පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර දහස් ගනනකගේ ජීවිකාවන්ට බලපාමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදයක

වසන්ත රාමනායක විසිනි, 2019 ජූලි 9

අහිංසක ජනයා 300ක් පමන ඝාතනය කරමින් හා 500කට අධික පිරිසකට තුවාල සිදුකරමින්, අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ නැෂනල් තවුහීත් ජමාත් (එන්ටීජේ) කන්ඩායම විසින් අප්‍රේල් 21දා එල්ල කල බෝම්බ ප්‍රහාරවලින් පසුව ලංකාවේ සංචාරක කර්මාන්තය දරුනු අර්බුදයකට ලුහුටා ගොස් ඇත. ප්‍රහාරකයෝ සුඛෝපභෝගී හෝටල් තුනක් හා කතෝලික දේවස්ථාන තුනක් ඉලක්ක කරගත් හ. මරනයට පත්වූ විදේශිකයන් සංඛ්‍යාව 42ක් බව විදේශ අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ලංකාවේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් ප්‍රතිපදානය කරන සංචාරක කර්මාන්තය, රටෙහි තෙවන විශාලතම විදේශ විනිමය උපයන අංශය යි. ආන්ඩුව, සංචාරක ඒජන්සි, හෝටල් හා අනෙක් අදාල ආයතන කර්මාන්තය පුනර්ජීවනය කරගැනීම සඳහා වියරු උත්සාහයක යෙදී සිටිති.

විශේෂයෙන් ම ඉන්දියාව, චීනය හා මැද පෙරදිග සිට පැමිනෙන සංචාරකයන්ට වැඩිපුර රාත්‍රී සමාජ ශාලා හා කැසිනෝ යනාදී සහන පැකේජ හඳුන්වා දෙමින් ද හෝටල් හිමිකරුවන්ට අඩු පොලී නය ලබා දෙමින් ද ආන්ඩුව කටයුතු කරනු ඇති බව සංචාරක ඇමති ජෝන් අමරතුංග කීවේ ය. ත්‍රස්ත ප්‍රහාරයේ පටන් ගතවූ මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ උත්සාහ දැරුව ද තවමත් සැලකියයුතු වෙනසක් ඇතිකර ගැනීමට හැකිව නැත.

මා-ඔය අලි දියනෑම නරඹන සංචාරකයින් සිමාවී ඇති අයුරු

“පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂ ව ප්‍රහාරයට පසු සති කිහිපයේ රටෙහි හෝටල් වෙන්කරවාගැනීම් තැතිගන්වන සියයට 186 මට්ටමකින් ඇද වැටී ඇත” යි ස්පාඤ්ඤයේ සංචාරක උපදේශක ආයතනයක් වන ෆෝවර්ඞ්කීස් සඳහන් කලේ ය. මාධ්‍ය හමුවක දී කතා කල සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධානී කිෂූ ගෝමස් ප්‍රකාශ කලේ 2018 මැයි මාසයේ පුද්ගලයන් 129,000ක පැමිනීමට සාපේක්ෂ ව ගත්කල මේ වසරේ මැයි මාසය තුල සංචාරක පැමිනීම පුද්ගලයන් 37,000ක් දක්වා සියයට 70කින් වැටුනු බවයි.

ආන්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2017 දී සංචාරක කර්මාන්තයේ නියුතුවූ සේවකයින් සංඛ්‍යාව 359,215ක් වූ අතර ඉන් 156,369ක් ඍජු රැකියා ද 202,84ක් අනියම් රැකියා ද විය. කම්කරුවන් 350,000ක් ද ඔවුන්ගෙන් යැපෙන මිලියනයක් පමන දෙනා ද රැකියා හා ආදායම් අහිමි වීමට ලක් වී ඇතැයි ගනන් බලා තිබේ.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ ඒජන්සි, සුවතා හා සම්භාහන, කුලුබඩු උද්‍යාන, සංචාරක සාප්පු, ජල ක්‍රීඩා මධ්‍යස්ථාන, ත්‍රාසජනක සංචාරක සේවා සපයන්නන්, බෝට්ටු මෙහෙයවන්නන්, ජාතික ආහාර සහ ක්ෂේත්‍ර හා අඩවි මග පෙන්වන්නන් යනාදී අංශවල සේවකයන්ට හා ආදායම් උපයන්නන්ට ද මෙය බලපා ඇත.

රජයට අයත් ශ්‍රී ලංකා හෝටල් හා සංචාරක කලමනාකරන ආයතනයේ සභාපති දිලිප් ද සිල්වා මෑත දී මාධ්‍ය වෙත කියා තිබුනේ, රට පුරා තාවකාලික සේවකයන් ලෙස හෝටල්වල වැඩ කිරීමට යොමු කරන ලද සිසුන් 1,400කට අධික පිරිසකට රැකියා අහිමි වී ඇති බව යි. මෙම සංඛ්‍යාවට අමතර ව රජයට අයත් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුනු කිරීම් අධිකාරිය හා වෘත්තීය පුහුනු අධිකාරිය විසින් එවන ලද 2,000 බැගින් වන පිරිසක් ද රැකියාවලින් දොට්ට දමනු ලැබ ඇත.

ඊට අමතර ව, ශ්‍රී ලංකා කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත මන්ඩලයේ සභාපති රොහාන් ද සිල්වා පසුගිය මාසයේ මාධ්‍ය වෙත කීවේ, ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් දරුනු ම බලපෑමට ලක්වූයේ “ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායයන්” බව යි.

රටෙහි සංචාරක මග පෙන්වන්නන්ගේ වෘත්තීයමය සංවිධානයේ සභාපතිවරයා මාධ්‍ය වෙත කී පරිදි, කුඩා කර්මාන්ත හිමියන්ට සහන අනුපාත යටතේ රුපියල් මිලියන බාගයක නය මුදලක් ලබාදීමට මුදල් ඇමතිවරයා පොරොන්දු වුවත්, සමහර බැංකු තමන්ට අදාල චක්‍ර ලේඛය ලැබී නැති බව ප්‍රකාශ කල අතර, තවත් සමහර බැංකු සඳහන් කර ඇත්තේ නය පොලී තමන් වෙත ගෙවීමට මහ බැංකුව එකඟ වී නැති බව යි. ආන්ඩුව හා බැංකු වැඩෙන අර්බුදය තුල කර ඇරීමට මාන බලයි.

සංචාරක මග පෙන්වන්නන් 5,000කට ද ව්‍යසනය දරුනු ලෙස බලපා ඇති බව ඔහු ප්‍රකාශ කලේ ය. “නිවාස හෝ වාහන සඳහා ගෙවීමට විවිධ නය ලබාගෙන ඇති ඔවුන්ගෙන් බොහෝ දෙනා පොලී ගෙවීමට ආදායම් නොමැති ව කරදරේ වැටී ඇත” යි ඔහු මාධ්‍ය වෙත පැවසී ය.

වෙනදා සංචාරකයින්ගෙන් පිරී තිබු මා-ඔය අසල අවන්හල ලඟ දසුනක්

මහනුවර ආසන්නව පිහිටි සංචාරකයන් අකර්ශනය කර ගන්නා තවත් ජනප්‍රිය ස්ථානයක් වන පින්නවෙල අලි අනාථාගාරය වෙනදා දහවල් කාලයේ විදේශ සංචාරකයින්ගෙන් පිරී ඇතත් අද දක්නට ලැබෙන්නේ සාප්පු බොහොමයක් වසා දැමූ, අත්හැර දමන ලද තැනක් මෙනි.

විදේශ බුද්ධි ඒජන්සියක් විසින් කල් තබා ප්‍රහාරය පිලිබඳ ව අනතුරු අඟවා තිබිය දී ත්‍රස්තවාදීන්ට ප්‍රහාරය සිදුකිරීමට ඉඩ දී ඒ කෙරෙහි අන්ධ ව සිටීම ගැන හෝටල් සේවකයෝ ආන්ඩුව හා ආරක්ෂක නිලධාරීන් කෙරෙහි කෝපයෙන් පසුවෙති. එසේ ඉඩ දීමේ දුෂ්ට ඉලක්කය වූයේ, ප්‍රහාර සිදුවීමට ඉඩ දී කම්කරු පන්තිය අතර පවතින පෙරලිකාරිත්වය මැඩලීම පිනිස රටතුල මර්දන පියවරයන් පැටවීම සඳහා එය ඩැහැගැනීම යි. ප්‍රහාරවලින් ක්ෂනික ව ඉක්බිත්තේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රටපුරා විෂඝෝර හදිසි නීතිය පැනවූ අතර, දැන් එය තුන්වන මාසයටත් දීර්ඝ කරනු ලැබ තිබේ.

දකුනේ වෙරලබඩ අහංගම නගරයේ හෝටල් කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියටකීවේ, එම හෝටලයේ කලින් කම්කරුවන් 90ක් පමන සේවයේ යෙදී සිටි බවත්, ඔවුන්ගෙන් 60ක් පමන අනියම් සේවකයන් හා පුහුනු වන තරුනයන් වූ බවත් ය. ප්‍රහාරයෙන් පසු හෝටල් කම්කරුවන් මුහුන දී ඇති තත්ත්වය විස්තර කරමින් “හෝටලයේ කලමනාකාරීත්වය සමහර ස්ථීර කම්කරුවන්ගෙන් හා සියලු අනියම් කම්කරුවන්ගෙන් පඩි රහිත ව නිවාඩු යන ලෙස ඉල්ලා ඇති” බව ඔහු සඳහන් කලේය. සියලු තරුන පුහුනු කම්කරුවන්ගේ පුහුනු කාලයන් කලමනාකාරීත්වය විසින් අවසන් කර තිබුනු බව ඔහු තවදුරටත් කීවේ ය.

“රුපියල් 15,000ක පමන මූලික වැටුපක් කම්කරුවන්ට ගෙවූ අතර, එය තනි පුද්ගලයෙකුගේ පැවැත්මට වත් සෑහෙන්නේ නැහැ. අපේ පඩියට අමතර ව ගෙවුවේ සේවා උපස්ථායක ගෙවීම්. සංචාරකයන් නොමැති විට ඔවුන්ට ලැබෙන්නේ සොච්චම් වැටුපක්” ඔහු තවදුරටත් ප්‍රකාශකලේය.

නම සඳහන් කිරීමට අකැමති වූ මහනුවර මැනික් සාප්පුවක සේවකයෙක් කීවේ ප්‍රහාරයට පෙර සාප්පුවේ සේවකයන් පනහක් සිටි නමුත් දැන් සිටින්නේ දහදෙනෙක් පමන අවම සේවක සංඛ්‍යාවක් බවයි. ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන මහනුවර බොහෝ මැනික් සාප්පු දැන් වසා දමා ඇති බව ඔහු පැවසී ය. “ඒකට හේතුව මාසික ආදායම මිලියන 12 සිට මිලියන තුනක් දක්වා වැටීමයි.”

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියට අනුව 2017 දී 2040ක් ඍජු ව සේවයේ යොදවන ආන්ඩුවෙන් අනුමත සංචාරක සාප්පු 73ක් පැවති අතර, විදෙස් සංචාරකයන්ට මැනික්, සිහිවටන, අත්කම්, බතික්, තේ හා කුලු බඩු විකුනන ලියාපදිංචි නො කල සාප්පු පවතී.

රටෙහි උතුරුමැද පලාතේ හබරන නගරයේ වන සතුන් නැරඹීමට ජාතික සත්වෝද්‍යාන වෙත සංචාරකයන් ගෙන යන සෆාරි ජීප් රියැදුරෙක් වන සමීර, ප්‍රහාරයෙන් දරුනු ලෙස බලපෑමට ලක්වූ බොහෝ දෙනාගෙන් කෙනෙකි. කලින් ඔහු සෆාරි සවාරි විස්සකට අධික සංඛ්‍යාවක් සිදු කල අතර දැන් සිදුකරන්නේ එකක් පමනක් බව ඔහු කීවේ ය. “මගේ දරුවන්ට කෑම ඇඳීම සපයන්නේ කෙසේදැයි මා දන්නේ නැහැ” යි ඔහු කීවේ, ඔහුගේ සොච්චම් ඉතිරි කිරීම් ක්ෂය වී යද්දී ප්‍රමානවත් මුදලක් තමන් සතුව නැති බව වැඩිදුරටත් කියා සිටිමිනි. “බොහෝ ව්‍යාපෘති නැවතී තිබෙන නිසා අමතර රැකියාවක් කිරීමේ හැකියාවක් ද නැහැ.” ඔහුගේ සමහර යාලුවන් හාල් මෝල්වල රැකියා සොයාගෙන තිබුනත් ඇදුම රෝගය හේතුවෙන් තමන්ට එසේ කල නො හැකි බව ඔහු කීවේ ය.

ප්‍රහාර වලක්වා අහිංසක ජීවිත රැකගැනීමට ආන්ඩුව “අසංවේදී ලෙස අසමත් වීම” ගැන ඔහු කෝපය පලකලේ ය. ආන්ඩුවෙන් උදවුවක් නො ලැබෙන නිසා ඔහු අපේක්ෂා භංග ව සිටී.

විදෙස් සංචාරකයන්ට සාම්ප්‍රදායික ගම්මාන පෙන්වන තවත් සෆාරි රියදුරෙක් කීවේ මේ දිනවල තිබෙන්නේ සංචාරක පැමිනීම් එකක් හෝ දෙකක් බව යි. එහෙත් ඔහු කල්බද්දට ලබාගත් සෆාරි රථයට රුපියල් 52,000ක කුලියක් ද ඔහුගේ දියනියගේ අධ්‍යාපනයට රුපියල් අටදාහක් ද ගෙවිය යුතු ව ඇත්තේ, රුපියල් හතලිස්දාහත් හැටදාහත් අතර වන අනෙකුත් වියදම්වලට අමතර ව ය.

ආන්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයන් හෙලාදුටු ඔහු, අහිංසක ජනයා ඝාතනය කිරීමටත් සංචාරක කර්මාන්තයේ ඇදවැටීමටත් ඔවුන් මුලුමනින් වගකිව යුතු බව කියමිනි.

Share this article: