ඉල්ලා අස් වූ දුම්රිය සාමාන්‍යාධිකාරිට සහය පල කරමින් දුම්රිය වෘත්තීය සමිති වර්ජනයක් කැඳවයි

නවීන් දේවගේ විසිනි, 2019 ජූලි 08

ගිය සතියේ බ්‍රහස්පතින්දා පැවැති දුම්රිය වර්ජනය නිසා මුලු දුම්රිය සේවය ම ඇනහිටියේය. දුම්රිය වෘත්තීය සමිති සන්ධානය (දුවෘසස) විසින් කැඳවනු ලැබූ වර්ජනයට දුම්රිය රියදුරන්, නියාමකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකයන් , විධායක නිලධාරීන් හා තාක්ෂන ශිල්පින් ඇතුලු ශ්‍රේනි 60 කට ආසන්න සමිති සංඛ්‍යාවක් වර්ජනයට සම්බන්ධ වූ හ.

වර්ජනය කැඳවීම හා ඊට සම්බන්ධ සිද්ධීන් මගින් පෙන්නුම් කෙරෙන්නේ ආන්ඩුව සේවකයන්ට එරෙහිව උත්සන්න කරන මර්දනකාරී ව්‍යාපාරය මෙන්ම දුම්රිය සේවකයන් අතර ආන්ඩුවට එරෙහිව වැඩෙන විරුද්ධත්වය අවමංගතකොට යටපත් කිරීමට වෘත්තීය සමිති ක්‍රියා කරන දුෂ්ට ආකාරයයි.

වර්ජනයේ නිමිත්ත ලෙස සමිති විසින් දක්වා තිබුනේ බීමතින් දුම්රිය ධාවනය කල බවට චෝදනා කෙරුනු එන්ජින් රියැදුරෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි කරතිබූ නිර්දේශයක් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් විසින් අනුමත නොකිරීමයි. එම රියැදුරා, පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දුම්රිය තාක්ෂන හා මෙහෙයුම් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් වන චන්ද්‍රසේන බන්ඩාරයි. බන්ඩාර පසු ගිය වසරේ අගෝස්තුවේ දුම්රිය ශ්‍රේනි පහක වැටුප් විශමතා විසඳන ලෙස ඉල්ලා ගෙනගිය වර්ජනය කඩාකප්පල් කිරීමට ආන්ඩුව වෙනුවෙන් හොරිකඩකමේ යෙදුනු වෘත්තීය සමිති නායකයෙකි.

සමිති නායකයාගේ වැඩ තහනම් කරන ලෙස තමන් කල නිර්දේශයට අමාත්‍යාංශ ලේකම් අනුමැතිය නොලැබීමේ හේතුව නිසා ජූලි 2 වැනි දා, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ඉල්ලා අස් විය. සමිති කියා සිටියේ දුම්රිය සාමාන්‍යාධිකාරීගේ රාජකාරීවලට ප්‍රවාහන අමාත්‍යාංශය කරන ඇඟිලි ගැසීම්වලට විරෝධය පාමින් වර්ජනය කරන බවයි.

බ්‍රහස්පතින්දා දවල්, ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී දුම්රිය සාමාන්‍යාධිකාරීට බලපෑමකින් තොරව වැඩ කරගෙන යාමට ඉඩ දෙන බවට සහ විනය ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යන බවට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රනතුංග ලබා දුන් “එකඟතාවක්” මත දුවෘස සන්ධානයේ නායකයෝ සවස 4 ට වැඩ වර්ජන නතර කලහ.

කෙසේ වෙතත්, ඇමති රනතුංග අවධාරනය කලේ ඉදිරි සති දෙකේ වර්ජනය නොකරන බවට පොරොන්දු වන්නේ නම් පමනක් ඊට පෙර සතියේ වෘත්තීය සමිති සන්ධානය විසින් කැඳවනු ලැබූ වර්ජනය තහනම් කරමින් පැනවූ අත්‍යාවශ්‍ය සේවා නියෝගය ඉවත්කර ගන්නා බවයි.

චෝදනා එල්ලවී සිටින බන්ඩාර සහ ඔහුට සහය දක්වන තවත් වෘත්තීය සමිති නායකයෝ කීප දෙනෙක් ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ හ. “මේ වැඩ තහනම මම බාර ගන්නේ නෑ. මාව අරක්කු බීල හිටියා කියලා කොටු කලා.” යැයි බන්ඩාර මාධ්‍යයට පැවසී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් ඬේලි මිරර් පුවත්පතට කල ප්‍රකාශයකට අනුව මැයි 28 වැනි දින බන්ඩාර මත්පැන්වල බලපෑමට යටත් ව දුම්රිය ධාවනයේ යෙදී සිටිය දී අසු ව ඇත. එම ප්‍රකාශයට අනුව වෘත්තීය සමිති නායකයෙකුව තහනමට ලක් කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරිට රිජු ව ම කල නොහැකි අතර ඒ සඳහා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබිය යුතු ය.

“සාමාන්‍ය කම්කරුවෙක් (බීල) අහු වුනා නම් මෙලහකටත් වැඩ තහනම් කරලා” යැයි නම සඳහන් කිරීමට අකමැතිවූ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වී ය. “මේ වර්ජනය මොකක්දැයි තවමත් මට හිතා ගන්න බෑ” තවත් කම්කරුවක් කීවේය.

සාමාන්‍ය කම්කරුවෝ තම අදහස් ප්‍රකාශ කිරීමට මැලිවූයේ ආන්ඩුවේ දඩයම් කිරිලි හා සමිති නිලධරය ශ්‍රේනි අතර කුලල් කෑම අවුස්සන තත්වය තුලය.

දුවෘස සන්ධානය ආරක්ෂා කිරීමට ඉදිරිපත් ව ඇත්තේ සතියකට පෙර තමන්ගේ වර්ජනයට එරෙහිව අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ නීති විරෝධී වර්ජනයක කම්කරුවන් යෙදුනේ යයි පොලිසියට පැමිනිලි කල දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ය. මෙම ඉහලපෙලේ රාජ්‍ය නිලධරයා, බීමත්ව අසුවුනේ යයි චෝදනාකොට සමිති නායකයාගේ වැඩ තහනම නිර්දේශ කලේ සාමාන්‍ය සේවකයන් මැඩලීමට මොනම පැකිලීමක් වත් නැතැයි යන පනිවුඩය නිකුත් කිරීමට ය.

තමන්ගේ පන්දමෙක් වන සමිති නායකයා හොරිකඩකම්වලින් කරන සේවය නිසා ආන්ඩුව සාමාන්‍යාධිකාරිගේ නිර්දේශයට එක එල්ලේ එකඟවී නැත.

කම්කරුවන් ඔවුන්ගේ අයිතිවාසිකම් සඳහා සටන් කිරීම මැඩලා විනයගත කර ගැනීම ආන්ඩුවේ අරමුනයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ආන්ඩුවේ මෙම පිලිවෙත වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයෙකි. වෘත්තීය සමිති නායකයෝ ද මෙයට පූර්න සහයෝගය දෙති.

දුම්රිය සේවකයන් භේද කිරීම සඳහා ඇටවූ එක් සමිති ගොන්නක් වන දුවෘස සන්ධානය පසුගිය සතියේ ආන්ඩුව අත්‍යාවශ්‍ය සේවා නියෝගය පැනවීමට යටත්ව සේවකයන්ගේ විරෝධතා නැවැත්වුයේය. (බලන්න: ශ්‍රී ලංකාව: දුම්රිය වෘත්තීය සමිති ආන්ඩුවේ වර්ජන තහනමට යටත් වෙති ) සමිති නායකයින් ප්‍රකාශ කර ඇත්තේ ඇමති රනතුංග ප්‍රශ්න විසඳීමට තව මස දෙකක් කල් ඉල්ලු නිසා වර්ජනය අකුලා ගන්නා බවයි.

කම්කරුවන්ගේ මුලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන වර්ජනය කිරීම මෙලෙස පාගා දැමීමට එරෙහිව සටනකට මුලු දුම්රිය සේවයේ සේවකයන්ගේ අරගලයක් කැඳවීමට හා සමස්ත කම්කරු පන්තියේ සහාය ගොනු කිරීමට මෙම සමිති සතුරු ය. ගිය බ්‍රහස්පතින්දා ඇමති රනතුංග අත්‍යාවශ්‍ය සේවා නියෝගය ඉවත් කිරීමට නම් සමිති වර්ජන වල නොයෙදිය යුතුයයි කී විට මෙම සමිති අකුලාගෙන ආහ.

දුම්රිය කම්කරුවන් දුම්රිය සේවාව පවත්වා ගෙන යන්නේ ඉතාමත් දුෂ්කර කොන්දේසි යටතේ යි. දිගු වැඩමුර, වැටුප් ප්‍රමානවත් නොවීම, වැඩ කර ගෙන යාමට අවශ්‍ය පහසුකම් නොමැති වීම කම්කරුවන් මුහුන දෙන කප්පාදුව පෙන්නුම් කරයි. ඇතැම් කාර්මික මෙවලම් පවා නොමැති අතර කම්කරුවන් පවසන්නේ ඒවා තමන්ම සපයා ගෙන වැඩෙහි නිරත වන බවයි. මේ සියල්ලට ඉහලින් දුම්රිය සේවාව වානිජකරනයේ හා අවසානයේ පුද්ගලිකරනයේ තර්ජනයට කම්කරුවෝ මුහුන දෙති.

බලයේ සිටි ආන්ඩු හා වත්මන් පාලනය දීර්ඝ කාලයක සිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග අනුව කම්කරුවන්ගේ අයිතීන් කපාහෙලා ධනපති අර්බුදයේ බර පටවමින් ලාභ ක්‍රමය රැක ගැනීමට මෙම වැඩපිලිවෙල ගෙන යයි. වෘත්තීය සමිති සෑම අතකින්ම ඒවාට කරබදුවී ඇත. දුම්රිය සමිතිවල ක්‍රියා කලාපයෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි. තම අයිතීන් රැක ගැනීමට ලොව පුරා අරගලයට දැන් බලවත්සේ ඉදිරියට ඇදෙන කම්කරුවෝ සමිතිවල ධනපති ගැති මාර්ග බාධකයට මුහුන දෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල බොහෝ කම්කරුවන් සමිති කෙරෙහි හා ඒවායේ නිලධාරීන් කෙරෙහි දක්වන්නේ පිලිකුලක් හා කෝපයකි. ඊලඟ අඩිය තබන ලෙස හිතනමතන කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂයේ අපි ඉල්ලමු: තම වැටුප්, සේවා හා රැකියා අයිතීන් ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද රැක ගැනීමට, වෘත්තීය සමිති වලින් හා නිලධරයෙන් සම්පූර්නයෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගන්න.

Share this article: