ප්‍රථමයෙන් සඳ මත ගොඩ බැස පනස් වසරක් පිරේ

Fifty years since the first Moon landing

2019 ජූලි 20

වසර පනහකට ඉහත 1969 ජූලි 20 වනදා, ඇමරිකාවේ නැගෙනහිර සම්මත දිවා ආලෝක වේලාවෙන් ප.ව. 4.17 ට නීල් ආම්ස්ට්‍රෝන් හා එඞ්වින් (බස්Z) ඔල්ඞ්රින් සඳ මත ගොඩබට ප්‍රථම මිනිසුන් බවට පත්වූහ. ඇපලෝ අභ්‍යවකාශගාමීන් දෙදෙනා අපේ සෞරග්‍රහ මන්ඩලයේ වෙනත් ග්‍රහ වස්තුවක් මත පා තැබූ ප්‍රථම මානවයන් බවට පත්වෙමින් ලුනාර් මොඩියුලයෙන් ඉවතට බසින අයුරු, තක්සේරු කොට ඇති පරිදි, මිලියන 650 ක ජනයාගෙන් සැදුම්ලත් ප්‍රේක්ෂකාගාරයක් විසින් රූපවාහිනී යන්ත්‍ර මඟින් නරඹනු ලැබීය.

දින හතරක ඇවෑමෙන් සාගර දිය කලතමින් පැසිෆික් සාගරයට ගොඩ බට ආම්ස්ට්‍රෝන්, ඔල්ඞ්රින් හා මයිකල් කොලින්ස්, පෘථිවියේ ආසන්නතම අසල්වැසියා වෙත සිදු කල සිය සැතපුම් 240,000 ක (කිලෝ මීටර් 387,000 ක) සංචාරය නිමවා ආරක්ෂිතව නිවෙස් කරා සේන්දු වූහ.

ප්‍රථම සඳ තරනයෙන් අඩ සියවසක් ගත වී ඇති අද දවසේ ද එය යුගකාරක විද්‍යාත්මක, තාක්ෂනික හා සංවිධානාත්මක විජයග්‍රහනයක් ද, ආගමික මූලධර්මවාදයේ සිට පශ්චාත් නූතනවාදය දක්වා වූ ප්‍රතිගාමී හා අහේතුකවාදී ප්‍රවනතාවන්ගේ නිරන්තර ප්‍රහාරයට පත්ව ඇති වත්මන් යුගයේ බලගතු සත්‍යයන් දෙකක ආවේශදායී නිරූපනයක් ද වශයෙන් පවතී. එම සත්‍යයන් දෙක වන්නේ; 1) ලෝකයේ නිසග නියාමයන් හා එහි වෛෂයික ගුනාංග පිලිබඳ විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම හරහා එය වටහා ගැනීමට මානව තර්ක බුද්ධිය සමත් බව; සහ 2) විද්‍යාව මත පදනම් වූ තාක්ෂනය භාවිතයෙන් හා සාමාජයීය ලෙස සංවිධිත පොදු ප්‍රයත්නයක් මඟින් ස්වභාවධර්මය තම අභිප්‍රායයන් සඳහා නතු කර ගැනීමට මිනිස් වර්ගයාට හැකි බවයි.

නීල් ආම්ස්ට්‍රෝන් චන්ද්‍රයා මත ප්‍රථම මානව පියවරයන් තබමින්. ඡායාරූප අනුග්‍රහය: ඇපලෝ 11, නාසා Credit: Apollo 11, NASA

ඇපලෝ 11 ආපසු ගමනේ පෘථිවියට සමීප වෙමින් තිබිය දී, මෙම අන්තරායකාරී දූත මෙහෙවරෙහි වඩාත්ම අනතුරුදායක කොටසයැයි ඇතැම්විට සිතිය හැකි පෘථිවි වායුගෝලයට යලි ප්‍රවිෂ්ටවීමේ මොහොතට තදාසන්නව සිදු කල ප්‍රකාශය මඟින් ආම්ස්ට්‍රෝන්, සියල්ලටම පලමු “මෙම ප්‍රයත්නයට පූර්වගාමී වූ විද්‍යාවේ දැවැන්තයන්” වෙත ගෞරවය පුද කරමින්, “අභ්‍යවකාශ යානය නිර්මානය කල, එහි ඉදිකිරීම්, සැලසුම්කිරීම්, හා පරීක්ෂන සිදු කරමින් තම හදවත් ද ස්වකීය සියලු හැකියාවන් ද එම යානය ගොඩ නැඟීම සඳහා යෙදවූ සියලු ඇමරිකානුවන්ට.” විශේෂ ස්තුතියක් පුද කලේය.

කොපර්නිකස්, ගැලිලියෝ, කෙප්ලර්, නිව්ටන්, ෆැරඬේ, මැක්ස්වෙල් හා අයින්ස්ටයින්: සඳ තරනයේ බුද්ධිමය පෙරගමන්කරුවෝ උහු වෙති. ඊලඟට සිටින්නේ පෘථිවි පෘෂ්ඨය මත සිට චන්ද්‍රයාගේ පෘෂ්ඨය දක්වා සංචාරය කිරීම හා පෙරලා පෘථිවිය කරා පැමිනීම සමඟ බැඳුනු අදියර හතක ක්‍රියාවලියේ නිමක් නැති තාක්ෂනික ගැටලු විසඳා ලූ දීප්තිමත් ඉංජිනේරු කාර්ය මන්ඩලයයි.

ඇපලෝ වැඩ පිලිවෙල සම්බන්ධයෙන් චාල්ස් ෆිෂ්මන්ගේ මෑතකාලීන වාර්තාව මඟින් විස්තර කෙරෙන පරිදි, 1961 මැයි මස ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි එම දශකය අවසානයේ සඳට ගොඩ බැසීම සඳහා කැඳවුම් කරන විට:

අභ්‍යවකාශගාමින්ගේ සඳ ගමන දියත් කිරීමට නාසා ආයතනයට රොකට් කිසිවක් නොතිබින, අභ්‍යවකාශ යානයට සඳ කරා මඟ පෙන්වීමට ගෙන යා හැකි ප්‍රමානයේ පරිගනක නොතිබින, අතරමඟ දී ඇඳීමට අභ්‍යවකාශ ඇඳුම් කට්ටල කිසිවක් නොවීය, (ඔවුන්ට සඳ මත එහා මෙහා පදවා ගවේෂනයේ යෙදීමට චන්ද්‍ර රථයක් තබා) අභ්‍යවකාශගාමීන් සඳ මතුපිටට ගොඩ බැස්වීමට සමත් යානාවක් හෝ නොවීය, අභ්‍යවකාශගාමින් සමඟ අතරමඟ දී කතා කිරීමට පහසුකම් සැපයීම සඳහා ඔවුන්ගේ මඟ පිරික්සන මධ්‍යස්ථාන ජාලයක් නොවීය. කෙනඩිගේ දේශනය පැවැත්වූ දිනය වන විට කිසිදු මිනිසෙකු අභ්‍යවකාශයේ දී අභ්‍යවකාශ යානා දොරටුවක් විවෘත කොට ඉන් පිටතට ගොස් නොතිබින, මිනිසුන් රැගත් අභ්‍යවකාශ යානා දෙකක් එක විට අභ්‍යවකාශයේ පැවතී හෝ එකිනෙක සම්බන්ධවීමට උත්සාහ දරා හෝ නොතිබින. සඳේ මතුපිට කවරාකාර වේදැයි යන්න පිලිබඳව හා ඒ මත ගොඩ බැසීම සඳහා කවරාකාරයේ යානයක් අවශ්‍ය කෙරේද යන්න පිලිබඳ කිසියම් හෝ සැබෑ අදහසක් ඇති කිසිවෙක් නොවූහ... (චාල්ස් ෆිෂ්මන්, One Giant Leap [එක් දැවැන්ත පිම්මක්], 2019 Simon & Schuster, පි. 6)

ඒ දක්වා අභ්‍යවකාශය තුල මිනිසාගේ අත්දැකීම් සීමා වී තුබුනේ 1961 අප්‍රේල් හා මැයි මාසවල පිලිවෙලින් සිදුවූ සෝවියට් ගගනගාමී යූරි ගගාරින්ගේ පෘථිවි කක්ෂය වටා සංචාරයට හා ඇමරිකානු අභ්‍යවකාශගාමී ඇලන් ෂෙෆර්ඞ්ගේ අර්ධ කක්ෂීය සංචාරයටය.

ක්‍රියාවට ලූ කල්හි ඇපලෝ වැඩ පිලිවෙල, එක්සත් ජනපදයේ පර්යේෂන හා සංවර්ධන පිරිවැයෙන් අඩකට ද වඩා අවශෝෂනය කර ගනිමින් දැවැන්ත සාමාජයීය ව්‍යාපාරයක් බවට පත් විය. ප්‍රමානයෙන් එය න්‍යෂ්ටික බෝම්බය වර්ධනය කල මැන්හැට්න් ව්‍යාපෘතිය මෙන් තුන් ගුනයක් ද, පැනමා ඇල ගොඩ නැඟීමට දැරුනු ප්‍රයත්නයේ පරිමානය මෙන් දශ ගුනයක් ද විය. දැනටමත් උපුටා දක්වා ඇති වාර්තාවේ මෙසේ සඳහන් වේ:

ඇපලෝ සේවා නියුක්තිය එහි ඉහලම අගයන් කරා නැඟුනු තෙවසර තුල, වියට්නාම් යුද්ධයේ සටන් වැදුනු ඇමරිකානුවන් සංඛ්‍යාවට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් සඳ ගමන මෙහෙයුමේ සේවය කලෝය. 1964 වසර වන විටත් 380,000 ක පිරිසක් ඇපලෝ ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි අතර වියට්නාමයට යවා තිබුනේ 23,300 ක් පමනෙකි. 1965 දී ඇපලෝ ව්‍යාපෘතියට සේවා නියුක්තිකයන් 411,000 ක් සිටි අතර වියට්නාමය තුල 184,300 ක් එජ සෙබලු සිටියෝය. වියට්නාමයේ එජ හමුදා දෙගුන කරමින් 385,300 දක්වා ඉහල නැංවුනු 1966 දී පවා 396,000 ක් ඇමරිකානුවෝ ඇපලෝ ව්‍යාපෘතියට සේවය කරමින් සිටියෝය. ...

නාසාවේ සේවා නියුක්තිය මුදුනටම නැඟුනු 1964, 1965, 1966 තෙවසර තුල දී කාර්ය මන්ඩලය හා කොන්ත්‍රාත් සේවක සංඛ්‍යාව සැලකිල්ලට ගත් කල ඇපලෝ ව්‍යාපෘතිය ෆෝචුන් 500 සමාගම් අතරින් දෙවැනි වූයේ එහි අංක 1 ලෙස පැවතුනු, 600,000 ට වැඩි සේවක සංඛ්‍යාවක් සිටි ජෙනරල් මෝටර්ස් ආයතනයට පමනෙකි. නාසා ආයතනය විශාලත්වයෙන් ෆෝර්ඞ්, ජීඊ හා යූඑස් ස්ටීල් අභිබවා සිටියේය. (එම - පි. 21)

ෆිෂ්මන්ගේ ගනනයට අනුව, “අභ්‍යවකාශ පියසැරියේ සෑම පැයකටම භූමියේ සිදු කෙරෙන මිනිස් පැය දශ ලක්ෂයක් අවශ්‍ය කෙරේ. - එය සූදානම් වීමේ විශ්මයජනක මට්ටමකි.”

ඇපලෝ වැඩ පිලිවෙලේ එක් විරෝධාභාසයක් වනුයේ, එය දියත් කිරීමට තුඩු දුන් නිර්නායක සාධකයම, එනම්, එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර සීතල යුද ගැටුමම, එහි ඛාදනයට හා අවසානයේ අභාවයට ද කොන්දේසි නිර්මානය කිරීමයි. ඒ සමගම එහි අතිමහත් වූ තාක්ෂනික ජයග්‍රහනයන්, ධනවාදය යටතේ, අනවරතයෙන්ම යුද්ධයට හා විනාශයට උපකාරක ලෙස භාවිතා කරන ලදී.

1957 දී ස්පුට්නික් චන්ද්‍රිකාව දියත් කිරීමෙන් ආරම්භ වූ හා අභ්‍යවකාශ ගත වූ ප්‍රථම මිනිසා බවට 1961 දී ගගාරින් පත්වීමෙන් කුලු ගැන්වුනු මුල්කාලීන සෝවියට් අභ්‍යවකාශ සාර්ථකත්වයන් එජ අධිරාජ්‍යවාදය විසින් දක්නා ලද්දේ මාරාන්තික තර්ජනයක් ලෙසය. චන්ද්‍රිකා භාවිතයෙන් මිසයිලවලට න්‍යෂ්ටික අවි යොදා පෘථිවි කක්ෂයෙහි කක්ෂගත කල හැකිව තිබින.

කෙනඩි 1960 දී ජනාධිපති ධුරය සඳහා වූ ව්‍යාපාරය ගෙන ගියේ සෝවියට් සංගමය සමඟ පවත්නා ”මිසයිල පරතරය” මත පදනම් වෙමිනි. එජ සහය ලද කියුබානු විප්‍රවාසීන්ගේ කාර්ය සාධක හමුදාවක් සෝවියට් සහාය ලද කස්ත්‍රෝ තන්ත්‍රය විසින් පරාජය කරනු ලැබීමෙන් හා යටත් කර ගනු ලැබීමෙන් බේ ඔෆ් පිග්ස් හි දී විඳින්නට සිදු වූ අවමන් සහගත පරාජයෙන් යන්තම් මාසයක් ගත වූ තන්හි සඳ මත ගොඩ බැසීම සඳහා කැඳවුම් කරමින් ඔහු සිය පනිවුඩය කොන්ග්‍රසය හමුවේ තැබීය.

කෙනඩි හා 1963 ඔහු ඝාතනය කරනු ලැබීමෙන් පසු ඇපලෝ වැඩ පිලිවෙල අඛන්ඩව පවත්වා ගෙන ගිය කෙනඩිගේ උප ජනාධිපති ලින්ඩන් ජොන්සන් ද ප්‍රමුඛ කොට ම උනන්දු වූයේ සෝවියට් සංගමයට එරෙහි “අභ්‍යවකාශ තරඟයේ” දේශපාලනික හා මූලෝපායික ප්‍රතිලාභ පිලිබඳවය. චන්ද්‍රයාට ප්‍රමුඛස්ථානය හිමි වූයේ මුලුමනින්ම පෘථිවි ගෝලීය හේතූන් මත විනා, එම ප්‍රයත්නයේ ඓතිහාසික ස්වභාවය පිලිබඳව හෝ එහි විද්‍යාත්මක අර්ථාන්විතභාවය පිලිබඳ මෙලෝ තැකීමක් මත නොවේ.

නිසල සයුර යන අරුතින් යුත් මෙයාර් ට්‍රාන්ක්විලිටෙටිස් නම් ලතින් නමින් හඳුන්වනු ලැබූ සඳ මත ගොඩ බට ස්ථානයේ පරිදර්ශක ඡායාරූපයක්. ඡායාරූප අනුග්‍රහය: නීල් ආම්ස්ට්‍රෝන්, ඇපලෝ 11, නාසා

නාසා සේවා නියුක්තිකයන් සංඛ්‍යාව හා වියට්නාමය තුල හමුදාව යෙදවීමේ සංඛ්‍යා අතර සංසන්දනය විසින් ප්‍රකට කෙරෙන දෑ බොහෝය: 1967 වන විට උත්සන්න කෙරෙමින් පැවැති යුද්ධය විසින් ඇමරිකාවේ සම්පත්වලින් බොහොමයක් උරා ගනු ලැබීම, ජොන්සන්ගේ ”මහා සමාජය” වැඩ පිලිවෙලෙහි කොටසක් ලෙස ආරම්භ කර තුබූ සමාජ ප්‍රතිසංස්කරනයන් ද, කෙනඩි ආරම්භ කල සඳ ජය ගැනීමේ තරඟය ද යන දෙකටම බලපෑවේය.

තවද, එක්සත් ජනපදයට සෝවියට් සංගමය පරයා දැවැන්ත ප්‍රචාරක ජයග්‍රහනයක් ලබා දුන් සඳ මත ගොඩ බැසීම සාර්ථක වූ කල්හි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නායකයන්ට ඒ පිලිබඳව පැවැති උනන්දුව හීන වී ගියේය. සඳ මත ගොඩ බැසීම් හයම සිදු වූයේ වසර තුනක් තුල, එක් එජ ජනාධිපතිවරයෙකුගේ - රිචඞ් නික්සන්ගේ - ප්‍රථම ධුර කාලය ඇතුලතදී ය. 1972 න් පසු, වෝටර්ගේට් අපකීර්තියෙන් ද වියට්නාමයේදී පරාජය අභිමුඛව පසුවීමෙන් ද ඇමරිකානු ධනේශ්වර ක්‍රමයේ සාපේක්ෂ පරිහානිය තුල මුල් බැස ගනිමින් නැඟී ආ ගෝලීය ආර්ථික අර්බුදයෙන් ද දේශපාලනිකව වටලනු ලැබ සිටි නික්සන් අභ්‍යවකාශ වැඩ පිලිවෙල තත්වයෙන් පහල හෙලා, චන්ද්‍රයා මත ස්ථාවර කඳවුරක් ගොඩනැඟීම සඳහා සහ තවදුරටත් සඳ ගමන් සිදුකිරීම සඳහා වූ සියලු යෝජනා ප්‍රතික්ෂේප කොට දැමීය. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ ද ඒ මාවතම අනුගමනය කලෝය.

මෙම ඉතිහාසය විසින් යෝජනා කෙරෙන තවත් විරෝධාභාසයක් වෙයි: එනම්, අද දිනයේ ප්‍රාග්තන ලෙස ගැනෙන තාක්ෂනය භාවිතා කරමින් ඇපලෝ වැඩ පිලිවෙල ඓතිහාසික ප්‍රගමනයන් අත්පත් කර ගැනීමට සමත්ව තිබියදී, පසුගිය 50 වසර තුල විද්‍යාවේ හා තාක්ෂනයේ ඇතිවූ අතිමහත් වර්ධනයන් සෞරග්‍රහ මන්ඩලයේ හෝ චන්ද්‍රයාගේ හෝ පවා මිනිසුන් සහිත ගවේෂනයන් යලි ආරම්භ කිරීමට මඟ පාදා නැත.

අභ්‍යවකාශගාමින් ඇතුලත් කල උපදෙස් මත අභ්‍යවකාශ යානය ක්‍රියා කරවූ ඇපලෝ මාර්ගෝපදේශක පරිගනකය (Apollo Guidance Computer- AGC සංකලිත පරිපථ (Integrated Circuits-IC) යොදාගත් ප්‍රථම පරිගනක උපකරනය විය. ඊට ඉහත පැවැති සියලු පරිගනක ට්‍රාන්සිස්ටර් යොදා සාදා තුබූ අතර ඒවා අභ්‍යවකාශයේ දී භාවිතා කල නොහැකි තරම් පමනට වඩා විශාල හා විශ්වාසනීයත්වයෙන් තොර උපකරන විය. ්ඨක්‍ දත්ත ගබඩාව යේ බාහිර (Memory External) කිලෝ බයිට් 73 ක ධාරිතාවෙන් යුතු වූ අතර එහි අභ්‍යන්තර (තාවකාලික) මතක ගබඩාව (RAM) අද දවසේ මයික්‍රෝවේව් උදුනක RAM ධාරිතාවයට ද වඩා අඩු, බයිට් 3,840 කට සීමා වූ එකක් විය.

ඩිජිටල් විප්ලවය ආරම්භ කිරීමට අවශ්‍ය පුලිඟුව සැපයීමට ඇපලෝ වැඩ පිලිවෙල ආධාරකාරී විය. ඒ විශේෂයෙන්ම, 10,000 කට එක් දෝෂයක් වූ ආකාශතරන තත්ත්ව මට්ටමේ සිට අජටාකාශ යානා තුල ඇති පරිගනක හා අනෙකුත් නාසා පද්ධතිවල භාවිතා කෙරෙන මිලියන 312 කට එක් දෝෂයක විශ්මිත මට්ටමක් දක්වා මයික්‍රෝචිපයන්හි විශ්වාසනීයත්වය වර්ධනය කෙරෙන පරිදි, සංකලිත පරිපථවල ඉසියුම් නිෂ්පාදනය (precision manufacturing) වර්ධනය කිරීම මඟිනි.

පසුගිය අඩ සියවසේ විද්‍යාත්මක හා තාක්ෂනික වර්ධනයන් හේතුවෙන් රොබෝ අභ්‍යවකාශ පිරික්සුම් සෑම ග්‍රහලෝකයක් කරා ම විහිදුවමින්, සෞරග්‍රහ මන්ඩලය පිලිබඳව මින් පෙර සමස්ත ඉතිහාසය පුරා රැස් කරගත් දැනුම අභිබවා යන නව දැනුම් සම්භාරයක් පසුගිය 40 වසර තුල රැස් කර ගනිමින්, මිනිසුන් රහිත ගවේෂනයන්හි දී සුවිශේෂී වික්‍රමයන් සිදු කිරීමේ අවකාශ නාසා ආයතනයට සැලසී ඇත.

සඳ මතුපිට මිනිසා විසින් සිදු කෙරුනු ප්‍රථම ගවේශනය නිමා කරමින් බස්(Z) ඔල්ඞ්රින් හා නීල් ආම්ස්ට්‍රෝන් පාලක මොඩියුලයට ආපසු පිවිසෙන අවස්ථාවේ අටවක පෘථිවියේ ආලෝකය චන්ද්‍ර මොඩියුලයේ කැලිසේයා මවයි. ඡායාරූප අනුග්‍රහය: මයිකල් කොලින්ස්, ඇපලෝ 11, නාසා

එහෙත් මිනිසුන් සහිත අභ්‍යවකාශ ගවේෂනයන් සම්බන්ධයෙන් ගත් කල නාසාවේ ක්ෂිතිජය පෘථිවි කක්ෂයේ ආසන්නය දක්වා පහලට ගෙන එන ලදී. සියලු ප්‍රයත්නයන් යොමු කෙරුනේ බර යුදමය ප්‍රවීක්ෂන චන්ද්‍රිකා ඒවාට යෝග්‍ය කක්ෂ කරා ගෙන යාමෙහිදී ප්‍රයෝජනවත් වන අභ්‍යවකාශ ෂටල කෙරෙහි සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන කෙරෙහිය. 1986 දී චැලෙන්ජර් යානය හා 2003 දී කොලොම්බියා යානය මුහුන දුන් ව්‍යසනයන්ගෙන් පසු, එම කාලයේ දී අතිශයින්ම යල් පිනූ තාක්ෂනය මත පදනම් ව තුබූ නැවත නැවත භාවිතා කෙරෙන වාහනයක් පිලිබඳ අදහස ක්‍රමානුකූලව අත්හැර දමන ලදී. එජ රොකට්ටුව තවමත් සැලසුම් අදියරේ පවතිද්දී අද දින එජ අජටාකාශගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ඔසොවා තැබෙන්නේ රුසියානු රොකට් මඟිනි.

අභ්‍යවකාශයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල මෑත කාලීන පුනරුත්ථානය තීව්‍ර වී ඇති භූ දේශපාලන ආතතීන්හි නිෂ්පාදිතයකි. එක්සත් ජනපදය, රුසියාව, චීනය, ඉන්දියාව, ප්‍රන්සය, බ්‍රිතාන්‍යය පමනක් නොව ඊස්රායලය හා ඉරානය පවා ඇතුලත්ව සියල්ලෝ මිසයිල මුදාහැරීම් හා චන්ද්‍රිකා කක්ෂගත කිරීම් වැඩි කිරීමේ යෙදී සිටිති. 1960 ගනන්වල “අභ්‍යවකාශ තරඟයේ දී” මෙන්ම මෙහිදී ද ධාවක බලය සම්පාදනය කෙරෙන්නේ, ඊලඟ ලෝක යුද්ධ මාලාවේ දී අභ්‍යවකාශය “උස් බිම” ලෙස සලකන එකිනෙකාට පරසතුරු බලයන් අතර ඍජු තරඟය විසිනි.

ආරම්භයේ දී ගුවන් හමුදාවේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන, එහෙත් ප්‍රමුඛ මිලිටරි ආයතනයක් ලෙස තමාගේම දෙපයින් නැඟී සිටීමේ පැහැදිලි අභිලාෂයෙන් යුතු මිලිටරි හස්තයක්, අභ්‍යවකාශ බලකායක්, නිර්මානය කරන බව ජනාධිපතිවරයාම සාඩම්බරයෙන් නිවේදනය කිරීම මඟින් ට්‍රම්ප් පාලනය අන් සෑම විෂයයකදී මෙන්ම මෙහිදී ද මේ කරුන අමුඅමුවේම ප්‍රකාශයට පත් කරයි. මෙම ක්‍රියාව 1958 දී ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් පසු අභ්‍යවකාශය යුද මෙහෙයුම්වල රඟ මඬලක් නොවිය යුතු බවට එලඹගත් ජාත්‍යන්තර සම්මුතිය ඍජුවම උල්ලංඝනය කිරීමකි. සකලවිධ ධනේශ්වර බලවේග සියල්ලෝ මෙම අන්‍යොන්‍ය අවබෝධය බිඳ හෙලමින්, උදාහරනයක් ලෙස සිය විරුද්ධවාදීන් මිලිටරි මෙහෙයුම්වලදී රඳා පවතින ගෝලීය ස්ථානගත කිරීම් දත්ත හා අනෙකුත් ආධාර සම්පාදනය කෙරෙන චන්ද්‍රිකා පුපුරවා දැමීමට මිසයිල වර්ධනය කරමින්, සිටිති.

තව ද, ට්‍රම්ප්ගේ සෑම කටයුත්තකදී මෙන්ම මෙහිදී ද ඔහුගේ අනුග්‍රහය ලබන අතලොස්සට මුදල් අතපත ගා ගැනීමට අවස්ථාව හිමිවේ. පෞද්ගලික සමාගම් දුසිම් කිහිපයක් ෆෙඩරල් ප්‍රතිසම්පාදනයේ අලුතින් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයෙන් මුදල් උපයා ගැනීමේ අරමුනින්, අභ්‍යවකාශය කරා එක්සත් ජනපදයේ නව තල්ලුවේ අතුරු කොන්ත්‍රාත්කරුවන් ලෙස සේවා සැපයීමට රොද බැඳ සිටිති.

ඇපලෝ වැඩ පිලිවෙලෙහි සමෘධි සමයේ පවා ධනේශ්වරයේ ලාභ ඉපයීමේ පරිශ්‍රමය හා චන්ද්‍ර සංචාරයේ සුරක්ෂිතභාවය අතර නිසග ආතතියක් පැවතියේය. පහත දැක්වෙන කර්කශ සරදම; ඇලන් ෂෙපර්ඞ්, ජෝන් ග්ලෙන්, හෝ ගස් ග්‍රිසම් ආදී වශයෙන් විවිධ අජටාකාශගාමීන් ගනනාවකට ආරෝපනය කොට ඇත්තකි: “මගේ ජීවිතය රඳා පවතින්නේ සංඛ්‍යාවෙන් 150,000 ක් පමන වූ උපකරන මතය. ඒ සෑම එකක්ම මිල දී ගෙන ඇත්තේ අඩුම මිල ඉදිරිපත් කල සැපයුම්කරුවන් වෙතිනි.” 1967 ජනවාරියේ අජටාකාශගාමීන් තුන් දෙනෙකුට ජීවිත අහිමි කල ඛේදජනක ගින්නෙන් ග්‍රිසම් මරනයට පත්විය.

අද දවසේ ලාභය සඳහා වන හඹා යාම වඩාත් විලිලජ්ජා විරහිත හා අනර්ථකාරී මට්ටම් කරා නැඟී ඇත. 2024 දී (එනම්, ඔහුගේ දෙවැනි ධුර කාලයක අවසානයට ප්‍රථම) චන්ද්‍ර ගවේශනයක් සඳහා ට්‍රම්ප්ගේ කැඳවුමෙන් පොලඹවනු ලැබ ඇති, රත්රන් ආකාර අලුතින් සොයා ගත් ප්‍රදේශවල වාසනාව හඹා යාමේදී පැවැති වාතාවරනයට සම කල හැකි තතු පිලිබඳව වෝල්ස්ට්‍රීට් ජර්නලය බ්‍රහස්පතින්දා වාර්තා කලේය. පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ ව්‍යාපාරවල එක් අධිවාචකයෙකු වන රික් ටම්ලින්සන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජර්නලය සඳහන් කලේ, “ඉදින් රජය සඳ කරා ආපසු යාමට ඩොලර් බිලියන ගනනින් පොම්ප කිරීමට සැරසෙන්නේ නම්, එය එම මාවතේ පෞද්ගලික අංශයේ ප්‍රාරම්භකත්වයන් ප්‍රවර්ධනය කල යුතු” බවයි. ස්පේස්ෆන්ඞ්හි ටම්ලින්සන් මහතාට අනුව, “එසේ නොවෙතොත් මා සලකන්නේ එය අසාර්ථක වූ ලෙසය. ඉතිහාසය ද එය දකිනු ඇත්තේ එසේමය.”

එනම්, මානව වර්ගයා යලි සඳ කරා ගියේ වී වුව, කිසිදු සමාගමක් ඉන් ලාභයක් උපයා නොගන්නේ නම් එම ප්‍රයත්නය අසාර්ථක එකකි. ධනේශ්වර ක්‍රමයේම එක් ප්‍රචාරකයෙකුගේ මුවින් ඉදිරිපත් කෙරෙන එම ක්‍රමය පිලිබඳ කෙතෙක් නම් බරපතල චෝදනා පත්‍රයක් ද?

ඓතිහාසිකව ප්‍රගතිශීලි සියලු කර්තව්‍යයන් සේම අභ්‍යවකාශය කරා මානවයාගේ ඉදිරි ගමන ද රඳා පවතින්නේ, ලාභ පද්ධතිය; එනම්, නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය හා එකිනෙකා සමඟ තරඟ වැද සිටින එකිනෙකාට සතුරු ජාතික රාජ්‍යවලට ලෝකය බෙදා ලීමේ තතු; විසින් නිර්මානය කෙරී ඇති බාධක ජය ගැනීම මතය. වෙනත් වචනවලින් කිවහොත්, එය රඳා පවතින්නේ සමාජවාදී වැඩ පිලිවෙලක් මත පදනම්ව ලෝකයේ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරය වර්ධනය කිරීම මතය.

පැට්‍රික් මාටින් විසිනි

Share this article: