කුරුනෑගල මුස්ලිම් වෛද්‍යවරයාට එරෙහිව සිංහල වර්ගවාදීන් ගෙතූ අභූත චෝදනා ප්‍රතික්ෂේප වෙයි

කපිල ප්‍රනාන්දු විසිනි, 2019 ජූලි 03

අප්‍රේල් 21 දා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය ගසාකමින් මුස්ලිම් ජනයාට එරෙහිව දේශපාලන පක්ෂ හා සිංහල අන්තවාදී සංවිධාන විසින් මේ වන විට ගෙන යමින් තිබෙන වර්ගවාදී ප්‍රකෝපකරනයේ ප්‍රධාන අංගයක් වන්නේ, කුරුනෑගල ශික්ෂන රෝහලේ වෛද්‍යවරයෙකු වන ශියබ්දීන් සාෆිට එරෙහි තුච්ඡ උද්ඝෝෂනයයි.

සිසේරියන් සැත්කම කරන අතරතුරදී සිංහල-බෞද්ධ මවුවරුන්ගේ අනුමැතියකින් තොරව ඔවුන් වඳ භාවයට පමුනුවා ඇතැයි යන අභූත චෝදනා එම වෛද්‍යවරයාට එල්ල කෙරුනි. වර්ගවාදයට අනුබල දෙන මාධ්‍යවල විසකුරු ප්‍රචාරනය මැද කිසිදු වගවිභාගයකින් තොරව වෛද්‍යවරයා අපරාධකරුවෙකු බවට පත් කල වර්ගවාදී හැඩි රැලේ මූලික එල්ලය වූයේ සමස්ත මුස්ලිම් ජනයාටම එරෙහි පලල් පරිමාන විලෝපනයකට පොට පාදා ගැනීමයි.

මසකට වැඩි කාලයක් තිස්සේ ගෙනයන මෙම උද්ඝෝෂනය මැද අපරාධ විමර්ශන කොට්ඨාසය (සීඅයිඩී) විසින් සිදුකරන ලද පරීක්ෂනවල පිටු 210 ක වාර්තාවක් කුරුනෑගල මහේස්ත්‍රාත් අධිකරනයට පසුගිය ජුනි 27 දා ඉදිරිපත් කලේ ය. වෛද්‍යවරයාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව එම වාර්තාවෙන් අනාවරනය වීමත් සමග වර්ගවාදී උද්ඝෝෂනයේ පල්ල ගොස් ඇති අතරම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා කුමන්ත්‍රනයක් බව හෙලිදරව් වී තිබේ.

කෙසේ නමුත් වාර්තාවේ හෙලිදරව් කිරීම් මගින් ප්‍රකාශයට පත් වන්නේ පරීක්ෂන මෙහෙය වූ පොලීසියේ හෝ ආන්ඩුවේ අපක්ෂපාතීභාවය නොවේ. යතාර්ථය වනුයේ, වෛද්‍යවරයා සමග සැත්කම් ඇතුලු වෙනත් සේවාවන් හි යෙදී සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මන්ඩල සාමාජිකයන් ලබාදුන් බලගතු සාක්ෂි මගින් ඔහුට එරෙහිව ගොතන ලද චෝදනාවල පරිපූර්න පදනම් විරහිතභාවය සනාථ වූ තතු තුල පොලීසියට එවන් වාර්තාවක් හැර අනෙකක් ඉදිරිපත් කල නොහැකිවීම යි.

වත්කම් උපයා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂන කිරීමට ඇති බව පවසා පසුගිය මැයි මස 24 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා රඳවා ගෙන ප්‍රශ්න කෙරුනේ “ත්‍රස්තවාදය වැලැක්වීමේ“ රුදුරු අන පනත් යටතේ ය. සීඅයිඩී වාර්තාව, වෛද්‍යවරයා අයථා ලෙස මුදල් උපයා ඇති බවට සාක්ෂි නොමැති බවත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හා කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ නැති බවත් ප්‍රකාශ කර සිටී.

වෛද්‍ය සාෆි 2015 මහ මැතිවරනයට එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) කුරුනෑගල දිස්ත්‍රික්කයට තරගවැදි අතර එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ පුරප්පාඩුවකින් මන්ත්‍රීධුරයක් ලැබීමට අවශ්‍ය ඡන්ද ප්‍රමානය ලබා සිටී.

පසුගිය මැයි මස 21 දා දිවයින පුවත්පත පලකල වාර්තාවකින් සාෆි ට එරෙහි මෙම අභූත චෝදනාව ඉදිරිපත් කලේ ය. සිසේරියන් සැත්කම් සිදු කෙරෙන අතරතුර දී ඔහු විසින් සිංහල මව්වරුන් 4000 කට පමන යලි දරුවන් ලැබීමට නොහැකි ආකාරයෙන් ඔවුන්ගේ පැලෝපීය නාලවලට හානි කොට ඇතැයි එහි පල කෙරුනේ එම තොරතුර පිලිබඳව කිසිදු මූලාශ්‍රයක් පිලිබඳව සඳහනකින් හෝ තොරව ය.

දිවයින ට මෙම පදනම් විරහිත තොරතුරු ලබා දී ඇත්තේ කුරුනෑගල නියෝජ්‍ය පොලිස් අධිකාරී කීර්ති ජයලත් සහ කුරුනෑගල රෝහලේම වෛද්‍යවරියක් වන ඔහුගේ බිරිඳ විසින් බව මාධ්‍ය වාර්තා වලින් හෙලිවිය.

වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොතන අතරතුරේ පොලිස් අධිකාරී ජයලත්, සාක්ෂි ලබා දීමට මව්වරුන්ට ආරාධනා කලේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස් වහා පරීක්ෂන පැවැත්විය යුතු බවටත් මව්වරුන්ට වන්දි ලබා දිය යුතු බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විවිධ සංකූලතා ඇතැයි පැමිනිලි කල මව්වරු සංඛ්‍යාව දහසක් දක්වා ඉහල ගියේ ය.

වෛද්‍ය සාෆි ගේ සැත්කම් වලින් පසු තමන් අවුරුදු ගනනක් දරුඵල නැතිව සිටින බව පවසන මව්වරුන්ගේ වීඩියෝ පට රූපවාහිනි නාලිකා තුල දිනපතා පල කෙරුනේ තවදුරටත් ප්‍රකෝපකරනයන් තීව්‍ර කිරීමේ අරමුනෙනි.

සාෆි ගේ සැත්කම් වලින් එවැන්නක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට අදාල විද්‍යාත්මක පරීක්ෂනයකට පෙනී සිටීමට ඉදිරිපත් වී ඇත්තේ මව්වරුන් 71 ක් පමනක් බව පරීක්ෂන සිදු කල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු මාධ්‍යයට පවසා ඇත. ඉන් බහුතරයක් මව්වරුන් කවර වෛද්‍යවරයෙකු විසින් තමාට සිසේරියන් සැත්කම සිදු කර ඇත්දැයි නො දනී. එසේම එම මව්වරුන්ට දරු පල නොමැතිවීමට තම ස්වාමිපුරුෂයින්ගේ මඳ සරුභාවය හේතු වී ඇති බව පෙර සිදු කල පරීක්ෂනවලින් ඔප්පු වී ඇති බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

සාෆි ට එරෙහි මෙහෙයුමට මුලසිටම අනුබල දුන් කුරුනෑගල රෝහලේ අධ්‍යක්ෂ ඒ.එම්.එස්. වීරබන්ඩාර කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදු කරන පරීක්ෂන විශ්වාස නැති බවයි. වීරබන්ඩාර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ක්‍රියාකාරිකයෙකු වන අතර කුප්‍රකට සිංහල වර්ගවාදියෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සමීපතමයෙකි.

වඩා වැදගත් කාරනය වන්නේ, වෛද්‍ය සාෆි සමග සේවයේ යෙදුනු කුරුනෑගල රෝහලේ වෛද්‍ය හා හෙද කාර්ය මන්ඩලය, සාෆි විසින් සිදුකල සැත්කම් වලදී එවැනි අපරාධයක් සිදු නො කල බවට සාක්ෂි ලබා දීමයි. ඔවුන් මෙම සාක්ෂි ලබා දුන්නේ සිංහල ස්වෝත්තමවාදීන්ගේ තර්ජන නොතකමිනි.

වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා පදනම් විරහිත බවට නාරී හා ප්‍රසවවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරු ගනනාවක්ම පසුගිය සතිවල කරන ලද ප්‍රකාශවලට හා පැහැදිලි කිරීම් වලට මාධ්‍ය තුල ඉඩක් නොලැබුනු තරම් ය.

කොලඹ විශ්වවිද්‍යාලයේ නාරි හා ප්‍රසවවේද අධ්‍යන අංශයේ ප්‍රධානියා වන මහාචාර්ය හේමන්ත සේනානායක ලංකාදීප හා ඬේලිමිරර්පුවත්පත්වලට ලබාදුන් සම්මුඛ සාකච්චාවකදී පෙන්වා දුන්නේ වෛද්‍ය හා හෙද කන්ඩායමක ප්‍රයත්නයක් ලෙස කෙරෙන සිසේරියන් සැත්කමකදී එක වෛද්‍යවරයෙකුට, රහසේ මෙවැනි ක්‍රියාවක් කිරීම “අපහසු” දෙයක් බවයි.

දරු උපත් හා ප්‍රජනන සෞඛ්‍යයට අදාල මෙවැනි සංවේදි ප්‍රශ්න සම්බන්ධ කර ගනිමින් සිදු කරන නොමනා ප්‍රකාශ මගින් ඇති කරන අන්තරායන් පිලිබඳව ඔහු වැඩිදුරටත් අනතුරු ඇගවී ය.

වෛද්‍ය සාෆි ට එරෙහි ප්‍රකෝපකරනය මුස්ලිම් ජනයාට එරෙහිව කලෙක පටන් ගෙන යන සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ප්‍රහාරය නව ඉහලකට නැංවීමක් සමග බැඳී පවතී. ධනපති පාලක පන්තිය තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බූදයේ බර, දැවැන්ත කප්පාදු හරහා කම්කරු-පීඩිත මහජනතාව මත පටවද්දී එයට එරෙහිව පන්ති අරගල මාලාවක් වැඩෙමින් පවතී. කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා වෙන්කොට දුර්වල කිරීම මෙම මුස්ලිම්-විරෝධී ප්‍රකෝපකරනයේ මූලික අරමුනයි.

දෙමල ජනතාවට එරෙහි විසිහය අවරුදු යුද්ධයකින් පසු ප්‍රධාන ධනපති පක්ෂවල අනුග්‍රහයෙන් සිංහලේ, බොදුබල සේනා හා රාවනා බලය වැනි සිංහල ස්වෝත්තමවාදී සංවිධාන විසින් මෙම මුස්ලිම්-විරෝධී මෙහෙයුම පෙරට දමා ඇත්තේ එම අරමුනෙනි.

මෙම සිංහල වර්ගෝත්තමවාදී හැඩිරැල විසින් ගෙනයන තවත් විසකුරු ප්‍රචාරයක් වූයේ මුස්ලිම් ජනයා, “සිංහල ජාතිය වඳකරන” අතරේ තම වර්ගයේ දරුවන් වැඩිවැඩියෙන් බිහිකර ලංකාවේ බහුතරය වීමට යත්න දරන බවයි. මුස්ලිම් ආපනශාලා හිමියන් විසින් සිංහල පිරිමින් හා ගැහැනුන් තෝරා ඔවුන් වඳභාවයට පැමිනවිය හැකි පෙති වර්ගයක් කෑමට මිශ්‍ර කරන බවට අමූලික බොරු ප්‍රචාරයක් ඔවුහු පසුගිය වසරේදී පතුරවා හලහ.

එම ප්‍රචාරයෙන් ආවේශය ලත් සිංහල වර්ගවාදී මැර පිරිසක් පසුගිය වසරේ පෙබරවාරි 26 දා අම්පාර නගරයේ මුස්ලිම් හෝටල්වලට පහර දුන් අතර ඉන් දින කිහිපයකට පසු මහා සොහොන් බලකාය නම් තවත් සංවිධානයක් විසින් මහ නුවර දිගන ප්‍රදේශයේ මුස්ලිම් ජනයාගේ ගෙවල් දොරවල් විශාල ප්‍රමානයක් විනාශ කලේ ය.

මෙම ප්‍රහාරවලින් පසු, ලංකාව තුල හා පිටත සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් 200 කට අධික සංඛ්‍යාවක් ගැහැනුන් හෝ පිරිමින් වඳ භාවයට පත්කල හැකි එවැනි පෙති වර්ගයක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරමින් එම ප්‍රචාරය ද පුස්සක් බව පෙන්වා දුන්හ.

කෙසේ නමුත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) මෙවැනි විද්‍යාත්මක හෙලිදරව් කිරීම්වලට කිසිදු මූලිකත්වයක් නොගත්තා පමනක් නොව වර්ගවාදීන්ගේ උද්ඝෝෂනයට විවෘතවම මාට්ටු වී සිටී. ජූනි 30 වන දා සන්ඬේ ඔබ්සර්වර් හි පලවූ වාර්තාවකට අනුව, වෛද්‍ය සාෆි ට එරෙහි චෝදනා පිලිබඳව පරීක්ෂනයක් ඉල්ලා, “රට, ජාතිය, ආගම බේරා ගනිමු” යන පාඨයන් සහිතව ජූනි 26 දා කුරුනෑගල ශික්ෂන රෝහලේ පැවති විරෝධතාවයක නායකත්වය ගෙන ඇත්තේ රවෛනිස යි.

මෙම විරෝධතාවය පැවැත්වූයේ සීඅයිඩී පරීක්ෂන වාර්තාව අධිකරනයට ඉදිරිපත්කල දිනයට පෙරදිනයේ වීම අහම්බයක් නොවේ. එම වාර්තාවෙන් හෙලිවන කරුනු වර්ගවාදී උද්ඝෝෂනයට එරෙහිව පිහිටන බව කල්තියාම දැනගෙන මෙම විරෝධතාව සංවිධානය කල බව පැහැදිලිය.

සීඅයිඩී වාර්තාව ඉදිරිපත් වූ දින කුරුනෑගල උසාවිය ඉදිරිපිට මාධ්‍යයට කතා කල අතුරලියේ රතන භික්ෂුව වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති කරුනු පිලිබඳව කිසිදු සඳහනක් නොකර ප්‍රකෝපකරනයන් තවදුරටත් ඇවිලවීමේ ප්‍රයත්නයක යෙදී ගත්තේ ය. සීඅයිඩී වාර්තාව ප්‍රතික්ෂේප කරමින් එය ඉදිරිපත්කල පොලිස් අධිකාරී තිසේරා විවේචනය කල රතන “ලෝකෙම වෛද්‍ය මහාචාර්යවරු ලංකාවට ගෙනැල්ලා සතියක් ඇතුලත ස්වාධීන පරීක්ෂනයක්” ආරම්භ කරන බවට පාරම් බෑවේය.

Share this article: