මරනයේ වෙලෙන්දෝ: ඖෂධ සමාගම්, කොංග්‍රසය හා ඩීඊඒ, ඔපියොයිඞ් වසංගතය ඩොලර් බිලියන ගනනක කර්මාන්තයක් බවට පත්කලේ කෙසේ ද

Merchants of death: How the pharmaceutical companies, Congress and the DEA made the opioid epidemic a billion-dollar industry

2019 ජූලි 23

පසුගිය සතියේ පලකල ඖෂධ බලාත්මක පරිපාලනයේ (ඩීඊඒ) කලින් හෙලිදරවු නො කල තොරතුරු, 2006 හා 2012 අතර නිෂ්පාදකයාගේ සිට බෙදාහරින්නා දක්වා ඇමරිකාව තුල විකුනන ලද සෑම වේදනානාශකයකම පෙත අනුරේඛනය කරයි. වොෂින්ටන් පෝස්ට්හි විස්තීර්න වාර්තාවක් තුල විශ්ලේෂනය කරනු ලබන මෙම තොරතුරු, සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ආධාරය සහිත ව යෝධ, ලාබ පිපාසිත ඔපියොයිඞ්වල පැතිරී යාම පිලිබඳ අතිරේක ආලෝකයක් හෙලයි.

එම වසර හයේ කාලය තුල, ඖෂධ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් රටට වට්ටෝරුමය වේදනා පෙති බිලියන 76ක් ගලා ඒමට සැලැසුවේ, දැනට වසරකට එක්සත් ජනපදය තුල 50,000ක් ජනයා මරා දමන ඔපියොයිඞ් වසංගතයකට තෙල් වක්කරමිනි.

මැක්කෙසන් කෝප්, වෝල්ග්‍රීන්ස්, කාඩිනල් හෙල්ත් හා ඇමරිසෝස්බර්ගන් වැනි ප්‍රකෝටිපති ඖෂධ බෙදාහරින්නන්, රටෙහි දුප්පත් ම කලාපවලින් එකක් වන ඇපලාචියා ඉලක්ක කරගත්තේ, කෙන්ටකි, වර්ජිනියා, බටහිර වර්ජිනියා හා ටෙනිසිහි පැරනි ගල් අඟුරු කනින මධ්‍යස්ථාන සන්තෘප්ත කරමිනි.

වර්ජිනියාහි වයඹදිග කොනේ වැසියන් 4,000කට අඩු කුඩා නගරයක් වන නෝටන් වෙත වට්ටෝරුමය වේදනා පෙති 8,263,510ක් ලැබුනේ එක් පුද්ගලයෙකුට වසරකට පෙති 305ක ඇති පදම් ප්‍රමානයක් ගෙන එමිනි. නගරයේ එක් වෝල්මාට් වෙලඳසැලකට ඔපියොයිඞ් පෙති මිලියන 3.5කට වැඩියෙන් ලැබුනි.

ආර්ථික අවපාතයට ලක්ව ඇති පැරනි ගල් අඟුරු කනින ප්‍රාන්තයක් වන, සියයට 29ක දරිද්‍රතා රේට්ටුවක් සහිත බටහිර වර්ජිනියාවේ මින්ගෝ ප්‍රාන්තයට වසරකට පුද්ගලයෙකුට පෙති 203.5ක් සැපයීමට ප්‍රමානවත් ප්‍රමානයක් වන පෙති 29,548,720ක් ගලා ආවේ ය. පුද්ගලයන් 392ක් පමනක් සිටින බටහිර වර්ජිනියාවේ කර්මිට්හි ඖෂධ වෙලඳසැලක්, වසර දෙකක කාලයක් තුල හයිඩ්‍රොකෝඩෝන් පෙති මිලියන නවයක් ඇනවුම් කලේ ය.

ඒකජන පෙති ප්‍රමානය වැඩි ම ප්‍රාන්ත, රටෙහි අනෙක් ප්‍රදේශවලට වඩා තෙගුනයකට අධික ඔපියොයිඞ් අධිමාත්‍රා මරන ප්‍රමානයක් අත්දැක්කේ ය. එම ප්‍රාන්තවලින් දහතුනක් ජාතික ඔපියොයිඞ් මරන රේට්ටුවට වඩා වැඩි මරන රේට්ටුවක් සතු වූ අතර, ඉන් හතක් ම පිහිටා ඇත්තේ බටහිර වර්ජිනියාවේ ය.

නෝටන්හි ඔපියොයිඞ් අධිමාත්‍රා ඒකජන මරන අනුපාතය, ජාතික සාමාන්‍ය අගය මෙන් 18 ගුනයක් විය.

පෝස්ට් පත්‍රයේ විශ්ලේෂනයට අනුව, ඖෂධ සමාගම් විසින් බෙදාහරින ලද පෙති පරිමාව වැඩෙන ඔපියොයිඞ් වසංගතයේ වේගයට අනුරූප වූයේ, 2006 දී බිලියන 8.4 සිට 2012 දී බිලියන 12.6 දක්වා සියයට 51කින් වැඩි වෙමිනි. මාරක ඔපියොයිඞ් වසංගතය වසරකට මිනිසුන් දහස් ගනනක් මරා දමන බව හොඳින් ම දනිමින්, සමාගම් එයට ප්‍රතිචාර දැක්වූයේ වඩාත් ම බලපෑමට ලක්වූ ප්‍රදේශවලට වැඩි පෙති ප්‍රමානයක් පොම්ප කරමින් වන අතර, ඉන් ඉහලින් ම සිටියේ ඇපලාචියා ප්‍රදේශය යි.

මෙම කාල සීමාව තුල, ඔපියොයිඞ් නිෂ්පාදකයෝ ප්‍රදේශය තුල ජීවත් වන සෑම වැසියන් දහසකට ම ප්‍රචාරනය සඳහා ඩොලර් 11,676ක් වැය කල හ.

ඇපලාචියා ප්‍රදේශය ඉලක්ක කරගැනීම සුවිශේෂී අපරාධකාරී ස්වභාවයක් අත් කරගනී. ගල් අඟුරු කර්මාන්තයේ කේන්ද්‍රය වූ මෙම ප්‍රදේශයේ ආකර කම්කරුවෝ, කම්කරු පන්තියේ වඩාත්ම සටන්කාමී කොටස් අතරට අයත් වූ හ. 1921 බ්ලෙයාර් මවුන්ටන් සටන නමැති අරගලයේ දී, සන්නද්ධ ආකර කම්කරුවන් 10,000ක්, මින්ගෝ ප්‍රාන්තයේ මාෂල් නීතිය යටතේ සිරගත කර සිටි සහෝදර පතල් කම්කරුවන් නිදහස් කරගැනීමට සටනට වන් හ. එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් ගුවනින් සිදුකල බෝම්බ දැමීමක ආධාරයෙන් අවසානයේ පතල් කම්කරුවන්ව විසුරුවා හරින ලදී.

පතල් කම්කරුවන්ගේ සටන්කාමීත්වය 1960 ගනන් හා 1970 ගන්නා දක්වා ඉදිරියට ඇදුනි; කලු පෙනහලු රෝගය වෘත්තීයමය රෝගයක් ලෙස පිලිගන්නා හා ගල් අඟුරු දූවිලිවලට නිරාවරනය වීම සීමා කරන මධ්‍යම රෙගුලාසි සම්මත කරගැනීමට බලකරමින්, 1969 හටගත් මහා වැඩ වර්ජනයක් සහ එක්සත් පතල් කම්කරු සමිති (යූඑම්ඩබ්ලිව්) සභාපති ආනෝල්ඞ් මිලර් හා ටාෆ්ට් හාට්ලි පනත ප්‍රකාර ව ජනාධිපති ජිමී කාටර් කල ආපසු වැඩට යාමේ නියෝගයක් ප්‍රතික්ෂේප කරමින්, 1977-1978 සමයේ දින 111ක් පුරා සිදු වූ වැඩ වර්ජනයක් ඒවාට අයත් ය.

වැඩ වර්ජන මාලාවක් හුදකලා කොට පාවාදුන් හා යෝධ රැකියා, වැටුප්, ප්‍රතිලාභ හා ආරක්ෂක කොන්දේසි කැපීම් පැටවීමට උදවු වූ වත්මන් ඒඑෆ්එල්-සීඅයිඕ සභාපති රිචඞ් ට්රුම්කා යටතේ වූ යූඑම්ඩබ්ලිව්හි ආධාරය සහිත ව, 1980 ගනන්වල දී, පාලක පන්තිය වෘත්තීය සමිති බිඳීම්වල හා මහා පරිමාන දොට්ට දැමීම්වල දශකයක් ක්‍රියාවට දැමුවේ ය. මෙය කූටප්‍රාප්තියට පත්වූයේ, 1989 දී බටහිර වර්ජිනියාවේ, වර්ජිනියාවේ හා කෙන්ටකීහි පිට්ස්ටන් වැඩ වර්ජනය පාවා දී පරාජය කිරීමෙනි.

ප්‍රදේශයේ සමාජීය විනාශ වීම වෘත්තීය සමිති හා ඩිමොක්‍රටික් පක්ෂය විසින් අත්දැක තිබිනි. වර්තමාන ශතවර්ෂය ආරම්භ වන විට, එක්සත් ජනපදයේ දුප්පත් ම ප්‍රාන්ත 100න් තුනෙන් පංගුවක් ම ගල් අඟුරු භූමිවල සංකේන්ද්‍රනය වී තිබුනි.

කලාපය ආර්ථික අවපාතයට ඇදගෙන යාමෙන් ලාබ උපයා තිබූ ධනවාදය, එය විසින් නිර්මානය කර තිබූ සමාජ කාලකන්නිභාවය යලි වතාවක් ලාබ තකා සූරාකෑමට මගක් සොයාගත්තේ, ජනගහනය මරනීය ඖෂධවලට ඇබ්බැහි කිරීම මගින් ය. නගරවලට ඔපියොයිඞ් තොග පොම්ප කල ඖෂධ සංගතයන්, ඩොලර් බිලියන ගනනින් උපයා ගත්තේ ය.

මෙම මෙහෙයුමේ ද එය ක්‍රියාවට දැමූවන්ගේ ද ස්වභාවය පිලිබඳ අදහසක්, ඖෂධ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් අතර සිදු වූ කාන්දූ වූ ඊ-මේල් පනිවුඩ මගින් ලබා දේ. මැලින්ක්‍රොඞ්ට් ඖෂධ නිෂ්පාදන සමාගමේ ජාතික ගිනුම් කලමනාකරුවෙක් වූ වික්ටර් බොරේලි, 2009 ජනවාරියේ දී කීසෝස් මෙඩිකල් සමාගමේ වෙලඳාම පිලිබඳ උප සභාපති වූ ස්ටීව් කොච්රාන්ට ඊ-මේල් පනිවුඩයක් යැවුවේ, මිලිග්‍රෑම් 30 ඔක්සිකෝඩෝන් පෙති බෝතල් 1,200ක් නැව්ගත කර ඇති බව දන්වමිනි.

“ඒවාට පැමිනීමට හරින්න!” යි කොච්රාන් ප්‍රතිචාර දැක්වී ය. “ඔහෙන් පියාසර කරමින්. මේවාට හෝ යම් දෙයකට මිනිසුන් ඇබ්බැහි වෙලා වගෙයි. ඕ, ප්‍රවේසමෙන්, මිනිස්සු...”

“ඩොරිටෝස් දිගට ම කෑම කනවා වගේ. අපි තවත් නිෂ්පාදනය කරනවා” යි එයට බොරේලි පිලිතුරු දුන්නේ ය.

මානව ජීවිතය පිලිබඳ රුදුරු නො තැකීමක් ප්‍රකාශයට පත්කරන සමාජ-ව්‍යාධිමය ස්වභාවයක් එවැනි අදහස් දැක්වීම්වලට තිබේ. එහෙත් එය වනාහි සමාජ ක්‍රමය තුල මුල් සහිත සමාජ-ව්‍යාධිවේදයකි. ජාතික සෞඛ්‍ය අර්බුදයක් මධ්‍යයේ, මට්ටම් කිහිපයක ආන්ඩුමය අධීක්ෂනය තිබිය දී වසර ගනනාවක් තිස්සේ ආර්ථික ව අවපතනයට ලක්වූ ප්‍රදේශවලට ඔපියොයිඞ් පෙති බිලියන ගනනක් ගලා ඒම, ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයන් වන බර්නි සෑන්ඩර්ස් හෝ එලිසබත් වොරන් ප්‍රකාශ කිරීමට කැමති වන පරිදි “ගජමිතුරු” ධනවාදයේ හෝ “දූෂිත” ධනවාදයේ නිෂ්පාදනය නො වේ. ඒ වෙනුවට, එය වනාහි, සමාජ ක්‍රමයේ ම රුදුරු සූරාකෑමේ ස්වභාවය පිලිබඳ ප්‍රකාශනයකි.

මහා පරිමාන සංගතයන් රාජ්‍ය යාන්ත්‍රනයට ඒකාග්‍ර වීම, “රාජ්‍ය-ඒකාධිකාරී ධනවාදය” හෙවත් අධිරාජ්‍යවාදී යුගයේ ධනේශ්වර පාලනයේ ලාක්ෂනික රූපය ලෙස 1916 තරම් ඈත දී ලෙනින් හඳුනාගත්තේ ය. ලෙනින් එය විශ්ලේෂනය කරන විට එය තවමත් පැවතියේ ලදරු අවධියේ ය. එය එතැන් පටන් බොහෝ වාර ගනනක් වර්ධනය වී ඇත.

රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටිකයන් යන දෙගොල්ලන් ම, රටෙහි ජනයාට එරෙහි යෝධ සමාජ අපරාධයකට වැරදිකරුවන් ය. සංගත හා රාජ්‍යය අතර සබඳතා කොතරම් අවජාතකදැයි කිවහොත්, අසාමාන්‍යයෙන් විශාල හා විස්තර නො කල වෙලඳාම් සඳහා වන ඖෂධ නැව්ගත කිරීම්, ඩීඊඒහි අපසරන පාලන කාර්යාලය විසින් නැවැත්වීම අහෝසි කිරීම ප්‍රධාන අභිප්‍රාය කරගත් පනතක්, 2016 දී ඒකමතික නියෝජිත මන්ඩලය හා ඒකමතික සෙනෙට් සභාව විසින් නිශ්ශබ්ද ව සම්මත කලේ ඔපියොයිඞ් වසංගතයේ ඉහල ම අදියරේ දී ය.

රිපබ්ලිකන් සභික ටොම් මැරිනෝ විසින් සභාගත කල පනත ලියන ලද්දේ, ඩීඊඒහි සහකාර ප්‍රධාන නීති නිලධාරී තනතුර වූ තම රැකියාවෙන් ඉවත් වී මසක් ඇතුලත ඖෂධ සමාගම් වෙනුවෙන් කොංග්‍රසය තුල බලපෑම් කරන නීති සමාගමක් සමග එක්වූ ලින්ඩන් බාබර් විසිනි. ඩීඊඒ සමීක්ෂනයට මුහුන දෙන ඖෂධ බෙදාහරින ගනුදෙනුකරුවන්ට තම හැකියාවන් තැරැව්කාරකමේ යොදවන රූපවාහිනී වෙලඳ දැන්වීම්වල ඔහු ව දැකගත හැකි ය. මෙම කාලය තුල, ඖෂධ කර්මාන්තය හා එය නියෝජනය කරන නෛතික සමාගම් අවම වසයෙන් විමර්ශකයන්, නීතිඥයන් හා අධීක්ෂකයන් 46ක් කෙලින් ම ඩීඊඒයෙන් රැකියාවට ගත්තේ ය.

පනත සම්මත කිරීමට පෙර, කොංග්‍රසය විශේෂඥයන් දුසිම් ගනනකගෙන් සාක්ෂි ලබාගත් අතර, ඒ අතරට, එවක ඩීඊඒහි අපසරන පාලන කාර්යාලයේ ප්‍රධානියා ව සිට, පසුව මිනිසුන් විසින් නිෂ්පන්නිත වසංගතයට රබර් මුද්‍රාව තැබීමට විරුද්ධ වීම හේතුවෙන් තනතුරෙන් ඉවත් කල තැනැත්තා ද අයත් ය.

සාමාන්‍යයෙන් සිදු කරන ඡායාරූප ගැනීම් හෝ මාධ්‍ය ආවරන නොමැති ව එවක ජනාධිපති බැරැක් ඔබාමා පනතට අත්සන් කලේ ය.

ඩොලර් ප්‍රකෝටිපති ඖෂධ සමාගම් ධනේශ්වර උසාවිවලින් නවත්වනු නැත. ඒවායේ හිමිකරුවන් අස්වාමික කොට, බිලියනපති ධනපතියන් සඳහා ලාබ ජනනය කරනු වෙනුවට සියල්ලන් සඳහා ගුනාත්මක සෞඛ්‍යාරක්ෂනයක් සම්පාදනය කිරීම මත පදනම් වන සැලසුම්ගත, ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත සමාජවාදී වෛද්‍ය පද්ධතියක කොටසක් ලෙස සමාගම් මහජනයාට අයත් උපයෝගීතාවන් බවට පරිවර්තනය කරනු ලැබිය යුතු ය.

විරැකියාව, දරිද්‍රතාව හා අධ්‍යාපනයක් නැති කම යනා දී ඇබ්බැහි කම සමග සම්බන්ධ සියලු සමාජ අභද්‍රයන් අවසන් කල හැක්කේ, සමස්ත දේශපාලන පද්ධතියටත්, මහ ව්‍යාපාරිකයේ පක්ෂ දෙකටත්, ඒවායේ සියලු අල්ලස් ලත් දේශපාලනඥයන්ටත් එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අරගලයක් හරහා පමනි. ඖෂධවලට ඇබ්බැහි වීම අවසන් කිරීමට හා බිලියනපති ඖෂධ තල්ලු කරන්නන් නැවැත්වීමට ධනවාදය අවසන් කිරීම අවශ්‍ය වේ.

ගෙනවීව් ලෙයි

Share this article: