සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ගුරුවරුන්ගේ සටන ඉදිරියට ගෙනයමු

සමාජවාදී සමානතා පක්ෂයේ ගුරු කන්ඩායමෙන් කැඳවුමක්, 2019 ජූලි 16

මනා වැටුපක්, යහපත් සේවා කොන්දේසි සහ ඉහල-ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රමානවත් මුල්‍ය ප්‍රතිපාදන ඉල්ලා රජයේ පාසැල් ගුරුවරුන් ජූලි 18 සහ 19 යන දිනයන් හි වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය. මෙම වර්ජනය ඉතසිතින් පිලිගන්නා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම එයට පූර්න සහයෝගය පල කර සිටී. එමෙන්ම, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් දසදහස් සංඛ්‍යාත ගුරුවරුන් එයට සහභාගි වෙතැයි අපි බලාපොරොත්තු වෙමු.

වැඩ වර්ජනය කැඳවා ඇත්තේ, ගුරු, විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසිනි. බී.සී පෙරේරා වැටුප් කොමිසමෙන් ඇති කල වැටුප් විෂමතා ඉවත් කිරීම, දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනයට යෙදවීම, 2016 න් පසු පත්වීම් ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ඉවත් කිරීම සහ ගුරුවරුන්ට අනවශ්‍ය බර පැටවීම නතර කිරීම එම සන්ධානයේ ප්‍රධාන ඉල්ලීම් වේ.

පසුගිය මාර්තු 13 වන දා 200,000 කට අධික ගුරුවරු ඉහත ඉල්ලිම් හතර මුල්කරගෙන එක්දින වැඩවර්ජනයක නිරත වෙමින් සිය සටන්කාමිත්වය ප්‍රදර්ශනය කලහ. ගුරුවරුන් සටනට අවතීර්නව සිටින්නේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයන්ට අනුව දශක ගනනාවක් මුලුල්ලේ ක්‍රියාවට දැමූ කප්පාදු යටතේ නිර්මානය කෙරී ඇති ව්‍යසනකාරී තත්වයට එරෙහිවයි.

කප්පාදු වලට එරෙහිව ගුරුවරුන් අතර මෙන්ම අවශේෂ කම්කරුවන් අතරින් නිරන්තරව පැන නගිමින් පවත්නා මෙම අරගල හුදෙක් ලංකාවට සීමාවූවක් නොවේ. එය අඩසියවසකට පසු ජාත්‍යන්තර පරිමානව වැඩෙන දැවැන්ත පන්ති අරගල රැල්ලකි.

මැයි මස මුලදී පෝලන්තයේ 300,000 ක් ගුරුවරු දින 17 ක ජාතික පරිමාන වැඩ වර්ජනයක යෙදී ගත්හ. පසුගිය වසර එකහමාර තුල, ඇමරිකාව, ටියුනීසියාව, මෙරොක්කෝව, ඇල්ජීරියාව, මෙක්සිකෝව, ඉන්දියාව, ආර්ජන්ටිනාව, ප්‍රන්සය සහ නෙදර්ලන්තය ඇතුලු බොහෝ රටවල ගුරුවරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කප්පාදු වලට එරෙහිව සටනට පිලිපන්හ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරී ඇති ව්‍යසනය ආපසු හැරවීමට නම් බැරෑරුම් අරගලයක් අත්‍යවශ්‍ය කෙරේ. එය හුදෙක් වැටුප් වැඩිකර ගැනීමකට සීමා කල නොහැක. පාසැල්වල තත්වය වැඩි දියුනු කිරීමට, ඉතා ඉහල තාක්ෂනික ක්‍රමවේදයන් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොදා ගැනීමට සහ පවුලේ ආදායම නොතකා සියලුම දරුවන්ට ඉහල ගුනාත්මක අගයෙන් යුත් අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශය ලබා දීමට බිලියන සංඛ්‍යාත මුදල් වැය කලයුතු වෙයි.

නමුදු ගැඹුරුතම ආර්ථික අර්බුදයකින් වෙලී බිඳවැටීමක් තුලින් ගමන් කරන ලෝක ධනවාදය යටතේ මෙම අරමුනු කිසිසේත් සාක්ෂාත් කල නොහැක. ඒ වෙනුවට, ලොවපුරා ධනපති ආන්ඩු අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සෑම ක්ෂේත්‍රයකම සිදු කරන දැවැන්ත කප්පාදු හරහා තම අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් සිටිති. එයට එරෙහිව සටන් වදින කම්කරුවන් සහ අවශේෂ පීඩිතයන් රුදුරුම ආකාරයෙන් මැඩීම සඳහා ආඥාදායක පාලනයන් කරා මාරුවීම සෑම ධනපති පන්තියකම පිලිවෙත බවට පත්ව ඇත.

කලින් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට නැංවූයේද වත්මන් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට නංවන්නේ ද එම පිලිවෙතයි. පසුගිය වසර කීපය පුරා වර්ධනය වෙමින් පැවති පන්ති අරගල රැල්ල මැඩීම සඳහා පොලිස් ආඥාදායකත්වයක් දෙසට පියවර ගැනීමේ නිමිත්තක් බලමින් සිටි ආන්ඩුව අප්‍රේල් 21 ප්‍රහාරය ක්ෂනිකව ගසාකමින් හදිසි නීතිය ක්‍රියාත්මක කොට පොලීසියට සහ මිලිටරියට විසඝෝර බලතල මාලාවක් ලබා දුනි.

හදිසි නීතිය යටතේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශ කොට පසුගිය දුම්රිය කම්කරු වර්ජනය මැඩීමට ආන්ඩුව පියවර ගත්තේය. ගුරු වර්ජනයද අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමේ බොහෝ ඉඩකඩ පවතී.

ගුරුවරුන් ඇතුලු කම්කරුවන්ට අභිමුඛ වන වැදගත්ම ප්‍රශ්නය වනුයේ මෙම තතු යටතේ තම අරගල ඉදිරියට ගෙන යා හැක්කේ කිනම් නායකත්වයක් සහ ඉදිරි දර්ශනයක් යටතේද යන්නයි.

ගුරු වර්ජනය කැඳවා ඇති සමිති සන්ධානයේ ඉදිරි දර්ශනය වනුයේ ධනපති ආන්ඩුවට පීඩනය යොදා ඉල්ලීම් දිනා ගැනීමයි. ලංකාවේ සහ ලොවපුරා කම්කරුවන්ගේ නිරන්තර අත්දැකීම වනුයේ එවන් පීඩනය යෙදීමකින් තම ඉල්ලීම් කිසිසේත් දිනාගත නොහැකි බවයි.

තම ඉල්ලීමි දිනා ගැනීමට නම්, ධනවාදයට සහ ධනපති ආන්ඩු වලට එරෙහිව, ධනපති ප්‍රහාර වලින් බැටකන විවිධ ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ඒකාබද්ධ කරන, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය කෙරී ඇත. කෙසේනමුත්, ධනපති ක්‍රමයට තදින් බැඳී ඇති සහ ධනපති පන්තියේ උපකරනයන් බවටම පත්ව ඇති වෘත්තීය සමිති එවන් සටනකට ඉඳුරාම සතුරුය.

මාර්තු මස පැවති ගුරු වර්ජනයේදී මූලිකත්වය ගත් ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවන ලංකා ගුරු සේවා සංගමය (ලංගුසේස) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නායකත්වය දෙන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස), මැයි 9, 10 යන දෙදිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය දින නියමයක් නොමැතිව කල් දැමුවේ ආන්ඩුව ක්‍රියාවට නැංවූ විෂඝෝර පොලිස් රාජ්‍ය පියවර විවෘතවම අනුමත කරමිනි. මෙවර වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුනෙන් එයට සහයෝගය නොදීමට එම සමිති තීන්දු කොට ඇත.

වර්ජනය කැඳවා ඇති සන්ධානයේ භූමිකාව මීට නොදෙවෙනි ය. එය ගුරුවරුන්ට උපදෙස් දී ඇත්තේ දෙදින සඳහා අසනීප නිවාඩු වාර්තා කොට සේවයෙන් බැහැරව සිටින ලෙසයි. වර්ජනයේ යෙදෙන ගුරුවරුන්ගේ, පෙලපාලි, විරෝධතා සහ රැස්වීම් සංවිධානය කරමින් අවශේෂ කම්කරුවන් තම සටනට ඒකාග්‍ර කර ගැනීම වලක්වා ගුරුවරුන් නිවෙස් වලට කොටුකොට ඔවුනගේ සටන්කාමිත්වය දියකර හැරීම මෙහි අරමුනයි.

සන්ධානයට නායකත්වය දෙන ශ්‍රී ලංකා රජයේ ගුරු සංගමය (ශ්‍රීලංරගුස) ව්‍යාජ ලෙස කියා පාන්නේ දේශපාලන පක්ෂවලින් ස්වාධීනව ගුරුවරුන් සංවිධානය කරන බවයි. ගුරුවරුන් ඊට නොරැවටිය යුතුය. ඔවුන්ගේ මෙම “ස්වාධීන” වැඩපිලිවෙලේ තරම පෙන්වමින්, එම සංගමය මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත්වන බව කියන ධනපති ව්‍යාපාරිකයෙකු වන රොහාන් පල්ලෙවත්ත වෙත තම යෝජනා ඉදිරිපත් කලේය.

සියලුම ධනපති අපේක්ෂකයන් ගෙන් එම ඉල්ලීම කරන බව ශ්‍රීලංරගුස පවසයි. මේවා මුලුමනින්ම කම්කරු පන්තියේ සටන්කාමීත්වය දියකර හරිමින් ඔවුන් ධනපති සංස්ථාපිතයට ගැටගැසීමේ දක්ෂිනාංශික ව්‍යායාමයන් ය.

ආන්ඩුව සහ සමිති කෙරෙහි වැඩී ඇති විරෝධය ගසාකෑම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුන ද ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය නමින් නව වෘත්තීය සමිතියක් අටවාගෙන වැඩට බැස ඇත. රාජපක්ෂගේ ආන්ඩුවක් යටතේ ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳෙනු ඇතැයි යන මිථ්‍යාව වැපිරීමට මෙම සංගමය උත්සාහ දරයි. රාජපක්ෂ බලයේ සිටිද්දී අධ්‍යාපනය ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක වියදම් නොකඩවා කප්පාදු කලාක් මෙන්ම මෙවර වර්ජනයේ ඉල්ලීම් එකල මතුවෙද්දී ඒවා මුලුමුනින් ප්‍රතික්ෂේප කලේය.

තම සටන් ඉදිරියට ගෙනයාමේ දී කම්කරුවන් ඉදිරියේ ඇති විශාලතම බාධකය වනුයේ වෘත්තීය සමිති බව ඉතා පැහැදිලිය. අත්දැකීමෙන් මෙය අවබෝධකර ගන්නා කම්කරුවන් වෘත්තීය සමිති ප්‍රතික්ෂේප කරමින් එහි අධිකාරයට පිටතින් අරගල වලට අවතීර්න වීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. පසුගිය වසර අගදී පැන නැගි වතු කම්කරු අරගලයේදී ලංකාව තුලද මෙම ප්‍රපංචය ප්‍රකාශයට පත්විය.

තම අරගල සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන නව සංවිධාන රූපයන්, එනම් කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම ගුරුවරුන් ඇතුලු කම්කරුවන් ට අත්‍යවශ්‍ය වෙයි. සසප ගුරු කන්ඩායම ගුරුවරුන් සමග කල සාකච්ඡාවන්හි දී පුලුල්ව ප්‍රකාශයට පත්වූයේ වෘත්තීය සමිති කෙරෙහි ගැඹුරින්ම විරසකව සිටින ගුරුවරුන් එවන් නව සංවිධාන රූපයන් සහ නව ක්‍රියාමාර්ගයන් සොයමින් සිටින බවයි.

පසුගිය වසර අගදී පැන නැගි වතු කම්කරුවන්ගේ වැටුප් සටන මධ්‍යයේ හැටන් හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවෝ වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ එවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. සසප මගපෙන්වීම යටතේ එම කමිටුව හැටන්හි පැවැත්වූ සාර්ථක සමුලුවකදී, තම වැටුප් ඉල්ලීම් ඇතුලු අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සටනක අවශ්‍යතාව ගැඹුරින් සාකච්ඡා කෙරුනි. එම දේශපාලන සටන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් මත පාදක කරගත යුතු බවට ගෙන ආ යෝජනාව සමලුව ඒකච්ඡන්දයෙන් සම්මත කලේය.

වර්ජනයට අවතීර්න වන ගුරුවරුන් ඇබොට්ස්ලී කම්කරුවන් ආදර්ශයට ගනිමින් තම සටන ඉදිරියට ගෙනයාම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීමට ආරම්භකත්වය ගත යුතුය. ධනපති දේශපාලනඥයන් සහ වෘත්තීය සමිති කියන ආකාරයේ ආන්ඩුවට දැරිය හැකි ප්‍රමානයේ දෑ වලට නොව, ගුරුවරුන්ට, අනධ්‍යන කාර්ය මන්ඩලයන්ට සහ සිසුන්ට අවශ්‍ය සියලු දෑ සඳහා එම කමිටු සටන් කල යුතුය.

ඉහල ගුනාත්මකභාවයකින් යුත් මහජන අධ්‍යාපනයක් සඳහා වන සමාජ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එම කමිටු, මහජන විරෝධතා, රැස්වීම් සහ මහ වැඩවර්ජන සංවිධානය කරමින් කම්කරු පන්තියේ පුලුල්ම බලමුලුගැන්වීමක් සඳහා සටන් වැදිය යුතුය.

ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය විසින්, ආර්ථික සහ සමාජ ජීවිතය සමාජවාදී පිලිවෙත් මත ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙනඒමට බලගතු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව සසප ගුරු කන්ඩායම කියා සිටී.

අයථා ලෙස උපදවන ලද ධනවතුන්ගේ මහා ධන ස්කන්ධයන් අත්පත්කර ගැනීම, සමාජ ධනය දැවැන්ත පරිමානව යලි බෙදා හැරීම සහ සමස්ත මහජනතාවගේ භෞතික සහ සංස්කෘතික මට්ටම් ඉහල නැංවීම සඳහා සියලු සම්පත් යොදවා ගැනීම එම කම්කරු-ගොවි ආන්ඩුවේ කර්තව්‍යය වෙයි.

Share this article: