ත්‍රිකුනාමලයේ සිසු ඝාතනයේ සැකකරුවන් වූ ආරක්ෂක නිලධාරීන් නිදහස් කෙරේ

සංජය ජයසේකර විසිනි, 2019 ජූලි 23

2006 ජනවාරි මස 02 දින ත්‍රිකුනාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී තරුන සිසුන් පස් දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධව ⁣චෝදනා ලැබ සිටි පොලිස් විශේෂ කාර්ය සාධන බලකායේ (එස්ටීඑෆ්) භටයන් 12 ක් සහ පොලිස් පරීක්ෂකවරයෙක් එම නඩුවේ සියලු චෝදනා වලින් නිදහස් කිරීමට ත්‍රිකුනාමලය මහේස්ත්‍රාත් උසාවිය පසුගිය ජුලි 03 දා නියෝග කලේය.

සිද්ධියට අදාල මූලික පරීක්ෂනය අවසානයේ ත්‍රිකුනාමලය මහේස්ත්‍රාත් මොහොමඞ් හම්සා තම තීන්දුවට පදනම් කරගත්තේ සැකකරුවන්ට එරෙහිව නඩුව පවත්වාගෙනයාම සඳහා ප්‍රමානවත් සාක්ෂි නොමැතිය යන කාරනාවයි. ලංකාවේ අපරාධ නීතිය යටතේ මිනී මැරීම, මිනීමැරීමට තැත් කිරීම හා පොදු චේතනාව යන චෝදනා ඇතුලු චෝදනා පහලොවක් යටතේ නඩුව ගොනුකොට තිබිනි.

ඝාතනය සිදුකොට වසර හතකට පසු ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරවද මහජනතාව අතර වැඩුනු බලගතු විරෝධය මධ්‍යයේ 2013 දී සැකකරුවන් දෙවන වරට අත්අඩංගුවට ගෙන ආරම්භ කල මහේස්ත්‍රාත් පරීක්ෂනය එයින් වසර පහකට පසු මෙලෙස අවසන් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව හා අනතුරුව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් වසර 13 ක් තිස්සේ යට ගසමින් ද, කල් මරමින්ද, සාක්ෂිකරුවන් ඝාතනය කරමින් හා භීතියට ලක් කරමින් ද පවත්වාගෙන ගිය නාමික නඩු කටයුත්තක කූටප්‍රාප්තිය ලෙස ඝාතකයින් නිදහස් කරමිනි.

2002 දී නෝර්වීජියානු රජයේ මැදිහත්වීමෙන් අරඹනු ලැබූ යුද විරාමය මැද 2003 දී සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු, දෙමල මහජනයාට එරෙහිව ගෙනගිය වර්ගවාදී යුද්ධය නැවත වටයකින් පටන්ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සිංහල ස්වෝත්තමවාදී පක්ෂ හා කන්ඩායම්වල පිටුබලය සහිතව 2005 නොවැම්බර් ජනපතිවරනයෙන් තේරී පත් රාජපක්ෂ, ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ මිලිටරි ඝාතක කල්ලි වලට දෙමල ජනයා භීතියට පත් කිරීමේත්, වගවීමකින් තොරව යුද අපරාධ සිදුකිරීමේත් නොමඳ අනුග්‍රහය ලබා දුනි. දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) සම්බන්ධයැයි පවසමින් ශිෂ්‍යයන්, තරුනයින්, දෙමල කම්කරුවන්, දේශපාලන නායකයින් මෙන්ම මාධ්‍යවේදින්ද අත්අඩංගුවට ගැනීම්, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් මෙන්ම ඝාතනය කිරීම්ද යහමින් සිදුකෙරිනි.

නව අවුරුදු උදාවේ මිතුරු හමුව සඳහා එදින සවස 7 ට පමන ත්‍රිකුනාමල වෙරල මායිමට රැස්ව සිටි පාසැල් මිතුරන් අතරින් මනෝහරන් රජීහරන්, යෝග රාජා හේමචන්ද්‍රන්, ලෝහිත රාසා රෝහන්, තංගදොරෙයි ශිවනාදන්, ෂම්මුගරාසා ගජේන්ද්‍රන් යන අය ඝාතනයට ලක්වූ අතර සහ බරපතල තුවාල ලැබූ යෝගරාජා පූංකලාලන් හා පරරාජසිංහම් කෝකුල්රාජ් යන දෙදෙනා පසුව නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වූහ. තංගදොරෙයි ශිවනාදන් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු ශිෂ්‍යයෙකු වූ අතර වර්ෂ අවසාන නිවාඩුව ගතකොට කොලඹ බලා පිටත් වීමට සිටියේ පසු දිනය.

මාධ්‍යවේදියෙකු වන ඩී.බී.එස්. ජෙයරාජ් ඔහු සොයාගත් විශ්වාසනීය සාක්ෂි අනුව අපරාධය සිදුවූ ආකාරය ‘සන්ඬේ ලීඩර්‘ පුවත්පතට 2006 ජනවාරි 15 දින ටොරොන්ටෝවේ සිට ලිවූ ලිපියක විස්තර කර තිබිනි.

හිඳගෙන සිටි සිසුන් දෙසට පැමිනි කොලපැහැති ත්‍රීවීලර් රථයක් එක් වරම ඔවුන් දෙසට අත් බෝම්බයකින් දමා ගසා පලා යන සැනින්ම ක්‍රියාත්මක වු මිතුරන් තමන් පැමින සිටි පාපැදි හා මෝටර් සයිකලයේ නැගී පිටව යාමට සැරසෙත්ම ට්‍රක් රථයකින් පැමිනි ආරක්ෂක නිලධාරීහු සිසුන්ව වට කලෝය. වහා සිසුන් දන ගැස්සවු නිලධාරීහු ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු පහරදීමට පටන් ගත්හ. අනතුරුව ට්‍රක්රථයට ඇද දමා පහර දෙන අතර ලෑන්ඞ් රෝවර් ජීප් රථයකින් හා මොටර් සයිකල්වලින් පැමිනි මිලිටරි ඇඳුම් ඇඳගත් පිරිසක් වදකයින් හා එක්වූහ. එක් වරම විදුලි පහන් නිවී පලාතම අඳුරෙන් වෙලා ගත්තේය. ට්‍රක් රථයෙන් බිමට ඇද දැමූ සිසුන්ට දිගටම පහර එල්ල කෙරිනි. ඔවුන්ගේ නිර්දෝශීභාවය පිලිබඳ ආයාචනා ද, අඳුර විදිමින් ඈතට ඇසුනු විලාපය ද වදකයින්ට ඇසුනේ නැත. නාවික හමුදා භටයින් හා පොලීසිය විසින් වෙරලේ සිටි සියයක් පමන පිරිසට හා වෙලඳුන්ට දන ගැසීමට හෝ බිම දිගා වීමට නියෝග කෙරිනි. නැවත වරක් බිම දනගැස්සවූ තරුනයින්ට වධකයින් කියා සිටියේ එල්ටීටීඊයට පාඩමක් ඉගැන්වීම සඳහා තමන්ව මරා දමන බවයි. අනතුරුව සිසුන්ට වෙඩි තැබූ ඝාතකයෝ ඔවුන් වෙත අත් බෝම්බයකින් දමා ගැසූහ.

සිසුන් රෝහලකට ගෙනයාම පැය භාගයක් පමන ප්‍රමාද කෙරුනු පසු පුදුම සහගත ලෙස විදුලි ආලෝකය දැල්වුනු අතර පොලීසිය පැමින සිසුන් රෝහල් ගත කලේය. පොලීසිය හා දකුනේ ධනපති විද්‍යුත් මාධ්‍ය විසින් වහා වාර්තා කලේ සිසුන් එල්ටීටීඊ සාමාජිකයන් බවත් ආරක්ෂක භටයන් වෙත එල්ල කල අත්බෝම්බයක් පුපුරා යාමෙන් ඔවුන් මියගිය බවත්ය. නමුත් පැය කිහිපයකට පසු සිදුකල අධිකරන වෛද්‍ය හා මහේස්ත්‍රාත් පරීක්ෂන හෙලිදරව් කලේ සිසුන් මියගොස් ඇත්තේ වෙඩි පහරවල් නිසා බවයි.

ඝාතන සිදුකල ස්ථානයට මීටර් සියයක සීමාව තුල වෙරල තීරයට ඇතුලුවන හා පිටවන මාවත්වල නාවික හමුදාවේ හා පොලිසියේ ‘මුරපොලවල්‘ පිහිටා තිබුනි. පලමු බෝම්බය දමා ගැසූ ත්‍රීවීල් රථය මෙම ස්ථානවල ග්‍රහනයට හසුනොවී පලා යාමට හැකියාවක් තිබුනේ නැත.

තුවාල ලැබූ කෝකුල්රාජ් හා පූංකලාලන් යන සිසුන් දෙදෙනා රෝහල් දැඩිසත්කාර ඒකකයේ සිටියදී එවකට සිටි මහේස්ත්‍රාත් වෙත දෙන ලද කටඋත්තර මගින් ද, මරා දැමුනු රජීහරන්ගේ පියා වන තම පුතුගේ මරලතෝනිය ඇසුනු බව කියන වෛද්‍ය මනෝහරන් විසින්ද මෙම සිද්ධි පෙල තහවුරු කෙරේ. මෙම ඝාතනය ඇතුලු සිද්ධි කිහිපයක් පිලිබඳ සොයා වාර්තා කිරීම සඳහා 2006 දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පත්කල විශේෂ විමර්ශක (ර්චචදරඑැමර) ටී. සුන්දරලිංගම්ගේ වාර්තාව නිගමනය කලේ මෙම ඝාතන සිදුකල හැකිව තිබුනේ එස්ටීඑෆ් නිලධාරීන් විසින් බවයි.

මානව හිමිකම් කොමිෂන් වාර්තාවම සඳහන් කරන පරිදි ඝාතනයට සම්බන්ධ එස්ටීඑෆ් අනුඛන්ඩයට උපදෙස් දුන් පොලිස් අධිකාරි කපිල ජයසේකර⁣“වෙඩිතැබීමේ සිද්ධියට පිටුපසින්” සිටි නමුත් නඩුවේ දී ඔහු විත්තිකරුවෙකු ලෙස ඉදිරිපත් කර නොතිබිනි. පසුව ඔහු පොලිස් ඉහල නිලයකට උසස් කෙරිනි.

විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධියට පත්කල රහස් කේබල් පනිවිඩයකින් හෙලිදරව් කලේ හිටපු ජනපති රාජපක්ෂගේ සහෝදරයෙකු වන හා ජනාධිපති උපදේශකයෙකු වූ බැසිල් රාජපක්ෂ එක්සත් ජනපද තානාතිපති රොබට් බ්ලේක්ට, “අපි දන්නවා එස්ටීඑෆ් එක මේක කලා කියලා. නමුත් වෙඩි උන්ඩ සහ තුවක්කුවල සාක්ෂි මගින් එය ඔප්පු වෙන්නේ නැහැ. කවුරු හෝ මරන්න ඕනෑ වුනාම ඔවුන් වෙනත් තුවක්කු පාවිච්චි කරනවා විය යුතුයි,” යනුවෙන් කියා තිබුනු බවයි.

ජීවිත තර්ජන හමුවේ නඩුවේ සාක්ෂිකරුවන් වූ තිස් හය දෙනෙකු අතරින් ඇසින් දුටු හා තුවාල ලැබූ තරුනයින් දෙදෙනා ද වෛද්‍ය මනෝහරන් ද ඇතුලුව අට දෙනෙකුම සාක්ෂි දීමට ඉදිරිපත් වූයේ නැත. තවත් සාක්ෂිකරුවෙකු වූ ත්‍රීවීල් රියදුරෙකු ද, මරා දැමුනු සිසුන්ගේ වෙඩි උන්ඩ පහරවල් සහිත සිරුරුවල ඡායාරූප ප්‍රසිද්ධ කල ඡායාරූප ශිල්පියෙකු වූ සුබ්‍රමනියම් සුකිර්ථරාජන් ද අභිරහස් ලෙස පසුව ඝාතනය කෙරුනි. සාක්ෂිකරුවන් බොහොමයකටම රට හැරයාමට මෙසේ බල කෙරිනි.

දහස් ගනනකගේ මලකඳන් මතින් 2009දී දෙමල මහජනයාට එරෙහි වර්ගවාදී යුද්ධය අවසන් කල පසු රාජපක්ෂ විසින් පත්කල ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාව‘ නිකුත් කල වාර්තාව සඳහන් කලේ මෙම අපරාධය කිරීම සඳහා නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් සම්බන්ධ වූ බවට සැකකිරීමට බලවත් හේතු සාධක තිබෙන බවයි.

යුද්ධය පැවති විසි හය අවුරුදු කාල පරිච්ඡේදයේදී රජයේ ආරක්ෂක අංශ විසින් සිදුකල දහසක් යුද අපරාධ වලින් හෙලිදරව් වූ ඒවා අතර මෙම සිසු ඝාතන වලට අමතරව යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහාය වූ “ඇක්ෂන් අගේන්ස්ට් හංගර්” (කුසගින්නට එරෙහි ක්‍රියාව) සංවිධානයේ නිලධාරීන් 17 ක් 2006 අගෝස්තු මස මූතූර්හිදී ඝාතනය කිරීම ජාත්‍යන්තර අවධානයට යොමු විය.

දැවෙන ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ වර්ධනය වන මහජන අරගල තලා දැමීම සඳහා වඩවඩාත් දක්ෂිනාංශික බලවේගයන් මත සහ මිලිටරිය මත යැපෙමින් ද මර්දක නීති ශක්තිමත් කරමින් ද පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාවට දමා ඇති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, මහින්ද රාජපක්ෂගේ විපක්ෂය ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතයේ සහ එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගය සහිතව යුද අපරාධ යට ගැසීමට හා මිලිටරිය ආරක්ෂා කිරීමට සෑම අතින්ම ක්‍රියාත්මක වෙයි.

කිසිදු අධිකරනයක් ⁣හෝ වෙනත් සංස්ථාපිත ආයතනයක් පාලක පන්තියේ මෙම අවශ්‍යතාවයන්ගෙන් ස්වාධීන වන්නේ ද නැත. නඩුව ඉවත දැමීම සඳහා ආසන්නතම හේතුව ලෙස දක්වන ප්‍රමානවත් සාක්ෂි නොමැතිකම ද මෙහි ප්‍රතිඵලයකි.

Share this article: