ජූලියන් අසාන්ජ් සහ චෙල්සී මැනිං නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර අරගලයට එක් වෙමු

නවීන් දේවගේ විසිනි , 2019 ජූනි 3

ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ වසර ගනනාවක් රඳවාගෙන සිටීම හේතුවෙන් බලගතු ලෙස රෝගාතුරව සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඇමරිකාවට උදර්පනය කිරීම සඳහා බි්‍රතාන්‍යය ආන්ඩුව සියලු වැඩ කටයුතු සූදානම් කරමින් සිටී. එසේ වුවහොත්, වසර 170 ක සිර දඬුවමකට යටත් කිරීමේ අන්තරායට ඔහු මුහුන දෙයි.

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ගේ ජාත්‍යන්තර පරිමාන යුද අපරාධ ලොවට ම එලිදරවු කිරීම අසාන්ජ්ට එරෙහි දඩයමට හේතුවයි. අධිරාජ්‍යවාදී බලයන් ඇතුලු ලොවපුරා සියලු ම ධනපති ආන්ඩු මේ වෑයමේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සමග පෙල ගැසී සිටිති.

ගැඹුරු වෙමින් පවත්නා ලෝක යුද තර්ජනය, රටක් රටක් පාසා පාලක පන්තීන් විසින් ප්‍රජාතන්ත්‍රීය සහ සමාජයීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාර සහ මිලිටරි ආඥාදායකත්වයන් දෙසට තබමින් සිටින වේගවත් පියවර යන මේ සියල්ලට එරෙහි සටනේ මුදුනත, අසාන්ජ් නිදහස් කර ගැනීමේ සටන පිහිටයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සමාජවාදී සමානතා පක්ෂ (සසප), ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කේන්ද්‍ර කර ගනිමින්, අසාන්ජ් නිදහස් කර ගැනීම සඳහා ජාත්‍යන්තර පරිමානව දියත් කොට ඇති උද්ඝෝෂනයට ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලොවපුරා කම්කරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ලැබෙන සහාය වැඩි වෙමින් පවතී.

සසප සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ඉදිරි කාලයේදී මෙම උද්ඝෝෂනය පුලුල් කරමින් එය, කම්හල්, විශ්ව විද්‍යාල සහ කම්කරු නිවස්නා ප්‍රදේශයන්ට ගෙනයන්නෙමු. ඒ ආශ්‍රිතව පිකට් වැටවල්, දේශන සහ රැස්වීම් ගොඩ නගන්නෙමු. මේ සඳහා ක්‍රියාකාරී ව සහභාගී වන ලෙස සිතන මතන කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ශිෂ්‍යයන්ගෙන් සසප සහ සසජාතශි ඉල්ලා සිටී.

අසාන්ජ් මේ වන විට එංගලන්තයේ බෙල්මාෂ් සිර ගෙදර රෝහල් වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියි. ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාවකට ඔහුට සති 50ක සිර දඬුවමක් නියම විය.

2012 සිට ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරන ලබමින් සිටි ඔහුගේ රැකවරනය ඉවත් කිරීමට ඉක්වදෝර රජය පසු ගිය අප්‍රේල් මාසයේ තීරනය කලේ ය. අනතුරුව ලන්ඩන් පොලිසිය බලහත්කාරයෙන් අසාන්ජ් අත්අඩංගුවට ගත්තේ තානාපති කාර්යාලය තුලට ම කඩා පැනීමෙනි.

විකිලීක්ස් වෙබ් අඩවිය 2006 වසරේ ආරම්භයේ පටන් ම, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අනෙකුත් රටවල පාලක පන්තීන් තමා පසුපස පෙල ගස්වා ගනිමින් ගෙන යන කුමන්ත්‍රනකාරී යුද්ධ, දූෂනයන්, ඔත්තු බැලීම් සහ නොයෙක් අක්‍රමිකතා මෙන්ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ තන්ත්‍ර මාරු කුමන්ත්‍රන සම්බන්ධ රහසිගත රාජ්‍ය ලිපි ලේඛන හා හුවමාරු හෙලිදරවු කිරීමේ වේදිකාවක් ලෙස කටයුතු කලේ ය. අසාන්ජ් විසින් විකිලීක්ස් හඳුන්වා දුන්නේ, “මහජනතාවගේ බුද්ධි අංශයක්” ලෙසයි.

පසු ගිය වසර 13 කට ආසන්න කාලය පුරා එම වෙබ් අඩවිය ගුවාන්තනාමෝ බේ සිර කඳවුරේ රැඳවියන්ට සලකනු ලබන අමානුෂික ආකාරය, මැද පෙරදිග සහ ඇෆ්ඝනිස්ථානයේ යුද අපරාධ අන්තර්ගත, “ඇෆ්ගන්-ඉරාක යුද ලඝු සටහන්” සහ “සිතාමතා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන වීඩියෝ දර්ශන” වැනි ඉතා වැදගත් අනාවරනයන් ඉදිරිපත් කලේ ය.

විකිලීක්ස් 2011 දී ලංකාවේ යුද අපරාධවලට ඔබාමා පරිපාලනය සම්බන්ධ බව දැක්වෙන රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු, ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අංශ පැරාමිලිටරි කන්ඩායම් සමඟ පැවැත් වූ සමීප සම්බන්ධතා සහ එම කන්ඩායම්වල අපරාධවලට අනුබල දුන් ආකාරය දැක්වෙන කේබල් ද හෙලිදරවු කලේ ය. මේ නිසා ම ලංකාවේ පාලක පන්තිය විකිලීක්ස් දඩයම සමග එවක දී ම පෙල ගැසුනි.

ධනවාදයේ කුරිරු ස්වභාවය පිලිබඳව කරන ලද මෙම බලගතු අනාවරනයන් කම්කරු පන්තියේ විඥානය වර්ධනය කිරීමේ ලා මාහැඟි ප්‍රතිපදානයන් ය. අසාන්ජ් ගේ මෙම හෙලිදරව් කිරීම් මෑත කාලීන ජාත්‍යන්තර දේශපාලන සංසිද්ධීන් කෙරෙහි කෙතරම් බලපෑමක් ඇති කලේ ද යත්, ඇමරිකානු විදෙස් ප්‍රතිපත්ති විශ්ලේෂකයන් ටියුනීසියානු විප්ලවය “ප්‍රථම විකිලීක්ස් විප්ලවය” ලෙස නම් කලේ ය.

ඉරාකය තුල සිදු කෙරුනු ඇමරිකානු මිලිටරි අපරාධ ඇතුලත් වීඩියෝ දර්ශන විකිලීක්ස් වෙත ලබාදුන් චෙල්සී මැනිං ද, සත්‍යය හෙලි කිරීමේ වරද හේතුවෙන් අනේක වධ බන්ධනයන්ට ලක්ව සිටී. ඇමරිකානු මිලිටරි බුද්ධි අංශයේ සේවයේ නියුතුව සිටි මැනිං, ඉහත තොරතුරු කාන්දු කිරීමේ “වරදට” වසර හතක සිර දඬුවමක් ලැබුවා ය. අසාන්ජ්ට එරෙහිව සාක්ෂි දෙන ලෙස කල කැඳවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති මැනිං ට විරුද්ධව යලි නඩු පවරා දඬුවම් කිරීමට ඇමරිකානු පරිපාලනය සැරසෙයි.

අසාන්ජ්ට සහ මැනිං ට එරෙහි දඩයම වනාහි සත්‍යය ප්‍රකාශ කිරීමට සහ දැන ගැනීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රීය අයිතියට එල්ල කරන මරු පහරකි. එය සිදු කෙරෙන්නේ ජාත්‍යන්තර පන්ති අරගලයේ නව රැල්ලක් මැද, ලොවපුරා පාලක පන්තීන් වවිසින් කම්කරු-පීඩිත මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන රුදුරු ප්‍රහාරයේ ඉහලම තුඩ ලෙසිනි.

තම රටෙහි පුරවැසියෙකු වන අසාන්ජ් ට එරෙහි ව මෙම නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී අපරාධය කරගෙන යද්දී, ඔහු වෙනුවෙන් කවර හෝ මැදිහත් වීමක් ප්‍රතික්ෂේප කරමින් ඕස්ටේ්‍රලියානු පරිපාලනය ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග නග්නව පෙලගැසී සිටී.

මෙම අපරාධයේ දී ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග පෙලගැසී සිටින්නේ, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු සහ ඉක්වදෝර පාලකයන් පමනක් නොවේ. අධිරාජ්‍යවාදී වන හෝ නොවන අනෙකුත් සියලු රටවල ආන්ඩු සහ පාලක පන්තීහු මෙහිදී එකම කඳවුරකට පැමින සිටිති.

අසාන්ජ් නමැති තනි පුද්ගලයෙකුට එරෙහිව ලොවපුරා රාජ්‍ය තන්ත්‍රයන්ගේ සහ පාලක පන්තීන්ගේ මේ සා පරිමාන දුෂ්ඨ කඳවුරු බැඳීමක් යටින් පවතින්නේ කුමක් ද?

ධනේශ්වර ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන පන්ති අරගල රැල්ල තලා දැමීම සඳහා ආඥාදායක පාලනයන් වෙත වේගයෙන් මාරුවෙමින් සිටින ලොවපුරා පාලක පන්තීහු භාෂනයේ නිදහස ඇතුලු කවර හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් නොඉවසති. අසාන්ජ් ට එරෙහිව ඔවුන් කඳවුරු බැඳ සිටින්නේ එබැවිනි.

ලොවපුරා ධනපති මාධ්‍ය සංස්ථාපිතයන් ද ඊනියා මානව හිම්කම් සංවිධානයන් ද අසාන්ජ් ට සහ මැනිං ට එරෙහිව අධිරාජ්‍යවාදීන් සමග විවෘතවම පෙල ගැසී සිටිති.

“ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්” සංවිධානය එයට හොඳම උදාහරනය යි. ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ අසාන්ජ් සහ මැනිං යන දෙදෙනාම “හෘද සාක්ෂියේ සිරකරුවන්” නොවන බැවින් ඒ පිලිබඳව “ක්‍රියාකාරීව” කටයුතු නොකරන බවයි. ඔවුන් “හෘද සාක්ෂියේ සිරකරුවන්” නොවන්නේ නම් “හෘද සාක්ෂියේ සිරකරුවන්” වනුයේ කවුරුන් ද?

ලංකාවේ මාධ්‍ය සංස්ථාපිතය සැලකූ විට මේ සම්බන්ධයෙන් පලවූ වාර්තාවන් නැති තරම් ය. පුවත්පත් එකක දෙකක වචන දෙසීයකටත් අඩු කෙටි වාර්තා පල වුවද, ඒවා පවා අසාන්ජ් චෞරයෙකු මෙන් හැඟවෙන පරිදි ලියැවුනු ඒවා ය.

මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පසුගිය කාලයේ හඬ තැලූ සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල ආචාර්යවරු, මාධ්‍යවේදීහු සහ මාධ්‍ය ආයතන අසාන්ජ් සම්බන්ධයෙන් මුලුමනින්ම නිහඬ ය.

අධිරාජ්‍යවාදයට එරෙහිව ව්‍යාජ හඬ තැලීම් කරන ජනතා විමුක්ති පෙරමුන, ලංකාවේ සිවිල් යුද්ධය පිලිබඳව අසාන්ජ් හෙලිකල තොරතුරු සම්බන්ධයෙන් කියා සිටියේ ඒවා ලංකාවට එරෙහි ව මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා එල්ල කිරීමට අධිරාජ්‍යවාදීන් ම ව්‍යාජව ගෙතූ ඒවා බවයි. එහි දී ඔවුන් ලංකාන්ඩුවේ යුද අපරාධ වසන් කරමින් විකීලීක්ස්ට එරෙහි අපවාද ප්‍රචාරයේ පෙරමුන ගත් හ.

අසාන්ජ් සහ මැනිං සම්බන්ධයෙන් ලංකාවේ ව්‍යාජ-වම්මුන්ගේ ප්‍රතිචාරය මේ අතරින් වඩාත්ම කුහක සහ නරුමය. ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ආරක්ෂකයන් සහ දූෂන විරෝධයේ කප්පිත්තන් සහ ඉඳහිට අධිරාජ්‍ය විරෝධයෙන් පරලවන්නන් වන මොවුන් අසාන්ජ් සම්බන්ධයෙන් කිසිවක් කතා නොකරති.

අසානජ් යනු, නූතන ඉතිහාසය තුල දැවන්තම දේශපාලන බොරු නඩු ඇටවීමට ගොදුරු වන්නන්ගෙන් එක් අයෙකි. මෙම බොරු නඩු ඇටවීම කෙරෙහි ගනු ලබන ආකල්පය මගින් සංවිධාන සහ පුද්ගලයන්ගේ පන්ති ආස්ථානය නිර්නය වෙයි.

මෙම ව්‍යාජ-වාම සංවිධාන ඇතුලු මධ්‍යම පන්තික නඩ අසාන්ජ් සහ මැනිං දඩයමට දක්වන සෘජු හෝ වක්‍ර සහාය, අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට ඔවුන්ගේ පවත්නා සම්බන්ධය සහ සහාය සමග ගැට ගැසී ඇති අතර, ඒ හේතුවෙන්ම අසාන්ජ් සිදු කොට ඇති දෙය එනම් සත්‍යය අනාවරනය කිරීම කෙරෙහි ඔවුන් සතුරුය.

අසාන්ජ්ගේ ජීවිතය සහ නිදහස, මෙන්ම චෙල්සී මැනිංගේ නිදහස ලෝක සමාජවාදී විප්ලවයේ මූලෝපාය යටතේ ජාත්‍යන්තර කම්කරු පන්තිය කරන මැදිහත්වීම මත රඳා පවතී.

Share this article: