එක්සත් ජාතීන්ගේ නියෝජතයා සහ විනිශ්චයකාරවරුන් අතර හමුවට දේශපාලන සංස්ථාපිතය විරුද්ධ ඇයි?

පානි විජේසිරිවර්ධන විසිනි, 2019 ජූලි 29

පසුගිය දා දිවයිනට පැමින සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්ලෙමන්ට් වෝල් සහ ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරු කන්ඩායමක් අතර පැවැත්වීමට සූදානම් කෙරෙමින් පැවති සාකච්ඡාවක්, දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතයන් හි ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත.

ක්ලෙමන්ට් වෝල් යනු, එජා සංවිධානයේ “සාමකාමීව ඒකරාශි වීමට සහ සන්ථවයට ඇති අයිතිය” පිලිබඳ විශේෂ නියෝජිතවරයා ය. ඔහු පැමිනියේ, ශ්‍රී ලංකාව තුල “සාමකාමීව රැස්වීමට ඇති නිදහස” පිලිබඳව තක්සේරුවක නිරතවීමට බව මාධ්‍ය වාර්තාවන් හි සඳහන් වෙයි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉමහත් ආන්දෝලනයට ලක්වූ රාජ්‍ය හමුදා ඝාතන සිද්ධීන් කීපයකට අදාල අධිකරනමය ක්‍රියාදාමයන් විමර්ශනය කිරීම සඳහා විනිශ්චයකාරවරුන්ගේ හමුවක් සූදානම් කරන ලෙස විශේෂ නියෝජිතවරයා කරන ලද ඉල්ලීමකට අනුව ලංකාවේ විදේශ අමාත්‍යංශය විසින් ඉහත හමුව සූදානම් කිරීමට පියවරගෙන ඇතිබව වාර්තාවේ.

2011 දී, යෝජිත විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් සාමකාමී උද්ඝෝෂනයක යෙදුනු කටුනායක නිදහස් වෙලඳ කලාප කම්කරුවන්ට පොලීසිය යොදා වෙඩි තැබීමෙන් රොෂේන් චානක නමැති කම්කරුවා මරා දැමීම, 2012 දී වැලිකඩ බන්ධනාගාරයට මිලිටරිය කඩා පන්නවා එහි රඳවා සිටි සිරකරුවන් 27 දෙනෙක් ඝාතනය කිරීම සහ 2013 දී පානීය ජලය ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක යෙදුනු රතුපස්වල මහජනතාවට මිලිටරිය යොදවා වෙඩිතබා තිදෙනකු ඝාතනය කිරීම ඇතුලු තවත් සිද්ධීන් කීපයක් විමර්ශනයට අදාල බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.

එජා නියෝජිතවරයා සහ විනිශ්චයකාරවරුන් අතර හමුව පිලිබඳව දැනගත් සැනින් එයට ක්ෂනිකව විරුද්ධත්වය පැවේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂය යි. ජූලි 23 දා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී, වහාම මෙම හමුව වලක්වන ලෙස, කථානායක කරු ජයසූරියගෙන් රාජපක්ෂ ඉල්ලා සිටියේ ය.

විදේශ අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් අහමඞ් ඒ. ජවාඞ් විසින් අධිකරන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපියක් ගැන සඳහන් කරමින් රාජපක්ෂ කියා සිටියේ, ඉහත දක්වා ඇති සිද්ධීන් තුන ඇතුලු තවත් සිද්ධීන් කීපයක් පිලිබඳව විමර්ශනය කිරීම සඳහා විනිසුරුවරුන්ගේ සාකච්ඡාවක් සූදානම් කරන ලෙස එහි ඉල්ලා ඇති බවයි.

“මෙම නඩු විභාගයන්හි යෙදී සිටින විනිශ්චයකාරවරුන් හමුවීම සඳහා (නියෝජිතවරයාට) අවස්ථාවක් ලබාදීම අධිකරනයේ ස්වාධීනත්වය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක්. මෙම හමුව වැලැක්වීම සඳහා කතානායකවරයාගේ මැදිහත්වීම අපි බලාපොරොත්තු වෙනවා” යැයි රාජපක්ෂ පැවසීය.

“ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති අධිකරනයේ ස්වාධීනත්වයට විදේශ අමාත්‍යංශ ලිපියෙන් බලපෑම් කොට” ඇති බව, විපක්ෂ මන්ත්‍රී දිනේශ් ගුනවර්ධන එම පාර්ලිමේන්තු සංවාදයට එක් වෙමින් කියා සිටියේ ය. ලිපිය යැවූ විදේශ අමාත්‍යංශ වැඩබලන ලේකම්වරයාට එරෙහිව පරීක්ෂනයක් පැවැත්වීමට ද ඔහු යෝජනා කලේය. ගුනවර්ධන යනු රාජපක්ෂ ආන්ඩුවේ සිටි ප්‍රධාන ඇමතියෙකි.

ඊට පසුදින, එනම් ජූලි 24 දා, පාර්ලිමේන්තු සැසි වාරයේදී කතානායක ජයසූරිය කියා සිටියේ එජා නියෝජිතයා සහ විනිශ්චයකාරවරුන් අතර යෝජිත හමුව නොපැවැත්වෙන බවයි. හමුව නොපවත්වන ලෙස මම “විදේශ අමාත්‍යංශයටත් අධිකරන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරන අමාත්‍යංශයටත් උපදෙස් දුන්නා” යැයි ඔහු පැවසීය.

වත්මන් ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා කතානායකවරයාගේ තීන්දුව අනුමත කරමින් ඔහුට ප්‍රශංසා කලේය.

මේ අනුව යෝජිත හමුව නොපැවැත්වුනි. හමුව නොපැවැත්වුන ද ඒ පිලිබඳ විවාදය පාර්ලිමේන්තුව තුල සහ පිටත ඉදිරියටම යමින් පවතී. රාජපක්ෂ කඳවුරේ ප්‍රධාන නියෝජිතයෙකු වන පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම සිද්ධිය වත්මන් ආන්ඩුව රටෙහි “අධිකරනය බාහිර බලයන්ට පාවාදීම” පිලිබඳ බලගතු උදාහරනයක් බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) මහලේකම් දයාසිරි ජයසේකර ජූලි 25 වන දා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය: “රොෂේන් චානකගේ මරනය සහ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය (විදේශ අමාත්‍යංශ) ලිපියේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. මේ දේවල් වලට ඔවුන් (එජා) ඇඟිලි ගසන්නේ ඇයි?”

ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම රාජ්‍ය-තාන්ත්‍රික නිශ්ශබ්දතාවයක් රකිමින් හමුව අවලංගු කිරීම අනුමත කරති. ඉහත ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් වේදිකාවන්හි කෑමොරදෙන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද මෙහිදී පූර්න නිශ්ශබ්දතාවය රකිමින් දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් පක්ෂ සමග පෙලගැසී සිටිති.

වර්ගවාදී යුද සමයේ ශ්‍රී ලංකාවේ මිලිටරිය සිදුකල යුද අපරාධ සහ ඒවා වසන් කිරීම සඳහා ගෙනගිය ව්‍යාජ-අධිකරන ක්‍රියාදාමයන් හෙලි කිරීම සඳහා කැපවන බවට උතුරේ දෙමල පීඩිත ජනතාව ඉදිරියේ නැවත නැවතත් ශපථ වන දෙමල ජාතික සන්ධානය (දෙජාස) ද මෙහිදී මුලුමනින්ම නිහඬ ය.

එජා සංවිධානයේ මානව හිමිකම් දූතමෙහෙවරයන් හි ව්‍යාජභාවය තිබියදීම, ලෝක මහජනතාව ඉදිරියේ යම් වලංගුභාවයක් පවත්වාගෙනයාම සඳහා එමගින් කෙරෙන සීමිත අනාවරනයන් පවතීි. ශ්‍රී ලංකාවේ දූතමෙහෙවර අවසන් කරමින් එජා විශේෂ නියෝජිත වෝල් විසින් ජූලි 26 වන දා කර ඇති මූලික ප්‍රකාශය එවැන්නකි.

එහි මෙසේ සඳහන් වෙයි: “සාමකාමී ඒකරාශි වීමට සහ සන්ථවයට ඇති නිදහස ආරක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් වී ඇති නමුත්, ඒ යටතේ ක්‍රියාත්මක වන නීති ගනනාවක් මගින් එම අයිතීන් අනතුරේ හෙලනවා.” ශ්‍රී ලංකාවේ දන්ඩ නීතිය, සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයිසීසීපීආර්) සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එවන් නීති ලෙස ඔහු හඳුන්වයි.

“අතුරුදහන්වීම්, ඉඩම් අයිතීන්, ජීවනෝපායන්, සම්පත් සඳහා ප්‍රවේශයන් සහ සංවර්ධන ව්‍යාපෘති වැනි විශේෂ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවිධානය වීමේදී නිරන්තරවම මෙම නීති විචයනීය (වෙනස්කම් කෙරෙන) ආකාරයෙන් ව්‍යවහාරයේ යෙදීම මගේ අවධානයට ලක්වුනා.”

එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියට අත්සන් තබා ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව එජා ගේ විශේෂ නියෝජිතයෙකුගේ මෙවන් විමර්ශනයකට පූර්න සහයෝගය දැක්වීමට බැඳී සිටින අතර අදාල විෂය සම්බන්ධයෙන් අධිකරනයේ නිලධාරීන් හමුවී විමසා බැලීම “අධිකරනයේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක්” ලෙස නොසැලකේ.

“අධිකරනයේ ස්වාධීනත්වය” පිලිබඳව පාලක පන්තියෙන් ඉදිරිපත් කෙරෙන මෙම තර්කයන් මුලුමනින්ම වංචනිකය. තම දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් අධිකරනයට අතපෙවීම පිලිබඳව ශ්‍රී ලංකාවේ පාලක පන්තිය කුප්‍රකටය. මහින්ද රාජපක්ෂ විසින් එවකට අග්‍ර විනිශ්චයකාරවරියව සිටි ශිරානි බන්ඩාරනායක නීති විරෝධී ලෙස පහකලේ තම දේශපාලනික අවශ්‍යතාවයන්ට එරෙහි නඩු තීන්දු කීපයක්ම දුන් හෙයිනි.

රාජපක්ෂගේ අනුප්‍රාප්තික ජනාධිපති සිරිසේන විසින්, තම විධායක ජනාධිපති බලතල යොදා ගනිමින්, උසාවියට අපහාස කිරීමේ වරද යටතේ සිරගතකොට සිටි ගලගොඩඅත්තේ ඥානසාර නම් කුප්‍රකට සිංහල වර්ගවාදී භික්ෂුව නිදහස් කිරීම අධිකරනයේ ස්වාධීනත්වයට එරෙහි පාලක පන්තියේ මෑතම සහ කැපී පෙනෙන මැදිහත්වීමකි. ඔහු නිදහස් කරනු ලැබුfවි අප්‍රේල් 21 ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් මුදාහැරුනු මුස්ලිම්-විරෝධී ප්‍රචන්ඩත්වය ඉස්මත්තට ගැනීමේ අරමුනෙනි.

මීට අමතරව, අධිකරන ක්ෂේත්‍රයේ ඉහලම තනතුරු වන අග්‍ර විනිශ්චයකාර සහ නීතිපති වැනි තනතුරු වලට නිලධාරීන් පත් කෙරෙනුයේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වන අතර ඔවුන් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවන් ලෙසිනි.

එජ නියෝජිතයා සහ විනිශ්චයකාරවරුන් අතර පැවැත්වීමට යෝජිතව තිබූ හමුවට පාලක පන්තියෙන් එල්ල කෙරුනු ඒකමතික විරුද්ධත්වයෙන් පෙන්නුම් කෙරෙනුයේ, අධිකරනයේ යුක්තිගරුකභාවය හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් භුක්ති විඳීමේ හැකියාව පිලිබඳව කෙරෙන සීමිත විමසා බැලීමක් සඳහා හෝ ඉඩක් නොදීමට පාලක පන්තිය තීන්දුකර ඇති බවයි.

දෙමල පීඩිත ජනයාට එරෙහිව දශක තුනකට ආසන්න කාලයක් ගෙනගිය රුදුරු යුද්ධය තුල දහස් සංඛ්‍යාත ජනයා මරා දමමින් හිසේ සිට දෙපතුල දක්වා ලේ නාගත් මෙම පාලක පන්ති කොටස් දැන් පෙලගැසී සිටින්නේ, ධනපති ප්‍රහාරයන්ට එරෙහිව නිරන්තරව සටනට එන කම්කරුවන්, ගොවියන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් රුදුරුම ආකාරයෙන් තලා දැමීමට යි.

උපායාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් මතභේද තිබියදීම පාලක පන්තියේ සියලු කොටස්, එජ විශේෂ නියෝජිතයා පිලිබඳ සිද්ධියේදී එකට පෙල ගැසුනේ, මහජනතාවගේ සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගා දැමෙන පොලිස්-රාජ්‍යයක් දෙසට පියවර තැබීම ඔවුන් හැමෙකාගේම න්‍යාය පත්‍රවල අඩංගු බැවිනි.

Share this article: