජ-වාම කන්ඩායම් රොත්තක් සමග ජවිපෙ සිරිසේනට සහයෝගය දුන්නේ, එක්සත් ජනපදය වෙනුවෙන් ද චීනයට එරෙහි සිය භූ-මූලෝපායික පියවරයන් වර්ධනය කිරීම සඳහා එය දියත්කල කොලඹ තන්ත්‍ර-මාරු මෙහෙයුමක් වෙනුවෙන් ද වික්‍රමසිංහ හා කුමාරතුංග ක්‍රියාත්මක වී සිටින බව දැන දැනමය.

පසුගිය ඔක්තෝබරයේ පාලක පන්තියේ කන්ඩායමික යුද්ධය මතුපිට පුපුරා යමින්, සිරිසේන විසින් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කොට එම තනතුරට හිටපු ජනාධිපති රාජපක්ෂ පත්කිරීම සිදු විය. වොෂින්ටනය රාජපක්ෂ යලි පත්කිරීමට විරුද්ධ වීම හා ශ්‍රේෂ්ඨාධිකරනය සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කල නිසා කුමන්ත්‍රනය අසාර්ථක විය. “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ” නාමයෙන්, ජවිපෙ හා විවිධ ව්‍යාජ-වාම සංවිධාන දින 52 අර්බුදයේ දී එජාපය නායකත්වය දෙන ආන්ඩුව පිටුපස පෙලගැසුනි.

ජවිපෙ ප්‍රජාගනවාදයට සහයෝගය දක්වන්නේ හෝ යටත් වන්නේ නැති බව නුගේගොඩ රැලියේ දී කී දිසානායක “ජාතික සමගිය” සඳහා සටන් කරන බව ප්‍රකාශ කලේ ය. ජවිපෙහි නින්දිත ප්‍රජාගනවාදී වාර්තාව පෙන්නුම් කෙරෙන පරිදි මෙම කියාපෑම වනාහි අමූලික පචයකි.

1960 ගනන් මැද ජවිපෙ ඉස්මත්තට ආවේ, මාඕවාදයේ, කස්ත්‍රෝවාදයේ හා සිංහල දේශප්‍රේමිත්වයේ විෂකුරු දේශපාලනික මිශ්‍රනයක පදනම මත ය. 1983 සිට 2009 දක්වා කොලඹ ආන්ඩුව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ව ගෙන ගිය රුදුරු යුද්ධයේ කසකරුවෙකු වූ එය, බහුතර දෙමල ජනයා ජීවත් වන ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලාගෙන සිටීමට පිටුබලය දෙයි.

සංස්ථාපිතයේ පක්ෂ හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් දියත් කිරීම සඳහා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර ඩැහැගත් විට, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉස්ලාමීය අන්තවාදීන් අල්ලා ගැනීම සඳහා ආරක්ෂක හමුදාවන්ට උදවු වන ලෙස මුස්ලිම්වරුන්ට ආයාචනා කලේ, බෝම්බ ප්‍රහාර සඳහා මුස්ලිම් ජනයා වගකිව යුතු යයි ඉඟිකරමිනි. වෙනත් වචනවලින් කියතොත් ඔවුහු මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය ඇවිලවීමට උදවු කල හ. ජවිපෙ “ජාතික සමගිය” පිලිබඳ උද්ඝෝෂනයේ තරම එවැනි ය.

පක්ෂයට පිලිවෙත් සකසා දෙන වෘත්තිකයන්ගේ සන්ධානයක සහයෝගය ජවිපෙට තිබෙන බවට දිසානායක පුරසාරම් දොඩයි. “ජාතික ජනතා බලය” නමැති මෙම සංවිධානය සමන්විත වන්නේ, දේශපාලනික ව දූෂිත ඉහල මධ්‍යම-පන්තික ශාස්ත්‍රාලිකයන් හා වෘත්තිකයන්ගෙනි. ජූලි 14දා කොලඹ දී රැස්වූ එය ජවිපෙ වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමට පොරොන්දු විය.

මෙම “වෘත්තිකයන්ගෙන්” බොහෝ අය 2015 දී සිරිසේනට සහයෝගය දුන් අතර, එක්සත් ජනපදය නායකත්වය දුන් තන්ත්‍ර-මාරු මෙහෙයුම සමග එකපෙලට සිටිමින් ඔහු ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස උත්කර්ෂයට නැංවූහ. 1994 දී ඔවුන් ඒ හා සමාන භූමිකාවක් ඉටුකලේ, ජේ. ආර්. ජයවර්ධනගේ 17 අවුරුදු ආඥාදායක පාලනය කෙරෙහි පැවති මහජන විරෝධය කුමාරතුංගගේ ජනාධිපති ධුර උද්ඝෝෂනය වෙත අපසරනය කරමිනි.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක පුපුරා යාම කෙරෙහි බිය වන ජවිපෙ, මෙම ඉහල මධ්‍යම-පන්තික රොත්තේ සහයෝගය ද සහිත ව පෙරටත් වඩා වැඩි ද්‍රෝහී භූමිකාවක් ඉටුකරනු ඇත. කොලඹ සංස්ථාපිතයේ පක්ෂයක් වන ජවිපෙ, කම්කරුවන්ට ඔවුන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගත හැකි එකම ක්‍රමය වන ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනටත්, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලයක් ලෙස බලමුලු‍ගැන්වීමකටත් අත්‍යන්තයෙන් හතුරු ය.

Share this article: