වැඩෙන සිසු විරෝධතා මැඩීමට රුහුනු විශ්වවිද්‍යාලය වසා දමයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ජූලි 13

රුහුනු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් හා සභාපතිගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එරෙහිව ශිෂ්‍යයන් ගෙන යන විරෝධතා මධ්‍යයේ රුහුනු විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ජූලි 9 දා විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලුම පීඨ දින නියමයක් නොමැතිව වසා දැමුවේ ය.

ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කරන්නැයි බලකරමින් සතියක් පුරා පරිපාලන ගොඩනැගිල්ල වාඩිලා සිටි සිසුන් සමග උපකුලපතිට හිතපක්ෂපාති අනධ්‍යන සේවකයන් කන්ඩායමක් ඇති කරගත් ගැටුමක් පරිපාලනය විසින් විශ්වවිද්‍යාලය වසා දැමීමට නිමිත්ත කර ගත්තේ ය. ගැටුමෙන් ශිෂ්‍යයන් 10 ක් හා අනධ්‍යන සේවකයන් කිහිප දෙනෙකු ද රෝහල්ගත කෙරුනි.

අගහරුවාදා උදෑසන ගැටුම වන අවස්ථාව වන විට ශිෂ්‍යයන්ට පහරදීමට පිටතින් මැර පිරිස් ද පැමිනි බව ශිෂ්‍යයෝ චෝදනා කරති. එදින විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් පසු සවස 4 වන විට සියලු නේවාසික සිසුන්ට ඉවත්වීමට නිවේදනය කර තිබු අතර තම නිවෙස් බලා යෑමට බස් නැවතුම්පලවල්වල සිටි ශිෂ්‍යයන්ට “අරගල කරන වුන් ඉන්නවා නම් වරෙව්“ යයි තර්ජනය කරමින් ත්‍රිරෝද රථවල නැගීගත් මැර කන්ඩායම් සරසවිය අසලින් ඔබමොබ ගිය ආකාරය එහි සිටි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දැක ගත හැකි විය.

රුහුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරය, අප්‍රේල් 21 දා ත්‍රස්ත බෝම්බ ප්‍රහාර ගසා කමින් ආන්ඩුව විසින් මුදාහැර ඇති රුදුරු මර්දනයේ කොටසකි. “මහජන ආරක්ෂාව“ යටතේ විශ්වවිද්‍යාල තුලට හමුදා ඛන්ඩ යෙදවීමේ එල්ලය වී ඇත්තේ නිදහස් අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහි අඛන්ඩ ශිෂ්‍ය අරගල මෙන්ම වැටුප් කප්පාදුව ඇතුලු රුදුරු රැකියා කොන්දේසිවලට එරෙහි අනධ්‍යන කම්කරුවන්ගේ සහ ආචාර්යවරුන්ගේ අරගල මැඩීමයි.

ආන්ඩුවේ හෙන්චයියන් ලෙස වැඩ කරන උපකුලපති සුජීව අමරසේන ඇතුලු රුහුනු විශ්වවිද්‍යාල පරිපාලනය ආන්ඩුවේ මර්දන පියවර යටතේ ශිෂ්‍යයන්ගේ සියලු ප්‍රජාතනත්‍ර අයිතීන් මැඩීමට කටයුතු කරමින් සිටී.

පසුගිය ජුනි මස 4 වැනි දා ශිෂ්‍යයන් දෙදෙනාට එරෙහිව මෙම දඩයම දියත් කෙරුනේ ඊට පෙර සතියේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට එරෙහිව ශිෂ්‍ය සංගමය මෙහෙය වූ උද්ඝෝෂනයක් අතරතුර එම සංගමය අනුබද්ධ වී සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) නියෝජිතයන් දෙදෙනෙකු විශ්වවිද්‍යාල පරිශ්‍රයට කැඳවා ගැනීම යන අභූත චෝදනාව මතයි.

ත්‍රස්ත ප්‍රහාරවලින් පසු පනවා ඇති විශ්වවිද්‍යාලයේ “ආරක්ෂක වැඩපිලිවෙල“ කඩකරමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයට “බාහිර පුද්ගලයන්“ කැඳවා ගැනීම “නීති විරෝධී“ යයි පරිපාලනය එහි දී කියා සිටියේ ය.

“බාහිර පුද්ගලයන්“ කැඳවීම නීති විරෝධී ක්‍රියාවක් බව පිලිගනිමින් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ශිෂ්‍ය නායකයින් දෙදෙනාට දන්වා තිබු නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කලහ.

තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා අනෙකුත් විශ්ව විද්‍යාලයන්හි සිසුන් සමග එක්ව සංවිධානය වීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කල මෙම මරු පහරෙන් නතර නොවුනු උපකුලපති අමරසේන, “නවක වදය” දීමේදී ශිෂ්‍ය සංගමය හැසිරෙනුයේ එල්ටීටීඊ ය ආකාරයට බව මාධ්‍යයට පැවසුවෙිය. ශිෂ්‍ය සංගමය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අයත් බව කියූ අමරසේන මාධ්‍ය ඉදිරියේ එය හෙලා දැකීය.

අමරසේනගේ මෙම ප්‍රකාශ ශිෂ්‍යයන් “ත්‍රස්තවාදීන්” ලෙස නම්කොට මැඩීමේ හා තමන් කැමති දේශපාලන සංවිධානයක් හා එක්ව කටයුතු කිරීමේ ශිෂ්‍යයන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතියට කෙටීමේ ආන්ඩුවේ සූදානම පෙන්නුම් කරයි.

ශිෂ්‍ය දඩයමට එරෙහිව පසුගිය සතියේ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබු විරෝධතා පාගමනක් කඩාකප්පල් කිරීමට සරසවියේ ප්‍රධාන ගේට්ටු වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කලේ ය. පෙලපාලිය ගමන් කිරීමට නියමිතව තිබූ සරසවියේ සිට මාතර ප්‍රධාන බස් නැවතුම්පල දක්වා මාර්ගයේ පොලිසියට අමතරව 250 ට අධික හමුදා නිලධාරීන් ස්ථානගත කර තිබුනි.

ප්‍රධාන ගේට්ටුව විවෘත කර ගැනීමට ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ආරක්ෂක අංශ සමග ගැටුනු අවස්ථාවේ දී පොලීසිය හා හමුදා භටයන් සීරුවෙන් සිටියේ ශිෂ්‍යයන්ගේ පලල් විරුද්ධත්වයක් මැඩීමේ අටියෙනි. එදින සරසවිය ඉදිරිපිට පැවති උද්ඝෝෂනයකින් පසු ශිෂ්‍යයෝ පරිපාලන ගොඩනැගිල්ල වාඩිලා ගත්හ.

පසුගිය සතියේ වර්ධනය වූ සිද්ධීන්වලින් පසු විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ තවදුරටත් සරසවියේ රැදී සිටිය නොහැකි යයි ප්‍රකාශ කර තිබේ. මෙය, විශ්වවිද්‍යාලය තුලට ස්ථීර වශයෙන් හමුදා හා පොලිස් භටකායන් යෙදවීමට ගෙන යන වෑයමකි. දැනටමත් ප්‍රධාන ගේට්ටු අසලත් සරවිය තුල හා බාහිරවත් “ආරක්ෂාවට” යයි පවසා ආයුධ ඇතැති හමුදා සහ පොලිස් භට කන්ඩායම් යොදවා තිබේ.

බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම කම්කරු පන්තියේ සමාජ අයිතීන් වනසා දැමීමේ කොටසක් ලෙස සිදු කරමින් යන අධ්‍යාපන කප්පාදුවටත් පෞද්ගලීකරනයටත් එරෙහිව ශිෂ්‍යයන් අඛන්ඩව විරෝධතාවල යෙදෙමින් සිටින අතර, “ආරක්ෂාව” දඩමීමා කොට ගෙන එම විරෝධතා මැඩීමට ආන්ඩුව දියත් කර ඇති නව නීතිරීති මගින් විශ්වවිද්‍යාල සිරගෙවල්වල තත්වයට පත් කෙරෙමින් පවතී.

මැයි 30 දා කැලනිය විශ්වවිද්‍යාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ සිසු විරෝධතාවයක් සඳහා පෝස්ටර් අඳිමින් සිටි සිසුන් පිරිසක් මිලිටරිය යොදා ඉවත් කිරීමට එහි පරිපාලනය මැදිහත් විය. පසුගිය සතියේ එම විශ්වවිද්‍යාලයේ කැමුෆ්ලාජ් මෝස්තරයේ ඇඳුමක් හැඳ පැමිනි ශිෂ්‍යාවක් හමුදා භටයන් විසින් ප්‍රශ්න කල බවත් ඒ පිලිබඳ විමසීමට එතැනට පැමිනි ශිෂ්‍යයෙකුගේ උදරයට හමුදා භටයෙකු තුවක්කුව තැබූ බවත් අවිශිබමය ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කලේ ය.

ජූලි මස 04 දා අක්මීමන, මානවිල උපනන්ද විද්‍යාලයේ “ආරක්ෂාවට” යොදවා සිටි යුද හමුදා සෙබලෙකු විසින් එම විද්‍යාලයේ ඉගනුම ලබන දරුවකු කැටුව ඒමට ගිය තිදරු පියෙකු විද්‍යාල පරිශ්‍රය තුල දීම වෙඩි තබා ඝාතනය කෙරුනි.

විශ්වවිද්‍යාල තුලත් පාසල් තුලත් වර්ධනය වන මෙම අන්තරායකාරී තත්වය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ආන්ඩුව පොලිස් රාජ්‍යයක් දිසාවට තැබූ පියවරයන්ගේ ඍජු ප්‍රතිඵලයකි.

ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීම යටින් පැවතියේ පාලක පන්තියේ මෙම දුෂ්ට අරමුනයි. එනම්, ජාත්‍යන්තරව වර්ධනය වන පන්ති අරගලයේ කොටසක් ලෙස ලංකාවේ පුපුරා එමින් පැවති කම්කරුවන්ගේ හා තරුනයන්ගේ පන්ති සටන් තලා දැමීමයි.

“අන්තවාදය” හා “ත්‍රස්තවාදය” පිටුදැකීම නමින් ආන්ඩුව හා විපක්ෂයන්හි ඒකමතියෙන් සමාජයේ සෑම අංශයක් තුලටම මිලිටරිය රිංගවා ඇත. ඒ අතරම සිංහල දෙමල මුස්ලිම් කම්කරු පන්තිය භේද භින්න කිරීමේ සඳහා මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල අන්තවාදී සංවිධාන පාරට බස්සා තිබේ.

ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාරය හුදකලා ප්‍රහාරයක් නොව සමස්ත කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයේ කොටසකි. තෙවන මාසයටත් හදිසි නීතිය පාර්ලිමේන්තුව තුල සම්මත කල තත්වය මධ්‍යයේ පසුගිය සතියේ පුපුරා ගිය දුම්රිය සේවක අරගලය තලා දැමීමට ආන්ඩුව අත්‍යවශ්‍ය නියෝග පැනවී ය.

ශිෂ්‍යයන්ට එරෙහි රාජ්‍ය මර්දනය පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ නායකත්වය යටතේ ශිෂ්‍යයන් ඇතුල පීඩිත මහජනයා බලමුලු ගැන්වෙමින් තමාට එරෙහි ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් වැඳීමෙන් පමනි.

නමුත් ශිෂ්‍ය නායකත්වය මත ලැග සිටින අවිශිබමය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සතුරුව ශිෂ්‍යයන් ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනවලට සිර කර තිබේ.

රුහුනු විශ්වවිද්‍යාලයේ උපකුලපති සුජීව අමරසේන “ඔය විදිහට නම් යන්නේ පස්ස ඇන ගන්න කාලය වැඩි ඈතක නැතැ” යි ද මෙවැනි උපකුලපතිලාට හා අධ්‍යාපන ඇමතිවරුන්ට ශිෂ්‍ය සටන් හේතුවෙන් එසේ සිදු වී යයි අවිශිබම කැඳවුම්කරු මහීල් බන්ඩාර දෙහිදෙනිය මාධ්‍ය සාකච්ඡාවකදී පූච්චානම් දෙඩවී ය.

උපකුලපතිවරුන් සහ ඇමතිවරුන් ඉවත් කිරීමෙන් පමනක් නොව 2015 දී අවිශිබමය හා ඊට නායකත්වය දෙන පෙසප හා තවත් ව්‍යාජ-වාම සංවිධාන විසින් මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඉවත් කොට වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම මගින් ද සිදු වී ඇත්තේ කම්කරු පන්තිය හා පීඩිත මහජනයා මත දිගේලි කෙරෙන ප්‍රහාර තීව්‍ර වීම පමනි.

Share this article: